පරාජ සාගරය ලේන වල්ගයෙන් සිඳ පඩියට අඩි හප්පන ශ්‍රී ලංකා ක්‍රිකට් නෙයියාඩගම | සිළුමිණ

පරාජ සාගරය ලේන වල්ගයෙන් සිඳ පඩියට අඩි හප්පන ශ්‍රී ලංකා ක්‍රිකට් නෙයියාඩගම

 

'එය නෙයියාඩගමකි. කිසිදු සාධාරණ හේතුවකින් තොරව පරාජයේ කරටිල්ලේ බඩ පිනුම් ගසමින් සිට යුක්තියේ දෙව්දුව ඉදිරියට දමා පසුම්බියට වැටෙන ගණන මෙතෙක් විය යුතු යැයි දැලි පිහි තර්ක ඉදිරිපත් කිරීමකි. විනිවිදභාවය පැවැතිය යුතු ය. එහෙත් විනිවිදභාවයේ යන්ත්‍රණය පැහැදිලි කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් සතු කාර්ය භාරය ය. සිදුව ඇත්තේ උගුරට හොරා බෙහෙත් කෑම ය. එසේ බෙහෙත් කන්නේ ක්‍රීඩක, ශ්‍රී ලංකා ක්‍රිකට් හා පුහුණුකරුවන්ගේ මණ්ඩලය ය. මේ රටේ ක්‍රිකට් වැනසෙන, ගෙවීම් සම්බන්ධ නෙයියාඩගමක් වූ වැලපිලි හා කෙඳිරිලි ය.'

හැකියාව මත වැටුප් ගෙවීමේ ක්‍රමවේදයට අනුව සකස් කළ ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම සඳහා අත්සන් කිරීමට අදාළ ක්‍රීඩකයන් 24 දෙනාම තවමත් සූදානම් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට අදාළ ක්‍රීඩකයන්ට පසුගිය ජූනි 03 වැනි දා දක්වා දින ලබා දී තිබුණි. එහෙත් දිගින් දිගටම නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සහ ක්‍රීඩකයන් කාණ්ඩගත කිරීමේ දී එක් එක් ක්‍රීඩකයාට හිමි වූ ලකුණු හෙළි කරන ලෙසට ක්‍රිකට් ආයතනයට දන්වා සිටිය ද එය ඔවුන් පැහැර හැර ඇති බැවින් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අත්සන් තැබිය නොහැකි යැයි ක්‍රීඩකයනගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වෙයි. ඒ අනුව ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලැබෙන තෙක් අදාළ ගිවිසුමට අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 24 දෙනාගේ නීති නියෝජිත නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේ‍මරත්න මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර තිබුණේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් විසින් තම නියෝජිතයා ලෙස පත් කරන ලද මෙම නීතිඥවරයා විසින් කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල්, සුරංග ලක්මාල්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, දනුෂ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර සහ අකිල ධනංජය යන ක්‍රීඩකයන් නියෝජනය කරනු ලැබේ. ඒ අනුව ඔහු මැයි 21 වැනි දා නිකුත් කරන ලද නිවේදනයට සමගාමීව දක්වා ඇත්තේ විනිවිදභාවයක් නොමැති වීම මෙහි මූලික ගැටලුව බව ය.

මාසයකට අධික කාලයක සිට ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කරන ලෙස අදාළ ක්‍රීඩකයන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණ ද එය මේ දක්වා ඉටු වී නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. කෙසේ නමුත් මේ වන විට ක්‍රීඩකයන් වර්ගීකරණය කර ශ්‍රේණිගතකොට එය ප්‍රසිද්ධියට ද පත් කර ඇත. එහෙත් සියලු පාර්ශ්වවලට ප්‍රධාන ගැටලුව වන්නේ, තවමත් ක්‍රීඩකයන්ටවත් හෙළිදරවු නොකරන ලද, ක්‍රීඩකයාගේ ක්‍රීඩා කෞශල්‍ය, ශාරීරික යෝග්‍යතාවය, වෘත්තීමය තත්ත්වය සහ තවත් අංශ මත පදනම් වූ නව ක්‍රමයෙන් ලබා දෙන ලකුණු ප්‍රදානය පිළිබඳ කිසිදු හෙළිදරව්වක් සිදු කර නොතිබීමයි. එම ලකුණු ලබා දීමේ ක්‍රමයට අනුව ක්‍රීඩා කෞශල්‍ය පදනම් කර ගත් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය මඟින් එක් එක් අංශ සඳහා ක්‍රීඩකයන්ට වෙන වෙනම ලකුණු ලබා දිය යුතුව ඇත.

