ටෝකියෝ වේදිකාවේ නැවැත් වූ ඔලිම්පික් දුම්රිය | සිළුමිණ

ටෝකියෝ වේදිකාවේ නැවැත් වූ ඔලිම්පික් දුම්රිය

 

'ඔලිම්පික් යනු දුම්රිය ගමනක් වැනිය. ලෝකය පුරා විවිධ සංස්කෘතීන් බෙදා හදා ගනිමින් ගමන් ගන්නා අපූරු ගමන් සැරියකි. දැන් එය සිය නූතන චාරිකාවේ තිස් දෙවැනි නැවතුම්පොළට පැමිණ තිබේ. ඒ ජපානයේ ටෝකියෝ නුවර ය. ආසියානු මහාද්වීපයේ ටෝකියෝ නුවරෙන් නික්ම යන මෙම විචිත්‍රවත් ඔලිම්පික් සැරිසර මින් ඉදිරියට නතර වන්නට නියමිත ව ඇත්තේ යුරෝපා, අමෙරිකා සහ ඔස්ට්‍රේලියා මහාද්වීපයන් හි ය. මේ අතීත ඔලිම්පික් සිහිවටන, වටිනාකම් මෙන්ම අනාගත සැරිසරේ ගෝලීය වේදිකා සම්බන්ධයෙන් තැබෙන සටහනකි.'

"ජයග්‍රහණයට වඩා සහභාගිත්වය උතුම්ය" යන සංකල්පයට අනුව යමින් 1896 ග්‍රීසියේ ඇතැන්ස් අගනුවරින් ඇරඹි නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මේ පැවැත්වෙන්නේ "32" වැන්න ය. ඒ ජපානයේ "ටෝකියෝ" අගනුවර දී ලොව රටවල් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,238 කගේ සහභාගිත්වයෙනි.

මෙවර ඔලිම්පික් උළෙලට අයත් ක්‍රීඩා ප්‍රමාණය 33 කි. ඒ යටතේ ඉසව් 339 ක් පැවැත්වීමට නියමිත ව තිබේ.

නූතන ඔලිම්පික් සැරිසරේ පළමු ඔලිම්පික් උළෙල පැවැත්වුණේ රටවල් 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 280 දෙනෙකුගේ සහභාගීත්වයෙනි. ඒ 1896 අප්‍රේල් මස 06 දින සිට 15 දින දක්වා ග්‍රීසීයේ ඇතැන්ස් නුවර දී ය. ඊට අයත් වූ තරග ඉසව් සංඛ්‍යාව 43 කි.

මලල ක්‍රීඩා, පිහිනුම්, පාපැදි ,ජිම්නාස්ටික්, බර ඉසිලීම, මල්ලවපොර, ඉලක්කයට වෙඩි තැබීම, ටෙනිස් සහ ෆෙන්සිං යන ක්‍රීඩා ආරම්භක ඔලිම්පික් උළෙල යටතේ පැවැත්වූයේ මතු යම් දිනක මුළු ලොවම එකම ධජයක් යටතේ ඒකරාශි කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. ඒ යටතේ පැවති මලල ක්‍රීඩා ඉසව් සංඛ්‍යාව 12 කි. එහි දී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළේ අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ ක්‍රීඩකයෝ ය. ඔවුහු රන් පදක්කම් 09 ක් හිමි කර ගැනීමට සමත් වූහ. ඔස්ට්‍රේලියාවට පදක්කම් 02 ක් ද සත්කාරක ග්‍රීසියට එක් පදක්කමක්ද හිමි විණි.

මීටර් 100, මීටර් 110 කඩුලු මතින් දිවීම, මීටර් 400, කවපෙත්ත විසි කිරීම, උස පැනීම, දුර පැනීම, රිටි පැනීම, යගුළිය දැමීම සහ තුන්පිම්ම යන ඉසව්වන් හි පළමු ස්ථානය දිනා ගනිමින් අදාළ රන් පදක්කම්වලට හිමිකම් කියන්නට අමෙරිකානුවන්ට එහි දී හැකි විය. දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි යන පදක්කම් තුනම ඇමරිකානුවන් සතු විය.

ඇමරිකාවේ ජේම්ස් කොනොලී තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම ද උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම ද දුර පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ද හිමිකරගත්තේ සිය විශිෂ්ටත්වය මොනවට කියා පාමිනි.

මීටර් 1500 සහ මීටර් 800 රන් පදක්කම් ඕස්ට්‍රේලියාව සතු වූ අතර මැරතන් තරග ජයග්‍රහණය පමණක් සත්කාරක ග්‍රීසිය නියෝජනය කළ සෙපිරිඩන් ලුයිස් හට හිමි විය.

