කොත­ලා­වල ආර­ක්ෂක පනත ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

කොත­ලා­වල ආර­ක්ෂක පනත ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1 මෙය දේශපාලන වශයෙන් ඇති වූ කෘත්‍රිම විරෝධතාවක්. මක්නිසාදයත් මේ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක් ලෙසට පවත්වා ගෙන යෑමට නීතිමය බලය ලැබිලා වසර හතළිහක් පමණ ක්‍රියාත්මක වූ ආයතනයක්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඉතා ඉහළ ඉල්ලුමක් දැනටත් පවතිනවා. එයට අයථා ක්‍රමවේදයන්ට සිසුන් ඇතුළත් කරගැනීමට නොහැකියි. සුදුසුකම්වලට අමතරව විභාගයකටත් පෙනී සිටීමට අවශ්‍ය වෘත්තීය අභිමුඛ විශ්වවිද්‍යාලයක්. දැනට පවත්වාගෙන යන ගුණාත්මක වශයෙන් ඉහළ විශ්වවිද්‍යාලයක්. මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ අණපනත් නැතිව මේ දැනට තිබෙන තත්ත්වයෙන්ම විශ්වවිද්‍යාල පවත්වාගෙන යා හැකියි. පිඨ සෑම පළාතකම ස්ථාපිත කළ හැකියි.

2 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිබඳ අනවබෝධකිනුයි බොහෝ අය මේ අදහස් ඉදිරිපත් කරන්නේ. අදටත් උසස් අධ්‍යපන අමාත්‍යාංශයේ පවතින උපාධි පිරිනමන ආයතන කොටස් දෙකකට බෙදිලා තියෙන්නේ. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ පවතින ජාතික විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා.

ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිටත ක්‍රියාත්මක වෙන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල තිබෙනවා. උදාහරණ ලෙස පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ගත හැකියි. මෙවැනි දේවල් ඉතිහාසයේ තිබුණා.

මේ අමුතුවෙන් ඇති කරන්න හදපුවා නොවෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාල තියෙන්න පුළුවන්. පාර්ලිමේන්තු විශේෂ පනතකින් විශ්වවිද්‍යාලයක් ගේන්න පුළුවන්. මේ නව පනතින් අදහස් කරන්නේ මීට පෙර කොතලාවල විශ්වවිද්‍යාල පනත විටින් විට සංශෝධනවලට ලක්වෙලා තිබෙන නිසා, තනි පනතක් ලෙස ගෙන ඒමටයි ජනාධිපතිවරයා අදහස් කර තියෙන්නේ. එහිදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් තර්කානුකූලව සංශෝධනයක් ඉදිරිපත් කළොත් ඒ සංශෝධනය මේ සඳහා ඇතුළත් කළ හැකියි.

නිදහස් අධ්‍යපනය සහ පෞද්ගලික අධ්‍යපනය ගැන කතා කරන පාර්ශ්වයන් ඇති හැකි අයගේ දරුවන්ට උගන්වන ආකාරය පිළිබඳව අබමල් රේණුවකවත් අවබෝධයක් නැහැ. අද ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන කියන සිංහල දෙමළ මුස්ලිම් වැඩි දෙනකුගේ දරුවෝ වැඩි දෙනෙක් පාසල්වලට යවන්නේ අපොස සා පෙළ දක්වා පමණයි.

සාමාන්‍යපෙළින් පසුව ඕනෑම රටකට විශ්වවිද්‍යාලයකට, පාසලකට සල්ලි ගෙවා යන්න පුළුවන්. අවුරුදු විස්ස වන විට ඇති හැකි අයගේ දරුවන් උපාධිධාරීන් වෙනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

මේ හරහා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් රටේ මුදල් පිටරටට ඇදී යනවා. ලංකාව ඇතුළේ ඒ අයට සරිලන විශ්වවිද්‍යාල නැති නිසා මේ ආකාරයට පිටරටට ළමුන් යන්නේ.

3 බිල්ලන් මැවීමේ ස්වභාවය තමයි මේ. මේ බිල්ලන් මවන කොට තමන්ට හිතෙන ආකාරයට නීතිමය කටයුතු පිළිබඳවත් ඒ අය අදහස් දක්වනවා. විවිධාකාර මතවල එල්බ ගත්විට ඒ මත වෙනස් කිරීමට අකමැති පිරිසක් ලංකාවේ ඉන්නවා.

