ඉන්දු - ලංකා ගිවි­සු­මට වසර 34යි | සිළුමිණ

ඉන්දු - ලංකා ගිවි­සු­මට වසර 34යි

ඉන්දු ලංකා ගිවිසුමට ඉන්දිය අගමැති සහ  ශ්‍රී ලංකා ජනාධිපති 1987 ජුලි 29 අත්සන් තැබූ මොහොත.  අමාත්‍යවරුන්වන හමීඩ්, ගාමිණී දිසානායක,  දේවනායගම්, හුරුල්ලේ, ජනාධිපති ලේකම්  මැණික්දිවෙල, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිංද මෙහි වේ.

 

ඉන්දියාව විසින් 1987 වසරේ ජූනි 04වැනිදා පස්වරු 3.15ට ගුවනින් ශ්‍රී ලංකාවට පරිප්පු ඇතුළු සහනාධාර බලහත්කාරයෙන් දැමීම හේතුවෙන් ජනාධිපති ජයවර්ධන බියපත්ව සිටියේය. එයට හේතු වූයේ ඒ වනවිට රට තුළ ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළින් ප්‍රබල විරෝධයක් මතුවී තිබීමයි. එමනිසා ජනතා පදනම දෙදරා තිබිණි. රටපුරාම ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව විරෝධතා මතුවෙමින් තිබිණි. අගමැති ප්‍රේමදාස ඇතුළු ඇමති මණ්ඩලයේ බහුතරයකට නොදන්වා ඉන්දු ලංකා ගිවිසුමට ජේ. ආර්. කැමැත්ත දී තිබිණි.

 

ජවිපෙ මතු කළ ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභාවලට එරෙහි විරෝධයෙන් කියා සිටියේ එමගින් භූමියෙන් සියයට 30ක් සහ වෙරළින් සියයට 60ක් දෙමළ බෙදුම්වාදීන්ට අයත්වන බවය. රට දෙකඩ වී ජාතික සමඟිය බිඳ වැටෙන හෙයින් මේ අපරාධවලට ඉඩ නොදෙන ලෙසද එයට එරෙහිව නැඟී සිටින ලෙසද ජවිපෙ ජනතාව ගෙන් ඉල්ලා සිටියේය. ඉන්දු ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා වූ කලී දම්වැලක පුරුක් මෙන් එකිනෙකට බැදී පවතින කාරණා තුනකි. පළාත් සභා ඇතිකළ 13 ව්‍යවස්ථාව සංශෝධන උපන්නේ ඉන්දු ලංකා ගිවිසුම තිඹිරිගෙය කරමිනි. ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ජූලි 28වැනිදා කොටුව බෝගහ යටින් ආරම්භ වූ කැරැල්ල 29වැනිදා වන විට රටපුරාම පැතිරයමින් තිබිණි. ඇදිරිනීතිය පනවා විරෝධතා ව්‍යාපාර මර්දනයට සියලු ක්‍රමවේදයන් ක්‍රියාවට නැගිණි.

ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාවේ රජිව් ගාන්ධිට දාව ජයවර්ධන ආණ්ඩුව යටතේ උපන්නද එයට පීතෘත්වය, මාතෘත්වය දුන් පිරිස වූයේ තිරය පිටුපසය. ඇමතිවරුන් වූ ගාමිණී දිසානායක, රොනී ද මෙල් ජනාධිපති ජයවර්ධන වෙනුවෙන් ඉදිරියෙන්ම පෙනි සිට එයට සහයෝගය දැක්වූහ. අගමැති ආර්. ප්‍රේමදාස සහ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි අමාත්‍ය ගාමණී ජයසූරිය වැන්නවුන් යෝජිත ගිවිසුම පිළිබඳව තම අප්‍රසාදය පළකරමින් එය අත්සන් කිරීම සඳහා අගමැති රජිව් ගාන්ධිගේ පැමිණිමේ උත්සව වර්ජනය කරන ලදී.