"මයිකල් බ්‍රියාල්" ගේ සංකල්පයකට අනුව හඳුන්වා දෙන ලද මැරතන් තරගය අද වන විට ද ලොව ඉතාමත් ජනප්‍රිය හා තරගකාරීත්වය අතින් ඉහළ අගයක් ගන්නා ඉසව්වක් වී තිබේ. වර්තමානය වන විට කි.මී.42.195 ක සම්මත දුර ප්‍රමාණයකින් සැදුම්ලත් වන මැරතන් තරගයක ආරම්භය පිළිබඳ ව ඇත්තේ හරි අපූරු කතාවකි.

ආක්‍රමණික පර්සියානු හමුදා භට පිරිසක් පරාජය කළ බව දැන්වීම සඳහා ක්‍රිස්තු පූර්ව 490 දී මැරතන් මිටියාවතේ සිට ඇතැන්ස් වෙත යවන ලද පුහුණු ධාවකයකු වන "ෆිඩී ෆයිඩ්ස්" ගේ පුරාවෘත්තය ඒ වෙනුවෙන් අනුගමනය කර තිබේ.

සමාරම්භක ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් 'ෂියා බොක්කේ' පිහිටි සීතල ජල ධාරාවේ දී පැවැත්වුණු අතර එහි දී ක්‍රියාත්මක කළ ඉසව් 04 න් 02 ක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට "ඇල්ෆ්‍රඩ් හජෙස්" සමත් විය.

පාපැදි ක්‍රීඩාව සඳහා ලොව ජනප්‍රියත්වයට පත්ව සිටින ප්‍රංශය නියෝජනය කළ "පෝල් මැසන්" පළමු ක්‍රීඩා උළෙල යටතේ පැවැති පාපැදි ඉසව් 06 න් 03 ක ජයග්‍රහණය සනිටුහන් කළේ ය.

"පියරේ ඩී කුබර්ටීන්" ගේ පීතෘත්වයෙන් ජනිත වූ නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි අග්‍ර ඵලය නෙළා ගනිමින් තිබේ. ඔලිම්පික් ධජයේ ප්‍රභාෂ්වරය වර්තමානය වන විට පංච මහද්වීප පුරා පැතිර ගොස් තිබීම ඒ අතර ප්‍රමුඛ ය.

මනරම් සමාරම්භක උත්සවයකින් හා සමාප්ත සමාචාරයකින් සැදුම්ලත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අතීතයේ සිටම රාජ රාජ මහාමාත්‍යාදීන් දායකත්වය සපයා තිබීම ප්‍රශංසනීය ය. ග්‍රීසියේ රාජකීය පවුලේ සියලුම සාමාජික සාමාජිකාවන් පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නට සමත් වී ඇත. එහි දී සංවිධානයේ දී සහ කළමනාකාරීත්වයේ දී සහයෝගය ලබා දී තිබීමද කැපී පෙනුණි. එමෙන්ම තරග පැවැත් වුණු දින 10 පුරාම ප්‍රේක්ෂකයින් ලෙස ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට රාජකීය පවුලේ සාමාජිකයින් වග බලා ගැනීම ක්‍රීඩා උළෙල මෙතරම් දුරට විහිද යාමට ප්‍රමුඛතම හේතුවක් වූ බවට හඳුන්වා දීමේ වරදක් නැත.

පළමු ලෝක යුද්ධය නිසා 06 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල (1916) ද දෙවැනි ලෝක යුද්ධය නිසා 12 වැනි (1940) සහ 13 වැනි (1944) ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද අවලංගු කිරීමට සංවිධායකයන්ට එකල සිදුවිය. ඒ අනුව බලන විට මෙවර ඔලිම්පික් උළෙල සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන්නේ 29 වැනි වතාවටය. ඒ සඳහා කොවිඩ් 19 ගෝලීය වසංගත ද බලපෑම් එල්ල කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2020 ට නියමිත වූ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ 2021 වසරේ ජපනුන්ගේ සංවිධාන ශක්තියේ බල මහිමයෙනි.

මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2024 වසරේ යුරෝපා මහාද්වීපයේ මහා සංස්කෘතික රාජ්‍යයක් වන ප්‍රංශයේ පැරිස් නුවර දී ද එහි 34 වැන්න 2028 වසරේ අමෙරිකා මහාද්වීපයේ අමෙරිකා එක්‌සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී ද 35 වැන්න 2032 වසරේ ඕස්ට්‍රේලියා මහාද්වීපයේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ දී ද ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනටමත් තීරණය කර අවසන් ය.

සපුමල් වීදිය බණ්ඩාර

Comments