කුලි­යා­පි­ටිය රෝහලේ ‘මහා­චාර්ය ඒක­ක­යට’ අත නොත­බනු | සිළුමිණ

කුලි­යා­පි­ටිය රෝහලේ ‘මහා­චාර්ය ඒක­ක­යට’ අත නොත­බනු

වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම සඳහා මූලික සාකච්ඡාවක් 2014 ජූලි 27 දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වීමට නියමිතව ඇති බව එවකට වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටි දයාසිරි ජයසේකරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ධම්මිකා එදිරිසූරිය විසින් දැනුම්දී තිබේ. ඒ අනුව වෛද්‍ය පීඨය කුරුණෑගල ඉදිකිරීම සඳහා ගන්නා ලද තීරණය පිළිබඳව 2015 අප්‍රේල් මස තිස් වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ.

වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම සදහා කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ ඉඩමක් ද මේ සඳහා වෙන් කෙරිණි . 2015 වසරේ දී වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨය කුලියාපිටියේ දී ආරම්භ කරන ලදී. ඒ සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකකය සඳහා කුලියාපිටිය රෝහල යෝජනා කරමින් ඊට අවශ්‍ය පහසුකම් කුලියාපිටිය මුලික රෝහලේ ඇති කිරීම සඳහා කුලියාපිටිය මුලික රෝහල ශික්ෂණ රෝහලක් බවට 2019 ජනවාරි පළවෙනි දින ගැසට් කරන ලදී. කුලියාපිටිය රෝහලට ආසන්නයේම මහාචාර්ය ඒකකය සඳහා ද මුල්ගල් තබන ලද්දේ 2019 අගෝස්තු මස තිස් එක් වැනිදා ය. ඒ මීට හරියටම වසර දෙකකට ඉහතදීය. ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල වූයේ රුපියල් බිලියන 8 කි. ඊට අමතරව කුලියාපිටිය රෝහලේ මූලික පහසුකම් සකස් කිරීම සඳහා රුපියල් බිලියන 7 ක මුදලක් ද වෙන් කරනු ලැබීය. එලෙස ස්ථාපනය වූ වෛද්‍ය පීඨය සහ මහාචාර්ය ඒකකය නැවත කුරුණෑගලට රැගෙන යාමට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ කුරුණෑගල දේශපාලනඥයන් කටයුතු කරමින් සිටින්නේ වෛද්‍ය පීඨයක් සඳහා ඇති තාක්ෂණික කරුණු පෙන්වා දෙමිනි. ප්‍රායෝගිකව වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් කුලියාපිටිය රෝහලේ නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

මේ තත්ත්වය ගැටලුකාරී තත්ත්වයක් බවට පත්වූයේ ඉකුත් ජූලි 18 වැනිදා කුලියාපිටියේ පැවති දැවැන්ත උද්ඝෝෂණයක් හේතුවෙනි. මෙම උද්ඝෝෂණය ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍ය නලින් බණ්ඩාර, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න සහ පක්ෂ භේදයකින් තොරව කුලියාපිටිය ජනතාව මෙම විරෝධතාවයට එක් වූහ.

රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් තට්ටු 9ක සහ තට්ටු 15ක ගොඩනැගිලි ඉදිකොට අදාළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීමට නියමිතව තිබියදී මහාචාර්ය ඒකකය ඇතුළු වෛද්‍ය පීඨය කුරුණෑගලට රැගෙන යාමට කටයුතු කිරීම අසාධාරණ බව විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.

දේශපාලන පදනමකින් තොරව දුෂ්කර ප්‍රදේශ වලට ලැබෙන මේ සම්පත් පැහැර ගැනීම වහා නතර කළ යුතු යැයි උද්ඝෝෂකයන් ගේ අදහස විය.

මේ පිළිබඳව අදාළ වගකිවයුතු සහ තීන්දු තීරණ ගත් ප්‍රබලයන් සමඟ සිළුමිණ කතා බහ කළෙමු.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරකවරයා වශයෙන් කටයුතු කරන වෛද්‍ය ඉන්දික රත්නායක කියා සිටියේ, ජුලි විසි වෙනිදා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛව දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු සහ සෞඛ්‍ය ඇමතිතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යාංශ තීරණ වලට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමිය එකඟතාව පළ කළ බවය. ඒ කෙසේ වෙතත් මූලිකව මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙන යාමට කටයුතු කරන බවත්, ඊට පසුව නිරායාසයෙන්ම වෛද්‍ය පීඨය කුරුණෑගලට රැගෙන යා හැකි බව ඔහුගේ අදහස විය. ඒ පිළිබඳව මෙන්ම මේ අදහස් ද විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මහාචාර්ය ඒකකය කුලියාපිටියට ඕනෑ යැයි කියන දේශපාලකයන් මහාචාර්ය ඒකකය යනු කුමක්දැයි දන්නේ නැතිව එය කුලියාපිටියට ඉල්ලීම පිළිබඳවත්, ඒ නොදැනුවත් බව පිළිබඳවත් කනගාටුව ප්‍රකාශ කරන බවත්, එය වඩාත් සුදුසු කුරුණෑගලට බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වයඹ පළාත් ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක එහිදී පැවසීය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක් වී