මේ සිදුවීමේදිත් මේ බිල්ලන් මවන්නේ එහෙම පිරිසක්‍. එක් කරුණක් පිළිබඳව ඒ අයගේ මතයකම එල්බගෙන හිටියාම කවුරු පැහැදිලි කිරීම් කළත් ඒ අය ඉන්නේ ඒ අයගේ මතයේම තමයි.

4 අදාළ සියලු පාර්ශ්වයන්ගේ විශ්වවිද්‍යාල මට්ටමින් ඉන්න වියත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ සහ අනෙක් අයගේ පුළුල් මතවාදයන් දිගහැරෙන්න ඉඩ හරින්නයි.

5 රජය කාගේ වුවත් පවත්වාගෙන යන විශ්වවිද්‍යාලය වඩා හොඳින් කිරීමට බාධා පවති නම් විවිධ පනත් එක් එක් ආකාරයට පවතිනවා නම්, එක් පනතකට ගෙන ඒමට ඕනෑම ආණ්ඩුවක් යටතේ උත්සාහ කිරීම වරදක් නොවෙයි. එය කළ යුත්තක්. එක් පනතකට සංශෝධන රැසක් තිබෙන විට එය එක් පනතකට වෙනස් කිරීමට උත්සාහ කිරීම රාජ්‍ය ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ එක් කොටසක්. අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන සියයට හයට වඩා වැඩි කළොත් මේ ප්‍රශ්නය විසඳිය හැකියි කියලා ඇතැම් පිරිස් කියනවා. මේ කියන අයට මම අභියෝග කරනවා සියයට හයක් සොයාගන්න ආකාරය පිළිබඳව පුළුවන් නම් කියන්න කියලා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් නොවෙයි දහයක් හෝ වැයකරන්න පුළුවන් නම් අපිත් කැමැතියි. නමුත් කොහෙද සල්ලි තියෙන්නේ. ආණ්ඩුවක භාණ්ඩාගාරයේ තියන සල්ලි ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ නොවෙයි. රටේ පොදු ජනතාවගේ. ඒ බදු මුදලින් උපයා ගන්නා මුදල් එහි තියෙන්නේ.

2020දී 1216ක් බිලියන රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවන්න, බිලියන 1051 වැයවෙනවා; ඉතිරි වෙන්නේ මුළු රටේම බදු පනවා ගත් ආදායමේන් බිලියන 165යි. කොහොමද අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරන්නේ කියලා දිලා ඒ මුදල් හොයන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් නම් හොඳයි මේ තර්ක ගේන අය. සියලු දෙනාම උසස් අධ්‍යපනය ලබනවාට අපි කැමැතියි.

 

1 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මඟින් අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය කිරීමට ඇති බලය හමුදාව නිලධාරීන්ට මේ පනතින් පිහිටුවන ව්‍යුහයකට ලබාදෙනවා. මූලික වශයෙන් මේ පනතට විරුද්ධ වන කරුණු දෙකක් තියනවා. පළමු කරුණ අධ්‍යාපන පෞද්ගලිකකරණය. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට වසර ගණනාවක් පුරා උත්සාහ කිරීම මේ මඟින් ඉටු කර ගැනීමට උත්සාහ කිරීමක් මේ පනත. එමෙන්ම මිලිටරි යාන්ත්‍රණයකට යටත් කිරීමට ආණ්ඩුව ගනු ලබන උත්සාහයක් මෙය. මේ දෙකම නිදහස් අධ්‍යාපනයට සහ පොදුවේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවයටත් විශාල හානියක් කරනවා. මේ ආණ්ඩුව පමණක් නොවෙයි, මීට පෙර ආණ්ඩුවත් මෙවැනි උත්සාහයක යෙදුණා. ආණ්ඩුව ඒ හැමවෙලාවකම උත්සාහ කළේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටයි. මක්නිසාද යත් 1978 දී පනත අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට යම් කිසි බාධාවන් තියනවා. ඒ තත්ත්වය අතික්‍රමණය කරන්න බොහෝ ආණ්ඩු උත්සාහ ගනු ලැබුවා. ඒ සියලු අවස්ථාවල ශිෂ්‍ය ව්‍යාපාර විසින් විශාල අරගලයක් දියත් කළා. ඒ නිසාම මෙවර සියලු ආයතනය විවෘත කළද විශ්වවිද්‍යාල තවමත් වසාගෙන සිටින ආකාරයක් අපිට පේනවා. මේ උත්සහය එක්සත් ජාතික පාලනය මේ පනත ගෙනාවේ ඒ පනතම අකුරක්වත් වෙනස් කරන්නේ නැතිව නැවත ගෙන ඒමට උත්සහ කරන්නේ. මෙය විශාල ලෙස නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමක් ලෙසයි අපි දකින්නේ. මෙය විනාශකාරී පනතක් ලෙසයි අපි දකින්නේ.

