කලකට පසු සැනසිල්ලක් වූ පල්ලෙකැලේ කැරකිල්ල | සිළුමිණ

කලකට පසු සැනසිල්ලක් වූ පල්ලෙකැලේ කැරකිල්ල

 

එක්දහස් නවසිය තිස් දෙකේ (1932) දෙසැම්බර් (30,31) සිට 1933 ජනවාරි (01) දක්වා තෙදින ක්‍රිකට් තරගයක් ඉන්දියාවේ දිල්ලි හි පැවැතුණේ ය. එම තරගය පැවැත්වුණේ සිලෝන් හි සිට ගිය කණ්ඩායමක් හා ඉන්දියාවේ කණ්ඩායමක් අතරය. එහිදී ඉන්දියාවට එරෙහිව ලකුණු 130 ක් ලැබූ ජයවික්‍රම ඉන් තවත් වසර කිහිපයකට පසු ලංකා (Ceylon) කණ්ඩායමේ නායකත්වය දැරුවේය. ඔහු 1940-41 ඉන්දියාවට එරෙහිව කල්කටාවේ ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී තවත් අගනා ලකුණු 138 ක් ලැබූ අතර 'ද ක්‍රිකටර් 'සඟරාවට ප්‍රකට ඉන්දීය ක්‍රිකට් ලේඛකයකු වූ අයි.එම්.මන්ෂුකානි ලිපියක් ලියමින් සඳහන් කළේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වඩාත් චමත්කාරජනක පිතිකරුවා ඔහු බව ය. 'ඔහුට ඉතාමත් දර්ශනීය පහරවල් තිබෙනවා.' එම විචාරකයා පවසා තිබුණේය.

ඒ ජයවික්‍රම අන් කවරකුවත් නොව සාගරදත්ත සුදිරුක්කු ජයවික්‍රම නැත හොත් වඩාත් ප්‍රසිද්ධව සිටි ආකාරයට සාගෝ ජයවික්‍රම ය. ඔහු මෙසේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දස්කම් දක්වා වසර සියයක් සම්පූර්ණවීමට තවත් වසර කිහිපයක් ඉතිරිව ඇති මේ අවස්ථාවේ එනම් 2021 මැයි මස 01 දින තවත් ජයවික්‍රම කෙනෙකු සිලෝන් වෙනුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවධානය දිනාගත්තේ ය. ඒ බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගය තම මංගල ටෙස්ට් තරගය කර ගනිමින් එක ඉනිමක කඩුලු පහක් හෝ ඊට වැඩි ගණනක් දවාලූ ලොව සුපක්‍රට පන්දු යවන්නන් අතරට එක්වෙමිනි. (ඒ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් මෙහි පළවෙයි.)

එයින් නොනැවතුණු ඔහු මෙම තරගය අවසන් වනවිට ක්‍රීඩකයන් අතර හොඳම පන්දු යැවීම සනිටුහන් කරගැනීමට ද සමත් විය. මේ වන විට මෙරට අංක එකේ වමත් දඟ පන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණිය ආබාධයකට ලක්ව සිටීම මත කණ්ඩායමට එක්වූ ප්‍රවීන් ජයවික්‍රම මුල් ඉනිමේ බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 06 ක් දවාලූයේ ලකුණු 92 ක් තුළය.

“ලැබූ කඩුලු අතරින් මගේ වටිනාම කඩුල්ල වුණේ තමීම් ඉක්බාල් ගේ කඩුල්ල. ඇත්තෙන්ම මට ඒ කඩුල්ල දවා ගැනීමට අවශ්‍යව තිබුණා.” මුල් ඉනිමේ තමාගේ මෙම දස්කමෙන් අනතුරුව ඔහු මාධ්‍යයට පැවැසුවේ ය. සැබැවින්ම මෙම තරගාවලිය තුළ බංග්ලාදේශ පිතිකරුවන් අතරින් ලකුණු අතර සිටි එමෙන්ම මෙරට පන්දු යවන්නන්ට වඩාත් තර්ජනාත්මක පිතිකරුවා වූයේ තමිම් ය.

