හරි­යට කළ­ම­නා­ක­ර­ණය කළොත් තව හත­ර­පස් ගුණ­ය­ක් ලාබ ලබන්න පුළු­වන් | සිළුමිණ

හරි­යට කළ­ම­නා­ක­ර­ණය කළොත් තව හත­ර­පස් ගුණ­ය­ක් ලාබ ලබන්න පුළු­වන්

 

 

ශ්‍රී ලාංකේය ජනතාව වෙත, ආහාරයට ගන්නා පිරිසුදු සහ ගුණාත්මක ලුණු සපයන එකම රාජ්‍ය ආයතනය වන ලංකා ලුණු සමාගම, පාඩු ලබන ආයතනයක් ව සිට අතිශය ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබේ. ඒ තැනට මෙම ආයතනය රැගෙන ආ කාර්යශූර නායකත්වය වන්නේ, නීතිඥ නිශාන්ත සඳබරණ සභාපතිවරයා යි. වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ඔහු සිදු කර ඇති මේ විප්ලවීය වෙනස, පාඩු ලබන රාජ්‍ය ආයතන, ලාභ ලැබිය හැකි ව්‍යාපාර බවට පත් කළ හැකි බවට හොඳ ම පූර්වාදර්ශයක් සපයා තිබේ.

 

ඒ අනුව, ලුණු සමාගමේ සභාපතිත්වය බාර ගන්නා විට, රු.මි. 144.8 ක් ලෙස පැවති බැංකු අයිරාව, පසුගිය ජූනි 30 මස වැනිදා වන විට, ඔහු රු.මි. 131.5 ක වාසිදායක බැංකු ශේෂයක් බවට පත් කර තිබේ.

එසේම රු.මි. 283.4 ක් ලෙස පැවති ස්ථාවර තැන්පතු ද, අද වන විට, රු.මි. 330.4 ක් ලෙස ඉහළ නංවා තිබේ.

බාහිර පාර්ශ්වයන්ට ගෙවිය යුතුව තිබූ රු.මි. 340 ක මුදල, රු.මි. 228ක් ලෙස පහත දමා තිබේ.

එදා ඔහු සමාගම බාරගන්නා විට, එනම් 2019 වර්ෂය සඳහා සමාගම බදුවලට පෙර රු.මි. 349.2 අලාභයක් ලබා තිබුණද, 2021 ජුනි මස අවසන් වන විට සමාගම රු.මි. 87.3ක ලාභයක් බවට පත් කොට තිබේ.

ඒ අනුව කෝටි ගණනක් අලාභ විඳි ලුණු සමාගම වසර එකහමාරකට පසු මෙම වසරේ ගෙවුණු මාස 06 තුළ රු.මි. 87 කට වැඩි ලාභයක් පෙන් වූ සාර්ථක රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබේ. ඒ පිළිබඳ සභාපතිවරයා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"මේ විදියට සමාගම ලාභ පෙන්වා තිබෙන්නේ, මා සිදු කළ විශ්මකර්ම දෙයක් නිසා නම් නෙවෙයි. තිබෙන ආයතනික සම්පත සහ මානව සම්පත උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන කළමනාකරණය කිරීමෙන් ම පමණයි.

සෝඩියම් හා ක්ලෝරීන් කියන සංඝටක දෙක මුහුදු වතුරෙන් එළියට අරන්, ජලය වාශ්පීභවනය කර, ලෙනාඩ් වුල්ෆ් ගේ කාලයේ පටන් හැදූ ආකාරයට ම ලුණු නිෂ්පාදනය කොට ලාබ අලාබ වෙවී ඉදිරියට ආ ආයතනයෙන්ම තමයි අදටත් එලෙස ම ලුණු හදා අපි මේ ලාබ ලබා තිබෙන්නේ.

විශේෂයෙන්ම කිවයුතු දේ තමයි, රට වටේම මහ මුහුද තිබුණත් අපි මහ මුහුදෙන් තවමත් එළියට ගන්නේ, ලුණු නිෂ්පාදනයට අවශ්‍ය සෝඩියම් සහ ක්ලෝරීන් කියන සංඝටක දෙක පමණයි. නමුත් පාසල් දරුවකුට වුණත් තේරෙන ආකාරයට කිව්වොත්, ආවර්තිතා වගුවේ තිබෙන සියලුම සංඝටක මහ මුහුදේ තිබෙනවා. අනූවකට වැඩි අයන ප්‍රමාණයක් තිබෙන මුහුදු වතුරවලින් මේ සංඝටක දෙක පමණක් අරගෙන කර්මාන්ත කිරීම වහා වෙනස් විය යුතුයි.

