කොරෝනා මළ සිරුරු වළ දැමිය යුත්තේ අඟ­හරු ලෝකයේ ද? | Page 2 | සිළුමිණ

කොරෝනා මළ සිරුරු වළ දැමිය යුත්තේ අඟ­හරු ලෝකයේ ද?

“සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් කාලෙදී පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට මරණීය දණ්ඩනය ලබාදෙනවා” යනුවෙන් පසුගිය 27 වැනිදා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ය. “සමගි ජනබලවේගයේ අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා ජාතික ආරක්ෂක කවුන්සිලය පාර්ලිමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලිය තුළින් නීතියක් බවට පත් කරලා ජාතික ආරක්ෂක කවුන්සිලයට නෛතික හයිය ලබාදීලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු‍ම දෙනා මහ මොළකරුවන්, උපදෙස් දුන්නු අය, මෙහෙයවන්නට නායකත්වය දුන්නු අය තවමත් මේ ආණ්ඩුවට හොයාගන්නට බැරි පාස්කු ත්‍රස්තයන් හොයාගෙන ඒ සියලු‍ දෙනාට ම රටේ නීතිය හරහා මරණීය දණ්ඩනය ලබා දෙන්නට කටයුතු කරනවා කියලා.

 

ඒකෙ ආයෙ වෙන කතාවක් නැහැ. ඒක අපි කරන්නට ඕන. ඒක කළොත් පමණයි මේ රට තුළ අන්තවාදයට ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන් ම ඒ අවස්ථාව අහිමි වෙන්නේ.” යනුවෙන් සජිත් කියාගෙන ගියේ හම්බන්තොට සිරිබෝපුර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට සම්බන්ධ වෙමිණි.

මේ ප්‍රකාශයට අපූරු පිළිතුරක් ලබාදී තිබුණේ ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා ය.

“සජිත් මහත්තයාගේ දෙපැත්තේ ඉන්නේ කවුද කියලා බැලු‍වානම් අපරාධකරුවන් හොයාගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. එක් පැත්තක සජිත් මහත්තයා අත දාගෙන ඉන්නේ රිෂාඩ්ගේ කරට. අනෙක් පැත්තෙන් සජිත් මහත්තයා කරට අත දාගෙන ඉන්නේ අසාත් සාලිගේ.” යනුවෙන් ජයන්ත සමරවීර ප්‍රකාශ කළේය.

තවත් කතාවක් සජිත් කියයි. ඒ මොකක් ද?

“පාර්ලිමේන්තුව තුළින් නීති කෙටුම්පත් සකස් කරනවා.” යනුවෙන් සජිත් කියයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරමින් හොරාගේ අම්මගෙන් පේන අහන තත්ත්වයක් ඇති කළේ කවුද?

යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළේ කාදිනල් හිමිපාණන් වහන්සේගේ ද දැඩි විරෝධය මධ්‍යයේ ය.

එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කරන විට කැබිනට් මණ්ඩලයේ සිට එය අනුමත කළේ සජිත් ප්‍රේමදාස නොවේද?

යහපාලන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සජිත් ඇතුළු ඔහුගේ කිසිදු ගෝලබාලයකු විරෝධය පළකළේ නැත.

සජිත් ප්‍රේමදාස විසින් මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන කිසිදු දේශපාලන නායකයෙක් ද විවේචනය නොකරන ලදී.

අන්තවාදීන් සමඟ ගනුදෙනු කරන ලද නායකයන් කිහිප දෙනෙකු ම එක්සත් ජාතික පක්ෂය සමඟත් ඉන්පසුව සමගි ජනබලවේගය සමඟ ද සම්බන්ධ වී සිටිය ද සජිත් ඒ කිසිවෙකුගේ සිත වචනයකින්වත් රිදෙව්වේ නැත.

