නගර ශෝභිනීයක් නිවන් දකී | සිළුමිණ

නගර ශෝභිනීයක් නිවන් දකී

 

 ඇගේ නම අම්බ පාලි ය. ඇය උපන්නේ විශාලා නුවර රජ උයනේ අඹ ගසක් යට ය. ඒ ඕපපාතිකව ය. උයන් පල්ලාට ඇය දක්නට ලැබිණ. ඔහු ඇය නුවරට ගෙන ගියේ ය.

ඇය යොවුන් වියට පැමිණි පසු නගරයේ ඉහළතම අභිරූපිකාව වූවා ය. සියලු ඇස්වලට ඇය මිහිරක් විය. රජ කුමරුවෝ ඇගේ අත ගැනීමට සටන් කළ හ.

“මම ඔබ හැම දෙනාගේ ම වුවමනාව ඉටු කරමි. සටන් නවතනු“ යි අම්බ පාලි කීවා ය. ඇය ප්‍රකට ගණිකාවක් වූවා ය. ඇය උපන් උයන ඇයට ම පැවැරිණි.

කලෙකට පසු ඇයට බුදුරජාණන් වහන්සේ ගැන අසන්නට ලැබිණ. ඇගේ සිත බුදු දහමට නැඹුරු විය. සිය උයන තෙරුවනට පිදූ ඇය සිය පුතු ද සසුනට පිදුවා ය. විමල කොණ්ඩඤ්ඤ නමින් ප්‍රකට වූ ඒ හිමියන් ගෙන් බණ ඇසූ අම්බපාලි පැවිදි වූවා ය. විදසුන් වඩන්නට වූවා ය.

ජරාවට පත්වන සිය සිරුර ගැන කලකිරුණු ඇය අනිත්‍යය මෙනෙහි කොට රහත් බව ලැබුවා ය.

අභිරූපිකාවක වශයෙන් පෙර සිටි තත්ත්වයත් ජරාවට පත් වූ අද සිරුරේ තත්ත්වයත් සැසඳූ අම්බ පාලි රහත් මෙහෙණින් වහන්සේ සිය උදාන ගීතය මෙසේ ගැයුවා ය.

කැරලි ගැසී උඩට හැරුණු, බමරුන් පැහැයෙන් බැබළුණු

ඒ කළු කෙස් ජරා පත්ව අද හණ කෙඳි ගොඩක් වගෙයි

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

රුවැති මලින් සැරසූ හිස සුවඳ කරඬුවක් මෙන් විය

අද ඒ කෙස් ජරා පත්ව සා ලොම්වල දුගඳ ගෙනෙයි

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

යසට වැඩුණු වනයක් බඳු පීරා කටු ගසා සැදූ

හැඩ ට තිබුණු කෙස් ගැලවෙ යි ටික යි ඉතිරි වී ඇත්තේ

මුනිඳු දෙසූ බණ නිබොරුයි

- එය නො වෙනස්ව ම පවතියි

රන් අබරණ වලින් සදා අලංකාර ලෙස ට ගොතා

පැවතුණු කොණ්ඩය අද නැත ජරාව බිලි ගෙන සියල්ල

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

පෙර මේ බැම සිත්තරකු ගෙ අතකින් ඇඳි රේඛා මෙනි

නළලේ එල්ලී වැටෙනා අද එය රැලි දෙකක් පමණි

මුනිඳු දෙසූ බණ නිබොරුයි

- එය නො වෙනස්ව ම පවතියි

ඉඳුනිල් මිනි මෙන් බැබළුණු දිගටි දෑස පෙර පැවතුණු

බලන්න අද විරූපි ය ජරාව අපහ ට කළ දේ

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

මුහුණට හැඩ රුව ගෙන ආ තුඟුව වැඩුණු සිනිඳු නැහැය

දැන් බලන්න ජරාපත්ව හැකිළී ගොස් තිබෙන අයුරු

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

කදා වළලු මෙන් බැබළුණු කන් පෙති දෙක අද බලන්න

ජරාවෙලා රැලි වැටිලා පහළට එල්ලෙන අන්දම

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

ඉස්සර කොඳ කැකුළු වගේ සුදට සුදේ දිලිසුණු දත්

කැඩී බිඳී දිරා ගොසින් පඬු පැහැයෙන් යුතුව පෙනේ

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

වන මැද කෙවිලියක වගේ ගී ගැයුවෙමි මිහිරි හඬින්

ඒ ඉමිහිර දැන් නො ඇසෙයි ජරා වෙලා හඬ පැකිළෙයි

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

ඔප ලූ මට සිලිටි සකක් බඳු වූ මා ගෙල පෙර කල

අද වක් වී නැමී තිබේ ජරාව අප හට කළ දේ

මුනිඳු දෙසූ බණ නිබොරුයි

- එය නො වෙනස්ව ම පවතියි

වට මට දණ්ඩක් බඳු වූ බාහු යුගල ජරාපත් ව

වැහැරී ගිය අයුරු පෙනේ බිඳුණු පළොල් අතු වාගේ

මුනිඳු දෙසූ බණ නිබොරුයි

- එය නො වෙනස්ව ම පවතියි

රන් මුදුයෙන් සැදුණු දිලුණු අලංකාර මා අතැඟිලි

පෙනේ මුල් ගොඩක් විලසින් විරූපීව ජරාපත් ව

මුනිඳු දෙසූ බණ නිබොරුයි

- එය නො වෙනස්ව ම පවතියි

පුන් පියයුරු මා ළය මත උස් ව නැඟී තිබුණා පෙර

අද වියළුණු පෙරහන්කඩ විලසින් පහළ ට එල්ලෙයි

මුනිඳු දෙසූ බණ නිබොරුයි

- එය නො වෙනස්ව ම පවතියි

ඔප ලූ රන් රුවක් ලෙසට සොඳුරු මගේ සිරුර දිලිණ

අද එය රැලි ගොඩකි එක ම ජරාව බිලි ගත්තා කය

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

ඇත් හොඬකට සම කළ පෙර දඟ යුග ලොව නෙත් පිනැවී

අද එය උණ බට වාගෙ යි ජරාව රුව වනසාල යි

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

රන් නූපුරවලින් සැදුණු ලස්සන මගේ කෙණ්ඩා දෙක

ජරාපත්ව වියළී ඇත තල දඬු මෙන් පෙනේ ය අද

මුනිඳු දෙසූ බණ නිබොරුයි - එය නො වෙනස්ව ම පවතියි

පුළුන් වලින් සාදා ලූ ලෙසින් පෙනුණු මා පා යුග

ජරාපත්ව යටි පතුලත් පැළිලා රැලි ගැසී තිබෙයි

මගේ සිරුර පෙර එහෙම යි, අද මෙහෙම යි දුක ම පිරෙයි

බදාම ගැලවුණු නිවසක් විලසින් එය දිරා වැටෙයි.

Comments