2. අපි දැක්කා භික්ෂුන් වහන්සේ කැඳවන ලද සාකච්ජාවකදී ආණ්ඩුව හදිසියේ අදහසක් ඉදිරිපත් කරනවා, මේ සඳහා ජනතා විරෝධයක් තියෙනවා, නමුත් විශ්වවිද්‍යාල පනතට මෙය අඩංගු වෙන්නේ නැහැ කියලා . සමාන්තර ව්‍යුහයන් දෙකක් යටතේ වන බව කියනවා. මේ අය සුදානම් වෙනවා මේ පනත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යටත් වන ලෙසට මේ ව්‍යුහය සකස් කිරීමට. මෙය සම්පූර්ණයෙන්ම මේ අරගලයේ නොසලකා හැරීමක් සහ මේ පනත සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමක්. පැහැදිලිව ම මෙය කරන්න හදන්නේ කොතලාවල පනත ගෙනැවිත් මේ ව්‍යුහය සාදා ගැනීමට මුලින් උත්සාහ කළා. එයට ඇති බාධාව 1978 විශ්වවිද්‍යාල පනත.ඒ නිසා දැන් ඒ අවශ්‍යතාව වෙනුවෙන් එම පනත සංශෝධනය කිරීමට උත්සාහ කරනු ලබනවා. ඒ නිසා මෙහි කිසිදු වෙනසක් වෙලා නැහැ. දැන් මේ අය කරන්නේ එයට ගැළපෙන ලෙස විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීමයි. අපි හිතනවා ආණ්ඩුව දැන් මේ පනත තමයි ඉදිරියට ගෙන එනු ලබන්නේ. මෙය අධ්‍යාපනය පෞද්ගලීකකරණය සඳහා වන ප්‍රෙව්ශයක්.