ඉන්දීය රජයේ උපදෙස් අනුව 1987 ජූලි 21වැනිදා යාපනයට ගිය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එච්.එස්. ජූරි කොටි නායක ප්‍රභාකරන් ඇතුළු දෙමළ සටන්කාමී සංවිධාන වල නායකයින් හමුවී ගිවිසුමට එක්කල යුතු කරුණු ගැන සාකච්ඡා කළෝය. මහකොමසාරිස් ඩික්සිට් මදුරාසියට ගොස් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින් සමඟද සාකච්ඡා කරන ලදී.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට යන බව ප්‍රකාශවීමත් සමඟද පාර්ලිමේන්තුවේද උණුසුම් තත්ත්වයක් ඇති විය. පාර්ලිමේන්තුව 1987 ජූලි 24වැනිදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව උණුසුම් වාද විවාද ඇති විය. එජාප ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මීළඟ රැස්වීම අගොස්තු 18 දක්වා කල් තැබීය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 74ක්ද විපක්ෂව ඡන්ද 09ක්ද ලැබිණි. පානදුරේදී 1987 ජූලි 25වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂකයින් අමතමින් ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කවුරු විරුද්ධ වූවද තමා ගිවිසුම අත්සන් කරන බවය. එය ගිවිසුම පිළිබද ආණ්ඩුව ප්‍රසිද්ධියේ කී ප්‍රථම වතාවය.

ඉන්දීය අග­මැ­ති­ව­රයා 1987 ජූලි 30වැනිදා උදෑ­සන 10.15ට පමණ හමුදා පෙළ­පා­ළිය පිරි­ක්සීම සඳහා පෙළෙන් පෙළට ගමන් කර­මින් සිටිය දී  නාවික සෙබළ විජිත රෝහණ විජේ­මුණි රයි­ෆල් බඳෙන් ඉන්දීය අග­මැ­ති­ව­ර­යාට පහ­ර­දුන් අව­ස්ථාව. 

යෝජිත ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ උපදෙස් මත කොටි නායක ප්‍රභාකරන්, ඔහුගේ බිරිඳ සහ දරුවන්, න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම් සමඟ කොටි දේශපාලන මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු යාපනයේ සිට ගුවන් මගින් ඉන්දියාවට 1987 ජූලි 24වැනිදා රැගෙන යන ලදී. ජූලි 25 සහ 26 යන දිනයන්හි යෝජිත ගිවිසුම පිළිබදව ඉන්දියානු රජයේ නියෝජිතයන් සහ ප්‍රභාකරන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවතිණි. ඒ නවදිල්ලියේ අශෝක් හෝටලයේදීය. ඉන්දීය අගමැති රජීව් ගාන්ධිද ප්‍රභාකරන් සමඟද වෙනමම සාකච්ඡා කරන ලදී. අතුරු පාලනයේ වැඩි බලයක් කොටි සංවිධානයට ලබාදීමටද එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නව පරිපාලනයට අන්තර්ග්‍රහණය කරන තෙක් ඔවුන් නඩත්තු කිරීමට ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් මාසිකව ගෙවීමටද ඉන්දීය අගමැතිවරයා එහිදී එකඟ විය.

ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සිය බිරිඳ සෝනියා සමඟ ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තැබීමට පැමිණියේ 1987 ජූලි 29වැනිදා පෙරවරු 10.30ටය. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන මහත්වරුන්ද කේ.පී.එස් මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක්ද එම දූත පිරිස සමඟ පැමිණියහ.

විරෝධතාකරුවන් නිසා මුළු බස්නාහිරම කැලඹී තිබිණි. රටපුරා කෝලාහල පැතිර ගොස් තිබිණි. දුම් කැරළි අහසට නැගෙනු පෙනෙන්නට තිබිණි. කටුනායක ගුවන් තොටුපොළින් බැස ඔවුහු ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් කොටුව ගාලුමුවදොරට පැමිණියහ. වෙඩි නොවදින රථයක් සහ ඉන්දිය ආරක්ෂක නිලධාරින් රැසක් තවත් ගුවන්යානා දෙකක් ඒ සමඟ පැමිණියහ. ඉන්දීය අගමැතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරයේ පරිවාරක අමාත්‍යවරයා වූයේ මුදල් ඇමති රොනී ද මෙල්ය.