එනම්, කෑමට ගන්නා ලුණු හැරුණු කොට, පොල් පොහොර හා ජිප්සම් යන අතුරු නිෂ්පාදනයන්ට පමණක් සීමා නොවිය යුතුයි.

මේ දේවල්වලට වඩා ලේවායකින් කරන්න පුළුවන් දේ එමටයි. අපි මූදු වතුරෙන් ලුණු අරගෙන ඉතිරි වන, කාරම් හෙවත් අධි සාන්ද්‍ර ජලය නැවත නිකරුණේ මහ මුහුදට ම මුදා හරිනවා.

නමුත් ඒ කාරම් ජලයේ තිබෙන අයන සංඝටක ආපසු අරගෙන, ඒවා සමඟ තවත් දේ මිශ්‍ර කොට බොහෝ කර්මාන්ත ඇති කරන්න පුළුවන්. ප්ලාස්ටර් ඔෆ් පැරිස් හදන්න, ඒ විදියට ඉවතලන ජිප්සම් පාවිච්චි කරන්න පුළුවන්. රටක් හැටියට අපි මොකද කරන්නේ, ඒ ජිප්සම් ටික ප්‍රයෝජනයට නොගෙන, අපේ රටේ කර්මාන්ත සඳහා අවශ්‍ය ප්ලාස්ටර් ඔෆ් පැරිස්, අධික වියදමක් දරලා පිට රටින් ගෙන්වනවා. හරියට, අපේ රබර් කිරි ටික පිටරටට දීලා, ටයර් ගෙන්වනවා වගේ වැඩක්. ප්ලාස්ටර් ඔෆ් පැරිස් කර්මාන්තය ලංකාවේ ඇති කරන්න වැඩිම වුණොත් රුපියල් මිලියන පහළොවක් යයි. එහෙම කළොත් මට පුළුවන්, ලංකාවට අවශ්‍ය ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටික අපේ ලේවායවලින්ම ඉතිරි වන ජිප්සම් වලින් හදා දෙන්න. මොකද දවසක් ගානේ මේ ලේවායන්වල ජිප්සම් කඳු ගොඩ ගැහෙනවා.

ඒ වගේම ලුණු අරගෙන මේ මුහුදු වතුරෙන් ඉවත් කරන සංඝටකවලින්, කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කරන්නත් පුළුවන්. රටට අවශ්‍ය කෝස්ටික් සෝඩා ගෙන්වීම සඳහා වසරකට පිටරටවලට අපි රුපියල් මිලියන ගණන් මුදල් යවනවා.

රට වටේට මහ මුහුද තියාගෙන කර්මාන්ත සඳහා මේ වගේ අත්‍යවශ්‍ය අමු ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඇයි අපි තවදුරටත් පිටරටවලට සල්ලි වියදම් කරන්නෙ. මේ මහමුහුද අපිට ලුණු සහ මාළු විතරක් දෙන තැනක් නෙවෙයි. රට වටේ තියෙන්නේ ධන නිධානයක්. හැබැයි ඒ ධන උල්පතින් අපි ගන්නේ බොහොම සොච්චම් ප්‍රයෝජනයක් දෙකක් විතරයි.

කර්මාන්ත සඳහා අවශ්‍ය මෙවැනි අමුද්‍රව්‍ය මහ මුහුද ආශ්‍රිතව නිෂ්පාදනය කරන විට, ඒ හා බැඳුණු රැකීරක්ෂා රැසක් උත්පාදනය වනවා. ලුණු කර්මාන්තය හා බැඳුණු මේ සියලු අතුරු නිෂ්පාදන සහ අතුරු කර්මාන්ත ඇති කිරීම මගේ ඉදිරි වසර කිහිපය ප්‍රධානම සැලසුමයි.

ඒ වගේම මේ ලුණු මිදෙන හම්බන්තොට තිබෙන රස්නය කියන්නේ, අධි බලැති සූර්ය ශක්තිය. අපි ඒ සූර්ය ශක්තියෙන් මොනවද අරගෙන තිබෙන වෙන ප්‍රයෝජන...? සූරිය පැනල හදලා, ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එකතු කරන්න ලංකාවෙ තිබෙන හොඳම තැන තමයි, හම්බන්තොට.

මහා ව්‍යාපෘති සඳහා සූර්ය පැනල සවි කරද්දී ඒවා කෝණගතව මහපොළොවේ සවි කිරීමයි, සාමාන්‍ය ක්‍රමය. හැබැයි එවිට එම පැනලවලට යටින් දිවෙන අක්කර ගණනක බිම් ප්‍රමාණයෙන් කිසිදු ප්‍රයෝජනයක් ගන්නට ලැබෙන්නේ නැහැ.

