තුන්බිය මැවෙන ඉන්දියාවේ කොවිඩ් භීතිය | සිළුමිණ

තුන්බිය මැවෙන ඉන්දියාවේ කොවිඩ් භීතිය

සෞඛ්‍ය සේවකයකුගේ අවසන් හෝරාව වසංගතයක කඳුළු

මිනිසා බොහෝ දේ ඉක්මනින් අමතක කිරීමට දක්ෂයෝය. ඇතැම් දේ එසේ අමතක කිරීම යහපත් වුවද, ඇතැම් දේ ඉක්මනින් අමතක කිරීමෙන් සිදුවන්නේ අයහපතකි. කොවිඩ් වසංගතය බොහෝ දෙනාට ඉක්මනින් අමතක විය. අප රටේ පමණක් නොව බොහෝ රටවල එය එසේ විය.

එහෙත් වයිරසයට තම අරමුණ අමතක වූයේ නැත. එය හෙමින් හෙමින් තම අරමුණ කරා ගමන් කළේ හැකිතාක් මිනිසුන් ගොදුරු කර ගනිමිනි. ඇතැම් විට කොවිඩ් නිසා අහිමි වූ තම නිදහස යළිත් පෙර සේ භුක්ති විඳීමට මිනිසුන් උත්සාහ දැරුවා විය හැකිය. එහෙත් තම වගකීම අමතක කර දැමීමෙන් ‌බොහෝ මිනිසුන් තම රටම අමාරුවේ දැමූහ. මේ කියන්නේ අපේ රට ගැන යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් මේ කියන දේ අපේ රටටද එකසේ පොදු වුවද මේ කියන්නේ ඉන්දියාව ගැනය.

ඉන්දියාව මේ වන විට විශාලා මහ නුවරක් බවට පත්ව තිබේ. අදින් වසර දෙදහස් පන්සියයකට පෙර දීද ඉන්දියාවේ විශාලා මහ නුවර යනුවෙන් හැඳින්වූ භූමි ප්‍රදේශයක මෙවැනිම මහා රෝගයක් පැතිරෙමින් මහා ව්‍යසනයක් සිදුවිය.

තැන තැන ඇද වැටී මියගිය මිනිසුන්ගේ මෘත ශරීර මහමගම දිරාපත් වන්නට වූයේ එවා වළ දැමීමට වත් ශක්තියක් ජීවත් වූවන්නට නොවූ බැවිනි. රෝග බිය, දුර්භික්ෂ බිය සහ අමනුෂ්‍ය බිය යන තුන් බියට මැදිවූ විශාලාවේ ජීවත්ව සිටි ජනතාව කර කියා ගත කිසිවක් නොමැතිව අසරණ වූහ. ඔවුන් වෙත කරුණාව පෑමට ඉතිරිව සිටියේ අප මහා කාරුණිකයන් වහන්සේ පමණක්ම විය.

උන් වහන්සේ විශාලාවට වැඩමවත්ම මහා වර්ෂාවක් වැටී තැත තැන තිබූ මළ සිරුරු සෝදා ගොස් නගරය පිරිසිදු විය. මහා කාරුණිකයාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරමින් විශාලාවේ ජනතාව තුන් බියෙන් මුදා ගත් සේක.

එහෙත් එයින් වසර දෙදහස් පන්සියයක් ගැවුණු තැන මහා කරුණිකයාණන් වහන්සේ නොමැති බිම තැන තැන මළ සිරුරු ගොඩ ගැසීම වැළැක්වීමට නොනවත්වා ඒවා දහනය කිරීමට ඉතිරිව සිටින ජනතාවට සිදුවූ තිබේ.

ඉන්දියාවට කොවිඩ් අභියෝගාත්මක බව අප පැවසූවේ පසුගිය වසරේ මාර්තු මාසයේදීමය.

ඒ ඉන්දියවේ ජනඝනත්වය සහ ඉන්දීය ජනතාවගේ විනයක් නොමැති හැසිරීමේ හේතුවෙන් කොවිඩ් වයිරසයට ඉන්දියාව යනු සැනකෙළි භූමියක් බව තතු දන්නා කවරකුට වුවද පුදුමයක් නොවන බැවිනි.

