වන්ෂොට්ට මොකද වෙන්නෙ | සිළුමිණ

වන්ෂොට්ට මොකද වෙන්නෙ

 දැඩි රැක­වල් මැද රන්ජන් බන්ධ­න­ගා­රය වෙත රැගෙන ගිය අව­ස්ථාව
දැඩි රැක­වල් මැද රන්ජන් බන්ධ­න­ගා­රය වෙත රැගෙන ගිය අව­ස්ථාව

සාධාරණයට හා අයුක්තියට හිස නොනමා ඊට එරෙහිව කටයුතු කළ චරිත බොහෝ බිහිව තිබේ. ශ්‍රී ලංකාවේද වීරපුරන්අප්පු වැනි චරිත බිහිවන්නේ එවන් අසාධාරණයන්ට එරෙහිව කටයුතු කිරීමටය. 27 වසරක සිර දඬුවමක් විඳි නොබෙල් සාම තිළිණලාභී නෙල්සන් මැන්ඩෙලා මෑත යුගයේ එවන් ලෝ පරසිදු චරිතයකි.

එහෙත් අපට ඇති බලය අනෙකා පරයා යන්නට හෝ අනෙකාට නොදෙවෙනි අසාමාන්‍ය බලයක් නොවන බව ඔවුහු දැන සිටියහ. අනෙක් අය පහර දෙද්දී ඔවුන්ට ප්‍රතිප්‍රහාර ලබාදෙමින් තම ආරක්ෂාව සලසා ගැනීම මිස අසාමාන්‍ය බලයකින් ඔවුන් අහසට විසිකිරීම හෝ තමන්ට පහර දෙන විට එම පහරදීම ඇගට පතට නොදැනීමට තරම් වන ශක්තියක් අපට නැත.

‘වන්ෂොට්‘ චිත්‍රපටයේ විජයගේ චරිතය රඟ දැක්වූ රන්ජන් රාමනායකට එවන් අසීමිත බලයක් ඇති බව ඔහු පෙන්නුම් කෙළේය. ධාවනය වන දුම්රියට වඩා වේගයෙන් දිවගොස් බස් රථයක වීදුරු කඩා ඇතුළු වී කළ වීරකම් මෙන්ම අතුරේ ගමන් කරන අයකුගේ ලණුවට පිහියකින් දමා ගසා බිමට වැටෙන ඔහු නිරුපද්‍රිතව බේරා ගැනීම මෙන්ම අඟල් කිහිපයක දිගින් යුතු ඉදිකටුවකින් ඇග මසන විට නොදැනුණා සේ සිටීම සැබැ ලෝකයේ නොසිදුවන ක්‍රියාදාමයන්ය.

රන්ජ­න් අ­ධි­ක­රණ භූමි­යේදී මාධ්‍ය­යට අධි­ක­ර­ණය දූෂි­ත­බව පැවසූ අව­ස්ථා­වක්

චිත්‍රපට ලෝකය හා සැබෑ ලෝකයේ වෙනස අප වටහා නොගතහොත් සිදුවන්නේ විනාශයකි. රන්ජන් රාමනායකට වැරැදුණේද එතැනය. රන්ජන් රාමනායක ජනතාව වෙනුවෙන් හඬ නංවන ලදී. විශේෂයෙන්ම මැද පෙරදිග රැකියාවන්හි නිරත විගමණිකයන් වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. එහෙත් අප තේරුම් ගත යුතු යමක් ඇත. ඒ අපට යා හැකි දුරක් ඇති බවයි. රටක නීතියට ගරු කිරීමට රටවැසියන් කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම මෙරට ජනතාවට නීති සම්පාදනය කරනු ලබන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් අනිවාර්යෙන්ම නීතිගරුක විය යුතුය. භික්ෂූන් වහන්සේට ඇමතීමේදී ජනාධිපති අගමැති මෙන්ම කථානායකට ඇමතීමේදී සම්ප්‍රදායයක් තිබේ. ඒ සම්ප්‍රදායන්ම ඇතැම් විට නීතීන් බවට පත්ව තිබේ. මහේස්ත්‍රාත්වරුන්ට ‘නඩුකාර හාමුදුරුවෝ‘ යැයි පවසන්නට තරම් අපේ ගැමියා වූයේ නිරහංකාර වූයේ එහෙයිනි.