මුල් තරගයේ දී ලකුණු 90 ක් හා 50 ක් නොදැවී ලබාගනිමින් ද, දෙවැනි තරගයේ මුල් ඉනිමේ ලකුණු 92 ක් ද ඔහු ලබා ගැනීමට සමත් විය. මේ සියලු අභියෝග හමුවේ මුල් ඉනිමෙන් නොනැවතුණු ජයවික්‍රම දෙවැනි ඉනිමේදී ද කඩුලු 05 ක් ලකුණු 86 කට දවාලීමට සමත්වූයේ තරගයේ ජයග්‍රහණයට දායක වෙමිනි. මේ අනුව තම මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 10 ක් හෝ වැඩි ගණනක් දවාලූ ලොව පන්දු යන්නන් අතර 16 වැනියා බවට ඔහු පත්විණි. ශ්‍රී ලංකාව පැත්තෙන් බලන කල එවැනි දස්කමක් කළ ප්‍රථමයා වන්නේ ඔහු ය.

“තරගයට පෙර මා තුළ යම් පීඩනයක් තිබුණා. නමුත් නායකයා ඇතුළු සෙසු ක්‍රීඩකන් එම පීඩනයෙන් මිදෙන්න මට උදව් කළා.” තම පළමු තරගයේම වීරයා සම්මානය අත් කර ගැනීමෙන් පසු ඔහු එසේ පැවසීය.

ජයවික්‍රමට අමතරව මෙම තරගයේ දී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් තවත් දඟ පන්දු යවන්නෙකු සම්බන්ධ බලා-පොරොත්තුවක් ශ්‍රී ලංකාව සතු වන බැව් පෙනී යයි. ඒ තම දෙවැනි ටෙස්ට් තරගය නියෝජනය කරමින් මුල් ඉනිමේ 86/02 ක් වශයෙන් හා දෙවැනි ඉනිමේ 103/04 ලෙසින් කඩුලු දවාලූ දකුණත් පිට දඟ පන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස් සම්බන්ධයෙනි. ඔහුගේ පන්දු යැවීමේ විශේෂත්වය සාමාන්‍ය පිට දඟ පන්දු යවන්නෙකුට වඩා වැඩි දඟ කැවීමකින් යුතු විණි. එසේම රමේෂ්ගේ පන්දු යැවීම තුළ පන්දුවේ ඉපිලීමක් දක්නට ලැබිණි.

“ඔවුන් නවකයන් වුවත් මේ තරගයේ දී දෙදෙනාම පන්දුව දඟ කැව්වේ වඩාත් පරිණත අයුරෙන් යැයි කිව හැකිය. එසේම රමේෂ් ඔහුගේ උස මැනවින් උපයෝගී කර ගන්නා බවක් පෙනෙන්ට තිබෙනවා.” මේ ඔවුන්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් පරිණත විචාරකයෙකු පළ කළ අදහස ය. මෙම වමත් හා දකුණත් දඟ පන්දු සුසංයෝගය අප මතකයට ගෙන ආවේ පූර්ව ටෙස්ට් යුගයේ ලලිත් කළුපෙරුම හා අජිත් ද සිල්වා (1982 මෙරට මුල් ටෙස්ට් තරගයේ දී ද මෙම දෙදෙනා තරග වැදිණි.) යුගලය. එමෙන්ම මුත්තයියා මුරලිදරන් හා රංගන හේරත්ද මතකයට නැඟීම වළකනු නොහැකි විය. කෙසේ නමුත් ඔවුනට මොවුන් දෙදෙනා සැසඳීම කල්යල් වැඩිය.

