පියවාරුවෙන් රෙච්මන් අතින් නොගිලිහිණු රන් මතකය | සිළුමිණ

පියවාරුවෙන් රෙච්මන් අතින් නොගිලිහිණු රන් මතකය

අද වැනි දවසක...

 

එංගලන්තයේ බිහි වූ විශිෂ්ට ම ඔලිම්පික් ක්‍රීඩකයා වීමේ සියලු ම සුදුසුකම් තිබුණු තරුණයෙකු සිටියා. ඔහු තමයි ඩෙරෙක් රෙච්මන්. මේ රෙච්මන්ට හොඳ පිළිගැනීමක් හිමි ව තිබුණා.

මේ කියන්නේ 1992 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආසන්න වකවානුව. ඒ වන විට මීටර් 400 ඉසව්වේ රන් පදක්කමට වඩාත් ම ළංව සිටි ක්‍රීඩකයා බවට පත්ව තිබුණේ ඔහුයි.

එම නිසා 1980 සෝල් ඔලිම්පික් උළෙලේ දී තමන්ට දිනා ගන්නට නොහැකි වූ මීටර් 400 රන් පදක්කම 1992 බාසිලෝනා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ගෙල පැලඳීමට ඔහු හොඳ සූදානමකින් සිටියා.

සෝල් ඔලිම්පික් උළෙලේ දී මීටර් 400 ඉසව්ව ආරම්භ වීමට නියමිත ව තිබූ දිනයට පෙර දිනයේ පාදයක බත් කෙණ්ඩයේ ආබාධයක් ඔහුගේ පදක්කම් සිහිනයට බාධා කර තිබුණා.

ඒ සංවේදී සිදුවීම වහා අමතක කර දැමූ ඩෙරෙක් මීළඟ ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම දිනා ගන්න සිතාගෙන තමයි අඛණ්ඩව පුහුණුවීම්වල නිරත වුණේ.

දිනෙන් දින වේගය ඉහළ නංවා ගත් ඔහු ඊට සමගාමීව ශාරීරික යෝග්‍යතාවය ද ආරක්ෂා කර ගන්නට පියවර ගත්තා.

ඔහු 1992 වසරේ බාසිලෝනා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වට සහභාගී වීම පිණිස ධාවන පථයට එන විට එම තරගයට සහභාගී වන ක්‍රීඩකයන් අතර හොඳ ම තරග හිමි කාලය හිමි ව සිටි ක්‍රීඩකයා බවට පත්ව සිටියේත් ඔහුමයි.

ඉතින් තමන් ක්‍රීඩා කළ පළමු වැනි මූලික වටයේ තරගය ජය ගන්නට සමත් වුණේ මූලික වටයේ තරගවලට සහභාගී වූවන් අතර හොඳ ම තරග හිමි කාලය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.

අනතුරුව එම ඉසව්වේ ඔහු සහභාගී වූ අර්ධ අවසන් පූර්ව තරගය ද ජයග්‍රාහීව නිම කරන්නට ඩෙරෙක්ට හැකි වුණා.

මීළඟට තිබුණේ එම ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගය යි. එම තරගය ආරම්භයේ දී සුපුරුදු ලෙසින් ම ඩෙරෙක් ඉදිරියට පැමිණියා. ඔහුගේ අවාසනාව මතු වූයේ මීටර් 150 සීමාව පසු කළ විගසිනුයි. එවර ද නැවතත් ඔහුගේ පාදයේ ආබාධය වේගය අඩාළ කරන්න වුණා. වේදනාව දරාගත නොහැකි වූ ඔහු ධාවන පථයේ දිගා වුණා. තමා පසු කර යන තරගකරුවන් දෙස කඳුළු පිරි දෙනෙතින් බලාගෙන සිටියා.

වේදනාවෙන් ඇඹරෙන ඩෙරෙක්ට උපකාර කිරීමට ප්‍රථමාධාර කණ්ඩායම ද ධාවන පථයට පැමිණියේ මේ අතරේයි. ඒ අතරේ මේ ශෝචනීය සිදුවීම දෙස බලා සිටි ඩෙරෙක්ගේ පියා ජිම් ධාවන පථයට කඩා පැන්නා. එය ව්‍යර්ථ කරන්න කිසිදු නිලධාරියකුට හැකිවුණේ නෑ.

ජිම් ඩෙරෙක්ට නැඟී සිටීමට උපකාර කළා. අනතුරුව පියාගේ කරේ එල්ලී නොන්ඩි ගසමින් තරගය නිමා කළා. ඒ සිදුවීම දෙස බලා සිටි ඔලිම්පික් ප්‍රේක්ෂකාගාරය ගිගුම් දුන්නා.

ප්‍රතිඵල ලේඛනයේ ඩෙරෙක් රෙච්මන්ගේ නම ඉදිරියේ තරගය අවසන් කර නැත යනුවෙන් සඳහන් ව තිබුණ ද රන් පදක්කම අහිමි වී සිටිය ද, ඒ මොහොතේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ඩෙරෙක්ට ගෙන දුන්නේ රන් පදක්කමකට වැඩි අගයක්. ක්‍රීඩකත්වය කියන්නේ අන්න ඒ වගේ ගැඹුරු හැඟීමක්.

සීවලී එදිරිවීර 

Comments