නව අධ්‍යා­පන ක්‍රම­යක් හොයන ඉබ්බා­ග­මුවේ ‘ඇවි­දින පාසල’ | Page 2 | සිළුමිණ

නව අධ්‍යා­පන ක්‍රම­යක් හොයන ඉබ්බා­ග­මුවේ ‘ඇවි­දින පාසල’

 

 

කොවිඩ් වසංගත තත්වය හමුවේ පාසල් අධ්‍යාපනය අහිමි සහ මාර්ගගත අධ්‍යාපන ක්‍රමයෙන් පීඩාවට පත්ව සිටින දරුවන්ගේ මානසික තත්ත්වය නඟා සිටුවීමට සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බාහිරව නව අධ්‍යාපන රටාවක් (සමෝධානික ) ඔස්සේ නිදහස් අධ්‍යාපනය නංවාලීමට උත්සාහ දරන අපූරු ගුරුවරයෙක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අපට හමු විණි. මේ අපූරු ගුරුවරයා කිරිබමුණ ගන්දර "ඇවිදින පාසල" මඟින් දරුවන්ට නව මං පෙතක් විවර කර තිබේ.

 

ඇවිදින පාසල් සංකල්පයෙන් පාසැල් දරුවන් , ගුරුවරුන් සහ දෙමව්පියන් වෙනත් මානයකට ගෙන යන්නට උත්සාහ දරන මේ අපූරු පුද්ගලයා ගුරුවරයකු ලෙස, ගුරු උපදේශකවරයකු , වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙසත් පූර්ව ළමා සංවර්ධන අධිකාරියේ උපදේශක වරයකු ලෙසත් සේවය කළ වසන්ත හේරත්ය.

ප්‍රාථමික අධ්‍යාපනය තුළ පන්ති කාමරයේ ගුරු මේසය ඉවත් කොට ඒ වෙනුවට වේදිකාවක් ගෙන එන්නට ජාතික අධ්‍යාපන ආයතනයට නව සංකල්ප එකතු කරමින් විවිධ පර්යේෂණ හරහා හොඳම දේ සමාජගත කරන්නට උත්සාහ කරන මේ ගුරුවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම නොමිලේම සේවාව සැපයීම විශේෂත්වයකි .

පසුගිය පාස්කු ප්‍රහාර සමයේදී පාසල් බෑගය පරික්ෂා කරමින් දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේදී දරුවන් තුළ ඇතිවන මානසික පීඩාව දුරු කිරීමට නිර්මාණාත්මක ක්‍රමෝපායන් භාවිතා කරමින් සිටියදී, මේ අපූරු ගුරුවරයා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බලපෑමට ලක් වෙන පාසල් දරුවා කෙරෙහි නැවත අවධානය යොමු කළේය. ඒ අනුව දරුවන්ගේ පෞර්ෂ වර්ධනය සහ මානසිකත්වයට සිදු වන බලපෑම බිඳ හෙළමින් නිර්මාණශීලී අධ්‍යාපන ක්‍රමයක් දරුවන්ට ලබාදීම කෙරෙහි ඔහුගේ අවධානය යොමුවිය.

ඒ සඳහා කායික, මානසික සහ වාචික සුවතාව ලැබෙන ආකාරයේ සුදුසු වටපිටාවක ඇවිදින පාසල ස්ථාපිත කරන්නට ඔහු කටයුතු කරනු ලැබීය.

කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ කිරිබමුණ කියන ග්‍රාමයේ ඉතාමත් සෞන්දර්යාත්මක පරිසරයක් තුළ මෙම ඇවිදින පාසල ස්ථාපිත කර ඇත. පාසල වටපිටාව කිරිබමුණ කන්ද, ගන්දර වැව, ගන්දර ගම, වෙල් යාය , කිරිබමුණ ශෛලතලාරාමය යන වටපිටාව පදනම් කරගනී.

ස්වභාවික පරිසරයේ ගැටෙමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සියලුම විෂයන් ඒකාබද්ධ කර ගනිමින් සමෝදානික අධ්‍යාපන ප්‍රවේශයක් ලබා දෙන්නට ඔහු උත්සහ කරමින් සිටී. මෙහිදී විශේෂයෙන්ම නිර්මාණශීලි , රූකඩ ( මෆට් ) යොදාගැනීම සුවිශේෂී කාරණාවකි.

රූකඩ ආධාරයෙන් සංකල්ප ඇති කරමින් අධ්‍යාපනය ලබා දෙන්නට සම්බන්ධ වන්නේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රව්‍ය ද්‍රශ්‍ය නිලධාරී, ප්‍රවීණ මෆට් කලා ශිල්පියකු වන අමරදාස හීනුක් වැව නමැති සුවිශේෂී නිර්මාණ ශිල්පියාය.