ජනාධිපති ජයවර්ධන හමුවූ ඔහු පෙරවරු 11.30ට නිල නොවන සාකච්ඡා ඇරඹීය. 1987 ජූලි 29වැනිදා තුන් වතාවක් රජීව් සහ ජනාධිපති ජයවර්ධන ජනාධිපති මන්දිරයේ සාකච්ඡා පැවැත්වීය. සිව්වැනි එමෙන්ම අවසාන හමුව පැවැත්වූවේ ජූලි 30වැනිදා උදෑසනය. අමාත්‍යවරුන් වන ගාමිණී දිසානායක, රොනී ද මෙල්, නරසිංහ රාවෝ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල, ඉන්දිය විදේශ ලේකම් එස්. මෙනන්, රොනන් සෙන්, ඩික්සිට් එම සාකච්ඡාවලට ඔවුන් සමඟ සහභාගී වූහ.

අවසාන සාකච්ඡාවේ දී ජනාධිපති ජයවර්ධන ඉන්දිය අගමැති රජිව් ගාන්ධිගෙන් ඉල්ලා සිටියේ වහාම ඉල්ලීම් දෙකක් ඉටුකර දෙන ලෙසය. එනම් උතුරු නැඟෙනහිර සිටින ආරක්ෂක හමුදා කොළඹට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය ගුවන් යානා සපයා දිය යුතු බවය. එමෙන්ම ශ්‍රී ලංකා හමුදාවන්ට දකුණේ සාමය පවත්වා ගැනීම සදහා ඉන්දීය හමුදා යාපනය ඇතුළු උතුරු නැඟෙනහිර කටයුතු කරගෙන යා යුතු බවය. රටේ පැවති කලබලකාරි තත්ත්වය නිසා රටපුරාම ඇඳිරිනීතිය පනවා තිබිණි. රටපුරා ලක්ෂයකට අධික ජනතාව විදි බැස ගිවිසුම් විරෝධී පෙළපාළි පැවැත්වූවේ ඇදිරිනීතිය කඩ කරමිනි. මහරගම වජිරාරාමය අසළ පොල්ගසකට නැග ගත් අයෙකු ටී 56 තුවක්කුවකින් තබන ලද වෙඩි තැබීමකින් හෙලිකොප්ටරයකට පවා අලාභහානි සිදුවිය.

ජනාධිපති මන්දිරයේ පැවති ඉන්දීය අගමැතිවරයා පිළිගැනිමේ උත්සවයට අගමැති ආර්. ප්‍රේමදාස ඇතුළු කැබිනටි මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහභාගී නොවූහ. එයට සහභාගිවන ලෙසට ඉන්දීය අගමැතිවරයා සිරිමා බණ්ඩාරනායකට කළ ආරාධනයද ඇය වර්ජනය කර තිබිණි. “තද” ලියුමක් මැතිනිය එවා තිබූ අතර එය විශේෂ නියෝජිතයෙකු විසින් පෙරවරු 11.30ට අගමැති රජීව්ට අතින් භාරදෙන ලදී.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජේම්ස් ස්පෙන් එක්වූ අතර ඔහු ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ගේ විශේෂ ලිපියක් එම ස්ථානයේදීම ඉන්දීය අගමැතිවරයා වෙත ලබා දුන්නේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසදීමට ඉන්දීය මගින් ගනු ලැබූ උත්සාහය ගැන ප්‍රසංශා කිරීමකි. ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය පසුව කියා සිටියේ අත්සන් කරන තෙක් රහසක්ව පවත්වාගෙන සිටි ගිවිසුමේ පිටපතක් එයට කලින් ජනාධිපති ජයවර්ධන විසින් ඇමරිකානු රජය වෙත භාරදී ඇති බවය.

