‘අග්ග මහා පණ්ඩිත’ ගෞරව සම්මා­න­යෙන් පිදුම් ලබන තිරි­කු­ණා­මලේ ආනන්ද මහ නාහි­මි­ | සිළුමිණ

‘අග්ග මහා පණ්ඩිත’ ගෞරව සම්මා­න­යෙන් පිදුම් ලබන තිරි­කු­ණා­මලේ ආනන්ද මහ නාහි­මි­

වර්ෂ 1958 අප්‍රේල් මස 20 වැනි දින තිරිකුණාමලේ අන්දම්කුලම් ග්‍රාමයේ ජන්ම ලාභය ලැබූ තිරිකුණාමලේ ආනන්ද මහ නායක මාහිමිපාණන් වහන්සේ 1969 ඔක්තෝබර් 25 දින පැවිදි දිවියට ඇතුළත් වූ අතර සියලු ශාසනික හා අධ්‍යාපන කටයුතු මැනවින් හදාරා 1978 නොවැම්බර් 25 දින උපසම්පදාවට පත්වූ සේක. සසර පින් බලෙන් මෙසිරිලක උපන් උන්වහන්සේ මෙරට ශාසන ඉතිහාසය තුළ නූතන භික්ෂු සම්ප්‍රදායේ මුඳුන් මල්කඩවූ වජිරාරාම සම්ප්‍රදාය තුළ සිය භික්ෂු ජීවිතය ආරම්භ කිරීමට භාග්‍යවන්ත වූ සේක. පරම පූජනීය පැළෑනේ වජිරඥාන මහ නායක මාහිමිපාණන් වහන්සේ ආරම්භ කළ නවමු වූ සාසන සම්ප්‍රදායේ ශ්‍රී ලංකාවේ සංඝරාජ පදවිය ලත් සේ පිදුම් ලද පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේගේ සහ පරම පූජනීය අම්පිටියේ රාහුල මහා ස්වාමීන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාය යටතේ පැවිදි දිවියට එළැඹීමට ලැබීමම උන්වහන්සේගේ පෙර පුණ්‍ය මහිමයකි. මහරගම සිරි වජිරඥාන ධර්මායතනය උන්වහන්සේට භික්ෂු අධ්‍යාපනය ලබාදුන් පින්බිමයි.

සිංහල භාෂාව පිළිබඳ ප්‍රාමාණික දැනුම ඉතා ඉහළින් ඇති උන්වහන්සේ විනයාචාර්ය උපාධිය, ශාස්ත්‍රපති උපාධිය මෙන්ම රාජකීය පණ්ඩිත උපාධිය ද ඉතා ඉහළින් සමත්ව ධර්ම විනය ඇතුළු බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව හසළ දැනුමකින් පරිපූර්ණත්වයට පත් වූ යතිවරයාණන් වහන්සේ නමකි.

ගෙවී ගිය සියවසේ ථේරවාදි ධර්ම ශාස්ත්‍රීය සේවා ලෝකය පුරා ප්‍රචලිත කිරී‍මේ ඉහළම පිළිගැනීමට පාත්‍ර වූ පෙරදිග ප්‍රධානතම ධර්ම නිකේතනයක් වූ බම්බලපිටිය සිරි වජිරාරාමයේ වර්තමාන විහාරාධිපති ධූරය හොබවමින් සුවිශාල ශාසනික සේවාවක් සිදු කරන උන්වහන්සේ එයට අමතරව රත්නපුර බෝධිසිරි විහාරය, මහනුවර සේනානායකාරාමය, නුවරඑළිය, අශෝකාරාමය, ඕස්ට්‍රේලියාවේ ශාඛ්‍යමුණි විහාරය, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය, ජර්මනියේ වජිරාරාම බෞද්ධ මධ්‍යස්ථානය වැනි දෙස් විදෙස් ‍ෙබෟද්ධ ආයතන පවත්වාගෙන යාම සඳහා අවැසි මඟපෙන්වීම සිදු කරනු ලබයි.‍

රජය හා බුද්ධශාසන අමාත්‍යාංශය මගින් ජාතික හා ආගමික වැදගත්කමකින් යුක්ත අවස්ථාවලදී පත්කරනු ලැබූ කොමිෂන් සභා හා කමිටු රාශියක සාමාජිකත්වය දරමින් සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටු කර ඇති අතර වර්තමානයේද බෞද්ධ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සභාවේ සාමාජිකත්වය දරමින් රජයට අවශ්‍ය ආගමික මාර්ගෝපදේශ ලබාදීමෙහිලා මහත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ‍