ඔහු ඉතාමත් කුඩා රූකඩ යේ සිට මහා විශාල ප්‍රමාණයේ රූකඩ තිරයක් මත සහ බාහිර පරිසරයෙ යොදාගනිමින් විෂයානුබද්ධ සංකල්ප සහ දැනුම දරුවන්ට ලබාදීමට මහත් වෙහෙසක් ගනී. මෙතුළින් කලාව සහ තාක්ෂණය භාවිතා කිරීම , තාක්ෂණික මෙවලම් නිර්මාණකරණය, පිළිබඳව දැනුමක් ලබා දෙන්නට ඔවුහු උත්සාහ කරති.

නව අධ්‍යාපන රටාවකින් නිදහස් අධ්‍යාපනය නංවාලීමට පූර්ණ පෞරුෂය දරුවන්ට බලපාන අත්‍යවශ්‍ය සාධකයකි. ආගමික නැඹුරුතාවකින් යුතුව දින චර්යාව තුළින්ම අධ්‍යාපනය ලැබීම පිළිබඳව පාඩම් මාලාව කරගෙන යාමට එම ගමේම කිරිබමුණ ශෛලතලාරාම අධිපති අස්ගිරි පාර්ශ්වයේ කර්මාචාර්ය රාජකීය පණ්ඩිත පහළ ඇරැව්වල උප රතන ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන සිටි.

මේ නව අධ්‍යාපන ක්‍රමය පිළිබඳව උන්වහන්සේ මෙලෙස අදහස් දැක්වීය.

"පූර්ණ පෞරුෂය සහිත දරුවකු සමාජගත කරන්නට ජීවවිද්‍යාත්මක අධ්‍යාපනය, උද්භිත විද්‍යාත්මක අධ්‍යාපනය, භෞතික විද්‍යාත්මක අධ්‍යාපනය සහ ආචාර විද්‍යාත්මක අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධක අවශ්‍යයි. ඒ සියල්ල මේ ඇවිදින පාසල තුළ පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ම ඉගෙන ගන්නා දරුවන්ට ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙනවා. දරුවකු තුළ පූර්ණ පෞරුෂය ඇති කිරීම දක්වා යන ගමන් මඟට හොඳම තෝතැන්නක් ලෙස මම මේ ඇවිදින පාසල දකිනවා. කායික, වාචික, මානසික චර්යා පෝෂණය කරන වටපිටාවක් මේ තුළ තියෙනවා. කොවිඩ් සමඟ පාසැල් නොයා පීඩාකාරී පරිසරයක ජීවත්වන දරුවන්ට මේ අධ්‍යාපන ක්‍රමය තුළින් ඔවුන් වෙනත් මානයකට යොමු කරන්න ඉවහල් වෙනවා. විශේෂයෙන්ම මෙහි ඉතාමත් සංවේදී කාරණාවක් වන්නේ, මේ පාසලේ අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ ගිරවකු ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුවයි .

මේ ගිරවා කුඩා මංජුසාවක මලක් රැගෙන ගොස් බුදුන්ට පූජා කර ගෞරව දක්වන අවස්ථාවෙන් මේ පාසලේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. මේ කාරණාව දරුවන් තුළට යන්නේ ගිරවකුටත් මෙවැන්නක් කරන්න පුළුවන් නම් ඇයි අපිට කරන්න බැරි කියන සංකල්පය තුළින්"

පන්සල මූලික කරගෙන අනාදිමත් කාලයක පටන් පැවති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය තුළ දී මේ ප්‍රායෝගික අධ්‍යාපනය සාමණේර හාමුදුරුවන් වහන්සේලාට ලැබෙනවා. විශේෂයෙන්ම අපි අධ්‍යාපනය ලබද්දී ගණිතය ඉගෙන ගත්තේ බෝමළුවට පාත්තරෙන් වැලි ඇදලා. බෝධියට පාත්තරෙන් වතුර ඇදලා. අපි එතනින් ගණිත සංකල්පය ඉගෙන ගත්තා. වැලිමළුව විවිධ රටාවලට අතුගාලා නිර්මාණ ඉගෙන ගත්තා.

නමුත් පන්සල මූලික කරගෙන තිබුණු ඒ ප්‍රායෝගික ආරණ්‍යගත අධ්‍යාපනය මෙරට සමාජය තුළ ස්ථාපිත වුණේ, ආචාරශීලීත්වය පදනම් කරගෙන. අද ඒ තත්ත්වය ගිලිහිලා තියෙනවා. මේකට මාධ්‍යයත් වගකිව යුතුයි. විශේෂයෙන්ම අද විකාශය වන ටෙලි නාට්‍යවල අවුරුදු තිහ හතළිහේ කාන්තාවන්ට පාසැල් නිල ඇඳුම් අන්දනවා. ඒ හරහා දරුවන්ට යන්නේ, එවැනි වයස්ගත අය කරන වැඩ දරුවො කළාට කමක් නෑ කියන අදහසක්. මෙතනින් පේන්නේ ආචාර විද්‍යාත්මක ගැටලුවක්. අන්න එවැනි තත්ත්වයකින් ඇති වන්නේ ආචාරශීලී අධ්‍යාපනය අප තුළ නොමැති වීමයි. නමුත් පිරිවෙන් අධ්‍යාපනයෙන් පූර්ණ පෞරුෂය සහිත පුද්ගලයෙක් බිහි වෙනවා. ආචාර්ය විද්‍යාත්මක අධ්‍යාපනයෙන් නිර්වාණය දක්වා ගමන් යා හැකි මඟක් තිබෙනවා. එවැනි කාරණාවක් මේ ඇවිදින පාසල තුළින් යම්තාක් දුරට දරුවන්ට ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ වර්තමානයේ වෙද්දි මෙවැනි නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යව පවතිනවා ."