නිල වශයෙන් දෙරටේ නායකයෝ ඉන්දු ලංකා ගිවිසුමට 1987 ජූලි 29වැනිදා පස්වරු 3.37ට අත්සන් තැබූහ. එජාප ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන ඒ.සී.එස්. හමීඩ්, ගාමිණී දිසානායක, තොන්ඩමන්, දේවනායගම්, හුරුල්ලේ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල මහත්වරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. ඉන්දීය රජයේ ප්‍රබල පෙලඹවීම මත ගිවිසුම ශ්‍රී ලංකා රජය මගින් අත්සන් කළද රටේ ජනතාව මුළුමනින්ද, ආණ්ඩුවේ ඇමතිවරුන් බහුතරයක්ද එහි අඩංගු වී ඇත්තේ මොනවාදැයි දැනුවත් වී නොතිබිණි. ගිවිසුම අත්සන් කිරිමෙන් පසු අගමැති රජීව් ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංයේදී දෙස් විදෙස් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විණි. දයා ලංකාපුර ඇතුළු මාධ්‍යවේදීන් සමඟින් ලේඛකයාද එයට එක්වී සිටියහ. අගමැති රජිව් ගාන්ධි නික්ම යෑමට පෙර 1987 ජූලි 30වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී ආචාර පෙළපාළියක් පවත්වන ලදී. එවිට උත්සවය ආරම්භ වූයේ උදෑසන 9.30ට පමණය. උත්සවය අවසන් වුයේ උදෑසන 10.15ටය. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියෙකු සමඟ පෙළින් පෙළට ගමන් කරමින් සිටියදී ලුතිනන් මැන්ඩිස්ගේ අණ පරිදි සම්මාන මුරයට සහභාගිවූ නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බදින් ඉන්දීය අගමැතිවරයාගේ හිසට පහරක් එල්ල කළද එය වළක්වා ගැනීමට ඔහුගේ ආරක්ෂකයින් සමත් විය. එහෙත් එම පහර අගමැතිවරයාගේ උරහිසට වැදිණි. රජීවි ගාන්ධි කලින් යොදාගත් පරිදිම පෙරවරු 11.30ට කටුනායකින් දිල්ලිය බලා පිටත් විය. කොටුවේ සිට කටුනායකට ගියේද හෙලිකොප්ටර් මගිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත් කටුනායකට පැමිණ තිබිණි.

ගිවිසුම අත්සන් කරන අවස්ථාව වනවිට ඉන්දිය යුද නෞකා දෙකක් ඕනෑම දේකට සූදානම් බව අඟවමින් කොළඹ අවට මුහුදේ සැරි සැරීය. ගිවිසුම අත්සන්කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ඉන්දීය හමුදා භටයින් 7,000ක් රැගත් ගුවන් යානා සහ නැව් යාපනයට ඉන්දීය හමුදා සේනාංක වශයෙන් ගොඩ බටහ. එහි නායකත්වය ගත්තේ ඉන්දීය යුද හමුදාවේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංය. ශ්‍රී ලංකා යුද හමුදා භටයින් සියලු දෙනාම ඉන්දීය යුද ප්‍රවාහන ගුවන් යානා මගින් කොළඹට ගෙන එන ලදී. නාවික භටයා අගමැති ගාන්ධිට පහරදුන් අවස්ථාව කැමරාවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස් විදෙස් සිය ගණනක් ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය. සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාළියට මීටර් 30ක් පමණ දුරින් සකස්කළ අට්ටාලයකය. ඉන්දීය අගමැතිවරයාගේ දකුණු පසින් ගමන් කළේ අද්මිරාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායාරක්ෂක කමාන්ඩෝ භටයෝ කිහිප දෙනෙක් සිටියහ. රයිෆල් බදින් සෙබළ විජේමුණි පහර දුන්නේ එවිටය. ලේක්හවුසියට පැමිණි විදානගම ඩේලි නිවුස් කර්තෘ මණික් ද සිල්වාට තමාගේ ඡායාරූප රීලය භාර දුන්නේය. ලේක්හවුසියේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ, ජනාධිපති ජයවර්ධනගේ අවසරයෙන් පසු එය පළකිරීමට පසු අවසර දුන්නේ එදින මහරෑය. පසුදා ලේක්හවුසියේ අගනුවර මුද්‍රණවල පමණක් එය පළවීය.

රජිව් ගාන්ධිට පහරදීම පිළිබඳ වගකීම cúfm දේශ‍ප්‍රේමි ජනතා ව්‍යාපාරය විසින් මාධ්‍ය වලට නිකුත් කර තිබුණේ කිර්ති විජේබාහුගේ අත්සනින් යුතුවය. එහෙත් පහරදුන් සෙබළා නිදහසින් පසු කියා සිටියේ මව්බිමට ආදරය ඇත්තෙකු වශයෙන් තමා ඒ ක්‍රියාමාර්ගය ගත් අතර කිසිදු පක්‍ෂයක හෝ සංවිධානයක සාමාජිකයෙකු නොවන බවය.

රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි (ගුවන්විදුලි කාර්මික ශිල්පි) විජිත විජේමුණි රත්ගම බූස්සේ උපන් අතර එවකට 22හැවිරිදි විය. නම දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියාය. ගිංතොට මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. නාවික හමුදාවේ රැකියාවට පැමිණියේ 1985 අප්‍රේල් 19වැනිදාය. ත්‍රිකුණාමලයේ නාවික සහ සමුද්‍ර ඇකඩමියේ ප්‍රථම පුහුණුව ලැබිය. රජීව් මැරීමේ චේතනාවක් නොතිබුණු බවද ඔහු කළ බලහත්කාර ක්‍රියාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් අපහාසයක් ලබාදීමට එය සිදුකළ බවද හෙතෙම යුද අධිකරණයේදී කියා සිටියේය. හිටපු කථානායක ස්ටැන්ලි තිලකරත්න, ඩොනල්ඩ් හේවාගම, සරත් විජේසිංහ ඇතුළු නීතිඥයින් රැසක් ඔහු වෙනුවෙන් පෙනී සිටියහ.

නඩු විභාගයේදී පළමු චෝදනාව වූ රජිව් ගාන්ධි මරාදැමීමට තැත්කිරිම පිළිබඳව ඔහු නිවැරදිකරු වූ අතර අනියම් මිනීමැරීමට බරපතළ වැඩ සහිතව වසර 6ක සිර දඬුවමක් යුද අධිකරණය නියම කළේය. පසුව ආර්. ප්‍රේමදාස ජනාධිපති විසින් 1990 අප්‍රේල් 03වැනිදා උදෑසන 9ට වැලිකඩ බන්ධනාගාරයෙන් විජිත රෝහණ විජේමුණි නිදහස් කරන ලදී. හිරගෙදර සිටියේ වසර 2 මාස 04ක් පමණි. ඔහු සමඟම විවිධ වැරදිවලට සිරගතව සිටි සිරකරුවන් 700ක්ද ජනාධිපති නියෝගය අනුව ඒ සමඟින් නිදහස් කර තිබිණි.

ඉන්දු ලංකා ගිවිසුම අනුව පොරොන්දු වූ කරුණු කාරණා ඉටුකිරීමට ඉන්දිය රජය අපොහොසත් විය. එමගින් ස්ථාපිත වූ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවිධ ආණ්ඩු ඉන් පසුව මුහුණ දෙමින් සිටින් උභතෝකෝටික ගැටලුවන්ටය.

ඉන්දු ලංකා ගිවිසුමට මුල් වූ තිදෙනා අද අප අතර නොමැත. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි (46) කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21වැනිදා රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්වීමකදි ඝාතනයට ලක්විය. එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන (90) වසර 1996 නොවැම්බර් 01වැනිදා මිය ගියේය. කොටි නායක ප්‍රභාකරන් (54) වසර 2009 මැයි 18වැනිදා උතුරේ නන්දිකඩාල්හිදී ශ්‍රී ලංකා හමුදා අතින් මියගොස් තිබිණේ අවසන් සටනේදීය.

ජවිපෙ 1965 මැයි මස 14වන ආරම්භයේ සිට මේ දක්වා කැරළි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 5 කැරැල්ල මර්දනය කිරීමේදී සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව මගින් ඝාතනයට ලක්වූ කැරළිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ දෙවන කැරැල්ල 1986න් ඇරඹී 1990 සැප්තැම්බර් මස අවසාන වූ අතර එහිදී ජයවර්ධන සහ ප්‍රේමදාස එජාප ආණ්ඩු මගින් ඝාතනයට ලක්වූ හෝ අතුරුදන්වූ පිරිස නිල වශයෙන් 41,813කි. ඉන් 34,017ක් ජවිපෙ සාමාජිකයින්, හිතවතුන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඥාතීන් වේ. මානව හිමිකම් සංවිධාන වාර්තා කියන්නේ ජවිපෙ 2වැනි කැරැල්ලේ මියගිය සංඛ්‍යාව 60,000ක් පමණ වන බවය.

 

Comments