ඊට හේතු වශයෙන් ඔහු සඳහන් කළේ, කුරුණෑගල සහ කුලියාපිටිය රෝහල් දෙක සංසන්දනය කිරීමේදී කුරුණෑගල රෝහලේ දිස්ත්‍රික්ක 5ක රෝගීන් ලක්ෂ 12ක් පමණ වාර්ෂිකව සේවාවක් ලබා ගන්නා ආයතනයක් බැවින්, කොළඹ මහ රෝහලේ තිබෙන සියලුම ප්‍රතිකාර ඒකක වල අනූ ඒකක සියල්ල කුරුණෑගල මහරෝහලේ පැවතීමත්, අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් සියල්ල කුරුණෑගල රෝහලේ ලබාගැනීමට හැකියාවක් ඇති බවත්ය.

එහෙත් කුලියාපිටිය ශික්ෂණ රෝහල කැබිනට් පත්‍රිකාවකට පමණක් සීමා වූ ශික්ෂණ රෝහල බවත් එහි ශික්ෂණ රෝහලක පැවතිය යුතු පහසුකම් නැති අතර එහි වාර්ෂික රෝගීන් සංඛ්‍යාව හැට දෙදහක් පමණ වන බවත්; රෝහලක් වශයෙන් කුලියාපිටිය රෝහල සංවර්ධනය කළ යුතු වුවත්, ඒ සඳහා මහාචාර්ය ඒකකයක් අවශ්‍ය නැති බව වෛද්‍ය ඉන්දික මෙහිදී පැහැදිලි කළේය.

ලංකාවේ විශාලතම රෝහල් අතරින් තුන්වැනි ස්ථානයේ පසුවන කුරුණෑගල රෝහල තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කරනවා විනා, එහි තේරුම නොදැන කුලියාපිටියට රැගෙන යාම අර්ථවත් කාර්යයක් නොවන බව මෙහිදී සඳහන් කළේය. නමුත් කුලියාපිටියේ ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම සඳහා අකිල විරාජ් කාරියවසම්ට පමණක් නොව සියලුම කුලියාපිටිය නියෝජනය කරන දේශපාලන අධිකාරියට සහයෝගය ලබාදෙන බව ද වෛද්‍ය ඉන්දික රත්නායක සඳහන් කළේය.

පසුගිය දිනක අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමක් අතරතුර කුලියාපිටිය ශික්ෂණ රෝහලට මහාචාර්ය ඒකකය රැගෙන යාම පිළිබඳව සාකච්ඡාවක් වූ බවත් එම අවස්ථාවේ නීතිඥ දයාසිරි ජයසේකර, සමන්ප්‍රිය හෙරත්, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය චරිත හේරත්, ඩී බී හේරත් වැනි දේශපාලනඥයින් සමඟ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍යාංශ ලේකම් ඇතුළු රජයේ නිලධාරීන් සහභාගී වූ අවස්ථාවේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඇතුළු දේශපාලඥයන් කියා සිටියේ මෙය කුරුණෑගලට රැගෙන ඒම සුදුසු බවයි.

කුලියාපිටිය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු ගිය නවක මන්ත්‍රීවරයකු වන සමන්ප්‍රිය හේරත් කියා සිටින්නේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සහ සම්බන්ධීකාරකවරයකු ලෙස කටයුතු කරන වෛද්‍ය ඉන්දික රත්නායක යන අය පුද්ගලික කරුණක් පදනම් කරගෙන මෙවැනි ගැටලුවක් ඉස්මතු කරන බවය. ඔවුන් සායනික පුහුණු ගැටලු හා තාක්ෂණික ගැටලු පිළිබඳව ඉදිරිපත් කරනවා. ඒක සත්‍ය වෙන්න පුළුවන්.