රන්ජන් රාමනායකගේ භූමිකාව ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ මේ සියලු කරුණු කාරණා මුල් කර ගෙනය.

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට පත්වී වැඩි කලක් යන්නට පෙරම ඔහු සීමාව ඉක්මවා යන ලකුණු පෙනෙන්නට විය. පෙර කී නළුවාගේ ලෝකය හා සැබෑ ලෝකයේ වෙනස ඔහුට නොවැටහුණාදැයි සැක මතුවුණේ එහෙයිනි. වන්ෂොට් හා මායා වැනි චිත්‍රපටවල මෙන් ඔහු නීතිය අතට ගන්නට තැත් කළ බව බොහෝ දේශපාලකයෝ ඔහුට චෝදනා කළහ. ඔහු වරෙක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනයෙන් කතා කළ අයුරු දැක ප්‍රාදේශීය ලේකම්වරු වර්ජනයක් කරා යන්නට විය.

රන්ජන් රාමනායක අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත්ව ඇති බව පවසා ඔහු 2020 වසරේ උසස් පෙළ විභාගයට ලියන්නට යෑම පවා ‘ෂෝ‘ එකක් විය. තම දැනුම වැඩි කර ගැනීම හෝ තමාට නොමැති සුදුසුකම් සපුරා ගැනීම අගනා කටයුත්තක් වුවත් එය චිත්‍රපටයක් නොවිය යුතුය. ඒ වන විටත් අධිකරණයට අපහාස කිරීමේ වරදට එස්.බී. දිසානායක ඇමැතිවරයා දෙවසරක බන්ධනාගාරයට නියමව ජනාධිපති සමාව හිමිවීමෙන් පසු නිදහස ලබා තිබුණි.

‘‘අධිකරණය ලබා දෙන බලු තීන්දු අපි පිළි ගන්නේ නැහැ‘‘ යනුවෙන් එස්.බී. කළ ප්‍රකාශයට එරෙහිව දකුණේ නීතිගරුක පුරවැසියන් දෙදෙනකු අධිකරණයට අපහාස කළබව සඳහන් කරමින් නඩුවක් ගොනු කෙළේය. එස්.බී.ට වූ හදිය තේරුම් ගන්නට රන්ජන්ට නොහැකි විය.

එම නිසා රන්ජන්ද කට වරද්දා ගත්තේය. රණස්ගල්ලේ හිමියන් විසින් රචිත ලෝකෝපකාරයේ ‘හොඳට නරකට දෙකටම කටමය‘ බව කියා තිබේ. එහෙත් සාමාන්‍ය පෙළ සමත් වූවකුට එවැනි දැනුමක් ලබන්නට වාසනාව නැතිදෝ යන්න මෙහිදී සිතිය යුතුව තිබේ. එමෙන්ම කටපරිස්සම් කර ගන්නට බැරි වූ නිසා කොක්කුන් සමඟ අහසින් ගිය ඉබ්බාට වූ දේ ද අප අසා තිබේ. අවම වශයෙන් ඒ කතාවවත් අසා නැති අයකු සිටිනවානම් ඒ ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත.

කට වරද්දාගත් රන්ජන්ට අවසානයේ පසුගිය 12 වැනිදා වසර 4ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම විය.

නීති පොතේ හැටියට ඔහුගේ මන්ත්‍රී අසුනද අහිමි වනු ඇත. ඒ සිර දඬුවම මාස 6කට වැඩි නිසාය. එමෙන්ම රන්ජන්ගේ ප්‍රජා අයිතියද සිර දඬුවම නියම වූ පසුගිය 12 වැනිදා සිට අහිමි වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා පවසා තිබේ.