නමුත් අපේ මිදුණු විශාල ලුණු කඳු වහන්න, වසරකට සේවක පඩිනඩි ගෙවා, පොලිතීන් පොල් අතු සහ වෙනත් විශේෂ ආවරණ පාවිච්චිය සඳහා රුපියල් මිලියන තිස් දෙකක් පමණ වැය වනවා.

නමුත් ලුණු කඳුවලට උඩින් සූරිය පැනල සවි කළොත් ඒ ප්‍රශ්නය විසඳෙනවා විතරක් නෙවෙයි, ඒවායින් උපදින විදුලියෙන් රුපියල් ලක්ෂ 25කට ආසන්න වන අපගේ මාසික විදුලි බිල ඉතිරි කරන්න, වෙනම ආදායමක් උත්පාදනය වෙනවා. බලන්න එවිට වසරකට කොයිතරම් ලොකු මුදලක් ද?

ඒ වගේම හම්බන්තොට ලේවායට මුහුදු ජලය රැගෙන එන පොම්පාගාර භූමියේ, සුළං බලාගාර කිහිපයක් සවි කළොත් අපිට එයිනුත් විදුලිය උත්පාදනය කර ගන්න පුළුවන්.

ඒ වගේම, හම්බන්තොට ලේවායේ පොම්පාගාරය පිටුපස තිබෙන සුවිශේෂී පරිසර පද්ධතිය, සෑම වසරකම එක් කාලයක දී කැස්බෑ පාරාදීසයක් බවට පත් වෙනවා. මැලේසියාව ඉන්දුනිසියාව වැනි රටවලින් ඒ කාලයට විවිධ වර්ගයේ සහ වර්ණයේ කැස්බෑවුන් එතැනට එනවා. යම් තරමක ජාත්‍යන්තර තත්ත්වයේ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයක් හදන්න පුළුවන් තැනක් ඒ. කැස්බෑවුන් පිළිබඳ පර්යේෂණ කරන, හදාරන බොහෝ දෙනකුට නැවතීමට කාමර පහසුකම් සහිතව, ඒ මධ්‍යස්ථානය ඉදි කරන එක ඒ තරම් අමාරු නැහැ. මේ හරහා රටට විදේශ විනිමය උපයන්න හොඳ අවස්ථාවක් ඉතිරිව තිබෙනවා.

තව දෙයක් කිව යුතුයි. ජාත්‍යන්තර ඉල්ලිම තිබෙන්නේ වැකියුම් ලුණුවලට. බිස්කට්, සොසේජස් වැනි නිෂ්පාදකයන් රටින් වැකියුම් ලුණු ගෙන්වන්නේ ඒ නිෂ්පාදන වෙනුවෙන් ම පමණයි. නමුත් අපිට හැකියාව තිබෙනවා රටට ම අවශ්‍ය එවැනි නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය වැකියුම් ලුණු සපයන්න. පිටරටින් ගෙන්වන දේට වඩා ගුණයෙන් ප්‍රමිතියෙන් ඉහළ දේශීය වැකියුම් ලුණු, තමන්ගේ නිෂ්පාදන සඳහා භාවිත කරන්නත්, ඒවා පිළිගන්නත් ඔවුන් සූදානම් නම් රටට තවත් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගන්නට පුළුවන්.

මගේ මේ සියලූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට මට තිබෙන ලොකුම ශක්තිය තමයි, මා සතු වූ අති දක්ෂ සේවක මණ්ඩලය සහ මේ ලේවායන් හි තිබෙන ස්වාභාවික සම්පත. මේ දක්ෂයන් හඳුනා ගැනීමයි සභාපතිවරයා විදියට මා කළ අභියෝගාත්මක කාර්යය භාරය. මා සියල්ල දන්නා කෙනෙක් නොවෙයි. මේ ලේවායන් හි වැඩ කරන, ක්ෂේත්‍රය පිළිබඳ බොහෝ දේ දන්නා අයට සභාපතිකමක් නැති බවත් මා දන්නවා. මා කළේ ඔවුන්ගෙන් දැනුම උකහා ගත් එක.

ඔවුන්ව මේ සියලු කාර්යයන් සඳහා සහභාගි කරවා ගත් එක. මේ තරම් ලාභයක් අවුරුදු එකහමාරක් ඇතුළත ලබන්න පුළුවන් වුණේ සේවක මණ්ඩලයේ තිබූ උනන්දුව නිසාම යි.

Comments