‘ගුවන් විදු­ලිය ආර­ම්භයේ සිටම දුරස්ථ අධ්‍යා­ප­නය ලබා දුන්නා’ | සිළුමිණ

‘ගුවන් විදු­ලිය ආර­ම්භයේ සිටම දුරස්ථ අධ්‍යා­ප­නය ලබා දුන්නා’

 කොවිඩ් උවදුර හමුවේ පාසල් වැසී ගියේ ය. දරුවන්ගේ අධ්‍යාපනය අඩාළ විය. මේ උවදුර තව දිඟු කාලයක් පවතින හෙයින්, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ මාර්ගය ලෙස දැන් කාගේත් අවධානය යොමු වී ඇත්තේ මාර්ගගත අධ්‍යාපනය හෙවත් Online Education වෙත ය.

එහෙත් ගැටලු ගණනාවක් උද්ගතව තිබේ. බොහෝ දරුවන්ට පරිගණක පහසුකම් නැත. ඇතැම් පළාතකට විදුලිය නැත. තවත් ඇතැම් තැනකට සංඥා ලැබෙන්නේ නැත. තවත් පිරිසකට ‘ඩේටා’ නැත. ඇතැම් දරුවන් කඳුගැට මතට ද - වහල මතට ද - ගස්වලට ද නගිමින් ස්මාර්ට් දුරකතනවලට සංඥා ලබාගැනීමට දරන වෑයම මාධ්‍යය වාර්තා කර තිබිණි. තවත් තැනෙක දරුවන් දෙදෙනෙකු සිටින ගෙදරක ඇත්තේ එක් ස්මාර්ට් ෆෝන් එකක් පමණි. එහිදී වරකට පාඩම් හැදෑරිය හැක්කේ එක් දරුවකුට පමණි. තවත් ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගැනීමට ඔවුන්ට වත්කමක් නැත.

තවත් අතකින් බොහෝ මවුපියෝ අන්තර්ජාලයට දරුවන් ඇබ්බැහි වී නොමඟ යනු ඇතැයි බියට පත් වී සිටිති. කොවිඩ් නිසා දුරස්ථභාවය රකින්නට සිදුවීමෙන් දරුවා හුදෙකලා වීමත්, ඔවුන් අතට ගත් පරිගණකයෙන් හෝ ස්මාර්ට් දුරකථනයෙන් දරුවන් අතට අහිතකර තොරතුරු පත් වෙතැයි සැකයෙන් මාපියෝ වික්ෂිප්ත වී සිටිති

ඇතැම් වෛද්‍යවරුන් පවසන්නේ දිනකට පැය ගණනාවක් පරිගණක තිරය දෙස බලා සිටීමෙන් අක්ෂි රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ද ඇති බවයි.

මේ දුරස්ථ අධ්‍යාපනය ඇත්තෙන්ම අපට අලුත් අත්දැකීමක් ද? නැත. දුරස්ථ අධ්‍යාපනය අප රටට මුලින්ම හඳුන්වා දුන්නේ ජාතික ගුවන් විදුලි සේවයයි. ජාතික ගුවන් විදුලියට දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ වසර 90 කට වැඩි අත්දැකීම් තිබේ. එදා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්ව පාසල් පන්ති කාමරයේ සිටින සිසුන්ට විෂය දැනුම ලබාදීමේ වැඩපිළිවෙළක් ජාතික ගුවන් විදුලියට තිබිණ.

ලංකා ගුවන් විදුලි සේවයට. ලංකා ගුවන් විදුලිය Colombo Calling කොළඹින් කතාකරමි යනුවෙන් ආරම්භ වන්නේ 1925 දෙසැම්බර් 16 වැනිදාය. ඉන් අවුරුද්දක් ඇවෑමෙන් ‘දරුවන්ට කරුණාවෙනි’ යනුවෙන් ළමයින් අමතන වැඩසටහනක් ලංකා ගුවන් විදුලිය ප්‍රචාරය කරයි.

ගුවන් විදුලිය ආරම්භ වී පස් වසරක් ඇවෑමෙන් 1931 මැයි මාසයේදීම අධ්‍යාපන වැඩසටහන් ඉංගිරිසි භාෂාවෙන් ආරම්භ වෙයි. ඒ වසරේම ඔක්තෝබර් මාසයේ දී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව සිංහල භාෂාවෙන් ද අධ්‍යාපන වැඩසටහන් ඇරඹෙන අතර සිංහල - ග්‍රාමීය විද්‍යාව - වත්මන් ලෝක ප්‍රවෘත්ති සහ පෙරදිග සංගීතය ආදී විෂයයන් ඉගැන්වීම පටන් ගනී. පසු කලෙක සුනිල් සාන්ත ජාතික ගුවන් විදුලිය ඔස්සේ පූර්ණ සංගීත පන්තියක් ද පවත්වාගෙන ගොස් ඇත. ගුවන් විදුලි දුරස්ථ අධ්‍යාපන අත්දැකීම් අද පාසල් අධ්‍යාපනයට ප්‍රයෝජන ගත හැකි බව මගේ විශ්වාසයයි.