රන්ජන් වැරැදිකරුවකු වූයේ ඇයි? ඔහු සිරබත් කන්නට යන්නේ තවත් නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලෙසටද?

වැලි­ක­ඩදී සිර­ක­රු­වකු  ලෙස ලියා­ප­දිංචි කර පල්ල­න්සේන වෙත ගෙන යාමට සූදා­නම්ව

2015 වසරේ මෛත්‍රීපාල සිරිසේනයන් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්පසු රනිල් වික්‍රමසිංහයන්ට අගමැතිවරයා ලෙස දිවුරුම් දීම පිණිස අගවිනිසුරුවරයාගේ අතින් අල්ලා ඔහු ඉවතට ගෙන ගියේ රන්ජන් රාමනායක විසිනි. මේ සිදුවීම ගැන හිටපු අගවිනිසුරුවරයකු වන සරත් එන්. සිල්වා පැවසුවේ තමන් අගවිනිසුරු ලෙස කටයුතු කරද්දී එවන් සිදුවීමක් වූවානම් අනිවාර්යෙන්ම රන්ජන් රාමනායක එම අවස්ථාවේම පොලිස් අත්අඩංගුවට පත්වන බවයි. අගවිනිසුරුවරයකු එසේ අතින් ඇදගෙන යා හැකිද?

එදා ඇරැඹුණු රන්ජන්ගේ නීතියට පිටුපෑම ක්‍රමයෙන් වැඩිවූවා මිස අඩු නොවීය. ඔහුට කතා කරන්නට ගිය විට මෙන්ම ක්‍රියාවේදීද උන්හිටි තැන් අමතක විය.

ඒ වන විටත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද අධිකරණයට අපහාස කිරීමේ වරදට බන්ධනාගාරගත වී සිටියහ.

රන්ජන්ට ඒ කිසිවක් වැදගත් නොවීය. ඔහු නිරතුරුවම විවිධ අදහස් ගෙන හැර දැක්වූයේ රටේ නීතිය, සාම්ප්‍රදායයන් හා සාරධර්ම පවා උල්ලංඝණය වන ලෙසිනි.

2017 වසරේ අගෝස්තු මස 21 වැනි දා එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහයන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍යට අදහස් දැක්වූ රංජන් රාමනායක පවසා සිටියේ ‘මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන්‘ බවයි. රටේ සමස්ත විනිසුරුවරුන්ගෙන් 95%ක් පමණ දූෂිතයන් බවද ඔහු පැවසුවේය. මේ රාජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ හැරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

එම පැමිණිලි දෙක අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා පත්‍රයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේය.

ඒ වෙනුවෙන් කරුණු විමසීමට රන්ජන් රාමනායකයන් ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටතට පැමිණි රන්ජන් රාමනායකයන් තමන් පෙර කළ ප්‍රකාශය යළිත් අනුමත කර එම ප්‍රකාශයම කෙළේය.

ඒ 2017 වසරේම දෙසැම්බර් 14 වැනිදාය. ඔහු එහිදී පැවසුවේ ‘ මෙරට විනිසුරුවරුන් හා නීතිඥයන් මුදලට හොරු හා කුඩු කාරයන් ආරක්ෂා කරනු ලබන‘ බවයි. ඔහු පෙර කළ ප්‍රකාශය යළිත් ස්ථාපිත කෙළේය. තමන් පැවසූ මතය ස්ථිර බවත් එය ඉවත් කර නොගන්නා බවද ඔහු පැවසුවේය.

එසේම 2018 වසරේදී මාර්තු මස 23 වැනිදා ඔහු යළිත් පැවසුවේ අධිකරණයේදී මුදලට හොරුන් හා කුඩුකාරයන් ආරක්ෂා කරන බවත් ‘අධිකරණය තමන්ට සිර දඬුවම් දී ස්වයංවින්දනයක් ලබන්නට උත්සාහ කරනවානම් තමන් ඒ වෙනුවෙන් සිරබත් කන්න සූදානම්‘ බවයි.

