ජය­ලත්ගේ හිතේ උපන් ‘කුසුම්ට’ පණ දුන් ඇය | සිළුමිණ

ජය­ලත්ගේ හිතේ උපන් ‘කුසුම්ට’ පණ දුන් ඇය

 

“වියෝ ගී ගැයෙනා හදේ

ආදර මල් නොමියේ“

නීලා වික්‍රමසිංහ විසින් ගැයූ මේ ගීතය ඇසෙත්ම අපට සිහි වන්නේ “ගැහැනු ළමයි“ චිත්‍රපටයයි. “ගැහැනු ළමයි“ චිත්‍රපටය මතක් වෙන විට එහි ප්‍රධාන චරිතය වූ කුසුම් ලෙස රඟ පෑ වසන්ති චතුරානි ද නිබඳව අපේ සිත් තුළ රැඳී ඇති බව දැනේ. කරුණාසේන ජයලත් නවකතාවෙන් මැවූ, ධෛර්යයෙන් හා ආත්ම ශක්තියෙන් යුක්තව, වේදනා, බාධක සහ කම්කටොලු ඉදිරියේ නොසැලී ජීවිතය ජය ගත් අපරාජිත යුවතියට පණ දෙන වසන්තීව මැවි මැවී පෙනෙයි.

ජයලත් තම මනසේ රැඳුන කුසුම්ගේ චරිතය සුමිත්‍රා පීරිස් විසින් 1978 දී සිනමාවට නැඟීමේ දි කුසුම්ට තෝරා ගන්නේ කවුද? යන අභියෝගය ඔවුන් අභිමුවේ වූහ.

“ජයලත් අපි අලුත් ළමයෙක්. විශේෂයෙන් ඇඩ්වාන්ස් ලෙවල් පන්තිවල ඉන්න පාසල් යන මට්ටමේ ගැහැනු ළමයෙක් සොයමු.“ සුමිත්‍රා යෝජනා කළාය.

ගම්පහ හෝලික්‍රොස් (සිරිකුරුස) විද්‍යාලයෙන් කුසුම්ට හරියන ළමයෙක් සොයා ගැනීමට සුමිත්‍රාට සිතුණේ ඇගේ ඥාති සොහොයුරියක් වූ ජානකී ගුණවර්ධනගේ ගම්පහ නිවසට ගිය දිනයක. විදුහලේ විදුහල්පතිනිය වූ නෙලී හෙලන් කන්‍යා සොහොයුරියගෙන් උපකාරයක් ගැනීමට මේ දෙදෙනා ගියේ චකිතයකින්ය. දැඩි ශික්ෂණයක්, විනයක් සහිතව පාලනයක් ගෙන ගිය කන්‍යා සොහොයුරිය ඒ සඳහා දැක්වූයේ යහපත් සුභවාදි ප්‍රතිචාරයකි.

චිත්‍රපටයකට සුදුසු නිළියක් සොයන්න නෝනලා දෙදෙනෙක් ඇවිත් කියන ආරංචිය සිසුවියන් අතර පැතිර යාම නිසා කිහිප දෙනෙක්ම ඒ සඳහා උනන්දු වූහ. කන්‍යා සොහොයුරිය සමඟ සුමිත්‍රා පීරිස් තම ඥාති සොහොයුරිය ද විවේක කාලයේ පාසල් භූමියේ ඇවිද ගියේ කුසුම්ගේ චරිතයට ගැහැනු ළමයෙකු සොයමිනි. පාසලේ ගොඩනැඟිල්ලක කණුවක් අසල කෙළි දෙළෙන් සිනාසෙමින්, ඇස්වලින් කතා කරමින් සිසුවියන් අතර සිටි සුවිශේෂ මුහුණක් දෙස සුමිත්‍රාවන්ගේ ඇස යොමු වූවාය. ඒ සිසුවිය ගැන කන්‍යා සොහොයුරියට ඇය රහසින් යමක් කීවාය.

“දරුවෝ, අර ඩොරීන්ට එන්න කියන්න මගේ ඔෆීස් එකට.“ කන්‍යා සොහොයුරිය අසල සිටි සිසුවියකට කීවාය. වයස අවුරුදු 15ක පමණ වයසේ පසු වූ ඇය විදුහල්පති කාමරයට පිවිසියාය. ඇය ලස්සන ඇස් දෙකකට හිමිකම් කීවාය.

