බුදු­රු­ව­යාය පිළි­මය රැක දෙන්න | සිළුමිණ

බුදු­රු­ව­යාය පිළි­මය රැක දෙන්න

 ඇලහැර මැණික් වලට ප්‍රසිද්ධියක් තිබෙනවා වගේම ඇලහැර ඓතිහාසික පුරාවස්තු වලින්ද ප්‍රසිද්ධියක් උසුලයි. ඒ සිද්ධස්ථාන අතර මහසෙන් රජතුමා ඔරුව බැන්ද සියඹලා ගස කුඩා මින්නේරි දේවාලය, ඒ ආසන්නයේ ප්‍රධාන මාර්ගය අසල ඇති ගරාවැටුණු චෛත්‍යය, කොට්ටපිටිය යාය 16 ප්‍රධාන මාර්ගය අසල ඇති ගරාවැටුණු විහාරය, කුමාරයා පැන්න ඇල්ල, බුදුරුවයාය සැතපෙන බුද්ධ ප්‍රතිමාව වේ. මෙම ස්ථානවල හාස්කම්ද තිබේ.

 

දිවංගත ඩී. එස්. සේනානායක අගමැතිතුමා දණ ගැස්සුවේ ද ඒ හාස්කමිනි. 1948 වර්ෂයේ අගමැති ඩී. එස්. සේනානායක ඇලහැර ගොවි ජනපදය ආරම්භ කර එක් ගොවි මහතකුට ගොඩ ඉඩම් අක්කර 3 ක් හා මඩ ඉඩම් අක්කර 5 බැගින් ලබාදී පදිංචි කරනු ලැබීය. ඩී. එස්. සේනානායකයන් මෙම සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඇලහැර ට පැමිණ කුඩා මින්නේරි දේවාලය ආසන්නයේ නතර වී ගොවි මහතුන් සමඟ සුහද සාකච්ඡාවක ද නිරතවී පසුව බකමූණ දෙසට ගමන් කිරීමට සුදානම් විය. ඒ අසල සිටි ගොවි මහතෙක් සර් කුඩා මින්නේරි දේවාලය බලන්න යමු ආරාධනාවක් කළේය. දැන් බැහැ වෙන දවසක බලමු යැයි කියා ඔහු නිල රථයට ගොඩ විය. රියදුරු රථය පණගන්වන්න උත්සහ කළත් එය අසාර්ථක විය. කාර්මිකයන් රථය පරීක්ෂා කර රථය පණ ගැන්වීමට කළ ද උත්සහය අසාර්ථක විය. වටපිට බැලු ගොවි මහතෙක් නැවතත් අගමැති ඩී. එස් සේනානායකයන්ගෙන් ඉල්ලීමක් කළේ ‘සර් පඬුරක් දාන්න යමු දේවාලයට‘ කියාය. හොඳයි අපි ගිහින් එමු කියා දේවාලය හා සියඹලා ගස නරඹා පඬුරක් දමා නැවත නිල රථයට ගොඩවී ගමන පිටත්වීම සඳහා යන්න සුදානම් විය. ඉන්පසු රථය එකපාරින් පණ ගැන්වුණ බව ගැමියෝ සිහිපත් කරති. මේ පුජනීය සිද්ධස්ථාන අතර පොලොන්නරුව සැතපෙන ගල් විහාරය ට සමාන බුද්ධ ප්‍රතිමාවක් ද තිබේ.

අවුවට වැස්සට ආවරණයක් නැති බකමුණ බුදුරුවයාය ඓතිහාසික සැතපෙන බුද්ධ ප්‍රතිමාව පොලොන්නරුව මහියංගණය පුජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට යන වන්දනාකරුවන්ගේ ඇසට ඇස නොගැටෙන පුජනීය ස්ථානයකි. බකමූණ නගරයට ආසන්න බුදුරුව යාය නමැති ගම්මානයේ පිහිටා ඇති ඒ ඓතිහාසික බුදුරුව යාය සැතපෙන බුද්ධ ප්‍රතිමාවයි.

බකමුණ නගරයේ සිට දඹුල්ල හෙටිටිපොල අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 6 ක් පමණ ගමන් කරනවිට බුදුරුව යාය පුජනිය සැතපෙන බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින බුදුරුව යාය විහාරස්ථානයට ළඟා වීමට හැකිය. සුන්දර පරිසරයක් තුළ මෙම බුදුරුවයාය විහාරය එදා පැරකුම් මහ නිරිඳුන් නිමා කළ බවට පුරාවෘත්තයේ සඳහන් වේ. බකමූණ මහියංගණය අධිවේගී මර්ගයේ කුමාරඇල්ල පාලම් අසල සිට මීටර් 600 ක් පමණ දුරින් නැගෙනහිර දෙසට ගියවිට අඹන්ගග අශ්‍රිතව මෙම ඓතිහසික බුදුරුවයාය පුදබිම සහිත පුරාවස්තු හමු වේ.