3. මීට පෙර මේ පනත පසුගිය ආණ්ඩුව යටතේදීත් කිරීමට උත්සාහ කළා. තත්ත්ව පාලන සහ නියාමන කොමිසමක් ඇති කිරීමට අවශ්‍යයි කියලා ඒ වෙලාවේ එජාප ආණ්ඩුව මේ පනත සම්මත කර ගැනීමට උත්සාහ යෙදුවා. එකම කාරණය විවිධාකාර ස්වරූපයෙන් ගෙන ඒමට උත්සාහ කරන්නේ. ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය එකයි. පසුගිය රජය කාලයේ රට ඇතුළේ හමුදාව නිලධාරින්ට ගොඩනැගුණ බලය මෙතැන පාවිච්චි වෙනවා. මේ ආයතනය හදන ව්‍යුහයට කෙළින්ම ඒ අය සම්බන්ධ බවයි අපිට දැනගන්නට ලැබුණේ. මේ අනුව හමුදා නිලධාරින් හත් දෙනකු පමණ සම්බන්ධයි මෙයට. මේ අයයි ස්ථාපිත විශ්වවිද්‍යාලවල ඉදිරියට ලැබෙන උපාධිවල ප්‍රමිතිය තීරණය කරන්නේ. මේ අයට තියන සුදුසුකම් මොනවාද? එක් එක් පාර්ශ්වයන් එක් එක් විෂයන්ට සුදුසුකම් ලැබුවත් මෙවැනි විශ්වවිද්‍යාල ප්‍රමිතිය තීරණය කළ යුතු වන්නේ අදාළ විෂයන්ට ප්‍රවීණ ඇඳුරන්. වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මේවා පිහිටුවා තියෙන්නේ මෙවැනි කරුණු වලදි එහි ප්‍රමිතිය තීරණය කිරීමටයි. උපාධි පාඨමාලාවක් පැවැත්වීමට අදාළ විෂයන්ට එක් එක් ආයතන තියනවා. ඒ ආයතනවල යම්කිසි ප්‍රමිති සහතිකයක් ලබා ගත යුතුයි. තවමත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පීඨයේ ඉංජිනේරු පාඨමාලාවට ඉංජිනේරු සහතිකය ලැබිලා නැහැ. ඒ වගේ ආයතන පිළිගන්නේ නැති නම් මේ පාඨමාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලුවක් තියනවා. එවැනි ගුණාත්මක භාවයක් තියනවා කියන ආයතනවලයි හමුදාපතිවරුන් දාලා ඕන තරම් විශ්වවිද්‍යාල පටන් ගන්න හදන්නේ. මෙයින් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන ගුණාත්මක හානිය ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. අපේ විශ්වවිද්‍යාල සම්ප්‍රදාය තුළ ශිෂ්‍යයන්ට වන ගුණාත්මක භාවය මෙන්ම නිදහස, හික්මීම, නායකත්ව පෞරුෂය වර්ධනය, නිදහස් චින්තනය මූලික වෙනවා. මේ හමුදා විශ්වවිද්‍යාලවල නිදහස් චින්තනයක් ඇතිවෙන්නේ නැහැ. පොත් පාඩම් කරලා විභාග පාස් වුණාට එවැනි ගුණාත්මකභාවයක් නිදහස් චින්තනයන් බිහිවෙන්නේ නැහැ. සමාජ ක්‍රියාකාරීත්වය දේශපාලන ක්‍රියාකාරීත්ව වැනි විශ්වවිද්‍යාල තුළ උපසංස්කෘතින් තියනවා. බොහෝ විට ශිෂ්‍යයන්ගේ පෞරුෂයට බලපාන ඒ සංස්කෘතික පරිසරයක් එහි තියනවා. විශ්වවිද්‍යාලවල කියන්නේ එහෙම තැනක්. ඒ කිසිදෙයක් නැති මුඩුබිම් බවට පත් වෙනවා මේ විශ්වවිද්‍යාල. විශ්වවිද්‍යාල පාලනය කරන්න මොන රටකද හමුදාවට භාරදීලා තියෙන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා.

4. මෙවැනි පනතක් ගේනවා නම් විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් සමඟ සාකච්ඡා කළ යුතුයි. අදහස් හුවමාරු කළ යුතුයි. විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් තියනවා. ඒවා සමඟ සාකච්ඡා කළ යුතුයි. කොවිඩ්වලට මුවාවෙලා මෙය කරන්න උත්සාහ කරනවා. මේ පටන් ගැන්ම මෙහෙම නම් ඉදිරියට කොයි වගේ වෙයිද? මේ පනත ගේනකොටත් මෙහෙම නම් අධ්‍යාපනයේ පරිචයක් ලබපු මිනිසුන්ගේ අදහසක් ගන්න කැමැති නැතිනම් මේ දේවල් ස්ථාපිත කළොත් කොහොම වෙයිද? කිසිම ආයතනයකට මේ විශ්වවිද්‍යාල නියාමනය කරන්න හෝ පාලනය කරන්නවත් බැරි, අත යටින් ගනුදෙනු කරන ආයතනය බවට පත්වෙයි. අපි කියන්නේ තවත් ලංකාවේ උසස්පෙළ කියන විභාගය විශ්වවිද්‍යාල ‍ප්‍රෙවේශය කියන කරුණු සාපේක්ෂව වංචා දූෂණ නොවන කරුණු කියලා මිනිසුන් අතර විශ්වාසයක් තියනවා. මේ මඟින් කරන්න උත්සාහ කරන්නේ මිනිසුන්ගේ ඒ සම්බන්ධයෙන් තියන ගෞරවය සහ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති කිරීමටයි.

5. ඇත්ත වශයෙන්ම 2018 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවයි මේ පනත මුලින්ම ගෙනාවේ. සයිටම් අරගලයේ ක්‍රියාත්මක වෙමින් තිබුණා ඒ කාලයේ ඒ සයිටම් අරගලය දිගටම ගියා. අද ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙක් එදා මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වුවා. මේ පනත සම්මත වීමට අපි ඉඩදෙන්නෙ නැහැ. පසුගිය රජයේදී අපි සයිටම් අරගලයේදී මෙන්ම මෙයටද විරෝධය පෑවා. ඒ වගේම අපි මේ පනත හකුළා ගන්නකල් සටනේ ඉන්නවා කියලා. සම්මත වුවහොත් මෙය පළමු අරගලය වෙයි, සම්මත වූ පනතක් පරාජය කරන. ඒ තරම් ආණ්ඩුව මෙය ඇදගෙන යන්න උත්සාහ කරන බව අපිට පේනවා. මේ විදිහට ගියොත් ආණ්ඩුවේ දේශපාලන බලය ඉතාම ඉක්මනින් ග්‍රාමීය අහිංසක දෙමවුපියන්ගේ සිට ම බිඳ වැටෙන බව කිව යුතුයි.