මීට අමතරව ගෝලීය වශයෙන් ක්‍රිකට් පාලක සංගමයන් ගෙවීම් හා ඉපැයීම් ඇතුළු සියලු කටයුතු සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඇතුව කටයුතු කරන අවස්ථාවක දී, මෙවැනි විනිවිදභාවයක් නොමැති ක්‍රීඩක තක්සේරු ක්‍රියාවලියක ඇති යෝග්‍යතාවය කුමක් ද යන්නත් මෙවැනි විනිවිදභාවයක් නොමැති ක්‍රියාවලියකට ඕනෑම කෙනෙකුට අත පෙවිය හැකි තත්ත්වයක් නිර්මාණය වීමත් සම්බන්ධයෙන් නීතිඥයා කරුණු විමසා ඇත. එමඟින් අනිසි පක්ෂග්‍රාහීත්වයක් හා පෞද්ගලික තීරණ මත කටයුතු කිරීම් ඇති විය හැකි බවත් මෙම කාරණා මත පදනම් කොට ගෙන තම නව වාර්ෂික ගිවිසුම් අසාධාරණ, හේතු විරහිත හා අත්තනෝමතික බවත් ක්‍රීඩකයන්ගේ චෝදනාව යි.

මේ අතර කොළඹ සුගතදාස ධාවන පථයේ දී පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනාම එම පරීක්‍ෂණයෙන් සමත් ව තිබේ.

එංගලන්ත තරග සංචාරය සඳහා නම් කර සිටින ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, නුවන් ප්‍රදීප්, ඉෂාන් ජයරත්න සහ ධනංජය ලක්‍ෂාන් ‍මෙම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටියහ.

මේ අතර ගෙවීම් අතින් ලෝකයේ සිව් වැනි ඉහළම පුහුණුකරු වැටුපක් ගෙවන රට වන ශ්‍රී ලංකාව ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වලින් පහළටම වැටී තිබීම සම්බන්ධයෙන් ද කතිකාවක් ගොඩනැඟී තිබේ. ප්‍රධාන පුහුණුකරුගේ කාර්යභාරය වනුයේ පිතිකරුවන්, පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් සතුව දුර්වලතා පැවතුණ ද (මේ අංශවලට අදාළව වෙන වෙන ම පුහුණුකරුවෝ ද සිටිති) සියලු දෙනා කළමනාකරණය කිරීම තුළින් ජයග්‍රහණයට අවශ්‍ය මඟ පෙන්වීමය. වත්මන් පුහුණුකරු මඟින් අදාළ කාර්යභාරය හරියට සිදු වනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතරම් පහළට යා හැකි ද යන්න ගැටලුවකැයි ඇතැම් විචාරකයන්ගේ මතයවී තිබේ.

ලොව ඉහළම වැටුප් ලබන ක්‍රිකට් පුහුණුකරුවන් පස් දෙනා

බොහෝ ක්‍රිකට් ලෝලීන් තරගාවලියක් පරාජය වූ පසු සමාජ මාධ්‍යයන්හි තබන සටහන් අතර, “මෙච්චර පරාජය වෙලත් මිකියා ඉවසාගෙන ඉන්නවා. මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ.” යැයි කියූව ද, කෙතරම් තරග පරාජයට පත් වුව ද වසරකට ඔහුගේ සංයුක්ත වේතනය වශයෙන් රුපියල් කෝටි 3.44 ක දැවැන්ත වැටුප අඩු නොවන බව ප්‍රකාශිත ය.

01. රවී ශ්‍රාස්ත්‍රි-‌ කෝටි 9.5 -10

02. ජස්ටින් ලැන්ගර් -කෝටි 4.57

03. ක්‍රිස් සිල්වර්වුඩ්- කෝටි 4.65

04. මිකී ආතර් -කෝටි 3.44

බන්ධුල ජයමාන්න

Comments