එම ස්ථානය සැබැවින්ම සුන්දරය රක්ෂිත වන අරණක් තුළ පිහිටුවා ඇත. චාන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිමවා අැති අඩි 25 ක් පමණ දිගැති සැතපෙන පිළිමයකි. මෙය පොලොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයට සමාන පොලොන්නරුව රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඉදි කළ පිළිමයක් බවට බුදුරුවයාය විහාරාධිපති පොල්වත්ත කන්දේ සද්ධානන් ද හිමිපානන් වහන්සේ අප සමඟ පැවසුහ. මෙම සැතපෙන පිළිමය පමණක් නොව එහි අවට ප්‍රදේශය පුරාම විසිරි ඇත්තේ පරණ නටබුන්ය පිළිමය ගල්කණු සඳකඩ පහණ පැරණි චෛත්‍ය ගල් පුවරු දක්නට ලැබේ. පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගයක් බවට විශ්වාස කරන ස්ථානයක නටබුන් දක්නට ලැබෙන්නේ මෙම සැතපෙන පිළිමයට කිලෝමීටර් හයක් පමණ මහා වනාන්තරයක් තුළ බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. මෙම ස්ථානය වටවී ඇත්තේ අඹන් ගගෙන් හා වස්ගමුව ජාතික වන උද්‍යාන යෙනි. මේ නිසා මෙම ස්ථානය හුදකලාවී ඇත.

බුදුරුවයාය විහාරාධිපති පොල්වත්ත කන්දේ සද්ධානන්ද හිමියන් මේ පිළිබදව අදහස් දැක්වූයේ මෙසේය.

මෙම බුදු පිළිමය මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ කළ එකක් බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. බොහෝ දුරට මෙම සැතපෙන පිළිමය පොලොන්නරුව ගල්විහාරය හා තන්තිරිමලේ සැතපෙන පිළිමවලට සමාන කමක් දක්වනවා. මෙම පිළිමය ඉදි කළ අවදියේ ඒ වටා තවත් ආරාම පහක් ඉදි කළා කියලා සඳහන් වෙනවා. ඒ ස්ථානයේ අංගසම්පුර්ණ සංඝාවාසයක් තිබූ බවට තිබෙන නටබුන් වලින් සනාථ වෙනවා. පොලොන්නරුව රජධානියේ පරිහානියක් එක්ක මෙම ස්ථානය වල්බිහිවෙලා යන්න ඇති. බුදුරුවයාය විහාරස්ථානය සොයා ගෙන එළිපෙහෙළි කරලා තිබෙන්නේ අපවත්වී වදාළ දිඹූලාගල ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ වසර12ක් විතර මේ ස්ථානයේ වැඩ වසලා තිබෙනවා. මම මෙහාට ආවේ 1985දියි. මෙහි ඓතිහාසික වටිනාකමක් තිබෙනවා; වගේම ලොකු බලයක් තිබෙන බවට සාක්ෂි තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විහාරයට උළු අරන් දුන්නා. ඒ මහවැලි සංවර්ධන ඇමති කාලේ. ජනාධිපති කාර්යාලයේ මහත්වරු කීපදෙනෙක් මේ පුජා භුමිය බලා ගිහින් විහාරයට එන පාර හදා දුන්නා. දැන් මට ලොකු විශ්වාසයක් තියෙනවා, නව ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂයන් අපේ විහාරස්ථානයට උදව් උපකාර කරයි කියලා.

මෙම විහාරස්ථානයේ දායකයකු වන පී. එම්. බී. රෝහණ බණ්ඩාරනායක අදහස් දක්වමින් මෙතන පිරිත් කියලා යමක් ප්‍රර්ථනා කළොත් ඒක ඉෂ්ට වෙනවා. මේවගේ ස්ථාන ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම මෙම සැතපෙන පිළිමයට ආවරණයක් අවශ්‍යයයි; හදන්න දානපතියන් ඉන්නවා එකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දෙන්නේ නැහැ. දායක සභාව හා ඇලහැර ප්‍රදේශයේ ජනතාව වන අපි ජනාධිපතිතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා, ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමාව ආරක්ෂාව සඳහා ඉදිකර ඇති සෙවිලි ආවරණය වගේම ආවරණයක් මෙම බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කරගන්න ඉදිකර දෙන ලෙස යැයි රෝහණ බණ්ඩාරනායක කියයි.

Comments