අප නායක හිමිපාණන් වහන්සේ කුමාරතුංග මුනිදාස පඬිරුවන, පරාක්‍රමබාහු රජතුමා, රාහුල පුංචි හාමුදුරුවෝ, බුද්ධ ආර්ය මාර්ගය, බ්‍රහ්ම විහාර ධර්ම ආදී ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇති අතර ආගමික ග්‍රන්ථ හා සඟරා රාශියක් සංස්කරණය කිරීමද සිදුකොට ඇත. ග්‍රන්ථ සම්පාදනයට අමතරව බොදු ගී හා කාව්‍ය නිර්මාණ රචනා කිරීමේ සුවිශේෂී හැකියාවකින් යුත් උන්වහන්සේ බොහෝ ධර්ම ආයතනවල තේමා ගීත නිර්මාණය කිරීම ද කර ඇත. ව්‍යක්ත සිංහල බස හැසිරවීමත්, සුමට රචනාකරණයත්, බොදු ගී හා කාව්‍ය නිර්මාණයත් පිළිබඳ උන්වහන්සේගේ ප්‍රවීණත්වය අගයනු වස් හෙළ හවුල මඟින් “හෙළ බස ඉසුරු” සම්මානය උන්වහන්සේට ප්‍රදානය කිරීමෙන් ගෞරව කොට ඇත.

උන්වහන්සේගේ ජාතික ආගමික මෙහෙවර මෙවැනි කෙටි ලිපියකට සාරාංශ කිරීම අසීරු කාර්යයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. එසේ වුවද නිසි කල්හි එකී මෙහෙවරට උන්වහන්සේ පිදුම් ලැබීමට තරම් භාග්‍ය වූ සේක. තනතුරු සම්මාන කිසිවක් අපේක්ෂා නොකළ ද උන්වහන්සේ නිරන්තරයෙන් ම ඒවායෙන් පිදුම් ලැබීමට හේතු වාසනාව ලද සේක.‍

වර්ෂ 2003 දී ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත නිකායේ අනුනායක ධුරය සඳහා පත්වූ උන්වහන්සේ වර්ෂ 2014 දී එම නිකායේ මහා නායක ධුරය සඳහා ‍තෝරා පත්කර ගන්නට යෙදුණු අතර නික‍ායේ අටවන මහානායක මාහිමිපාණන් වහන්සේ ලෙස අද දින දක්වාම උතුම් වූ ශාසන මෙහෙවරේ කටයුතු කිරීම අප ලද භාග්‍යයකි. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් සිදු කළ අනුපමේය වූ සේවය අගයනු වස් 1998 වසරේදී “ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර” ගෞරව නාමයෙන්ද 2003 වසරේ දී “ශ්‍රී පඤ්ඤාසිංහ ධර්මකීර්ති ශ්‍රී” ගෞරව නාමයෙන්ද වර්ෂ 2018 දී “පුවවත කීර්ති ශ්‍රී ශාසන ජෝතික පරියත්ති විශාරද” යන ගෞරව නාමයෙන් ද උන්වහන්සේ පිදුම් ලැබීය.‍‍

නව වසරේ එනම් 2021 වසරේ ජනවාරි 04 වැනි දින මියන්මාර් ජනරජය විසින් “අග්ගමහා පණ්ඩිත” ගෞරව නාමයෙන් ද උන්වහන්සේ පුදනු ලැබීම උන්වහන්සේට පමණක් නොව සැබැවින්ම ශ්‍රී ලාංකික ථේරවාදි භික්ෂු සංස්ථාවට හා සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට කරන ලද ඉමහත් ගෞරවයක් බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.‍

මේ සියලු සම්මානවලින් පිදුම් ලැබූවද, උන්වහන්සේ සැමදා ප්‍රකට කරවන අනතිමානී ගුණය සැමට ආදර්ශයකි. වත්මන් දරු පරපුර යහමඟ යැවීම උදෙසා බම්බලපිටිය සිරි වජිරාරාමය දහම් පාසලේ උපදේශක මණ්ඩලයේ ප්‍රධානත්වය දරමින් උන්වහන්සේ ලබා දෙන ගෞරවනීය සේවාවද, මේ මොහොතේ සිහිපත් කිරීම මාගේ යුතුකමක් කොට සලකමි.

ගරු පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක හිමිපාණන්ගේ අනතිමානී ගුණය සිල් සුවඳ, ධර්ම විනය පිළිබඳ දැනුම හා භාවිතය මෙන්ම රට, ජාතිය, ආගම, සංස්කෘතිය හා භාෂාව වෙනුවෙන් කරනු ලබන උතුම් මෙහෙවර ඉදිරියටත් සිදු කිරීමට හැකි වේ.

ප්‍රියන්ත මායාදුන්නෙ

ලේකම් - අධිකරණ අමාත්‍යාංශය

Comments