කුලියාපිටිය නගරයේ ජූලි 16 පැවති දැවැන්ත උද්ඝෝෂණයට එක් වූ පිරිසෙන් කොටසක්

නමුත් අපි වැඩ කරන්නෙ ජනතාවට. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මේ කරන්නේ මහජනතාවගේ අයිතිය උදුරා ගැනීමක්. අපිට දේශපාලනික වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රදේශයේ ජනතාවගේ නියෝජිතයන් හැටියට අපි ඔවුන්ට වගකිව යුතුයි. ඒ කොහොම වුණත් මේ වෛද්‍යපීඨය කුරුණෑගලට ගෙන යන එකට අපි තදින්ම විරුද්ධයි. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉන්දික රත්නායක කියනව නම් සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණ වලට අපි එකඟ වුණා කියලා ඒක බොරුවක්.

2015 වසරේදී වෛද්‍ය පීඨය සහ මහාචාර්ය ඒකකය කුලියාපිටියෙ ස්ථාපිත කිරීමට කටයුතු කළ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ පිළිබඳ කළ විමසීමේදී මෙසේ පවසයි.

‘දැනට වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 4000 ට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබනවා. වෛද්‍ය සිසුන් කණ්ඩායම් හතරක් ඉගෙන ගන්නවා. ඔවුන්ට අවශ්‍ය සායනික පුහුණුව සඳහා ශික්ෂණ රෝහලක් අවශ්‍යයි. ඒ සඳහා තමයි කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට ගැසට් කළේ. අපිට ලබාගන්න පුළුවන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය තමයි ප්‍රබලම අනුමැතිය. ඒක අපි ලබා ගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අනුමැතිය ලැබුණා. ඉතින් තවත් වෙන මොනවද?

කුලියාපිටිය රෝහලේ දැනට පවතින යම් අඩුපාඩු සකස් කළ යුතුයි. එහෙම නැතුව මේ රෝහලට රෝගීන් නෑ කියන කතාව විහිළුවක්. පහසුකම් නැත්නම් රෝගීන් එන්නෙ නෑ තමයි. වයඹ පළාතේ මධ්‍යස්ථ නගරය කුලියාපිටිය. දැනට කුරුණෑගල රෝහලේ තදබදය වැඩියි. මේ නිසා කුලියාපිටිය රෝහල විතරක් නෙවෙයි, තවත් රෝහල් පහක්වත් සංවර්ධනය විය යුතුයි. එහෙම වුණොත් ජනතාවට ඉතාම පහසුයි; ඒ ඒ ප්‍රදේශයේ ඉඳලා ඒ සේවය ලබාගන්න. දේශපාලකයන් විදිහට අපි කළ යුත්තේ සම්පත් එකතැනකට ගොඩගැසීම නෙවෙයි; දුෂ්කර ප්‍රදේශ වලටත් පහසුකම් සැපයීමයි. එහෙම නැතුව මහාචාර්ය ඒකකය පිළිබඳව දේශපාලකයන් දැනුවත් නෑ කිය කිය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කිව්වට, අපිත් විශ්වවිද්‍යාලවලින් උපාධි එකක් නෙමෙයි කීපයක් ලබපු අය. අපි මේ ගත්තු තීරණය දිගුකාලීන තීන්දුවක්. මේකෙ ප්‍රතිලාභ තියෙන්නෙ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට"

2014 වසරේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ මෙවැන්නකි.

"වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහා මූලිකවම සාකච්ඡා කළේ වයඹ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් මං කටයුතු කළ 2014 කාලයේදී. ඒ යෝජනාවට එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි එස්. .බී දිසානායක එකඟතාව පළ කළා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරලා ඊට පළාත් සභාව සතු අක්කර 42 කින් යුක්ත ඉඩමකින් අක්කර දාහතරක කොටසක් වෙන්කර දෙන්න පළාත් සභාව එකඟ වුණා. එහෙම තිබියදී 2015දී ජනාධිපතිවරණයෙන් පස්සේ මම ඒ රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ව සිටියදී අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා කුලියාපිටිය ට වෛද්‍යපීඨය රැගෙන යෑමේ යෝජනාව ඉදිරිපත් කරද්දි මං ඊට විරෝධය පළ කළා. නමුත් ඔවුන් ඔවුන්ගේ තීරණයෙන් ඉඳලා විශාල මුදලක් වැය කරලා වෛද්‍ය පීඨය ඉදි කළා. වෛද්‍ය පීඨයක් තිබියදී වෛද්‍ය සිසුන්ගේ සායනික අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සහිත ශික්ෂණ රෝහලක් තිබිය යුතුයි. ඒ සඳහා කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහල බවට පත් කිරීමේ කටයුතු සිදු කළා . කුරුණෑගල රෝහලට පසුව මධ්‍යම රජයට පවරා ගත්ත දෙවැනි රෝහල වෙන්නේ කුලියාපිටිය රෝහල. රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වැයකරලා අදාළ සැලසුම් සහ පස් පරීක්ෂණ කටයුතු සිද්ධ කළා. එහෙම කරලා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ පහසුකම් සම්පූර්ණ කරන්න රුපියල් බිලියන හතක 7 ක මුදලක් විදෙස් රටවල ආධාර අනුමත කරගෙනයි තිබුණේ.