සජිත් සමඟ වරක් හරීන් ප්‍රනාන්දු කාදිනල් හිමිපාණන් වහන්සේ හමුවීමට ගිය අවස්ථාවේ දී හරින්ගේ හැසිරීම් රටාවෙන් කාදිනල් හිමිපාණන් වහන්සේගේ සිත රිදුණු බව රහසක් නොවේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව නිවැරදිව අවධානය නොකර සජිත්, අනුර කුමාර, සුමන්තිරන් කියන්නේ කුමක්ද?

එම කොමිෂන් සභා වාර්තාවේ තිබෙන නිර්දේශ එකක් දෙකක් පමණක් අල්ලාගෙන එම පිරිස් කෑ ගැසුව ද කොමිෂන් සභාවේ සමස්තය ගැන කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ නිසි පරිදි සිදු නොවූ බව කාදිනල් හිමිපාණන් ද පිළිගත් අතර බොහෝ දෙනෙකුට පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන කිසිදු විශ්වාසයක් තිබුණේ නැත.

රිෂාඩ් බදියුර්දීන් පමණක් නොව කිහිපදෙනෙකුම නිදොස්කොට නිදහස් කිරීමට මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ක්‍රියාකළ බව නොරහසකි.

පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට ද එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් නිවැරදිව චෝදනා එල්ල නොවීය.

රිෂාඩ් මාධ්‍ය ඉදිරියට පැමිණ මහත් උජාරුවෙන් පැවසුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් තමා නිදොස් කොට නිදහස් කළ බවයි. තමාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල නොවූ බව ද රිෂාඩ් පැවසීය.

මෙම සිදුවීම් සිදුවන විට සජිත් ප්‍රේමදාස සිටියේ කොහේ ද? මේ ගැන වචනයකුදු ඔහු කතා කළ බවක් නම් මතක නැත.

මාවනැල්ල බුදු පිළිමවලට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් දුරකථන ඇමතුම් ලබාදුන්නේ අසාද් සාලි බවට ඉහළ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

එවිට එම චෝදනාවන් ගැන සජිත්, අනුර හෝ සුමන්තිරන් වචනයකුදු කතා කළේ නැත.

නමුත් සජිත් ඇතුළු ඔවුන් ඇතිකරගත් සංවිධාන හා එකමුතුවේ අසාද් සාලි ප්‍රබල සාමාජිකයකු විය.

එවිට අන්තවාදයට උඩගෙඩි ලබා දුන්නේ කවුරුන්ද යන්න ඉතා හොඳින්ම පෙන්නුම් කෙරේ.

හිටපු ඇමති රිෂාඩ් බදියුර්දීන්ට එරෙහිව ද දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට නිතිපති විසින් සලකා බැලිය යුතු බව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමෙන් නිර්දේශ කර තිබේ.

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ක්‍රියාකලාපය කාත්තන්කුඩි ප්‍රදේශය තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීමට පහසුකම් සපයන බව ද ජනාධිපති කොමිසම නිරීක්ෂණය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් එය තවත් උග්‍ර වූ බවක් ජනාධිපති විමර්ශන කොමිසම විසින් පෙන්වා දෙන ලදී.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සිය අධිකාරී ක්ෂේත්‍රයේ විවිධ කොටස් සම්බන්ධයෙන් නිගමන පහත පරිදි සම්පීඩනය කර තිබේ.

සහරාන්, රිල්වාන්, අයික් ඉල්හාම්, නවුෆර්, මිල්හාන්, සාදික් සහ තවත් අය ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් බව හඳුනාගෙන ඇත.

ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක කරන පදනම වන්නේ (වහබ්) දෘෂ්ටිවාදය වන අතර ශ්‍රී ලංකාව ජමාත් ඉස්ලාම්, ශ්‍රී ලංකා ජමාතේ ශිෂ්‍ය ව්‍යාපාරය සහ තව්හිද් කණ්ඩායම් වක්‍රව ඊට සම්බන්ධ බව ද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව කියාපායි.