පල්ලෙකැලේ පිටියේ පළමු ටෙස්ට් තරගයේ දී තණතීරුව පිතිකරුවන් හට ගෙන දුන් වාසිදායක තත්ත්වය බොහෝ විවේචනයට බඳුන් විණි. කෙසේ නමුත් එහිම පැවැති දෙවැනි තරගයේ මුල් දිනයේ දී එක් විස්තර විචාරකයකු තණතිරුව දක්ෂිණ අධිවේගී මාර්ගයට සමාන කළේ කලින් තරගයේ දී මෙන් මෙවරද පිතිකරුවන්ගේ පාරාදීසයක් වනු ඇති බවට අනුමාන කරමිනි. එමෙන්ම මුල් දිනය අවසානයේ ශ්‍රී ලංකාව 291/01 ලෙස ඉනිම අවසන් කළ අතර දෙවැනි ඉනිම ආරම්භයේ දී ම තණතිල්ල පරීක්ෂා කළ හිටපු පාකිස්තාන් නායක අන්තර්ජාතික විස්තර විචාරක අමීර් සොහේල් පැවැසුවේ පිතිකරුවන් හට වඩාත් වාසිදායක තණතීරුවක් වනු ඇති බවය.

නමුත් තරගය ආරම්භ වී මඳ වේලාවකින් ලකුණු ලබා ගැනීමෙහි ඇති අපහසුතාවය මෙන්ම පන්දු යවන්නන්ගේ ආක්‍රමණයට කඩුල්ල නතු වන ආකාරය මැනවින් පෙනී ගියේ 291/01 ලෙස ආරම්භවූ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිවා ආහාරය වනවිට 324/04 ලෙස සටහන් කරමිනි. මේ අනුව තණතීරුව ක්‍රම ක්‍රමයෙන් දඟ කැවීමට ලක්වන බව දෙවැනි දින සිට දැක ගැනීමට හැකිවිය.

“අපි බලාපොරොත්තු වුණේ තෙවැනි හා සිව්වැනි දිනවල තණතීරුව දඟ කැවෙයි කියලයි. නමුත් දෙවැනි දිනයේ ආරම්භයේ පටන්ම තණතිල්ල දඟ කැවීමට පටන් ගත්තා.” මේ තවත් විශේෂඥ විස්තර විචාරකයෙක් තරගය සම්බන්ධයෙන් දැක්වූ අදහසය.

බංග්ලාදේශය වෙනුවෙන් වමත් දඟ පන්දු යවන්නා වන තන්ජුල් ඉස්ලාම් 72/05 ලෙස දෙවැනි ඉනිමේ පන්දුවෙන් දැක්වූ දස්කම් ද මෙහිදී අමතක කළ නොහැක.

තරගාවලියේ වීරයා බවට පත් නායක දිමුත් කරුණාරත්න නිතරම ඉදිරියෙන් සිට නායකත්වය දරන ක්‍රීඩකයෙකු ලෙස මෙහිදී විස්තර විචාරකයෝ පුන පුනා කීවෝය. එය ඔහුගේ නායකත්වය වර්ණනා කිරීමක් වූ අතර තමන් මුහුණ දුන් ඉනිම් තුනේදීම පිතිකරුවෙකු ලෙස මුල් තරගයේ දී 244 ,දෙවැනි තරගයේ මුල් ඉනිමේ ලකුණු 118 ක් ද දෙවැනි ඉනිමේ ලකුණු 66 ක් ද වාර්තා කිරීමට ඔහු සමත් විය. ලකුණු 5000 සීමාව ඉක්මවා යාමට ද ඔහු දෙවැනි තරගයේ මුල් ඉනිමේ දී සමත් වූයේය. ඔහුට අමතරව ධනංජය ද සිල්වා හා ළහිරු තිරිමාන්න මෙම තරගාවලිය තුළ ලකුණු අතරට පැමිණියේ දෙදෙනාම තරගාවලිය තුළ ශතක රැස් කරමිනි.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම මෙම තරගාවලිය පුරා කැපී පෙනිණි. “අපේ තරුණ ක්‍රීඩකයන් හොඳින් දස්කම් අතරට පැමිණියා. සෑම දෙයක්ම හොඳින් සිදුවුණා. ප්‍රවීන්ගේ පන්දු යැවීම අනර්ඝයි. ඒ වගේමයි රමේෂුත්. මම හිතනවා ඔවුනට විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා නිරතුරුව ටෙස්ට් තරග සඳහා අවස්ථාව ලැබිය යුතුයි.” තරගාවලියෙන් ලද 1-0 ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කළේ මහත් සතුටිනි.

අනිල් විරසිංහ

Comments