මීගමු රෝහලේ මෝච­රි­යට රැගෙන යද්දී යළි උපන් මිනිසා | Page 2 | සිළුමිණ

මීගමු රෝහලේ මෝච­රි­යට රැගෙන යද්දී යළි උපන් මිනිසා

මෙලොව උත්පත්තියේදීම පතාගෙන එන එකම දෙය මරණයයි. ඒ අනුව කුමන ජීවයක් වුවද මෙලොව උත්පත්තිය ලැබුවහොත් මරණය නියතයකි. එලෙස උපදින සැවොම එලොව - පරලොව යෑම නියතයක් වුවත් සැබෑ ලෙසටම මියයෑමට පෙර මරණය උරුම කරදීමට තැත් කළ කතා පුවතක් පසුගිය නව වැනිදා මීගමුවෙන් වාර්තා විණි. එහි ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයනම් එලෙස සැබෑ ලෙසටම මියයෑමට පෙර මරණ සහතිකය ලිවීමට තැත් කළේ රෝගීන් සුවපත් කිරීමට සිටින ජීවකයෙකු විසින්ම වීමයි. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලින් වාර්තා වූ එම සිදුවීමට මුහුණ දුන්නෙ මීගමුව, දුන්ගල්පිටිය, මැද පිටිපන, 789/2 නිවෙසේ වෙසෙන මෙරිනදුගේ ඇලෙක්සැන්ඩර් සිල්වා නමැති 45 හැවිරිදි අයෙකි. දරුවන් තිදෙනකුගේ පියෙකු වන ඇලෙක්සැන්ඩර් එලොව ගිහින් මෙලොව ආ එම කතාන්දරය මෙලෙසිනි.

 

ධීවර රැකියාවේ නිරත ඇලෙක්සැන්ඩර් කලෙක සිටම අධික දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙකි. රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය නව වැනිදා අලුයම 4.50ට පමණ ඔහු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරිණි. පසුව එහි මූලික ප්‍රතිකාර ඒකකයෙදී එහි වෛද්‍යවරයකු විසින් ඇලෙක්සැන්ඩර් මියගිය බව සඳහන් කරමින් ට්‍රොලියකට දමා සුදු ඉටිරෙද්දකින් කොරිඩෝවකට ගාල් කර තිබුණේය. ඒ, පැය දෙක ඉක්මවූ පසු මෘත ශරීරාගාරයට රැගෙන යාමේ අටියෙනි. එසේ ට්‍රොලියේ සිටි ඇලෙක්සැන්ඩර් නැවත 'පණ ගසා' ජීවත්වීමට වාසනාව ලද ආකාරය ඔහුගේ බිරිය දීපිකා සජානි විස්තර කළේ මෙලෙසිනි.

"පහුගිය 9 වැනිදා මගේ මහත්තයා පාන්දර දෙකට පමණ ඇහැරුණා. නින්ද යන්නෙ නෑ කියලා කතාබහ කරමින් සිටියේ. මං තේ එකක් හදලා දුන්නා. ඒත් එක්කම එයාට කල්පනාව නැතිව ගියා... ඔහුගේ යාළුවන්ට කෝල් කරලා එන්න කියන්න කීවා. මං පාන්දර හතරට විතර යාළුවෝ දෙතුන්දෙනෙකුට කතා කළා. එයාලා එනකොට සිහි කල්පනාව හොඳටම නැතිව ගිහින් තිබුණේ. මම එයාගේ මිතුරෙක් වන සමන්ත සහ ඔහුගේ පුතා ඇතුළු කිහිපදෙනෙක් සමඟ මහත්තයා මීගමුව රෝහලට රැගෙන ගියා. පස්සෙ බාහිර රෝගී අංශයේ මූලික ප්‍රතිකාර ඒකකයේ තියාගෙන හිටියා. දොස්තර මහත්තයෙක් ඇවිල්ලා ටෝච් එක ගහලා ඇස් දෙක ඇරලා බැලුවා. එච්චරමයි ඒ දොස්තර මහත්තයා කළේ. ඊට පස්සෙ මට කතා කරලා ෆයිල් එක ලියන්න ගත්තා. ඒත් සමඟ මාව ඒ ෆයිල් එක සමඟ දෙතුන් තැනකට යැව්වා. අන්තිමට රෝහල් පොලිස් මහත්තයා ළඟට යැව්වා. ඒ මහත්තයා ඇහුවා, මොකද්ද වසම... ගිහින් පොලිස් රාලහාමි කෙනෙක් එක්කගෙන එන්න... මං ඇහුවා මොකද්ද ප්‍රශ්නෙ... ඇයි ඔයාගේ ලෙඩා නැතිවෙලානෙ කීවා. ඔයාලට කිව්වෙ නැද්ද කියලා ඒ පොලිස් මහත්තයා ඇහුවා. නෑ අපිට එහෙම කිව්වෙ නෑ කියලා මං කිව්වා. මං ඒ දේ අපි සමඟ ගිය අයට කිව්වා. ඊට පස්සෙ මං ලෙඩා ළඟට යන්න ගියා. ඒත් මට හිටපු අය යන්න දුන්නෙ නෑ. මං බලෙන්ම ලෙඩා ළඟට ගියා. ඒ වෙනකොට මුළු සිරුරම සුදු ඉටිරෙද්දකින් වහලා තිබුණේ... ඉටිරෙද්දෙන් වහල තිබුණ මුහුණ කොටස ඇරලා මුහුණ දිහා බලාගෙන මම විලාප දිදී ඇඬුවා. ඒ වෙලාවෙත් අපේ අය මාව එක්කගෙන යන්න හැදුවේ... තව චූට්ටක් ඉඳලා එන්නම් කියලා මම මූණ බදාගෙන ඇඬුවා. ඒ වෙලාවෙ තමයි මං දැක්කෙ මහත්තයගෙ තොල්පට සෙලවෙනවා. ඒත් එක්කම මං අපේ අයට කෑගැහුවා. මේ බලන්නකෝ... මහත්තයට පණ තියෙනවානේ කියා... අන්න ඊට පස්සෙයි දොස්තර කුලප්පු වෙලා වගේ මැෂින්වලටත් හයි කරලා බෙහෙත් කරන්න ගත්තෙ..."