ජාත්‍යන්තර අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරකම් සහ දේශීය වශයෙන් බොදු බල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය මෙම සිදුවීම සඳහා දායක වූ බව පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි.

අප්‍රේල් 21 සිදුවීම සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් සැපයූවේ ඊබ්‍රාහීම්ගේ සොහොයුරන් වන ඉන්ෂාෆ් සහ ඉල්හාම් විසින් බව ද ජනාධිපති විමර්ශන කොමිසම නිගමනය කර තිබේ.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කර ඊට අදාළව නඩු පැවරීම සිදුකළ විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද? එම අන්තවාදීන්ට දේශපාලන රැකවරණය ලබා දුන්නේ කවුද? කියා සොයා ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

එම නිසා කිසිවෙකු සැඟවීමට කොමිසමට අවශ්‍යතාවක් නැත.

මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීමට පත් කරන ලද කැබිනට් අනුකමිටුව මඟින් සිදු කරනු ලබන්නේ ද? මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාවට නැංවීමයි.

මේ වන විට නීතිය ක්‍රියාත්මක කරගෙන අදාළ බලධාරීන් කැඳවා නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම් ද සිදු කෙරෙමින් පවතී.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූලව සිදු කෙරේ.

එම ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ යහපාලන ආණ්ඩුව සමයේදී අරලියගහ මන්දිරයේ දී නීතිය නවපු ආකාරය අහසට පොළොව මෙනි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්, FCID ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ඇතුළු FCID නිලධාරීන්, අල්ලස් කොමිසමේ නිලධාරීන්, CID නිලධාරීන් එදා අලියගහ මන්දිරයට කැඳවා නීතිය කනේ වැලි ගෑවෙන ගානට නවන විට සජිත් සිටියේ කැබිනට් මණ්ඩලයේ ද? නැතිනම් කැබිනට්ටුව අස්සේ ද? නැතහොත් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන ස්ථානයේ තිබෙන මේසේ යට ද කියා දන්නේ සජිත් ම පමණි.

යහපාලන ආණ්ඩුව කාලයේදී මෙන් නොව වර්තමාන රජය යටතේ පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ දී වැදගත් කරුණු රැසක් අනාවරණය කෙරුණු අතර සමහර නීති අලුතින් එක්කිරීමට සහ පවතින නීති සංශෝධනය කිරීමට ද නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

එවැනි සාර්ථක සාධනීය කාරණා රැසක් තිබියදී මෙවැනි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් කිසිවක් සිදුනොවූ බව සජිත්, අනුර කුමාර, සුමන්තිරන් කියන්නේ ඇයි?

කොවිඩ් - 19 පාලන එන්නත ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වුව ද සමස්ථයක් ලෙස එන්නත ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු වේ.

එය ප්‍රකාශ කරනු ලබන්නේ දේශපාලන අධිකාරිය නොව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ය. කොවිඩ් - 19 පළමු රැල්ල අවසන් වී දෙවන රැල්ල පටන්ගන්නා විට සජිත් පාර්ලිමේන්තුවේදී හරි අපූරු ප්‍රකාශයක් කළේය.

“මේ රටේ කොරෝනා ඇතිකරන්නේ මුස්ලිම් ජනතාව බව මේ ආණ්ඩුව ප්‍රකාශ කරනවා. කොරෝනාවලින් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට ඉඩ ලබාදිය යුතුයි.” යනුවෙන් සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ සද්ද බද්ද නඟමින් ප්‍රකාශ කළේ ය.

සජිත් එවැනි ප්‍රකාශයක් සිදු කළේ පහත් ම ආකාරයට ජාතිවාදය අවුස්සමින් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරුවලින් ද යම් වාසියක් ලබා ගැනීමට ය.

මේ ආකාරයෙන් අන්ත පහත් ලෙස ජාතිවාදය අවුස්සන සජිත් වර්තමාන ආණ්ඩුවට චෝදනා නඟන්නේ සිංහල බෞද්ධ ජාතිවාදය අවුස්සන බවකි.

