කොවිඩ් එන්නත නිසා රෝගීන්ගේ ශීඝ්‍ර අඩුවීමක් | Page 2 | සිළුමිණ

කොවිඩ් එන්නත නිසා රෝගීන්ගේ ශීඝ්‍ර අඩුවීමක්

කොරොනා එන්නත ලබා­දීම පසු­ගිය පෙබ­ර­වාරි මස ආරම්භ වූ අතර මේ වන විට එන්නත් කර ඇති ප්‍රමා­ණය  ලක්ෂ 6 කට ආස­න්නය. ජන­තාව තුළ මෙම එන්නත ලබා ගැනී­මට දක්වන උන­න්දුව කොළඹ මිහිදු විද්‍යාලයේ දී  ලේක්හවුස් ඡායාරූප ශිල්පි දුෂ්මන්ත මායාදුන්නගේ කැමරා කාච­යට මාර්තු 4 වැනිදා හසු­වූයේ මෙසේය.
කොරොනා එන්නත ලබා­දීම පසු­ගිය පෙබ­ර­වාරි මස ආරම්භ වූ අතර මේ වන විට එන්නත් කර ඇති ප්‍රමා­ණය ලක්ෂ 6 කට ආස­න්නය. ජන­තාව තුළ මෙම එන්නත ලබා ගැනී­මට දක්වන උන­න්දුව කොළඹ මිහිදු විද්‍යාලයේ දී ලේක්හවුස් ඡායාරූප ශිල්පි දුෂ්මන්ත මායාදුන්නගේ කැමරා කාච­යට මාර්තු 4 වැනිදා හසු­වූයේ මෙසේය.

චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ව්‍යාප්ත වූ නව කොවිඩ් 19 වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කළේ ඉකුත් වසරේ ජනවාරි මාසයේය. ශ්‍රී ලංකාවෙන් පළමු වරට නව කොවිඩ් 19 වයිරස් ආසාදිතයකු වාර්තා වූයේ ඉකුත් වසරේ ජනවාරි මස 27 වැනිදාය. ඇය 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක වූ අතර චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරට සංචාරයක් සඳහා පැමිණි අයෙකි. වසංගතය විසින් ක්‍රම ක්‍රමයෙන් ලොව පුරා රටවල් ගොදුරු කරගනිද්දී එම වයිරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගනු ලැබුවේ ඉකුත් වසරේ මාර්තු 9 වැනිදාය. මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් වයිසරසයේ බලපෑමට නතුව වසරක් ගෙවී අවසන්ය. පසුගිය සිකුරාදා වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අසූ පන්දහස ඉක්මවා යද්දී ලෝකයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 12ට ආසන්න වී ඇත. මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 490ට ආසන්න වද්දී ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ලක්ෂ 25ට ඉහළිනි. මෙම සතිය ආරම්භයේදී මේ දක්වා මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන්ගේ ප්‍රතිශතය සියයට 95.5ක් වන අතර රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව සියයට 3.9කි. මෙරට මරණ අනුපාතය සටහන් වන්නේ තවමත් 0.58ක වීම සැනසිලිදායක තත්ත්වයකි.

කොවිඩ් වයිසරය මර්දනය කිරීම වෙනුවෙන් රජය ආරම්භ කරන ලද එන්නත්කරණ වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර මෙම සතිඅන්තයේදී එන්නත ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 6ට ආසන්න වී තිබිණ. පසුගිය 3 වැනිදා වන විට එන්නත ලබාගත් සමස්ත සංඛ්‍යාව 5, 53, 821ක් වූ අතර 2 වැනිදා පමණක් 44,546ක් එන්නත ලබාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මේ වන විට ලෝකය පුරා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 280ක ප්‍රමාණයක් ලබාදී ඇති අතර ඉන් සියයට 75ක පමණ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ රටවල් 10කට පමණක් බවත් තවත් රටවල් 150ක පමණ ප්‍රමාණයක් කිසිදු එන්නතක් ලබාදීමට නොහැකිව සිටින බවද වාර්තා වේ. එවැනි තත්ත්වයක් තුළ මෙරට තවමත් සිටින්නේ වාසනාවන්ත තත්ත්වයක බව අවධාරණය කළ යුතුය.