“අපි චිත්‍රපටයක් කරන්න යනවා. කැමතිද? චිත්‍රපටයේ රඟපාන්න.“ සුමිත්‍රාවන් කාරුණිකව ඇසුවාය.

ඇය බිම බලාගෙන “කැමති නෑ“ යි කීවාය.

“හරි, ඔයා කියවලා තියෙනවද? ‘ගැහැනු ළමයි‘ නවකතාව“

“ඔව්, මම ලයිබරි එකෙන් අරං කියවලා තියෙනවා.“

“එහෙනං කුසුුම්ගේ චරිතය මතක ඇති. කැමති නැද්ද ඒ චරිතය චිත්‍රපටයක රඟපාන්න දුව.“

“කැමතියි.“ ඩොරීන් කීවේ දෙවතාවක් සිතා නොවේය.

ඩොරීන්, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මම. මේ මගේ පළමුවැනි චිත්‍රපටය. ඔයා කැමති නම් මම ඔයාව මගේ ම දුවක් විදිහට බලා ගන්නවා.“

“ආච්චිගෙන් අහන්න.“

“මේ 1975 වසරේ ජනවාරි මාසයයි. ඩොරීන්ගේ ලිපිනය ලබා ගත් සුමිත්‍රාට සිතුණෙ “මේ තමයි කුසුම්. මීට වඩා සුදුසු ළමයෙක් තවත් නෑ. කියාය. සුමිත්‍රා තම සැමියා වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ පසුදා ඩොරීන්ගේ ගම්පහ ගෙදරට ගොඩ වූහ.

“ඩොරීන් ඉස්කෝලේ නාට්‍යයක රඟපාල තියෙනවද?“

“ඔව්, ක්‍රිස්මස් නාට්‍යයක රඟපෑවා.“

“අපි ඩොරීන්ව බොහොම ආදරෙන් බලා ගන්නවා. ආච්චි අපිට අවසර දෙනවද?“ ලෙස්ටර් ඇසීය.

“මහත්තයා ඩොරින්වයි, එයාගේ අක්කා හෙලන්වයි මම ඇහේ තියාගෙන ආරක්ෂා කරගෙන හැදුවේ, මේ සීයා එක්ක. ඩොරීන්ගේ අම්මා මේ දෙන්නා පුංචි කාලේ මැරුණා.“

කන්‍යා සොහොයුරියගේ රෙකමදාරුව ගැන සිතූ ඩොරීන්ගේ සීයාත්, ආච්චිත් අවසර දුන්හ.

වසන්තා ඩොරීන් පීටර්සන් නම් ඇය “වසන්ති චතුරානි“ නමින් “ගැහැනු ළමයි“ චිත්‍රපටයෙන් සිනමාවට එක් වූවාය.

“අපි ‘වසන්තා‘ කියලා සිනමාවට හඳුන්වා දෙමු.“ සුමිත්‍රාවන් යෝජනා කළාය.

“එහෙනං වසන්තා වෙනුවට අපි “චතුරානි“ කෑල්ලත් එකතු කරලා “වසන්ති චතුරානි“ කියමු. යෝජනා කළේ චිත්‍රපටයේ “වියෝ ගී ගැයෙනා හදේ“ ගීතය රචනය ද රැගෙන එහි පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.

“මම ගැහැනු ළමයි චිත්‍රපටයේ රඟපෑවේ ගැමි සංස්කෘතිය තුළ කාන්තා සදාචාරය සංකේතවත් කරන කුසුම් ලෙස. කුසුම් තම නැන්දාට තිබූ විශ්වාසය නිසා ඇගේ පුතා වූ නිමල් තමාට දැක්වූ ආදරය ප්‍රතික්ෂේප කරමින් මනසින් වද විඳින චරිතයක්. මම මේ චිත්‍රපටයේ වඩාත් කැමතිම දර්ශනය නිමල්ගේ ඇසුරෙන් වෙන්වන අවස්ථාව.“ ගොළු හදවතේ දමයන්ති හා සුගත් මුහුදු වෙරළේ දී වෙන්වෙන අවස්ථාව වගේ සංවේදී අවස්ථාවක්. මේ දර්ශනයේ නිමල් ලෙස රඟපෑවේ අජිත් ජිනදාස සමඟ. මේ ඒ අවස්ථාව.