 

1. මේ රජය බලයේ සිටි 2015 පෙර කාලයේ සයිටම් විශ්වවිද්‍යාලය ගේනවා. සයිටම් විශ්වවිද්‍යාලය යහපාලන ආණ්ඩුව කාලයේ අපි කරගෙන යනකොට එය පටන් ගත්ත අයම විපක්ෂයේ හිටපු නිසා සයිටම් විශ්වවිද්‍යාලයට විරෝධතාවය දැක්වූවා. එදා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරෝධතා දැක්වූ අයම මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමට පනතක් ගේන්නේ කොහොමද? ඒ අයගේ ප්‍රතිපත්තිය කුමක්ද? කියලා අපි දැනගන්න කැමැතියි. විපක්ෂයේ ඉන්නකොට විරෝධය පාලා ආණ්ඩු පක්ෂයේ ඉන්න කොට අවස්ථාවාදී ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල රාශියක් ගේන්න උත්සාහ කරනවා.

මේ කොතලාවල ආරක්ෂක පීඨයේ පරිපාලනයේ බොහෝ පිරිසක් හමුදාවේ ඉහළ නිලතල දරන අයයි. මේ අය‍ කොහොමද විශ්වවිද්‍යාලවල පරිපාලනය කරන්නේ? හමුදාවේ අයට තියෙන සුදුසුකම මොකක්ද? මම දන්න විදිහට හමුදාවට බඳවා ගන්නේ උසස්පෙළ, සාමාන්‍යපෙළ වැනි විභාග සමත් වූවන්. ඒ අයට තියන්නේ ඒ අයගේ වෘත්තීය සම්බන්ධයෙන් හොඳ නිපුණතාවක්.

නමුත් මේ විශ්වවිද්‍යාල නියාමනය කිරීමට ඇති සුදුසුකම් මොනවද? මේ සඳහා පත්කරන්න යන හමුදාවෙන් නිලධාරීන් හත් දෙනා හමුදාවේ නිලතල දැරුවත් විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු කරන්නේ කොහොමද? ඒ අය මේ විශ්වවිද්‍යාල විවෘත කරලා ඒ අයට අවශ්‍ය අය බඳවා ගන්නවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. හමුදාවට අවශ්‍ය පරිපාලකයන්, ඉංජිනේරුවරු, වෛද්‍යවරුන් බිහි කරගත්තාට අපිට ගැටලුවක් නැහැ. හමුදා සේවයෙන් වෛද්‍ය පීඨ, නීති පීඨ, ඉංජිනේරු පීඨ ඇති කිරීමක් මේ කරන්න හදන්නේ. ඒ සම්බන්ධයෙන් අදාළ උපාධි සම්පූර්ණ නොකළ, උසස් පෙළ සමතුන් මේ විශ්වවිද්‍යාල නියාමනය කරන්නේ කොහොමද?

2 . ආණ්ඩුව මොනවා කරන්න හදනවාද කියලා අපි දන්නේ නැහැ. මෙතැනදී වැදගත් වෙන්නේ ඒ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ආරක්ෂා කිරීමයි. ඇත්ත වශයෙන්ම මේ අය කරන්න හදන්නේ මොකක්ද කියලා අපි දන්නවා. අපි එදා එක්සත් ජාතික පක්ෂය ලෙස පක්ෂයේ දර්ශනය අනුව අපි විශ්වාස කළා පෞද්ගලික අංශයට යම් කාර්යය භාරයක් තියනවා කියලා උසස් අධ්‍යපනය උදෙසා. ඒ නිසා අපි උතුරු කොළඔ වෛද්‍ය පීඨය ඇති කරන්න හැදුවා. අපි අධ්‍යපනය නියාමනය විය යුතු ආකාරය හොඳින් දැන සිටි පක්ෂයක්. විපක්ෂය එදා එය වැළැක්වුවා. සයිටම් විශ්වවිද්‍යාලයට එදා ඒ අයම විරුද්ධ වුණා. කොතලාවල විශ්වවිද්‍යාල පනත අනුව ලංකාවේ ඕනෑම තැනක විශ්වවිද්‍යාල ඇති කරන්න මේ අයට පුළුවන්.