තමා සිංහල බෞද්ධ බහුතරයකගේ ඡන්දයෙන් බලයට පත්වූ බව ප්‍රකාශ කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බිය නොවීය.

එදා රුවන්වැලි මහා සෑය ඉදිරිපිට දී දිවුරුම් දුන් අවස්ථාවේදී ඒ බව ප්‍රකාශ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය පෙබරවාරි 04 වැනි දින පැවැත්වුණු 73 වැනි අභිමානවත් නිදහස් දින උත්සවයේදී ද එම කතාව යළිත් වරක් සිහිපත් කළේය.

එම ප්‍රකාශය සිදුකිරීමට ජනාධිපතිවරයාට කොන්ද පණ තිබුණි.

නමුත් සජිත් ප්‍රේමදාස එක් පැත්තකින් පන්සල්වලට යන ගමන් අනෙක් පැත්තෙන් මුස්ලිම් ජාතිවාදය ඉතා පිළිකුල් ආකාරයෙන් මතු කිරීම ශෝක ජනකය.

අඩුම ගණනේ යහපාලන රජයේ විපක්ෂ නායකව සිටි ආර්. සම්බන්ධන්වත් දෙමළ ජාතිවාදය සජිත් වාගේ ඉතා පහත් ආකාරයකට ඇවිස්සුවේ නැත. කොවිඩ් - 19 වයිරසය ආරම්භයේ දී මුළු ලෝකයටම එය ආගන්තුක වූ අතර ඊට මුහුණ දීම පහසු වූයේ නැත.

එවැනි දරුණු ලෝක වසංගතයකදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද? ප්‍රබලම වයිරසයකට එරෙහිව ක්‍රියාකිරීමේ දී දැනගත යුතු විද්‍යාත්මක කරුණු බොහෝ ඇත. වෛරසය පාලනය කළ යුත්තේ කෙසේ ද? වයිරසය මැඬලීම සඳහා ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? වයිරසය මැඬලීම සඳහා ක්‍රියාකළ යුතු ක්‍රමවේද ඇතුළු කරුණු ගණනාවක් ගැන සෞඛ්‍ය විශේෂඥයන් පරීක්ෂණ සිදු කරද්දී ශ්‍රී ලංකාවේ විපක්ෂය කළේ කුමක් ද?

වරක් ඉන්දියානු මාධ්‍යවේදියෙක් ඉන්දියාවේ ප්‍රවෘත්ති පත්‍රයක් මඟින් විමසා සිටියේ කොරෝනා මර්දනයට ඉන්දියාවේ වර්තමාන රජයට එරට විපක්ෂය ලබාදෙන සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාවේ විපක්ෂයට නොහැකි වී තිබෙන්නේ ඇයි ද කියාය.

මෙරට මාධ්‍ය පවා මතු නොකළ කාරණයක් ඉන්දියාවේ මාධ්‍යවේදියකුට තේරුම්ගොස් තිබීම සුවිශේෂී කාරණයකි.

කොරෝනා වයිරසය මැඬලීම සඳහා මුළු ලෝකයම එකාවන්ව කටයුතු කරද්දී ලෝකයේ කිසිදු රටක විපක්ෂය එමඟින් පහත් දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කළේ නැත.

එසේ ක්‍රියා කළ විපක්ෂයක් සිටින එකම රට ශ්‍රී ලංකාවයි. ඉන්දියානු මාධ්‍යවේදියකු ද එය තහවුරු කර තිබේ.

කොරෝනා වයිරසය මැඬලීමට මෙරට සෞඛ්‍යය බලධාරීන්, යුද හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඇතැම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැඩි මෙහෙවරක් ගනිද්දී ඊට රජයෙන් ද ලැබුණේ උපරිම සහයෝගයකි.