“නිමලුයි මමයි ගමන් ගත්තේ පාළු පාරක. එහා පැත්තේ මුහුද. මඳ දුරක් යන කොට මම නිමල්ගේ අත අල්ලා ගත්තා. අපි කොළඹ ලයිට් හවුස් එක දිගේ ගිහින් පියගැට පෙළක්ගාව වාඩි වුණා.

“නිමල් අපි බඩගින්නෙ ඉන්නෙ පුළුවන්කමට නෙවි. අතු පැලක් වගෙ පුංචි ගේක අපි ඉන්නෙ පුළුවන් කමට නෙවි. නිමල් මම කියන දෙයින් හිතන්න එපා මම ඔයාට ආදරේ නෑ කියලා...“

“ඔන්න කුසුම් අඬන්න පටන් ගත්තා.“

“නෑ නිමල්. මම කඳුළු පිහදා ගන්නම්. නිමල් මම ඔයාට ආදරෙයි. කොයිතරම් ආදරේ ද කිව්වොත් මට පුදුමයි මොකක්ද මේ ආදරය කියලා. ...... ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න ඉඩ දීලා පැත්තකට වෙලා - ඔයාගේ සතුට දිහා බලලා මම සතුටු වෙන එක........ මම ඔයාට ආදරෙයි. ............ ඒ නිසයි මම කියන්නෙ. ............. ඔය එකට හිඟා කමු, එකට මැරෙමු කියලා බොළඳ කතා මට කියන්න බැහැ.“

“අපි එහෙනං යමු කුසුම්“

“අපිට ආයෙ මෙහෙම හමුවෙන්න ලැබෙන්නෙ නෑ නිමල්. අපි තව ටිකක් ඉමු..... තව ටිකක්.“ නිමල් මාව වැලඳ ගන්නවා. මේ දර්ශනයේ දී මට ඇත්තටම ඇඬෙනවා.“

වසන්ති මේ චරිතය රඟපාන කාලයේ නැවතී සිටියේ බම්බලපිටියේ ඩික්මන් පාරේ ලෙස්ටර් හා සුමිත්‍රාගේ නිවසේ ය. සහාය අධ්‍යක්ෂ වී. උපාලි පෙරේරාත්, කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන වසන්තිට මුල සිටම දෙබස් කටපාඩම් කොට, අවශ්‍ය පහසුව දෙමින් රැක බලා ගනිමින්, අවවාද දීමෙන් දිරිමත් කළ බව වසන්ති කෘතඥතා පූර්වකව මතක් කළාය. චිත්‍රපටයේ පාසල් දර්ශන කළු අග්ගල සීතාවක විද්‍යාලයේ දී රූගත විය. ඇය සමඟ ශ්‍යාමා ආනන්ද, ඉනෝකා අමරසේන, ඉන්ද්‍රානි අබේවර්ධන, ජයන්ති රුද්‍රිගු, දන්තලා වීරසිංහ, තනුජා දිල්හානි, සුසිලා පෙරේරා, සිරිල් කොතලාවල, නිමල් දයාරත්න, පද්මසේන අතුකෝරල ආදීන් රඟපෑවේ එක පවුලක දරුවන් මෙනි.

වසන්තා ඩොරින් පීටර්සන් 1959 ඔක්තෝබර් 19 වෙනිදා ගම්පහ බණ්ඩාරවත්තේ දී උපත ලැබුවාය. ඇගේ පියා වූ ස්ටැන්ලි පීටර්සන් යුද්ධ හමුදාවේ සේවය කළ අතර මව වූ ලීලාවතී පීටර්සන් කුඩා අවදියේම මිය ගියාය. ඩොරින්ට සිටියේ එක් වැඩිමහල් සොහොයුරියක් වූ විනීතා හෙලන් පීටර්සන් ය. හෙලන් හා ඩොරීන් හැදී වැඩී ඇත්තේ මැගි නෝනා නම් ආච්චිගේත් කේ.කේ. ඇල්බට් නම් සීයාගේත් ආදරය කරුණාව, සෙනෙහස මැදය. මේ දෙදෙනාම අද ජීවතුන් අතර නැත.