එසේ වුවද මෙම සතිය ආරම්භයේදීම එනම් 1 වැනිදා කොවිඩ් ආසාදිත මරණ 5ක් සහ ඊට පසු දින තවත් මරණ 7ක් වාර්තා වූයේ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 483 ක් දක්වා ඉහළ නංවමිනි.

කොරෝනා මෘතදේහ භූමදානය පිළිබඳ කලක් තිස්සේ පැවති මතභේද අවසන් වූයේ ඉකුත් සති අන්තයේදී කොවිඩ් මරණ භූමදානය සඳහා අනුමැතිය ලබාදෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වීමක් සමඟය. ඉන් අනතුරුව පැන නැඟි ගැටලුව වූයේ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය සඳහා සුදුසු භූමියක් සොයාගැනීමයි.

කොවිඩ් මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන සියයට 20ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පළමු කොටස ලෙස 2,64,000ක එන්නත් ප්‍රමාණයක් එලැඹෙන සති අන්තයේදී මෙරටට ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ ඉකුත් 3 වැනිදා හලාවත රෝහලේ පැවති උත්සවයකදීය. එම එන්නත් මාත්‍රා 264,000 මෙරට ජනගහනයෙන් සියයට 20කට අවශ්‍ය කොවිඩ් මර්දන එන්නත් අවශ්‍යතාව සපුරනු ඇති බව සෞඛ්‍ය බලධාරින්ගේ අදහසයි. මේ දක්වා ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 500,000ක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තවත් එන්නත් මාත්‍රා 500,000ක් ඉන්දියාවේ සිරම් ආයතනයෙන් ඉකුත් සතියේදී මිලදී ගත්තේය.

ගතවූ සතිය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබුණු අතර සෑම දිනෙකම පාහේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 500ට අඩු වීම විශේෂත්වයකි. එහෙත් තවමත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ සහ රත්නපුර සැලකේ. මේ වන විට රට පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයන් 9,817 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගත් තීරණයට එම දූපතේ වෙසෙන ජනතාව පසුගිය 3 වැනිදා විරෝධයක් ආරම්භ කළහ. පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් වෙසෙන ඉරණතිව් දූපතේ කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට රජය තීරණය කළේ කුමන පදනමකින් ද යන්න ගැටලු සහගත බව ඉරණතිව් වැසියෝ පවසති. කෙසේ නමුත් කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ඉරණතිව් දූපතට අමතරව මන්නාරම, පුත්තලම හා ඔට්ටමාවඩි යනාදී ස්ථාන කිහිපයක භූමදානය කිරීම කෙරෙහිද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා විය.