නමුත් රනිල්, සජිත්, අනුර කුමාර, සුමන්තිරන්, රිෂාඩ්, හකීම්, මනෝ ගනේෂන්, පාඨලී ඇතුළු විපක්ෂයෙන් ඊට කිසිදු සහයක් වචනයකින් හෝ ලැබුණේ නැත.

වචනවලින් ලබා දුන්නේ කිනිසි පහරවල් වැනි දැඩි ජාතිවාදය අවුස්සන හැඟීම්ය. උදාහරණයක් ලෙස සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක වරප්‍රසාද භාවිත කරමින් ප්‍රකාශ කළේ මෙරට කොරෝනා බෝ කරන්නේ මුස්ලිම් ජාතිකයන් බවට වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කරන බවයි.

කොරෝනා වයිරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමට ඉඩ ලබා දිය යුතු බව සජිත් දැඩි ලෙස කියා සිටියේය. මේ ආකාරයට ලඳ බොලඳ ජාතිවාදී ප්‍රකාශ පාර්ලිමේන්තුවේ දී සිදු කරන විපක්ෂ නායකවරයකුගේ මනස තේරුම් ගැනීමට එතරම් අපහසු නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ මීට පෙර සිටි කිසිදු විපක්ෂ නායකවරයකු වගකීම් රහිත මෙවැනි වූ ප්‍රකාශ කිසිදිනක සිදු කර නැත. මුස්ලිම් ජාතිකයන් කොරෝනා බෝ කරන බව රජය කිසිවිටෙක ප්‍රකාශ කර නැත.

නමුත් ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් ජනතාව කොරෝනා මර්දන කටයුතුවලට සහාය ලබා නොදෙන බව සියලු‍ම මාධ්‍ය වාර්තා කර තිබුණි.

බණ්ඩාරගම, අටළු‍ගම ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසුවේ කවුරුන් ද කියා අමුතුවෙන් කිව යුතු නොවේ. මීට අමතරව හුදෙකලා කරපු ඇතැම් ප්‍රදේශවල නිරෝධායන නීති කඩ කළේ කවුද කියා අමුතුවෙන් කිවයුතු නොවේ. තවත් ප්‍රදේශවල PCR පරීක්ෂණවලට ඉඩ ලබා නොදී මග හැරීමට උත්සාහ කළේ කවුද කියා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි.

එම යථාර්ථය තේරුම් නොගෙන ජාතිවාදය වපුරමින් ආණ්ඩුවට චෝදනා කරමින් සජිත් කටයුතු කිරීම තුළින් ඔහුගේ දේශපාලන බංකොළොත්භාවය ඉතා හොඳින් පැහැදිලි වේ.

අනෙක් කාරණය කොරෝනා වයිරසයෙන් මියගිය පුද්ගලයන්ගේ මෘතදේහවල අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් වන ගැටලුවයි.

ඕනෑම ප්‍රබල වයිරසයක ක්‍රියාකාරීත්වය විද්‍යාත්මකව තහවුරු කරගැනීම සඳහා යම් කාලයක් ගත වීම සාමාන්‍ය දෙයකි. එම කාරණය සජිත්ලාට, රිෂාඩ්ලාට, හකීම්ලාට, අසාත් සාලිලාට, සුමන්තිරන්ලාට නොතේරුනාට පහේ පන්තියේ දරුවෙකුට වුව ද එය හොඳින් ම තේරෙයි.

ඒ අනුව කොරෝනා වෛරසය සහිත මෘත දේහවල තැන්පත් වෛරසයේ ක්‍රියාකාරීත්වය පරිසරයට බලපාන ආකාරය ගැන පරීක්ෂණ සිදු කළ යුතුව තිබුණි.

කඩයකින් පාන් ගන්නා වගේ, ක්ෂණික නූඩ්ල්ස් හදන්නා වගේ එවැනි බරපතළ කාරණා පිළිබඳ පරීක්ෂණ ක්ෂණිකව සිදු කළ නොහැකි කාරණාය. වගකිවයුතු විපක්ෂයක් ලෙස ඒ ගැන තේරුම් ගැනීම අත්‍යවශ්‍යය.