මිය ගියා යැයි මීගමුව රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයකු නිගමනය කළ ඇලෙක්සැන්ඩර්ගේ බිරිය කිසිදා අමතක නොවන එම සිදුවීම කිසිවක් නොසඟවා එලෙස හෙළි කළාය.

අනතුරුව ඇලෙක්සැන්ඩර් මීගමුව රෝහලේ 4 වැනි වාට්ටුවට ඇතුළුකොට වැඩිදුර ප්‍රතිකාර කිරීමෙන් පසු තිබූ අසනීප තත්ත්ව සියල්ල බොහෝදුරට පාලනය විණි. ඔහුට සිදුවී ඇත්තෙ අධික දියවැඩියාව නිසාවෙන් රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසා සිහිසුන් තත්ත්වයක් (කෝමා) ඇතිවීම බව පසුව වෛද්‍ය නිගමනය විය. ඇලෙක්සැන්ඩර්ගේ බිරිය එලෙස විලාප නුදුන්නේනම් සුදු ඉටිරෙද්දකින් මුළු සිරුරම වසා මීගමුව රෝහලේ කොරිඩෝවක දමා සිටි ඇලෙක්සැන්ඩර්ගේ සිරුර පැය දෙකකට පසු මෘත ශරීරාගාරයට ගෙන යෑමට තීන්දුකර තිබුණේය. එසේ වූවා නම් සිදුවන්නෙ වගකීම් විරහිත වෛද්‍යවරයකුගේ ක්‍රියාකලාපය නිසාවෙන් අහස පොළොව නුහුලන අපරාධයකි. ඇලෙක්සැන්ඩර්ගේ බිරිය හඬා වැළපෙමින් ඉල්ලා සිටින්නෙ,

"මීට පෙර මෙවැනි අභාග්‍ය සිද්ධි ‍ගොඩ දෙනෙකුට වෙන්න ඇති... මං ඉල්ලන එකම දේ ඉදිරියේදී මට වුණ දේ වෙන කිසිම කාන්තාවකට සිදුවෙන්න දෙන්න එපා කියා..."

එම සිදුවීමට මුහුණ දුන් ඇලෙක්සැන්ඩර් එදින මීගමුව රෝහලට රැගෙන යාමට එක්වූ ඔහුගේ හොඳම මිතුරෙක් වන සමන්ත නමැත්තා එම අවස්ථාවේ මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ මූලික ප්‍රතිකාර ඒකකයෙහි සිටි වෛද්‍යවරයා පිළිබඳ අදහස් ප්‍රකාශ කළේ දැඩි අප්‍රසාදයකිනි.