දැනට කුලියාපිටිය රෝහලට එන රෝගීන්ගේ ප්‍රමාණය අඩුයි කිව්වට, කුලියාපිටියට රෝගීන් එනවා. වසරකට රෝගීන් තුන්දාහක් පමණ අවට රෝහල්වලට හරවා යවනවා. කුලියාපිටිය රෝහලේ පහසුකම් වැඩි වුණා නම් එහෙම වෙන්නේ නෑ.

නමුත් මේ වෙන විටත් සියලුම ප්‍රතිකාර අංශවල ඒකක දෙක බැගින් තිබෙනවා. එහි පහසුකම් වෛද්‍ය පීඨයේ එක, දෙක, තුන, වසර වල සිසු සඳහා ප්‍රමාණවත්. 4 වන අවුරුද්දෙ වෛද්‍ය සිසුන්ට කුරුණෑගල රෝහලෙන් සායනික පුහුණුව ලබන්න පුළුවන්. 2019 මහාචාර්ය ඒකකය සඳහා මුල්ගල් තැබූවා. 2021 අවසන් වෙද්දී එහි වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන් . එහෙම වුණාම 2022 දී 4 වන වසරේ සිසුන්ට කුලියාපිටිය මහාචාර්ය ඒකකයේ ම සායනික පුහුණුව ලබන්න පුළුවන්. ලංකාවෙ තියෙන වෛද්‍යපීඨය හැම එකකම ආරම්භ කළේ, මහාචාර්ය එකක තිබිලා නෙවෙයි. මේ සම්බන්ධව විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ඇමැතිවරිය ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා.

කොහොම වුණත් මේ සම්බන්ධව පසුගිය විසි වෙනිදා හවස අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් කාමර අංක එකේ රැස්වීම පැවැත්වුණා.

ඒකට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරු එකොළොස් දෙනා සමඟ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු කීප දෙනෙක් සම්බන්ධ වුණා . මෙහිදීද එක්කෙනෙක් දෙන්නෙක් හැර අනිකුත් සියලුම මන්ත්‍රීවරු මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙන යාමට සම්බන්ධව ගෙන ඇති තීරණයට විරුද්ධව කතා කළා.

ඇත්තටම මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කුලියාපිටිය රෝහලේ පහසුකම් ස්ථාපිත කළ යුතු බව ප්‍රකාශ කළා. 2015- 2016 දී මේ තීරණ ගන්න කොට වෛද්‍ය ඉන්දික රත්නායක ලා කොහෙද හිටියේ කියලා අපි දන්නේ නෑ.

ඔහු කියන්නේ සම්පූර්ණ බොරු. අපි මන්ත්‍රීවරු එක්කෙනෙක්, දෙන්නෙක් හැර අනිකුත් අය සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත තීරණය වලට එකඟ වුණේ නෑ . විශේෂයෙන්ම මෙහිදී මහාචාර්ය චරිත හේරත් , කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, සමන්ප්‍රිය හෙරත් ,මංජුල දිසානායක, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර, මේ අය සියල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකමතිකව තීන්දු කරගෙන තියෙන තීරණයට එකඟ වුණේ නෑ . එකඟ නොවුණු අය පිළිබඳව මම සඳහන් කරන්න ඕනෑ .

එහෙම තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ තීරණය වෙනස් කරනවා නම් අපි අහනව සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්නේ විටින් විට මාරු වෙන රජයන් ගන්න තීරණ අනුව ද කියලා. අපි වෛද්‍ය පීඨය විතරක් නෙවෙයි මහාචාර්ය පීඨයත් කුලියාපිටියෙ කොහොමහරි ස්ථාපිත කරනවා. මොකද මේක කුලියාපිටිය ජනතාවට කරන නින්දාවක්. මේ සම්බන්ධව අපි අගමැතිතුමාටත්, ජනාධිපතිතුමාටත් නැවත දැනුම් දීලා කටයුතු කරන්න සුදානම්. හෙතෙම අවසාන වශයෙන් කියා සිටියේය.

 කුමාරි දිසානායක, ඉබ්බාගමුව

Comments