රජයේ විශ්වවිද්‍යාල නියාමනය කිරීමට දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටයි බලය තියෙන්නේ. කොතලාවල හරහා විශ්වවිද්‍යාල පද්ධතියක් සකස් කරන්න ඒ අය හදන්නේ. විශ්වවිද්‍යාල නිසි නියාමනයක් මෙයින් වෙන්නේ නැහැ. සුදුසුකම් තිබෙන අය පත් වෙන්නේ නැහැ. මුදල් බලයට, පවුල් බලයට ළමුන් ඇතුළත් කිරීමටයි මේ උත්සාහය. කොතලාවලත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගෙනල්ලා යූ.ජී.සී එකේ නියාමනය වනවා නම් බොහෝ දුරට ප්‍රශ්න අඩුවෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිසි නියාමනය වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.

3. අපි පුදුමයට පත්වෙනවා, මේ අය නිසි නියාමනයක් කරන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගෙන ආවොත්. ඒ අය විශ්වවිද්‍යාල පනත වෙනස් කරමින් කොතලාවල පනත වෙනස් නොකර තබා ගැනීමකටයි මේ උත්සාහ කරන්නේ කියලා අපි දන්නවා. මම නම් කිසි සේත් විශ්වාස කරන්නේ නැහැ, මේ කරන්නේ නිසි නියාමනයක් යටතේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමක් කියලා. මේ අය කරන්නේ කුමක්ද ? විශ්වවිද්‍යාල පනත වෙනස් කරනවා මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඒ අයුරින් සම්මත කරන්න. ඔවුන් නිකුත් කරන නිවේදන දැක්කාම එහෙම අදහසක් තමයි තියෙන්නේ.

4. කොතලාවල පනතට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් විරුද්ධයි. අනික් කාරණාව නම් විශ්වවිද්‍යාල පනත වෙනස් කරනවා කියන්නේ ලොකු කාර්යය භාරයක්. පැය විසි හතරින් කරන්න බැහැ. විශ්වවිද්‍යාලවල ආචාර්යය මහචාර්යවරුන් සමඟ මේ සම්බන්ධයේන් කථිකාවක් ඇති කළ යුතුයි. මේ අය බිහි කරන උපාධිධාරීන් ඒ හමුදාව යටතේ සේවාවන්ට යෙදවීමේ කිසිදු ප්‍රශ්නයක් අපිට නැහැ. ඒ අයගේ තැන්වලට අනුයුක්ත කළාට අපිට ප්‍රශ්නයක් නැහැ හමුදා අවශ්‍යතාවන්ගෙන් පිට වෛද්‍ය ඉංජිනේරු, නීතිවේදින්, කළමනාකාරවරුන් හමුදාවේ අයට අයත් දෙයක් නොවෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයිති දෙයක්. මූලික උපාධියක්වත් නැති අයට පුළුවන්ද මෙවැනි පීඨ නියාමනය කරන්න.

5. අපි අපේ ආණ්ඩු කාලයේ අධ්‍යාපනයට ප්‍රතිපාදන වැඩි කිරීමට කටයුතු කළා. මම උසස් අධ්‍යාපන ඇමැතිවරයාව සිටින කාලයේ සභානායකවරයා ලෙස සියලු පනත් ඉදිරිපත් කළේ මම. මේ වගේ පනතක් ආරක්ෂක අංශවලින් සකස් කරලා එව්වා. නමුත් අපි කියෙව්වාම අපි දැනගත්තාම කළ නොහැකියි කියලා. එදා අපි එය ඉදිරිපත් කළේ නැහැ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තමයි රජයේ විශ්වවිද්‍යාල පාලනය කරන්නේ. මේ ඇතිවෙලා තියන තත්ත්වයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද වගකිව යුතුයි. සයිටම් ආරම්භ කිරීමේදී පවා ඒ අය විරෝධතා ඇති කළේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමයි පළමුවැනිව මේ සඳහා විරෝධාතාවයන් ඉදිරිපත් කළ යුතු වන්නේ.

 

Comments