ඔහු එයින් නොනැවතී යළිත් එම වසරේදීම ජූනි 04 . දින යළිත් එම ප්‍රකාශය තහවුරු කෙළේය. තමන් හිරේ ගියත් ඇත්ත කියන බව පැවසූ ඔහු යළි යළිත් පවසන්නට වූයේ ‘අධිකරණය දූෂිත‘ බවයි.

ඔහු මේ ප්‍රකාශයන් දෙකක්ම සිදු කෙළේ ඔහුට විරුද්ධ නඩුව විභාගවන අවස්ථාවේ අධිකරණයට කරුණු දක්වා එළියට පැමිණ මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අධිකරණ භූමියේදීමය. .

තමාට නඩු 21ක් තිබෙන බවත් නඩු කොපමණ වැටුණත් තමන් ඇත්ත පවසන බව පවසමින් ඔහු අධිකරණය හෑල්ලුවට ලක් කෙළේය.

එහිදී ඇතැම් පුද්ගලයන් ඔහු තවත් දිරි ගැන්වීය. නීතිය නොදන්නා අධිකරණයේ යුක්තිය පසිඳලීමේ න්‍යාය හෝ අධිකරණයට අපහාස කිරීම යනු කුමක්දැයි නොදන්නා අයට එය පොඩි වින්දනයන් වන්නට ඇත.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කෙරුණු අතර සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාගයට ගැනුණි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් බැහැර නොකරන බවට වගඋත්තරකාර රන්ජන් රාමනායක විසින් අවස්ථා හතරක දී සපථ කර ඇතැයි සඳහන් කර තිබුණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් පසුව හතර වතාවක් වගඋත්තරකාර රන්ජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් ඉවත් කර නොගන්නා බවට අවධාරණය කර ඇතැයි ද අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නේය.

"මං කියපු මතය ඉවත් කරගන්නේ නෑ"... "ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නෑ"..යනුවෙන් එම ප්‍රකාශ තුළින් ඔහු පෙන්වා ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා එයින් ඔහු සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ඇතැයි ද, පෙන්වා දුන්නේය.

ඊට අමතරව ඔහු සෑම නඩු වාරයක් අවසානයේදීම අධිකරණ පරිශ්‍රය තුළ ජනමාධ්‍ය වෙත සිදුකර ඇති ප්‍රකාශවලින් "අධිකරණය හොරු ධෛර්යමත් කරනවා.. අධිකරණය හොරු උත්තේජනය කරනවා...“ යනාදී වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා මේ තුළින් ඔහු විනිසුරුවරු නිසා දූෂිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවට මහජනතාව වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇතැයි චෝදනා කළේය.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරයකු වන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න වසර එකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිට පසුගිය බදාදා ඇප මත මුදාහැරීමට නියම කරන ලදී. අධිකරණයට අපහාස කිරීමක් යන්නෙන් අදහස්වන්නේ කුමක්ද යන්නද මෙහිදී විමසා බැලිය යුතුය. ඊට පාදක වන කරුණු රැසක්ම ගෙනහැර දැක්විය හැකිය.

මෙහිදී අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම, අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ), අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම, අධිකරණයට හෝ විනිසුරුවරුන්ට නිගරුවන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම, අධිකරණයට තමා විසින්ම දුන් පොරොන්දුවක් කඩ කිරීම, අධිකරණ තීන්දුවක් / අතුරු නියෝගයක් අනුව කටයුතු නොකිරීම, අධිකරණ ශාලාව තුළ අධිකරණ කටයුතුවලට බාධාවන ලෙසින් ක්‍රියාත්මක වීම ( වාචික , ලිඛිත, හෝ වෙනත් ක්‍රමයකින් ), අධිකරණයේ බලය පහත හෙළන ලෙසින් ක්‍රියාත්මක වීම (වාචික , ලිඛිත, හෝ වෙනත් ක්‍රමයකින් විය හැකිය.) මීට අමතරව අධිකරණයට අපහාස කළ බවට හැඟෙන කාර්යයක් වුවද බලාත්මක කළ හැකිය.