1938 ජූලි මාසයේ දී පාඨශාලාන්තර අක්ෂර වින්‍යාස (Spelling Bee) තරගයක් සංවිධානය කෙරුණු අතර පාසල් රාශියක් ඊට සහභාගි විය. ඒ අතුරින් එම තරගයෙන් ජය අත්කරගෙන ඇත්තේ කොළම නාලන්දා විද්‍යාලයයි. දුරස්ථ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අභිලාෂය ඇතිව අධ්‍යාපන දෙපාර්මේන්තුව මඟින් සකස් කරනු ලැබූ වැඩසටහන් භාර වූයේ ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පියෙකු වූ එල්.එල්.කේ. ගුණතුංගට ය. දරුවන්ගේ දැනුම වඩන ‘ඔබ දන්නෙහි ද?’ තරග මාලාවක් ද සංවිධාන කිරීමට එදා ගුවන් විදුලිය ක්‍රියා කළේය.

පාසල් දරුවන්ට විෂය දැනුම ලබා දීමට සරල බසින් ප්‍රචාරය කළ වැඩසටහන් ශ්‍රවණයට පාසල්වල ‘සවන් දෙන කාමර’ සකසා එහි කළු ලෑල්ලක් හා හුණු කූරක් ඇතිව ගුරුභවතෙකු සූදානම්ව සිටිය යුතු බවට ද නිර්දේශ කෙරිණි.

මේ සඳහා විධිමත් යාන්ත්‍රණයක් එදා ගුවන් විදුලිය විසින් ආරම්භ කර තිබිණි. 1951 සැප්තැම්බර් මාසයේ සිට පාසල් සේවය වෙනම අංශයක් බවට පත් විය. ඒ.එම්. ජෝශප් මහත්මියගේ සංවිධායකත්වයෙන් ඇරැඹි එම සේවයට, භාෂා තුනෙන්ම ප්‍රවීණයන් තිදෙනෙකු පත් කරන ලදී. වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක පත්‍රිකා මුද්‍රණය කොට සවන් දෙන පාසල් වෙත යවනු ලැබූ අතර, ඒ ඒ පාඩම තේරුම් ගැනීම පහසු වන අන්දමින් ගුරුඋපදේශ ඇතුළත් කුඩා පොත් පිංචක් සවන් දෙන පන්ති භාර ගුරුභවතුන් වෙත යවන ලදී.

උදය කාලයේ ප්‍රචාරය කළ පාඩම්වලට සවන් දිය නොහැකි වූ පාසල්වල ප්‍රයෝජනය සඳහා ඇතැම් පාඩම් සවස් වරුවේ නැවත ප්‍රචාරය කළ අතර පාසල්වලට සවන් දෙන වැඩසටහන් කල් ඇතිව තෝරා ගනු පිණිස 1955 වර්ෂය සඳහා වූ කාල සටහන කල් ඇතිවම පාසල්වලට යැවීමට ද ක්‍රියාකර ඇත.

පාසල් වැඩසටහන්වලින් උපරිම ඵලදායිතාව ලබාගැනීමේ අභිලාෂයෙන් මහරගම - මීරිගම - ගිරාගම - බලපිටිය - පොල්ගොල්ල - උයන්වත්ත - කටුකුරුන්ද - නිට්ටඹුව - මියුසියස් - බෝලවලාන අලුත්ගම සහ පේරාදෙණිය ගුරු විද්‍යාලවලට නියෝජිතයන් ගොස් දැනුම්වත් කිරීමට ගුවන් විදුලිය විධි විධාන යෙදුවේය.

මේ පිළිබඳව දැක්වූ උනන්දුව කොතරම් ද යත්, පාසල් සේවයට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික සමාජයීය හා සංස්කෘතික ආයතනයෙන්, බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ පාසල් ප්‍රචාරයෙහි අධ්‍යක්‍ෂ පී.ජේ. කිට්ලි ශ්‍රී ලංකාවට එවනු ලැබීය. අධ්‍යාපනික වැඩසටහන් සැලසුම් කිරීම, පිටපත් සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳ පුහුණුවක් අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට ලබා දෙන ලදී. ගුවන් විදුලිය සහ පාසල් අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැගීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සම්බන්ධතා නිලධාරියකු ලෙස පත් කිරීමට ද නිර්දේශ විය.

පාසල් සේවයේ නිලධාරීන් මලයාසියාව - ජපානය - ඕස්ට්‍රේලියාව ආදී රටවල ගුවන් විදුලි මධ්‍යස්ථානවල පුහුණුව සඳහා යැවූ අතර 1958 දී ආරම්භ කළ ‘අධ්‍යාපන විද්‍යාව’ වැඩසටහන ගුරුභවතුන්ට මහත් ප්‍රයෝජනවත් විය.

