නිකං නොවැටුණු සදා නොමැකුණු නික් නේම් | සිළුමිණ

නිකං නොවැටුණු සදා නොමැකුණු නික් නේම්

 

පැන්ඩා, මයියා, උනන්දුවා, ගෑස් මෑන්, ස්ලින්ගා මේ ආදි විවිධ අන්වර්ථ නාම ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන ඔබ අසා ඇතිවාට සැකයක් නෑ. ඒ ආකාරයෙන් විවිධ අන්වර්ථ නාමවලින් ක්‍රීඩකයන් හඳුන්වන්නට ඔවුන් ක්‍රීඩා කරන විට භාවිත කරන ඉරියව්, ඔවුන්ගේ පුද්ගල ගති පැවැතුම් වගේම දක්ෂතා ද හේතු වී තිබෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ ක්‍රීඩකයන් කීප දෙනෙකුට එවන් අන්වර්ථ නම් පටබැඳුණු ආකාරය ගැනයි.

මාස්ටර් බ්ලාස්ටර්

සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන නාමයක්. සනත් සිය ක්‍රීඩා ජීවිතයේ ක්‍රීඩා කළ ටෙස්ට්, එක්දින වගේම විස්සයි විස්ස ඉනිම් බොහෝමයක්ම වාගේ අදටත් ක්‍රිකට් රසිකයන්ගේ සිත්වලින් අමතක නොවන මතක බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ වේගවත් සහ ජව සම්පන්න පිතිකරණ විලාසය නිසාම සනත්ව 'මාස්ටර් බ්ලාස්ටර්' නැත හොත් සුනුවිසුනු කරන්නා වැනි අදහසක් දෙන අන්වර්ථ නමකින් හඳුන්වන්න විස්තර විචාරකයන් පුරුදු වුණා. පස්සේ කාලෙක ඒ නම රසිකයන් අතර පමණක් නොවෙයි, ක්‍රිකට් ලෝකයම සනත්ව හඳුන්වන අන්වර්ථ නාමය වුණා.

 

ලිට්ල් කළු

රොමේෂ් කළුවිතාරණ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ කඩුලු රකින්නෙක්. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රැකීමේ කාර්ය කළේ කළුවිතාරණයි.

ඔහු හරිම ආදරණීය ක්‍රීඩකයෙක්. හේ බොහෝ විට කඩුල්ලෙන් පිටුපස ඉඳන් පන්දු යවන්නන් දිරි ගන්වමින් ක්‍රීඩාලෝලීන් විසින් සිදු කරන කාර්යයද සිදු කළා. බොහෝ දෙනා ඒ කාලේ කිව්වේ කළු ඉන්න පිට්ටනියක පාළුවක් නම් දැනෙන්නේ නෑ කියායි. කළුට ගොඩක් අය කිව්වේ ලිට්ල් කළු කියලයි.

කළුවිතාරණට ඒ නම දැම්මේ ප්‍රවීණ විස්තර විචාරකයෙකු වූ ටෝනි ග්‍රෙග් විසිනුයි. කළු සෙසු ක්‍රීඩකයන්ට වඩා තරමක් උසින් අඩු හුරුබුහුටි පුද්ගලයෙකු නිසා ඒ නම ඔහුට කදිමෙට ගැළපෙනවා.

 

උනන්දුවා

වර්තමානයේ අයි.සී.සී ජාත්‍යන්තර තරග විනිශ්චය කරන කුමාර් ධර්මසේන ව නොදන්න කෙනෙක් නෑ. කුමාර් ධර්මසේන දක්ෂ ක්‍රිකට් විනිසුරුවෙකු වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුව බොහෝ දෙනා හඳුනා ගන්නේ උනන්දුවා කියන 'නික් නේම්' එකෙන්.

1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ ද සාමාජිකයෙකු වන කුමාර් ධර්මසේන පිටියේ දී දැක්වූ උනන්දු සහගත හැසිරීම එම නම පටබැඳීමට හේතු වී තිබෙනවා.

 

මිස්ටර් පල්ලෙකැලේ

තිලකරත්න ඩිල්ෂාන් කියන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ සුපිරි වීරයෙක් කිව්වොත් ඉතාම නිවැරැදියි. ඩිල්ෂාන්ව ක්‍රිකට් රසිකයන් විසින් හැඳින්වූයේ මිස්ටර් පල්ලෙකැලේ කියලා.

ඒ ඔහු ක්‍රීඩා කළ ක්‍රීඩාංගණ අතරින් ඉහළම දක්ෂතා මහනුවර පල්ලෙකැලේ පිටියේ දී වාර්තා කර තිබීම ඊට හේතුව වෙලා තියෙනවා.

