ඥාන ගවේෂණයේ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය ඒ. පී. ද සොයිසා | සිළුමිණ

ඥාන ගවේෂණයේ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය ඒ. පී. ද සොයිසා

ඒ. පී. ද සොයිසා

රහිතකාමී පරමාර්ථ වෙනුවෙන් ඥාන ගවේෂණයෙහි යෙදුණු විරල ගණයේ විද්වතුන් කිහිප දෙනෙකු විසින් පසු ගිය සියවසේ ලංකා සමාජයට මුදා හරින ලද ආලෝක ධාරා සියවසකට ආසන්න කාලයක් ප්‍රභා විහිදමින් තවමත් නොනිවී පවතී. ලෝකය ආලෝකවත් කරනු පිණිස පරාර්ථ චර්යාවෙහි නිමග්න වූ ඒ සත්පුරුෂයන්ගෙන් ඇතැමකු අප්‍රමාණ දුක් දොම්නස් සමුදායකට මුහුණ දෙමින් ඉටු කළ සමාජ මෙහෙය පාරමිතා පූරණයක් ලෙස නම් කිරීමෙහි වරදක් නැත. දකුණු ලක ජනිත වූ උදාර ලංකා පුත්‍රයන් කිහිප දෙනා අතර සුවිශේෂ ස්ථානයක් ඒ. පී. ද සොයිසා ශ්‍රීමතාණන්ට හිමි වෙයි. එතුමන්ගේ උපත සිදු වූයේ 1890 වර්ෂයේ අප්‍රියෙල් මස 5 වෙනිදා දකුණු වෙරළ තීරයට ආසන්නයේ පිහිටි රන්දොඹේ ග්‍රාමයේදීය. මුලදී ඔහුට ලැබුණු නම අගම්පොඩි ටොරියන්ටල් ද සොයිසා වන අතර පසු කලෙක ‘ටොරියන්ටල්’ යන්න ‘පවුලස්’ යනුවෙන් වෙනස් කෙරිණ. ඔහු එකොළොස් හැවිරිදි වියට එළඹෙද්දී එක් වරම මවගේ සහ පියාගේ අභාවය සිදු විය. මෙවන් ඛේදජනක අවස්ථාවකට මුහුණ පාන දරුවන්ගේ ජීවිත අනාථ භාවයට පත් වීමට වැඩි ඉඩකඩක් තිබුණ ද පවුලේ වැඩිහිටියෝ කෙසේ හෝ ඔහුගේ ජීවිතය සනාථ කිරීමට වග බලා ගත්හ.

මේ සම්බන්ධයෙන් ඒ. පී. ද සොයිසාගේ දියණියන් වන කුමාරි ජයවර්ධන විසින් සම්පාදිත සොයිසා චරිතාපදානයෙහි එන සඳහනක් මෙහි ලා ගෙන හැර දැක්වීම යෝග්‍යය. “තම දෙමාපියන් අහිමි වීම නිසා ඇතිවූ කම්පනය ඒපීට පසු කාලයේදී ‘දරුණු පහර’ දරා ගැනීමේ ශක්තිය ලබා දුන්නා පමණක් නොව, ඔහු තුළ ස්වාධීනබව පිළිබඳ ප්‍රබල හැඟීමක් ද ජනනය කළේය. කම්පනයෙන් දුර්වල නොවී තමාගේ විස්තෘත පවුලේ ආධාරය ඇතිව පිටරට යෑමේ නිර්භීත පියවර සැලසුම් කිරීමට ඔහු සමත් විය. තමාගේ තීන්දු තීරණ ගනිමින් වෙහෙස නොබලා ඔහු අධ්‍යයන කටයුතුවල නිරත වූයේ ජීවිතය ජය ගැනීමටයි. පවුලෙන් ඔහුට ලැබුණු භෞතික හා ආධ්‍යාත්මික සහාය නිසා ඒපී මාමාවරුන්, නැන්දාවරුන් හා ඥාති සහෝදරයන්ට ඉතා සමීප වූ අතර තමාගේ හිතසුව ගැන වැඩියෙන්ම සොයා බැලූ සීයා සහ ආච්චී සමඟ දැඩි බැඳීමක් ඇති වී තිබුණි.”