1967 පාසල් සේවය ‘අධ්‍යාපන සේවය’ ලෙස යළි ප්‍රතිසංවිධානය කර පාඩම් ක්‍ෂේත්‍රය වඩාත් පුළුල් කිරීමට පියවර ගත්තේය. 1970 - 1978 අධ්‍යාපන සේවයට බ්‍රිතාන්‍ය ගුවන් විදුලි ප්‍රචාරක මධ්‍යස්ථානයේ ඩේවිඩ් බාලෝගේ සේවය ලැබුණි. 1978 දී විශ්වවිද්‍යාලයේ බාහිර සිසුන් සඳහාද පාඩම් මාලාවක් ගුවන් විදුලිය සම්පාදනය කළේය. 1980 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ හා යුනිසෙෆ් ආයතනයේ සහයෝගයෙන් ගුවන් විදුලි යන්ත්‍ර දහසක් පාසල් අතර බෙදා හරින ලද්දේ, පාසල් විෂය දැනුම වඩාත් පුළුල් ලෙස දරුවන්ට ලබා දීමේ අපේක්‍ෂාවෙනි. ලංකා ගුවන් විදුලිය අධ්‍යාපන වැඩසටහන් කොතරම් උසස් ප්‍රමිතියක තිබුණේ ද යත්, 1965 - 1974 - 1975 සහ 1979 වර්ෂවල දී ජපානයේ භ්‍යණ ගුවන් විදුලි මධ්‍යස්ථානය සංවිධාන කළ තරගාවලියෙන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ අධ්‍යාපන සේවය ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය.

පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය කරනවාත් සමඟ, ගුරුභවතුන්ගේ දැනුම වර්ධනය උදෙසා ද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් එදා ගුවන් විදුලියේ නිර්මාණය විය. 1994 නව අධ්‍යාපන සේවය වෙනම විකාශනයක් ලෙස ‘ගුවන් තක්සලාව’ නමින් ප්‍රචාරය විය.

2006 දී අධ්‍යාපන සේවය යටතේ ‘විදුල’ ගුවන් විදුලිය ආරම්භයත් සමඟ වැඩසටහන් වපසරිය වඩාත් පුළුල් වූ අතර සතියේ දිනවල පෙරවරු 6.00 සිට 8.00 දක්වාත්, පස්වරු 2.00 සිට සවස 6.00 දක්වාත්, සති අන්තවල පෙරවරු 6.00 සිට 10.00 දක්වාත්, සවස 2.00 සිට 6.00 දක්වාත් අධ්‍යාපන වැඩසටහන් ගුවන් ගැනිණි. වර්තමානයේ දී අධ්‍යාපන සේවා වැඩසටහන් සතියේ සෑම දිනකම සවස 3.00 සිට 4.00 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් ද දෙමළ අධ්‍යාපන වැඩසටහන් සවස 5.30 සිට 6.00 දක්වාත් ද ප්‍රචාරය කෙරේ.

ජාතික ගුවන් විදුලිය කොවිඩ් වසංගතය හමුවේ ජාතියේ දරු පරපුරට අතපසු වූ විෂය දැනුම ලබාදීම සඳහා ‘රේඩියෝ ගුරුවරයා’ - ‘මඟ නොහැර පාසලට’ නම් වැඩසටහන් මාලාව ‘දිනමිණ’ පත්‍රයත් සමඟ එක්ව ප්‍රචාරය කරයි. 2020 නොවැම්බර් 28 වැනිදා සිට 2021 මාර්තු මාසය දක්වාම සෑම සිකුරාදාකම සාමාන්‍ය පෙළ විභාග අත්වැල අනුමාන ප්‍රශ්න පත්‍රය දිනමිණ පත්‍රයේ පළ කෙරෙන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 91.7 / 91.9 එෆ්.එම්. තරංගමාලා ඔස්සේ ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට 11.00 දක්වා පුරා පැය දෙකක කාලයක් ප්‍රචාරය වෙයි.

මාර්ගගත අධ්‍යාපන වරම නොලබන ශ්‍රී ලංකාවේ ඈත ගම්දනව්වල දරුවන්ට පහසුවෙන් ඒ ඒ විෂය පිළිබඳ පාඨමාලා හැදෑරීමට ගත යුතු පහසුම ක්‍රියාවලිය වනුයේ නගරයට මෙන්ම ඈත ගම් නියම්ගම්වලට පාසල් දරුවන්ටත් පහසුකම් සැලසිය හැකි ගුවන් විදුලිය ඔස්සේ පාසල් අධ්‍යාපනය සලසාදීම නොවේද? පළමු ශ්‍රේණියේ සිට ඉහළම ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශානුගත පාඩම් මාලා මුද්‍රිත මාධ්‍යයේ ද සහාය ඇතිව ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචරය කිරීමෙන් පරිගණක - ස්මාර්ට් ෆෝන් ඔස්සේ මාර්ගගත අධ්‍යාපනයට පහසුකම් නොමැති දරුවන්ට අධ්‍යාපන පහසුකම් සැලසිය හැකිය. අවම වියදමකින් රටේ සියලුම දරුවන්ට සම සේ අධ්‍යාපන පහසුකම් සැලසිය හැකි එකම මඟ, ගුවන් විදුලි මාධ්‍ය භාවිතය බව අපගේ විශ්වාසයයි.

Comments