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ මාර්ගෝදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබුවේ එවැනි පසුබිමක් යටතේය. එම විශේෂ මාර්ගෝපදේශ මාලාවට අනුව කොවිඩ් මෘතදේහ ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සඳහා ප්‍රවාහනය කිරීමේදී සහ භූමදානය කිරීමේදී අනුගමනය කළ යුතු විශේෂ කරුණු කිහිපයක් වේ. කිසියම් පුද්ගලයකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යෑමෙන් පසු එම මරණය භුමදානය කිරීමට අවශ්‍ය නම් ඔහුගේ හෝ ඇයගේ ඥාතීන් විසින් නොපමාව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුම්වත් කළ යුතු වීම, භූමදානය සඳහා වන දැනුම්දීම අදාළ සෞඛ්‍ය බලධාරීන් ඥාතීන්ගෙන් ලිඛිතව ලබාගත යුතු වීම, එම ඉල්ලීමට සෞඛ්‍ය අංශ විසින් ලබාදෙනු ලබන අවසර පත්‍රයෙහි භූමදානය කරන ස්ථානය ලෙස ඉරණතිව් දුපත යන්න සඳහන් කළ යුතු අතර එලෙස හිමිවන ලියවිල්ල මෘතදේහය ප්‍රවාහනය සහ භූමදානයට හිමිවන නීත්‍යානුකුල ලියවිල්ලක් ලෙස සැලකීම, දේහය බහාලීම සඳහා ඥාතීන් විසින් කඩිනමින් මිනී පෙට්ටියක් අදාළ අංශ වෙත ලබා දිය යුතු වීම, සෞඛ්‍ය බලධාරින් විසින් මිනී පෙට්ටියක බහාලන ලද මෘතදේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ වැලිකන්ද මුලික රෝහලට භාර දිය යුතු වීම, සෑම දිනකම පෙරවරු 5.30 ට පෙර කී ස්ථානවල සිට ඉරණතිව් දූපත බලා කොවිඩ් මෘතදේහ රැගෙන යෑම ඇතුළු වැදගත් කරුණු රැසක් එහි ඇතුළත් වේ.

ඊට අමතරව මරණය සිදුවූ ප්‍රදේශයෙන් සිරුර ඉවත් කිරීමට පෙර අදාළ රෝහලේදී ඥාතීන්ට දේහයට අවසන් ගෞරව දැක්විමට අවසර හිමිවන අතර සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට අනුකූලව එම ස්ථානයේදි ආගමික කටයුතු සිදුකිරීමටද අවස්ථාව හිමිවේ. මෘතදේහ භූමදානය කිරීමේ අවස්ථාවට එක් වීමට ඉරණතිව් දුපත බලායෑමට මරණකරුගේ ඥාතීන් දෙදෙනකුට පමණක් අවසරය හිමිවන අතර එය පූර්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත් වේ.එමෙන්ම මළසිරුර භුමදානය කිරීමේදී හෝ දේහය පෙට්ටියේ තැන්පත් කිරීමේදී ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර දේහය බහාලූ පෙට්ටිය කිසිදු හේතුවක් මත විවෘත කිරීමට අවසර හිමි නොවන අතර එම පෙට්ටිය හැසිරවීම සඳහා ඥාතීන්ට කිසි ලෙසකින් අවසර හිමි නොවේ. ඉරණතිව් දුපත බලා ගමන් කරන ඥාතීන් දෙදෙනා ඒ පිළිබඳ සම්බන්ධීකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇති වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි 077 12 14 131 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කරගත යුතු බවද එම මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර මෙරටට රැගෙන ඒමට නියමිත ඊළඟ කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාව ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එකඟත්වය පළ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන්, රිය­ැදුරන් ඇතුළු 20,000කට ආසන්න පිරිසකගේ නාමලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර ඇත. එමෙන්ම දිවයින පුරා නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවය කරන 1,30,000 කට අධික සේවක සේවිකාවන්ටද ඉදිරියේදී කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්ත්වයක් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය. එන්නත ලබාගැනීමෙන් පසු කිසිවකු මියගිය බවට මෙතෙක් තහවුරු වී නොමැති බවද හෙතෙම සඳහන් කළේ පසුගිය 4 වැනිදා පැවති මාධ්‍ය හමුවේදීය. එන්නත් ලබා ගැනීමකින් අනතුරුව ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඒ බව පැවසීය.

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5ක් මෙරට ඉදි කිරීමට රජය තීරණය කර තිබෙන බවත් හම්බන්තොට, කිලිනොච්චිය, අම්පාර, ඉරණවිල සහ මහනුවර ප්‍රදේශවල එම රෝහල් ඉදි කෙරෙන බවත් කොවිඩ් 19 ශ්‍රී ලංකා ක්ෂණික ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරිමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේය. ඊට අමතරව IDH රෝහලේද බෝවන රෝගීන් වෙනුවෙන් වෙන් වූ දුරස්ත ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

Comments