නව සංශෝධනය අසා දැනගන්නා හැටි | සිළුමිණ

නව සංශෝධනය අසා දැනගන්නා හැටි

 

 

“අසා දැනගන්න - නොදන්නා අයට කියා දෙන්න” (get to know from chose who know, teach those who do not know) මේ සන්නිවේදනාත්මක කියමන අපට උගන්වන්නේ බර්ට්‍රන්ට් ‍රසල් නමැති මහා දාර්ශනිකයාණන් ය. ඒ බව සඳහන් වන්නේ එතුමා ලියූ ‘නිසරු දැනුම’ (Useless Knowledge) නමැති අතිශයින් විවාදයට ලක්වූ ලේඛනයකය. රසල් පඬිතුමා පවසන දේ විවරණයට ලක් කරන්නේ රේමන්ඩ් විලියම්ස් ය. (Raymond Willioms) නම්වූ පුරෝගාමී සන්නිවේදන ආචාර්යවරයාය. විවරණය කරමින් පවසන දේ හැම කල්හිම සන්නිවේදන විද්‍යාර්ථීන්ට වැදගත් ය. එය අප විසින් වටහාගත යුත්තේ පෙරදිග ඇදුරන්ගේ මතවලට අනුකූලවය.

මුලින් ම සටහන්වන්නේ “අසා දැනගන්න” යන්නහි අර්ථයයි. ලොව පහළවූ හැම දෙයක්ම ලියා සටහන්වී නැත. මුලින් බිහිවුණේ ශබ්දයයි. (Sound) ශබ්දය කෙමෙන් විවිධ අර්ථවලට (Meanings) බෙදී වෙන්වීම සිදුවූ අයුරු දිගු කතාවකි. ‘ශබ්දය’ යන්න ‘වාචික’ (Verbal) වශයෙන් ද ‘ශ්‍රත’ (Oral) වශයෙන් ද හැඳින්වේ. එමඟින් හඬ ඇසුරු කොට පවත්නා සන්නිවේදනය වාචික සන්නිවේදනය (Verbal Communication) වශයෙන් ද ජනශ්‍රැති අධ්‍යයනය (Oral or Folklore Studies) වශයෙන් ද ප්‍රභේද වේ. මේ හැම අධ්‍යයනයකම පටන් ගැන්මක් ලෙසින් ද සැලකේ. වාග් විද්‍යාව නම්වූ විෂයයට මුල පිරුණේ මේ අධ්‍යයන ධාරාවයි. රේමන්ඩ් විලියම්ස් ආචාර්යවරයා සසාධකව පෙන්නුම් කරන්නේ හැම සංස්කෘතියකටම අයත්වූ ජනයා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට හඬ භාවිතයට ගැනීම නිසා ‘ජනශ්‍රැතිය’ බිහිවූ බවය. එහි මූලිකාංගය වන්නේ හඬක් මඟින් ඇසෙන්නට සලස්වන්නේ කුමක්ද යන්න වටහා ගැනීමයි. මේ නිසා ජනශ්‍රැති අධ්‍යයනය (Folklore Studies) යන්න සන්නිවේදන අධ්‍යයනයේ ප්‍රබල ඥාන ධාරාවක් (Knowledge Stream) වශයෙන් රැඳී පවතියි. බොහෝ සෙයින් අසා දැනගත් පුද්ගලයා හඳුන්වනු ලැබුවේ බහුශ්‍රැත (Well – heard) කෙනෙක් ලෙසිනි. බොහෝ දේ අසන ලද පුද්ගලයා ‘ඇසූ පිරූ තැන් ඇති’ කෙනෙක් ලෙස ද සැලකේ. ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයාට ගරු සම්මාන පුද කෙරේ. මවිසින් මෙසේ අසන ලදි යන්න ‘එවං මෙ සුතං’ යනුවෙන් ද දැක්වේ. ‘Thus have I heard’ යනුවෙන් ඉංග්‍රීසියෙන් ද දැක්වේ.

“අසා දැන ගන්නා ලද්දේ කුමක්ද?”

“අසා දැන ගන්නා ලද්දේ කවරක්ද?”

“අසා දැන ගන්නා ලද දේ පලදායකද?”

අසා දැනගන්නා ලද දේ අසා සිටිය හැකි ද?”

 

මේ ආදී ප්‍රශ්න රැසක් ‘ශ්‍රැති’ යන්න හා සමඟ එක්වේ. ‘අසා සිටිය හැකි’ යන්න ‘ශ්‍රැති ගොචර’ වශයෙන් ද විවරණය වේ. බොහෝකොට අසා දැනගත් දේ ඇති පුද්ගලයා හඳුන්වන්නේ ‘උගතා’ (Scholar) යනුවෙනි. යමක් ඉගැන්විය හැක්කේ උගතකුටය. එබැවින් තම පාලන තන්ත්‍රය සැලසුම් කිරීම සඳහා උගතුන් හෙවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයන්ගේ මෙහෙවර අවශ්‍ය විය. රජවරුන්ට හා විවිධාකාර පාලකයන්ට අවවාද අනුශාසනා කරනු ලැබුවේ මෙය ඇසූ පිරු තැන් ඇති උගතුන් විසිනි. ඔවුන් ‘දිසාපාමොක් ඇදුරන්’ වශයෙන් වෙසෙයි. නාමයකින් හඳුන්වනු ලැබීය. මුලින් ම තමන් අසා දැනගත් දේ ලියා යටපත් කිරීමටත් වාචික සන්නිවේදනය පරපුරින් පරපුරට ගෙන යාමටත් උපකාර කරනු ලැබුවේ මේ උගතුන් විසිනි. එබැවින් උගත මනා ශිල්පයමැයි මතු රැකෙනා යන්න අපූරු කියමනක් බවට පත්විය. අසා දැන ගත් දේ ලියා සටහන් කර ගැනීම හේතුවෙන් ගුරු පරපුරක් හා ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරක් හැම සංස්කෘතියකටම අයත් විය. එබැවින් අද සන්නිවේදන අධ්‍යයනයේ ගුරු සංකල්පය (teacher Concept in Communication) යන්න ප්‍රධාන පෙළේ සූත්‍රයක් (theory) බවට පත්වී තිබේ. සන්නිවේදකයා ගුරුවරයෙකි. (Communication is a teacher) යන්න සනාතන සන්නිවේදන න්‍යායක් බවට පත්වී ඇත්තේ එහෙයිනි. “මම ඉගෙන ගෙන උගන්වන්නම්” යයි පැවසෙන්නේ එබැවිනි.

Comments