"ඇත්තටම ඒ වෛද්‍යතුමා ලිය ලියා හිටිය එක විතරයි කළේ... ඇලෙක්සැන්ඩර්ට ප්‍රතිකාරයක් කියලා කිසිම දෙයක් කළේ නෑ. අපි විනාඩි 45ක් විතර හිටියා. අන්තිමට පොලිසිය තමයි අපිට කිව්වෙ ලෙඩා ආන්ත්‍රා වෙලා කියලා. අපි ගල් ගැහිලා වගේ බලාගෙන හිටියෙ මොකද්ද මේ වුණේ කියලා හිතාගන්න බැරුව... පස්සෙ ඇලෙක්ස්ගේ බිරිය හඬා වැටුණා. ඒ වෙලාවේ තමයි එයා මට කිව්වෙ සමන්ත මේ බලන්න තොල් සෙලවෙනවා කියලා. ඒත් එක්කම මං කෑගහගෙන ගිහින් දොස්තරට කිව්වා. ලෙඩාට පණ තියෙනවා... ඔයාලා මොකද්ද මේ කරන්නෙ කියා... අඩුම තරමේ ඒ මොහොතේ ට්‍රොලිය තල්ලු කරන්නවත් රෝහලේ කෙනෙක් හිටියේ නෑ... මැෂින් එකට ගැහුවම සියල්ල වැඩ... ඒත් එක්කම ඇලෙක්ස්ගෙ සීනි වැඩිවෙන්න බෙහෙත් දුන්නා... විනාඩි දහයක් ගියේ නෑ අත ඉස්සුවා... ඒත් අර මුලින් බැලුව දොස්තර මහත්තයම ඇවිත් කියනවා මොළේ මැරිලා කියලා... මොළේ මැරිච්ච කෙනාට අත උස්සන්න පුළුවන් ද කියලා මං ඇහුවා..."

එසේම ඇලෙක්සැන්ඩර්ගේ වැඩිමහල් පුත්‍රයාද පවසන්නට වූයේ සිය මෑණියන්, පියාණන් සිටි ට්‍රොලිය අසලට නොගියේ නම් තාත්තා නිරපරාදේ මෙලොව හැර ගොස් මේ වන විට නිවෙසේ තත්ත්වය හාත්පසින්ම වෙනස් වන්නට ඉඩ තිබූ බවයි.

ඒ අනුව ලෙඩට දුකට ප්‍රතිකාර කරමින් රෝගීන් මරණයෙන් ගලවා සුවපත් කිරීමට සිටින එම වෛද්‍යවරයාගෙන් සිදුවී ඇත්තෙ සුළුපටු වරදක් නොවේ. සමස්ත වෛද්‍ය වෘත්තියටම නිගා කළ එම වෛද්‍යවරයාට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය කෙබඳුද යන්න පැහැදිලි කළේ මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකා නිර්මලා ලෝගනාදන්ය.

"වෛද්‍යවරයා පිළිබඳව අපට තීන්දුවක් ගන්න බෑ... සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මඟපෙන්වීම යටතේ රෝහල අපරාධ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා... ඒ අනුව ඉදිරි පියවර ගන්න අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යැවීමට කටයුතු කරනවා..."

මෙකී සිදුවීම පසුගිය දිනවල මාධ්‍ය ඔස්සෙ ප්‍රචාරය වීමත් සමඟ වූ වැරැද්දකටද ඇලෙක්සැන්ඩර්ගේ බිරිය පිළිතුරු දෙමින් කීවේ,

"මාධ්‍යවල ගියෙ මගේ මහත්තයගෙ සිරුර මෝචරියට අරන් ගියා කියලා... ඒක තනිකරම බොරුවක්... එයාව ඕපීඩී එක පැත්තෙ කොරිඩෝවකයි දාලා හිටියෙ... එතැනින් එහාට කොහේවත් අරන් ගියේ නෑ... ඒ වගේම තව දෙයක් කිව යුතුයි... ඒ දොස්තර මහත්තයා අපෙන් සමාවත් ඉල්ලුවා වෙච්ච දෙයට. ‍කොහොම වුණත් ඒ දොස්තර මහත්තයා හොඳ කෙනෙක්... මොකක්හරි අතපසුවීමක් සිදුවුණා..."

වෛද්‍යවරු මිහිපිට සිටිනා දෙවිවරු හා සමානය. එහි තර්කයක් නැත. එහෙත් මෙවැනි අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් නිසාවෙන් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීමට සැරැසෙන වෛද්‍ය වෘත්තිකයන් පිළිබඳව වගකිවයුතු සියලු පාර්ශ්ව දැඩි අවධානය යොමුකළ යුතුයි. එසේ නොමැති වුවහොත් සිදුකරන සුළු අතපසු වීමකින් සිදුවන හානිය අතිමහත්ය.

Comments