සේසතම දන්දුන් පින්වත් ව්‍යාපාරිකයා | සිළුමිණ

සේසතම දන්දුන් පින්වත් ව්‍යාපාරිකයා

පවුලේ පාරම්පරික ව්‍යාපාරික කටයුතුවලින් දිවි ගමන ආරම්භ කළ කුලතිස්ස මහතා අදින් වසර 50කට පමණ පෙර තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කළේය. එදා පටන් උපයාගත් ධනය තමන්ගේත් තම පවුලේ සාමාජික සාමාජිකාවන්ගේත් යහපත වෙනුවෙන් පමණක් නොව රටේ ම යහපත වෙනුවෙන් යෙදවීම ඔහුගේ අභිප්‍රාය විය.

රාහුබද්ද කංකානම්ගේ කුලතිස්ස නම් ඔහු දැන් 87 වැනි වියේ පසුවෙයි. ඔහුගේ ආදරණීය බිරිඳ එච්.පී.බී.බන්දුවතී මහත්මිය මේ වනවිට 86 වැනි වියේ පසුවන්නීය.

සිය මුත්තණුවන් සමඟ වයස අවුරුදු 17 දී එනම් 1950 වර්ෂයේ දී තිස්සමහාරාමයට ගියේ දින කිහිපයකින් යළි නිවසට ඒමේ බලාපොරොත්තුවෙනි. ඒ වනවිට ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගයට සූදානම් වෙමින් සිටි ඔහුට යළි නිවසට ඒමට සිත් දුන්නේ නැත. සීයාගේ ව්‍යාපාරවලට උදවුවෙමින් තිස්සමහාරාමයේ නතර වූ කුඩා කුලතිස්ස ක්‍රමයෙන් සීයාගේ ම ව්‍යාපාරයේ කොටස් කරුවකු වූයේය. ඉන් අනතුරුව තම හිතවතකු සමඟ 1957 දී තවත් ව්‍යාපාරයක් ආරම්භ කළ හෙතෙම විවාහ වූයේ ගාල්ල දොඩංදූව‍ ව්‍යාපාරික පවුලක දියණියක වූ එච්.පී.බී.බන්දුවතී මෙ‍ණෙවිය සමඟයි. ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වූ ඇය ද තම රැකියාව සඳහා ඈත දුෂ්කර තිස්සමහාරාමය තෝරාගෙන එහි ගියේ සවස් කාලයේ දී සැමියාගේ ව්‍යාපාරික කටයුතු සඳහා සහාය වීමටය. මේ දෙදෙනාගේ එක්ව නව ව්‍යාපාර රැසකට මුල පුරන්නට විය. සීයාගෙන් ලැබුණු ව්‍යාපාරික දැනුමෙන් පෝෂණය වී තම මිත්‍රයා සමඟ ව්‍යාපාර කිරීමෙන් පන්නරය ලබා සිටි කුලතිස්ස සිය ජීවින සහකාරිය සමඟ එක්ව ආර්.කේ.කුලතිස්ස සහ පුද්ගලික සමාගම නමින් තමන්ගේම ව්‍යාපාරය ආරම්භ කළේය.

ඉන්ධන පිරවුම්හලක්, පුවත්පත් නියෝජිත ආයතනයක්, ඖෂධ ශාලාවක්, සිල්ලර කඩයක්, රෙදි සාප්පුවක් ආදී විවිධ ව්‍යාපාරික ස්ථාන තිස්සමහාරාමයේ ආරම්භ කළ කුලතිස්ස සහ ඔහුගේ බිරිය තිස්සමහාරාම නගරය ක්‍රමයෙන් දියුණු වෙද්දී ඊට සමගාමීව තම ව්‍යාපාර ද දියුණු කළහ. ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වූයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳාමයි.

සාධාරණ ව්‍යාපාර තුළින් ධනය උපයමින් ඒ උපයන සියලු දේ තම සුඛ විහරණය සඳහා පමණක් යොදා ගැනීමෙන් වැළකුණු මේ යුවළ හැකි සෑම අවස්ථාවකදීම දනට පිනට යොමු කරන්නට ද කටයුතු කළහ. බෞද්ධ විහාරස්ථානවලට හැකි පමණින් උපකාර කරමින් නිරන්තරව බුදු දහමේ දියණුව උදෙසා කැපවී සිටි කුලතිස්ස මහතා තිස්සමහාරාමයේ සඳගිරි සෑය විහාරස්ථානයේ ප්‍රධාන දායකයකු වූයේය. එමෙන්ම කතරගම කිරිවෙහෙර සමඟ ද දිගු කාලීනව සම්බන්ධව සිටි කුලතිස්ස යුවළ තම අධ්‍යාත්මික දියුණුව උදෙසා නිරන්තරව ම ඇසුරු කරන ලද්දේ බුත්තල බුද්ගල්ලෙන ආරණ්‍යවාසී භික්ෂූන්වහන්සේලාය. එමෙන් ම ගෝනාපීනුවල ගමේ විහාරස්ථානයේ ද නිරන්තර අඩුපාඩු සොයාබලමින් ඒ සඳහා උදවු උපකාර කළ කුලතිස්සට අපූරු අදහසක් තිබිණි. ඒ තම ධනයෙන් රෝහලක් ඉදිකිරීමයි. මේ රෝහල මාතෘ හා ළමා රෝහලක් විය යුතුය යන්න ඔහුගේ අදහසක් විය. කුලතිස්ස ඒ පිළිබඳ මෙසේ පැවසුවේය.