මේ සම්බන්ධව ඇවිදින පාසලේ නිර්මාතෘ වසන්ත හේරත් පැවසූයේ මෙවැනි අදහසකි.

" විශේෂයෙන්ම මම මේ අධ්‍යාපන ක්‍රමවේදය පාසැල් විෂය නිර්දේශවලට අනුව ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා. එක දවසකදී සෑම විෂයක්ම ආවරණය වන ආකාරයට එක මාතෘකාවක් පිළිබඳව කතා කරනවා.

එකේ සිට පහ දක්වා දරුවන්ට ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රමවේද වල දී භාවිත කරන ක්‍රමෝපායන් ප්‍රායෝගිකව යොදා ගන්නවා.

විශේෂයෙන්ම මේ දරුවන් අසුන්ගත වැඩ වලට වඩා විනෝදාත්මක ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් කරුණු, සංකල්ප සහ සාරධර්ම වර්ධනය කරගනිමින් අධ්‍යාපනය ලබාදීම සිදු කරනවා. එහෙම කරන්නෙ ආදරය, සතුට සහ පාලනය කියන කාරණා සමගයි.

දරුවෝ සතුන්ට ආදරෙයි . ඔවුන්ට කැමතියි . " රූ + කඩ " භාවිත කරන්නේ ඒ සඳහා. ගිරවුන් වැනි සතුන් යොදා ගන්නෙත් ඒ සඳහා. පසුගිය දවසක මාර්ගගත ක්‍රමය ඔස්සේ අපි ප්‍රාථමික දරුවන් දහසකට එකවර අධ්‍යාපනය ලබා දුන්නා.

මට හරි පුදුමයි එහිදී ගිරවෙක් නිර්මාණය කරන ආකාරය කියලා දුන්නාම වැඩසටහනට සම්බන්ධ වෙලා හිටිය ප්‍රාථමික දරුවන් දහසකින් හාරසියයකට වැඩි පිරිසක් ගිරව් හදලා මට එවලා තිබුණා. මේක අපි සජීවී පන්ති කාමරයක තුළදීවත් දකින්නෙ නෑ. ඒ වගේම තමයි අද ගුරුවරු කතා කරනවා මාර්ගගත අධ්‍යාපනයේ දී දරුවන් කතා නොකිරීම සම්බන්ධව. නමුත් අපේ මේ ඇවිදින පාසලට සම්බන්ධ වන දරුවෝ අප්පුඩි ගහනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය මානසික පීඩාවක් කියන එකෙන් දන්නෙම නැතුව මිදෙනවා . අපි උත්සහ කරන්නේ සෑම පන්ති කාමරයක ම සෑම ගුරුවරයකුට ම මේ දේ කරන්න පුළුවන් කියලා සමාජගත කරන්නයි .

මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට මෙහි කාර්ය මණ්ඩලය නොමිලේ කටයුතු කරද්දී ඒ සඳහා තාක්ෂණික සහයෝගය ඇට්ලස් සමාගම විසින් ලබා දෙන ලදී.

ඉතින් ඒ වගේම මේ ඇවිදින පාසලේ වටපිටාව තව ටිකක් දරුවන්ට ගැළපෙන පරිසරයක් විදියට සකස් කර ගත යුතුව තිබෙනවා. ඇවිදින මං තීරුවක් සකස් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ සඳහා කවුරුන් හෝ අනුග්‍රහය ලබා දෙනවා නම් හොඳයි. අපේ අනාගත දරුවන්ට සාම්ප්‍රදායික ගොවි නිවස , ආදී ස්ථාන දැක බලා ගන්නටත් , මෙම ස්ථානයෙන් අධ්‍යාපනය නොමිලේ ලබා ගන්නටත් ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් අවස්ථාව තිබෙනවා.

මේ කාර්යය ඉතාමත් සාර්ථකව කරගෙන යන්න දක්ෂ ගුරුවරු සහ කාර්ය මණ්ඩලය පහළොවක් මාත් සමඟ නොමිලේ සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම කුරුල්ලන් සම්බන්ධ ප්‍රසිද්ධ සත්ව පුහුණු දේශකවරයා ඉලංකොන් වගේ අය අපිට උදව් කරනවා.

ඒත් එක්කම අජිත් ගුණතිලක , එච්. එම් ජයරත්න ගමේ අය හැටියට මෙතනට අවශ්‍ය පසුතල පහසුකම් සපයමින් මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න උදව් කරනවා. මෙතනදී අපි එකතු විය යුත්තේ , අපි හැමෝම දරුවන් වෙනුවෙන්." ඔහුගේ අදහස විය.

Comments