රිච්මන්ඩ් විදුහල අභිමානවත් 145 වසර සපුරයි | සිළුමිණ

රිච්මන්ඩ් විදුහල අභිමානවත් 145 වසර සපුරයි

ශ්‍රී ලංකාවේ ඉපැරණි පාසල්හි ඉතිහාසය පිරික්සීමේදී ගාල්ල නගරය තුළින් බිහිවූ ඉපැරණි පාසලක් ලෙස රිච්මන්ඩ් විද්‍යාලය හැඳින්විය හැකිය. මෙතෝදිස්ත සභාවේ අධි ලේඛනවල මෙන්ම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාරය සහ ලේක්හවුස් ලේඛනාගාරය වැනි ආයතනවල ලේඛන පරිශීලනයට අනුව 1876 මැයි මස 01 වන දින “ගාල්ල අග්‍ර පාඨශාලාව” (Galle High School) ලෙස රිච්මන්ඩ් විද්‍යාලය ආරම්භ විය. 1882 අප්‍රේල් 04 වැනි දින “රිච්මන්ඩ් විද්‍යාලය” ලෙස ප්‍රතිනාමකරණය සිදුවූයේ ද වෙස්ලියානු මෙතෝදිස්ත මිෂනාරි සංගමයේ සම්මුති මඟිනි.

ගාලු පුරවරයට ආසන්නයෙහි පිහිටි සයනේරිස් කන්ද නැමැති අක්කර 26 පමණ යුත් රමණීය කඳුවැටියක් සහිත භූමියක රිච්මන්ඩ් විද්‍යාලය බිහිවිය. දරුවන් 104 දෙනෙකු සහ 08 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මඬුල්ලකින් ඇරඹි පාසලේ මුල් නිර්මාතෘවරයාණන් වූයේ ජේර්ජ් බෝ දේවගැතිතුමන්ය. එංගලන්තයේ සරේ ග්‍රාමයේ පිහිටි තේම්ස් නදිය අසබඩ දර්ශනීය රිච්මන්ඩ් කඳුමුඳුන දිස්වේ. එවන් සුන්දරත්වයක් දක්නට ලැබුනු මෙම විදුහල පිහිටි පරිසරය පිළිබඳව රෙපරමාදු මිෂනාරිවරුන්ට වැටහී, රිපන් දේවගැතිතුමාගේ මැදිහත්වීමෙන් පවුම් 75 ක් හෙවත් රුපියල් 937.50 ක මුදලකට මිෂනාරි සභාවේ මුදල් මෙම භූමිය මිලදී ගැනීම සඳහා යෙදවා ඇත. අනතුරුව ගාලු පදවියට සේවයට පැමිණි ජේර්ජ් බෝ දේවගැති තුමන් මෙතෝදිස්ත මන්ත්‍රණ සභාවේ මුදල් පවුම් 1200 ක් යෙදවා මෙම රමණීය කඳු මුඳුුනෙහි විදුහල් ගොඩනැගිලි ඉදිකර ඇත.

මෙසේ ආරම්භය සනිටුහන්වූ රිච්මන්ඩ් විදුහලෙහි ප්‍රථම විදුහල්පති ධූරය හෙබවූයේ 1876-1879 දක්වා සැමුවෙල් ලැන්ග්ඩන් දේවගැතිතුමන් විසිනි. ඉන් අනතුරුව 1940 වසර දක්වා දේවගැතිවරු 08 දෙනෙකු විදුහල්පතිවරුන් ලෙස සේවයේ යෙදෙමින් විද්‍යාලය විශිෂ්ට තලයකට ගෙන ඒමට කටයුතු කර ඇත. 1940 වර්ෂයේදී ප්‍රථම ශ්‍රී ලාංකික විදුහල්පතිවරයා ලෙස ආදි ශිෂ්‍යයකු වූ ඊ.ආර්. ද සිල්වා විදුහල්පති ධූරයට පත්වීම සිදුවිය.

ලාංකික සැමට අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීම සඳහා නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම ආදිශිෂ්‍යයෙකි. ආරම්භයේ පටන් ගාස්තු අයකරන පාසලක් වූ රිච්මන්ඩ් විද්‍යාලය 1951 මැයි මස 01 වැනි දින සිට ජාතික නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළට අනුගත වීම සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1962 මාර්තු මස 15 දින සිට මිෂනාරි පාලන යුගය නිමා කරමින් රිච්මන්ඩ් විද්‍යාලය රජයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා යටතේ පාලනය වන රජයේ පාසලක් ලෙස ආණ්ඩුවට පවරා ගැනීම සිදුවිය. 1962 වසරේ මැයි මස සිට විද්‍යාලයේ ප්‍රථම බෞද්ධ විදුහල්පතිවරයා වූයේ ඩී.ජී. වැලිකලය. එතුමන්ගේ පත්වීමත් සමඟ විද්‍යාලයේ විශාල පුනර්ජීවයක් ඇතිවූ කාලපරිච්ජේදයක් ලෙස හැඳින්විය හැකිය. 

අධ්‍යාපන ක්ෂේත්‍ර යේ නිම් වළලු පුළුල් කරමින් මේ වන විට රිච්මන්ඩ් විදුහලින් විද්වතුන් රැසක් දැයට දායාද කිරීමට සමත්වී ඇත. පී. ද ඇස්. කුලරත්න, එල්.එච්. මෙත්තානන්ද, මහාචාර්ය ලුඩොවොයික්, එස්.එෆ්. ද සිල්වා, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, ගාමිණී හත්තොටුවේගම වැනි ප්‍රාඥයන් ඒ අතරට එක්වේ. දේශපාලන ක්ෂේත්‍ර ය නියෝජනය කරමින් දිවංගත හිටපු අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මෙන්ම මෙරට පස්වන විධායක ජනාධිපති සහ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්, වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, චමල් රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ යන අයද විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයන් වේ. එමෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවය හොබවමින් අග්‍රමාත්‍ය ලේකම් ධූරය දරනු ලබන ගාමිණී සේදර සෙනරත්ද විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වේ.

අධ්‍යාපන ක්ෂේත්‍ර යට පරිබාහිරව මෙම පාසල ආරම්භයේ පටන් විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා සිසුනට අවශ්‍ය පහසුකම් සැලසූ කේන්ද්‍රස්ථානයක් විය. ක්‍රිකට්, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, පාපන්දු, හොකී, වොලිබෝල්, බේස්බෝල්, රගර්, බාස්කට්බෝල් හා චෙස් යනාදී ක්‍රීඩා ඉසවු වලින් දේශීය මෙන්ම ජාත්‍යන්තර තලය නියෝජනය කිරීමට සමත් ක්‍රීඩකයන් බිහිකිරීමට සමත්විය. චම්පක රාමනායක සහ චමිල ගමගේ යන ක්‍රීඩකයන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකරගෙන තිබූ අතර වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ට නියෝජනය හිමිවීම විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය ඉහළ නංවමින් නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට සමත්වී ඇත.

වර්තමාන විදුහල්පති තිලක් වත්තුහේවා අවැසි නායකත්වය විද්‍යාලයට ලබා දෙමින් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරමින් විද්‍යාලයීය අභිවෘද්ධියට උරදී ඇති බව සඳහන් කළ යුතුය.

එන්.සී. රංජිත්

Comments