ඒ අනුව විද්වත් කමිටුවක් පත්කර කොරෝනා මෘත දේහවල අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම එම කමිටුවට පැවරීමට වගකිව යුතු ආණ්ඩුවක් ලෙස වර්තමාන ආණ්ඩුව කටයුතු කළේය.

දීර්ඝ වශයෙන් පර්යේෂණ සිදුකිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය නිර්ණායක හා උපදෙස් යටතේ කොරෝනා වෛරසය සහිත මළ සිරුරු භූමදානය සිදු කිරීමට එම විද්වත් කමිටුවෙන් උපදෙස් ලැබුණි.

ඒ අනුව කොරෝනා වෛරසය සහිත මෘත දේහ කැමති ඥාතීන්ට භූමදානය කිරීම සඳහා එම කොන්දේසි යටතේ පහසුකම් සැපයීමට වර්තමාන ආණ්ඩුව තීරණය කළේය.

එම තීරණය රටේ බහුතරයක් ජනතාව පිළිගත් අතර එමඟිනුත් දේශපාලන වාසි ලබාගන්නා බංකොලොත් දේශපාලනඥයන් එම තීරණයෙන් ද සෑහීමකට පත් වූයේ නැත. කොරෝනා වයිරසය සහිත මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා ජාතිවාදය අවුස්සමින් උතුරේ පෙළපාළි යෑමට කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් එම බංකොලොත්භාවයට කදිම උදාහරණයකි.

ඇතැම් බංකොලොත් දේශපාලනඥයන්ට අවශ්‍ය වූයේ කොරෝනා මළ සිරුරු ද ජිනීවා මානව හිමිකම් සමුළුව දක්වා ගෙනයාමයි. කොරෝනා වයිරසය සහිත මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා කෑ මොර දුන් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් දැන් කියන්නේ කුමක් ද?

ඉරණතිව් දූපතේ කොරෝනා වයිරසය සහිත මළ සිරුරු භූමදානය නොකරන ලෙසට ජනතාව ඇවිස්සීමට එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දේශපාලනඥයන් පිරිසක් යළිත් වරක් ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබේ. මෙමඟින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව ගනු ලබන ඕනෑම තීරණයකට විරුද්ධ වීමේ බංකොලෝත් දේශපාලන න්‍යාය පත්‍රයයි.

නියමිත නිර්ණායකයන්ට අනුව විද්‍යාත්මක පසුබිම යටතේ පරිසරයට කිසිදු ආකාරයකින් කොරෝනා වයිරසය නිදහස් නොවන ආකාරයෙන් කොරෝනා වයිරසය සහිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නිර්ණායක ලැබී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක කිරීමට ද ආණ්ඩුව සූදානම්ය. නමුත් ලංකාවේ සුදුසු කුමන හෝ ස්ථානයක කොරෝනා වයිරසය සහිත මළ සිරුරු භූමදානය කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අවි එසවීමට සුමන්තිරන්ලා වැනි දේශපාලනඥයන් දැනටමත් කටයුතු කරමින් සිටී. මෙය කෙතරම් අභාග්‍යයක්ද?

එසේනම් කොරෝනා වයිරසය සහිත මළ සිරුරු භූමදානය කළ යුත්තේ රටේ කොතැනක ද කියා සුමන්තිරන් පෙන්වා දිය යුතුය.

නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ නැත.

එසේනම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ කොරෝනා වයිරසය සහිත මළ සිරුරු භූමදානය කළ යුත්තේ හඳේ ද කියාය. එහෙමත් නැතිනම් අඟහරු ලෝකයේ ද කියාය.

ගැටලු විසඳනවාට මෙම බංකොලොත් දේශපාලනඥයන් අකමැති ය. අපි තේරුම්ගත යුතු යථාර්ථය එයයි.

ජනතාව ඒ දෙස හොඳින් බලා සිටි.

Comments