මාසයක පමණ කාලයක ලොක් ඩවුන් කිරීමකින් පසු ඉන්දියව යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අගමැදි මෝදි කටයුතු කරන්නේ වයිරස ව්‍යප්තියේ කිසිඳු අඩුවක් නොමැති තත්ත්වයක් යටතේය.

ආර්ථිකය ගැන සිතීමේදී එය එසේ කිරීම සම්බන්ධව දොස් පැවරිය නොහැකි නමුදු අඩුම තරමින් වරින් වර ජනතාවට වයිරසය පිළිබඳ සිහිපත් කරමින් සමාජ දුරස්ථතාව පවත්වා ගැනීමට, අවම සේවකයන් පිරිසක් කැඳවීමට අනුබල දීමට කටයුතු කිරීමට වැනි කෝවිඩ් ‘නිව් නෝමල්’ ක්‍රමවේදය පවත්වා ගැනීම අධීක්ෂණය කිරීමට හෝ රජයට පැවති වගකීම අමතක කර දැමිය නොහැකිය. එහෙත් ඉන්දීය රජය ඒ කිසිවක් කළේ නැත. ඔවුන් ඒ වෙනුවට ප්‍රාන්ත කිහිපයකම මැතිවරණ කැඳවීය.

මැතිවරණ රැස්වීම් එම ප්‍රාන්ත පුරා පැවැත්වීමට කටයුතු යේදීය.

අගමැති මෝදි පවා බීජේපීයේ සහයෝගය ලබන පක්ෂ දිනවීමට මේ මැතිවරණ වේදිකාවන්ට ගොඩවූයේය. ඒ අතර කොවිඩ් පිළිබඳ කිසිඳු අදහසකින් තොරව පෙර වසරවලදී මෙන්ම ලක්ෂ ගණනකගේ සහභාගීත්වයෙන් ‘කුම්භ මේලා’ වැනි උත්සවද ඉන්දියාව පුරා පැවැත්විය. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ දිනකට අසාදිතයන් ලක්ෂ තුන ඉක්මවන මහා රෝගීන් ධාරිතාවක් ඉන්දියාවෙන් වාර්තා වීමය. දැන් එයට සාපේක්ෂව මරණ සංඛ්‍යාවද ඉහළ යෑමය. මෙසේ දොස් පවරන අතරතුර කොවිඩ් සම්බන්ධව ඉන්දියාවට ‘හොඳයි’ කිව යුතු තවත් දෙයක් වේ. එය නම් ලෝකයට බොරු නොකීමය.

කොවිඩ් ආරම්භ වූ ඇතැම් රටවල් පවා තම රටෙන් වාර්තා වූ සහ වාර්තා වෙමින් සිටින නිශ්චිත අසාදිතයන් සංඛ්‍යාව සම්බන්ධව නිවැරැදි තොරතුරු ලෝකයට ලබා දුන්නේ නැත. ඇතැම් රටවල් පීසීආර් පරීක්ෂණ අවම කරමින් අඩු අසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා කළහ. ඇතැම් රටවල් ආරම්භයේ සිට කොවිඩ් අසාදිතයන් ගණනය කිරීම අත්හැර දැමුවේ වැඩකට නැති බව කියමිනි. එවැනි ඇතැම් රටවල අවසාන ප්‍රතිඵල වූයේ එම රටේ රාජ්‍ය නායකයාද කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත් වීමෙනි. ටැන්සානියාව ඒ සඳහා හොඳ උදාහරණයකි.

එහෙත් තත්ත්වය කොතරම් බැරෑරුම් වුවද ඉන්දියාව ලෝකයට ඇත්ත කීවේය. කොතරම් බැණුම් ඇසුවද මෝදි ලෝකයට බොරු කිව්වේ නැත. දිනකට අසාදිතයන් ලක්ෂ තුන ඉක්මවද්දී හෝ ඔහු පීසීආර් අඩුකිරීමට කටයුතු කළේ නැත.