ඒ. පී. ද සොයිසා මූලික අධ්‍යාපනය ලැබුවේ රන්දොඹේ වෙස්ලි නිකායික පාසලෙන් සහ රාජපක්ෂ විද්‍යාලයෙනි. 1902 වර්ෂයේදී ඔහු කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් කෙරිණ. එවක වෙස්ලි විද්‍යාලයේ විදුහල්පති තනතුර දැරුවේ බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ හෙන්රි හයිෆීල්ඩ් දේවගැතිතුමාය. එතුමා ග්‍රීක්, ලතින්, ඉංග්‍රීසි සහ ක්‍රිස්තු ධර්මය පිළිබඳ දක්ෂ ගුරුවරයෙකි. ක්‍රිස්තියානි නොවන ළමයින්ට කිසිදු වෙනස්කමක් නොකිරීම එතුමන්ගේ විශේෂත්වයකි. 1907 වර්ෂයේදී ඒ. පී ද සොයිසා ශිෂ්‍යයා ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් කෙරිණ. මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරය ඉසිළුෑ ෆ්රෑන්ක් ලී වුඩ්වර්ඩ නමැති කීර්තිමත් විද්වතා ඒ. පී. ද සොයිසාගේ අනාගත දිවි මංපෙත ගොඩනැංවීමෙහි ලා මහත් සේ බල පෑ චරිතයකි. 1910 වර්ෂයේ ක්‍රේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ පරීක්ෂණය සමත් වූ සොයිසා චිත්‍රකර්ම සහතිකයද ලබා ගැනීමට සමත් විය. ඒ වර්ෂයේදීම වුඩ්වර්ඩ විදුහල්පතිවරයාගේ සහකරු ලෙස මහින්ද විද්‍යාලයේ තෙමසක් ඉගැන්වීම් කටයුතුවල නිරත විය. 1911 වර්ෂයේදී මහනුවර ධර්මරාජ විදුහලට පත්වීමක් ලද සොයිසා වැඩි වැටුප් ලබා ගැනීමේ අරමුණෙන් පාසල් කිහිපයකට මාරු වූ අතර ලද වැටුපෙන් වැඩි ප්‍රමාණයක් අනාගත අරමුණක් වෙනුවෙන් ඉතිරි කර ගැනීමට ද වගබලා ගත්තේය. ගුරු වෘත්තියේ යෙදෙන අතරේ 1917 වර්ෂයේ ලන්ඩන් මැට්රිකියුලේෂන් විභාගය සමත් විය. මෙය උසස් අධ්‍යාපනය සඳහා වූ මූලික අවශ්‍යතා සපුරා ගැනීමකි.

ගුරු වෘත්තියේ යෙදීමෙන් ඉතිරි කර ගත් මුදල් වැය කොට 1921 වර්ෂයේදී ලන්ඩනය බලා පිටත් වූ ඒ. පී. ද සොයිසා එංගලන්තයේදී ආසියානු සහ අප්‍රිකානු ශිෂ්‍යයන්ට ලතින් භාෂාව උගන්වා අමතර ආදායමක් උපයා ගැනීමට සමත් විය. එසේ උපයා ගත් ධනය වැය කොට එංගලන්තයේ ග්රේස් ඉන් ආයතනයට බැඳී නීතිවේදය හැදෑරූ අතර ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවද බාහිර අපේක්ෂකයකු ලෙස හැදෑරීය. මේ කාලය ඇතුළත ලන්ඩනය කේන්ද්‍ර කොට ගෙන සිදු වූ බෞද්ධ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් සක්‍රීයව දායක වීමට ඔහුට හැකි විය. 1927 වර්ෂයේදී ඔහු බැරිස්ටර්වරයකු ලෙස සුදුසුකම් ලැබීය. පශ්චාද් උපාධි අධ්‍යයනය කෙරෙහි සොයිසා විද්‍යාර්ථියාගේ සිත ඇදී ගියෙන් මානව විද්‍යාව විෂයයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා 1928 වර්ෂයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි විය. මහාචාර්ය සී. ජී. සෙලිග්මාන් සහ ටී. ජී. ජොයිස් යන මානව වංශ විද්‍යාඥයන් යටතේ ‘සිංහල ගම්වල පිළිවෙත්, විශ්වාස හා සිරිත්විරිත්’ යන මාතෘකාව යටතේ ඉදිරිපත් කළ නිබන්ධය සඳහා ඒ. පී ද සොයිසා වෙත ආචාර්ය උපාධිය පිරිනැමිණ. ඒ. පී ද සොයිසාගේ දියණියන් වන මහාචාර්ය කුමාරි ජයවර්ධන විසින් 2017 වර්ෂයේ ඒ ආචාර්ය උපාධි නිබන්ධය ලංකාවේ ප්‍රකාශයට පත් කරන ලද අතර එහි සිංහල පරිවර්තනයක්ද පළ කරන ලදී.