තවත් එක දෙයක් ඩිල් ගැන කිව යුතුයි. ඒ තමයි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අලුත්ම ස්කූප් පහරක් හඳුන්වා දුන් ක්‍රීඩකයෙක වීම. ඒ තමයි ඩිල්ස්කූප් පහර. ඩිල්ස්කූප් පහර නොදන්න ක්‍රිකට් රසිකයෙක් ලෝකයේ නැති තරම්. ඒක නිර්මාණය කළේ ඩිල්ෂාන් විසිනුයි.

2013 වසරේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයක දී වේග පන්දු යවන මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට ඩිල්ෂාන් එල්ල කළ අලුත්ම තාලයේ පහර මෙලෙස ඩිල්ස්කූප් නම් වුණා. ඩිල්ෂාන් ක්‍රිකට් ලෝකයේ නොමැකෙන චරිතයක් වෙන්න එයම ප්‍රමාණවත්.

 

ස්ලින්ගා

ලසිත් මාලිංග කියන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නැතිවම බැරි කෙනෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විතරක් නෙමේ ලෝකය පුරා පැවත්වෙන ලීග් තරගවලදීත් ඔහුට තියෙන්නේ ඉහළම ඉල්ලුමක්. එයට විවිධත්වයෙන්, පන්දු මිශ්‍රණයෙන් යුතු ඔහුගේ දක්ෂ පන්දු යැවීම හේතුවක් වුණා. එමෙන්ම යෝකර් පන්දු යැවීමට දක්වන දක්ෂතාව නිසා යෝකර් රජු කියන නමත් මාලිංගට පටබැඳුණා. ඒ විතරක් නෙමේ මාලිංග පන්දු යවන ඉරියව්ව සුවශේෂී යි. ඒ නිසාම විස්තර විචාරකයන් විසින් මාලිංග ස්ලින්ගා යන නමින් හඳුන්වන්නටද පෙලඹුණා.

 

සුපර් මෑන්

සුපර් මෑන් කියන්නේ කාටූන්, චිත්‍රපට ආදි ප්‍රබන්ධ කතාවල සුපිරි වීරයෙක්. ඉතින් ඒ වගේම සුපිරි වැඩක් කරපු ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවමත් ක්‍රීඩා කරනවා. ඒ තමයි ඇන්ජලෝ මැතිව්ස්. 2009 වසරේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තරගයක දී මැතිව්ස් පෑ දස්කමක් සුපර් මෑන් ලෙස ඔහු නම් ලබන්නට හේතු වුණා.

කොදෙව් පිතිකරු සර්වාන් විසින් එල්ල කළ පහරක් දක්ෂ ලෙස ගුවනේ පාවෙමින් නතර කිරීමට මැතිව්ස් සමත් වුණා. එසේ හයේ පහර නතර කළා පමණක් නොව නතර කළ පන්දුව හතර සීමාවේ සිට කෙළින්ම කඩුල්ලට යොමු කරන්නටද මැතිව්ස්ට හැකි වුණා. එම දස්කම නිසාම එදා සිට මැතිව්ස් ව හැඳින් වූයේ සුපර් මෑන් කියලයි. ඒ විතරක් නෙමෙයි 2001 වසරේ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැති තරගයක දී ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් එල්ල කළ පහරක් හයේ සීමාවෙන් ඔබ්බෙන් ගුවනේ රැඳුණත් එය බිම පතිත වන්නට පෙර මැතිව්ස් ගුවනේ පාවෙමින් නැවත පන්දුව සීමාව ඇතුළතට යොමු කළ හැටි පුදුමාකාරයි. මහේල ජයවර්ධන එම පන්දුව රැක ගෙන, පන්දුව රැක ගැනීමේ අයිතිය හිමි කර ගත්තත් එහි වැඩි ගෞරව හිමි වුණේ මැතිව්ස්ටයි.

 

පැන්ඩා

පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නට තීරණය කරපු තිසර පෙරේරාව බොහෝ දෙනා හැඳින්වූයේ පැන්ඩා නමිනුයි. ඔහුට මේ නම පටබැඳී තිබුණේ සිය පාසල් කාලයේ සිටමයි. අද වන විට ක්‍රීඩා පිටියේ තිසරගේ සගයන් පමණක් නොවෙයි, ඔහුට ආදරය කරන ක්‍රීඩා රසිකයන් පවා තිසරව පැන්ඩා කියන ආදරණීය නාමයෙන් හඳුන්වනවා.

 

පසිඳු මිහිරාන් රැටියල

 

Comments