ඉන්දියාවට මේ අසාදිතයන් අවම කර ගැනීමට සහ මරණ අවම කර ගැනීමට ඔනෑ තරම් හැකියාව තිබිණි. ඒ තම රටේම නිපදවන එන්නත් විධිමත් එන්නත්කරණ වැඩපිළිවෙලක් යටතේ තම රටේ ජනතාවට බෙදා දීමට කටයුතු කිරීමෙනි. එහෙත් ඉන්දීය පාලකයෝ එම අවස්ථාව අත්හැර දැමූහ. ඒ වෙනුවට ඔවුහු එන්නත් තොග පිටින් අපනයනය කරමින් තම මඩිය තර කර ගත්හ. අප්‍රේල් මස මුල සිට එන්නත් අපනයනය නවත්වා තම රටේ අවශ්‍යතා සැපිරීමට කටයුතු කළද ඒ වන විට අශ්වයා පැන ගොස් අවසන් විය.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් මොනවා වුණත් එන්නත්කරණය ඉතා ආදර්ශවත් ලෙස සිදුකළහ. එම රටවල රාජ්‍ය නායකයන් වුවද එන්නත ලබා ගත්තේ තමන්ගේ වයස් කාණ්ඩයට එන්නත ලබා දෙන අවස්ථාව තෙක් ඉවසිල්ලේ බලා සිටීමෙන් පසුවය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් එසේ කළේය. ඉන්දියාවේ විධිමත් එන්නත්කරණ වැඩපිළිවෙලක් නොවීය. කොවිඩ් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවීය. ජනතාවට විනයක් නොවීය. මේ සියල්ල එක් වූ තැන දැන් රට විශාලා මහනුවරක් වී තිබේ.

දිනකට ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මනා වාර්තා වන පසුබිමක රෝහල් ධාරිතාව ඉක්මවූයේ ඉතා පහසුවෙනි. ඉන්පසුව ඇති වූයේ ඔක්සිජන් හිග වීමේ ගැටලුවයි. මහා රාශ්ඨ ප්‍රාන්තයේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් නොමැති වීමෙන් රෝගීන් අපා දුක් විඳින්නට වූ අතර මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය. රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම වෙනුවෙන් පන්ජාබ් ප්‍රාන්තයේ යකඩ සහ වානේ කර්මාන්ත ශාලාවල වැඩ නවතා දැමීමට තීරණය විය.

කොවිඩ් අසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන්නට වූ දුශ්කර පළාත් වෙත ඔක්සිජන් සැපයීම ප්‍රබල අභියෝගයක් වූ අතර ඒ සඳහා දුම්රිය ප්‍රවාහනය යොදා ගැනීමට බලධාරීහු කටයුතු කළහ.

විශාකපට්නම් නගරයේ සිට ඔක්සිජන් ටොන් සියයක් පටවාගත් ට්‍රක් රථ හතක් රැගත් දුම්රියක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තය වෙත වහාම පිටත් කෙරුණු අතර එය ‘ඔක්සිජන් එක්ස්ප්‍රස්’ යනුවෙන් නම් කරනු ලැබීය. රටේ ඔක්සිජන් අවශ්‍යතා සම්පුර්ණ කිරීමට සෞදි අරාබියෙන් ඔක්සිජන් තොගයක් වහාම ගුවන් මගින් ගෙන ඒමට කටයුතු කිරීමටද ඉන්දීය බලධාරීහු කටයුතු යෙදුහ.

මේ අතර හැකිතාක් ජනතාවට එන්නත් ලබා දීම ආරම්භ කෙරුණු අතර ඉන්දීය රජය ජනතාවගේ වගකීම පැහැර හැරි බවට සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය පණිවිඩ දහස් ගණනක් ඉවත් කිරීමට ඉන්දීය බලධාරිහු කටයුතු කළ අතර එයද ජනතාව අතර දැඩි සේ විවේචනයට ලක් විය.

මදුරාසි අධිකරණය එරට මැතිවරණ කොමිසම දැඩි සේ දෝශාරෝපණය කර සිටියේ මෙවැනි වාතාවරණයක් පැවතියදී මැතිවරණයක් පැවැත්වීමට අවසර ලබා දීම සම්බන්ධයෙනි.

මේ වන විට ඉන්දීය හමුදාවද කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සහය පිණිස කැඳවා ඇති අතර දිල්ලි නගරයද, තවත් නගර ගණනාවක්ද වසා දැමීමට කටයුතු කර තිබේ.