රන්ජන් පසුගිය 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී වසර 4ක බරපතළ දඬුවම් නියම වී බන්ධනාගාරය වෙත රැගෙන යද්දී ඔහු පුන පුනා පැවසුවේ තමන් විසින් පැවසූ සියලු කරුණු සත්‍යය බවත් එකදු කරුණක් හෝ ඉවත් කර නොගන්නා බවත් කිසිදු ලෙසකින් සමාව නොගන්නා බවත්ය. ‘තමාගේ මුහුණේ කිසිදු ආකාරයක බයක් නොමැති බවත් ‘ ඔහු කෑගසමින් පැවසුවේය.

මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී ඔහු කථානායක අමතමින් පැවසුවේ ‘‘ආ... ලොක්කා‘‘ යනුවෙනි. පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සහභාගි වන අවස්ථාවලදී ඔවුන් පවා කථානායකවරයා අමතන්නේ ‘ගරු කථානායකතුමනි‘ යනුවෙනි. පසුගිය 6 වැනිදා පාර්ලිමේන්තුවේදී කතා කරමින් ඔහු පැවසුවේ ‘මට නීතිඥවරුන් කියලා තියෙන්නෙ ලබන සතියෙ තීන්දුව දෙනවා, අනිවාර්යෙන්ම ඇතුළට යන්න වෙනවා කට පරිස්සම් කරගන්න නැත්නම් දඬුවම වැඩිවෙයි‘ යනුවෙනි. ඒ වුණත් මම ‘‘ඇත්ත කතා කරල හිරේ යනවා ඒක සැපයි‘‘ යනුවෙනි. ඇත්ත කතා කළ යුතුය. එහෙත් ඇත්ත වුවද කතාකළ යුතු තැන් ඇත. කට පරිස්සමින් භාවිත කළ යුත්තේ එහෙයිනි.

රන්ජන්ට විරුද්ධව නඩු පැවරෙන්නේ ‘යහපාලන ‘ ආණ්ඩුව සමයේදීමය. එයට චෝදනා ගොනු කෙරෙන්නේ ද ඒ සමයේදීමය. වසර කිහිපයක් විභාග කළ නඩුවේ තීන්දුව දීම සිදු කෙරුණේ පසුගිය 12වැනිදාය. එහිදී ශ්‍රේෂ්ඨාධිිකරණයෙන් ලබා දුන් තීන්දුවක් නිසා රන්ජන්ට යළි ඇපෑලක් පවා ඉදිරිපත් කළ නොහැකි වනු ඇත. තීන්දුව ලබා දී පැය දෙකකට පමණ පසු රන්ජන් දැඩි ආරක්ෂක රැකවල් මැද බන්ධනාගාර ගතකිරීම පිණීස රැගෙන ආ අවස්ථාවේදීද ඔහු පැවසුවේ ‘‘මම තිත්ත ඇත්ත කතා කළා, මම කියපු කිසි දෙයක් ඉල්ලා අස් කර ගන්නෙත් නැහැ, සමාව ගන්නෙත් නැහැ, මුං ඇත්තටම හොරු‘ යනුවෙනි. ඒ අතර බස් රථයට ඔහු නංවද්දී බන්ධනාගාර නිලධාරීන් පසෙකට තල්ලු කරමින් ‘‘පොඩ්ඩක් ඉදපං මචං‘‘ යනුවෙන් ඔවුන්ට පැවසුවේය.

වැලිකඩදී සිරකරුවකු ලෙස ලියාපදිංචි කර සිරකරුවකුට අන්දන ‘ජම්පරය‘ අන්දවා ඔහු මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය කරා ගෙන ගියේ නිරෝධායනය පිණිසය.

කට පරිස්සම් කර නොගැනීමෙන් රන්ජන්ට මේ සියල්ල වූ බව අප තේරුම් ගත යුතුය.

 

සේයාරූ - තුෂාර ප්‍රනාන්දු

 

Comments