වසන්ති වාසනාවන්ත නිළියක් වූවාය. ඇයට ඉන්පසු රඟපෑමට ලැබුණේ විෂම, සංකීර්ණ සමාජ බලවේග හමුවේ අනේක විධ දුක් දෝමනස්සයන්ට මුහුණ දුන් චරිතය. ඒ අතර “අහසින් පොළොවට“, “ගඟ අද්දර“ වඩාත් කැපී පෙනෙයි.

“අහසින් පොළොවට“ අධ්‍යක්ෂණය කළේ මගේ ප්‍රියතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා, මට පියෙකු ලෙස දයාව, කරුණාව දැක්වූ මහත්මා ගති ඇති ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතායි. “අහසින් පොළොවට“ චිත්‍රපටයේ මම පුෂ්පා. මගේ අක්කා විනීතා (ශ්‍රියානි අමරසේන) විවාහ වී සිටියේ දොස්තර සරත් (ටෝනි රණසිංහ) එක්ක. දරු ප්‍රසූතියකදී අක්කා මිය යාමෙන් වසර කිහිපයකට පසු මම සරත් අයියා හමුවෙනවා. අක්කයි, සරත් අයියයි විවාහ වෙනකොට මම පුංචි දැරියක්. දැන් මම තරුණියක්. මාව දකින සරත් අයියාට අක්කාව යළි සිහිවෙනවා. මම සරත් අයියාව හරියට වටහා ගන්නවා.

මගේ ආදරය අනුකම්පාව නිසා සරත් යළිත් අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. මා රඟ පෑ පුෂ්පා සියුම් මානසික හැඟීම් තීව්‍ර කරන චරිතයක්. මිල්ටන් මල්ලවාරච්චි ගයන “උපුල් නුවන් විදහා“ ගීතය සමඟ මගේත්, සරත්ගේත් ඇස් ගැටෙනවා. එය අපේ වටහා ගැනීමේ ආරම්භයයි.

මා රඟ පෑ අසීරු චරිතය ඇත්තේ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ “ගඟ අද්දර“ චිත්‍රපටයේ රඟපෑමේදී මම අපමණ මානසික පීඩනයකට පත් වුණා. කුඩා කළ සිට ප්‍රේමයෙන් බැඳී සිටි රංජිත් (සනත් ගුණතිලක) නොතකා පියා (ටෝනි) වංශවත්, ධනවත්, ව්‍යාපාරිකයකුට මාව විවාහ කර දෙනවා. අප නොදැන මගේ සැමියා විදේශික කාන්තාවක් විවාහ කොට ගෙන සිටි අතර බිරිඳ සමඟ ඇගේ දරුවන් ද සමඟ මගේ ගෙදර පදිංචි වෙනවා. එතැන් සිට මම මානසික රෝගියෙක් වෙනවා. රෝහලේ ඇයට ප්‍රතිකාර කරන තරුණ දොස්තර (විජය කුමාරතුංග) තුළින් මම දකින්නේ මගේ රංජිත්ව. මේ චරිතය මා රඟ පෑ අසීරුම චරිතය. චිත්‍රපටය බැලූ ප්‍රේක්ෂකයන් මට ඇත්තටම පිස්සු යයි සිතා ගෙදරට මාව බලන්න ආවා.

මේ චිත්‍රපටයේ අවසාන දර්ශනය මට කිසිදා අමතක කරන්න බැහැ. මේ දර්ශනය රූ ගත කළේ (මගේ නිවස ලෙස) ගිරිඋල්ලේ විශාල නිවසක පිටුපස තියෙන ගඟක් අද්දර. මේ ගෙය කටුගම්පොල හිටපු මන්ත්‍රී ලීලානන්ද වීරසිංහ මහතාට අයිති එකක්. විජය කුමාරතුංග විසින්ම පසුබිම් ගායනා කළ මේ ගීතය ගයමින් ඔහු මා වෙත එන විට මට පෙනෙන්නේ ඒ එන්නේ රංජිත් කියලා. ඒක සිහිනමය අවස්ථාවක්.