කොවිඩ් තත්ත්වය යටතේ දැඩි සේ පීඩාවට පත්වූ සෞඛය අංශ මේ වන විට දරා ගත නොහැකි තරම් රෝගීන් සංඛ්‍යාවක් හමුවේ තවත් පීඩාවට පත්ව සිටින අතර කොවිඩ් වැලඳීමෙන් අසාධ්‍යව සිටින තම සමීපතමයන්ට කිසියම්ම හෝ ප්‍රතිකාරයක් ඉල්ලා රෝහල් දොරටු අබියස පැය ගණන් හඬමින් වැළපෙමින් සිටින ජනතාව ලක්ෂ ගණනක් වී තිබේ.

දුගී ජනතාව මෙලෙස හුස්ම බිඳක් ඉල්ලා වැලපෙන අතර ආරක්ෂිතව නිවෙස්වලට වී සිටින්ම ලොරි ටෝක් දෙන ඉන්දීය දේශපාලනඥයන්ද සුලබ වී තිබේ.

ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා වන හර්ෂ් වර්ධාන් ට්වීටර් ඔස්සේ පවසා තිබුණේ ‘අහසින්, දුම්රියෙන්, මහ මඟින් මුහුදෙන්, පොළොවෙන් මෙන්ම දිව්‍ය ලෝකයෙන් මේ වන විට පවතින තත්ත්වය ජය ගැනීමට උපකාර ලැබෙමින් පවතින බවයි. එසේ දිව්‍ය ලෝකයෙන් උපකාර පැතීමට පෙර කොවිඩ් පිළිබඳ අවබෝධයෙන් යුක්ත වෙමින් නිසි පිළිවෙත් අනුගමනය කිරීමට ජනතාවට නියම කළේ නම්, ඔවුන් අධීක්ෂණය කළේ නම් මෙවැනි උදවු ඉල්ලීමට සිදු නොවන බව සෞඛ්‍ය ඇමතිවරයාට සිහිපත් කර දීමට එරට ජනතාව මැතිවරණයකදී පෙළ සැදී සිටිනු ඇත.

මේ වන විට ඉන්දියාවේ ළඟම හිතවතා වන ඇමරිකාව ඉත සිතින් ඉන්දියාවේ සහයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ. ජනාධිපති ජෝ බයිඩ්න් එන්තත් උපකරණ සමඟ කාර්ය මණ්ඩලය ඉන්දියාවට එවීමට මේ වන විටත් කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. එපමණක් ද නොව බ්‍රිතාන්‍ය, සෞදි ආරාබිය ඇතුළු රටවල් රැසක් ඉන්දියාවේ සහයට පැමිණෙමින් තිබේ.

රුසියාව වාර්තා කර තිබුණේ ස්පුට්නික් එන්නත් තොගයක් මැයි මස පළමුවැනි දින වන විට ඉන්දියාවට ලැබීමට සලස්වන බවයි.

මේ සියල්ලටම වඩා හද දවන දර්ශන දක්නට ලැබෙන්නේ කොවිඩ් මරණ ආදාහනය කරන ප්‍රදේශවලිනි. කුඩා දර ගොඩක් මත තැබෙන මිනී එකිනෙක මීටර් දෙක තුනක දුරකින් දවා අළු කරන දර්ශන ලොවම පුදුමයට පත් කරමින් තිබේ.

සිත් භීතියට පත් කරවමින් තිබේ. බුදුන් දවස විශාලා මහනුවර මෙසේ වන්නට ඇතැයි සිතේ මවා ගැනීම පහසු කරවමින් තිබේ.

මෙවර මේ පීඩාවට පත් ජනතාවට සරණ වීමට යමෙක් වේ නම් ඒ වගකිව යුතු ඉන්දීය බලධාරින්ම පමණක්මය. යළිත් බලයට පැමිණීමේ අදහසක් පවතී නම් භාරතීය ජනතා පක්ෂ නායකයන් ඒ බව සිහියේ තබා ගත යුතුය. කොවිඩ් වැළඳුණු රාහුල් ගාන්ධිද නිකම් නොසිටිනු ඇති බව අමතක කළ යුතු නැත.

Comments