වසර දහතුනක් එංගලන්තයේ ජීවත් වූ ඒ. පී. ද සොයිසා 1934 වර්ෂයේ පෙරළා ලංකාවට පැමිණියේය. කෙටි කලකින් ලංකාවේ නීතිඥයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු යුනිවර්සිටි කොලීජියේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කෙළේය. ලංකාවේදී ඔහු දේශපාලන ක්‍රියාධරයන් සමඟ මෙන්ම එවක සිටි පුරෝගාමී ලේඛකයන් සමඟද සමීප සම්බන්ධතා පැවැත්වීය. ලේඛකයකු වසයෙන් ඔහු ඉදිරිපත් කළ ඇතැම් දාර්ශනික හා විවාදාත්මක මතවාද අදට ද උසස් සමාජීය අගයකින් මෙන් ම නවීනත්වයෙන් ද යුක්ත වෙයි. අවදානම් සහගත තීරණ ගැනීමට පසුබට නොවූ ඒ. පී. ද සොයිසා ලංකාවට පැමිණ වර්ෂ දෙකක් වැනි කෙටි කාලයකදී එනම් 1936 වර්ෂයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා දකුණු කොළඹ ආසනයට තරග කිරීමට ඉදිරිපත් වූයේ එවක ලංකාවේ සිටි ධනවත්ම පවුල් සම්බන්ධතා තිබුණු ඒ වන විටත් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ වෛද්‍ය ඊ. ඒ. කුරේ මන්ත්‍රීවරයාට ප්‍රතිවාදීවය. ධන බලය පරයන සමාජ බලයක් අත්කර ගෙන සිටි සොයිසා දකුණු කොළඹ ආසනය ජයග්‍රහණය කළේ දෙදහසකට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රගතිශීලි මහජන නියෝජිතයන් සමඟ එක්ව කම්කරු අයිතිවාසිකම්, නිදහස් අධ්‍යාපනය වැනි පොදු ජන සුබසාධන කටයුතු සඳහා ක්‍රියාශීලීව දායක විය.

ඒ. පී. ද සොයිසා ලාංකේය සමාජයට කරන ලද අනල්ප මෙහෙය අංශ කිහිපයක විහිද පවතින්නකි. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ කිහිපයකට ව්‍යාඛ්‍යා සම්පාදනය, නවකතා රචනය, පාඨ්‍ය ග්‍රන්ථ සම්පාදනය, ශබ්ද කෝෂ සතරක් පළ කිරීම, මුද්‍රණාලයක් පවත්වාගෙන යාම සහ ධර්ම සමය නමින් පුවත්පතක් ප්‍රකාශයට පත් කිරීම, සම්පූර්ණ ත්‍රිපිටකය වෙලුම් 44කින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම යන ඔහු විසින් ඉටු කරන ලද මහාර්ඝ සේවය තනි පුද්ගල පරිශ්‍රමයකැයි සිතීමට පවා අපහසුය. මෙතරම් උදාර මෙහෙයක් ලාංකේය සමාජය වෙනුවෙන් ඉටු කළ ඒ. පී. ද සොයිසා ශ්‍රීමතාණෝ 1968 වර්ෂයේ මැයි මස 26 වැනි දින ආයු සංස්කාරය හළහ.

Comments