“ගඟ අද්දර පෙම් තෙපුල් පවන් අතරේ මනු පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ“

ඒ ඡායාව බල බලා මම ගඟ අද්දරින් ගඟට වැටෙනවා.“

වසන්ති මේ කතාව කීවේ සංවේදී හැඟීමෙනි. ‘ගඟ අද්දර‘ තිරගත වූ පසු 1981 වසරේ හොඳම නිළිය ලෙස සරසවිය, ජනාධිපති සම්මාන දිනා ගැනීමට භාග්‍යවන්තියක වූවාය.

“මම ‘ගඟ අද්දර‘ රඟපෑවට පසු මට කතා හැදුණා. දැන් වසන්තිට පිස්සු ලු. ඉන්නේ මුල්ලේරියාවේ.“ “එයා ඇඩ්ලින් විතාරණගේ දුව.“ මේ වගේ කතා නිසා මම ගඟ අද්දර නිර්මලා වගෙ වෙයි කියලත් බොහෝ දෙනෙක් හිතුවා ලු. මේ වගේ කතා හැදුනේ මම නිර්මලාගේ චරිතය හොඳින් රඟ පෑ නිසාද? වසන්ති පැවසුවාය.

වසන්ති රඟ පෑ ‘අමල් බිසෝ‘ හි බයියාට (ගාමිණීට) පෙම් බැඳි සඳලතා චරිතය ද, “සිරිබෝ අයියා“ හි සිරිබෝ අයියාට (ජෝ) පෙම් බැඳි බිසෝ ද, ‘හංස විලක්‘ හි සමන්ති ද, “පාර දිගේ“ මධූ ද, ‘ආයාචනා‘ හි සරෝජිනී, ‘බිත්ති හතරේ‘ මල්ලිකා ද ලෙස සිනමාවේ ප්‍රබල චරිත රඟපෑවාය. මායා මන්දිර - ඉටිපහන් - චල අචල - දුර්ගාන්තය - ගිරය - හිඟන කොල්ලා - ගජමන් නෝනා - කුලවමිය ඇය රඟපෑ ටෙලි නාට්‍යය අතර විශේෂය.

වසන්තිගේ විවාහය සිදුවන්නේ අහම්බෙනි. ඇගේ සැමියා ව්‍යාපාරිකයකු වූ කුමාර ගුණවර්ධන ය. ඔහු තම හොඳම මිතුරා වූ අසෝක කහඳවෙල සමඟ වසන්තිගේ ගෙදර ගියහ. “වසන්ති මම කැමතියි ඔයා විවාහ කර ගන්න. හිතල බලලා උත්තර දෙන්න“ කුමක් නිසාදෝ වසන්තිට “මම කැමතියි“ කිය වුණාය. 1981 ඔක්තෝබර් 18 වෙනිදා හිතුවක්කාර තීරණයක් ගෙන කුමාර සමඟ වසන්ති විවාහ වූහ. ඔවුනට කාවින්ද අසංග ගුණවර්ධන නම් පුතෙක් සිටී.

වසන්තිගේ විවාහයට කණ කොකා හැඬුවේ නොසිතූ ලෙස ය. හදිසියේ හෙණයක් පතිත වූ ලෙස 1992 පෙබරවාරි 10 වැනිදා සැමියා වූ කුමාර හදිසියේම මිය ගියේය. වසන්තිගේ ජීවිතයට නොසිතූ විරූ දෙයකට මුහුණ දෙන්ට වුවත් ඒ හැම දෙයකට අභීතව මුහුණ දුන්නාය. වයස අවුරුදු 20 දී විවාහ වී 22 දී මවක් වූ ඇයගේ සැමියා මිය යන විට 33 වැනි වියේ පසු වූවාය. මේ නිසා ඇයට රඟපෑමට ලැබී තිබූ ‘බැද්දේගම‘ හි හින්නිහාමි චරිතයත්, යහළු යෙහෙළි හි මුදිතලතා චරිතයත් මඟ හැරී ගියා ය. වසන්තිගේ පුතා කාවින්ද ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකි. පොතපත අසීමිතව කියවන ඔහුගේ එකම ලෝකය අම්මාය. පසු කලෙක වාණිජ චිත්‍රපට රැසක රඟ පෑ වසන්ති; ජීවිත අත්දැකීම්වලින් පන්නරය ලබමින් ඉන්ද්‍රකීලයක් සේ නොසැලි ජීවිතයට මුහුණ දෙන්නීය.

Comments