“මට ලොකු ආශාවක් තිබුණා රෝහලක් හදන්න. ඉතින් මම ජීවිතෙන් වැඩිම කාලයක් ගතකරපු තිස්සමහාරාම ප්‍රදේශයේ මෙය ඉදිකළ යුතුයි කියා හිතාගෙන ඉන්න විට පවුලේ අය කිව්වා උපන් ගමේ හදන්න කියලා. මම ඉපදුනේ ගාල්ලේ හික්කඩුවේ ගෝනාපීනුවල කියන ගමේ. මේ ගමේ තමයි ආරච්චිකන්ද රෝහල තියෙන්නේ. ඒ වනවිට ආරච්චිකන්ද රෝහලේ ඇතැම් ගොඩනැගිලි අබලන් වෙලා තිබුණේ. මගේ මේ අදහස කියූ විට සෞඛ්‍ය අංශවලින් අවුරුදු 80ක් පමණ පරණ ගොඩනැගිල්ලක් ඉවත් කරලා මට භූමිය වෙන්කරලා දුන්නා. එතැන් සිට මම ඉදිකිරීම් කළා. වසර එකහමාරක් පමණ කාලයකදී මට හැකියාව ලැබුණා රෝහල් ගොඩනැගිල්ලක් ඉදිකරන්න. එය මට සතුටක් තියෙනවා.”

ව්‍යාපාරිකයකු වන ඔහු කලකට ඉහත දී තිස්සමහාරාම ප්‍රදේශයේ මිල දී ගත් ගොඩ සහ මඩ ඉඩමක් තිබිණි. තම බිරිඳ සමඟ සාකච්ඡා කර ඒ ඉඩමෙන් කුඹුරු අක්කර කිහිපය ඉතිරි කරගෙන පොල් වගාකර තිබූ අනෙක් කොටස ඔහු විකුණා දැමුවේය. ඉන් ඔහුට ලැබුණු මුදල රුපියල් ලක්ෂ 400ක් පමණ විය. මේ මුදල බැංකුවක තැන්පත් කර ඔහු රෝහලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළේය. බැංකුවේ තැන්පත් කළ මුදලින් තඹ සතයක් හෝ වෙනත් කාර්යයන්ට යොදා නොගත් බැවින් එයට එකතු වූ පොලියෙන් මුදල තවත් වැඩි වී තිබිණි. අදාළ අවසර ගැනීම්. බිම් වෙන්කිරීම් ආදිය අවසන් වනවිට ඉඩම විකුණා ලැබූ මුදල රුපියල් ලක්ෂ 500කට ආසන්න වී තිබිණි.

“මම මුදල් සියල්ල රෝහල් ගොඩනැගිල්ල හදන්න යෙදෙව්වා. මගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ ළමා හා මාතෘ වාට්ටුවක් හදන්න. සැලසුම් සකස් කරලා ඉදිකිරීම් කටයුතු කළා. මම අවුරුදු 50ක් විතර ගනුදෙනු කරපු සමාගම්වලින් අවශ්‍ය අමුද්‍රව්‍ය සාමාන්‍ය මිලට වඩා අඩු මිලට ලබාදුන්නා. ඇතැම් සමාගම් නොමිලයේම දෙන්න කටයුතු කළත් මම ඒ විදියට ගත්තේ නැහැ. රෝහල මගේ ධනයෙන් හදන්න අවශ්‍ය නිසා සෑම දේටම මා මුදල් ගෙව්වා. මේ ගොඩනැගිල්ල හදන්න පටන් අරගෙන අවුරුදු එකහමාරක් විතර වෙනවා. කොරෝනා වසංගතය නිසා මෙය ටිකක් කල්ගත වුණා. රජය පසුගිය දිනවල තීරණය කළා මෙය කොරෝනා රෝහලක් ලෙස ප්‍රයෝජනයට ගන්නවා කියා. ඒක වඩාත් හොඳයි වැඩි දෙනෙකුට සෙත සැලසෙනවා. ඒ නිසා මම ඉදිකිරිම් කටයුතු තවත් ඉක්මන් කළා. අමාත්‍ය රමේෂ් පතිරණ අපිට මේ සඳහා ලොකු උදව්වක් කළා. ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරන්න නාවික හමුදා නිලධාරීන්ගේ සහය ලබාදුන්නා. ඒ නිසා ඉක්මනටම වැඩ ඉවර කරන්න පුළුවන් වුණා.”

කුලතිස්ස යුවළගේ අදහස මල්ඵල දරමින් පසුගිය 18 වැනි බදාදා නව දෙමහල් ගොඩනැලිල්ල විවෘත කෙරිණි. ආර්.කේ.කුලතිස්ස සුව සෙවණ ලෙස නම්කර ඇති එම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේය. ඊට අමතරව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහොන් පී. ද සිල්වා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම, ගාල්ල දිස්ත්‍රික් සම්න්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

මෙම මස 18 වැනිදා සවස විවෘත කළ නව වාට්ටුවට එදින රාත්‍රියේම කොරෝනා රෝගීන් ඇතුළත්කිරීම ආරම්භ කර තිබේ. දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති වාට්ටුව රසායනාගාරයක්, වෛද්‍ය හා හෙද විවේකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.

මෙවැනි සද්කාර්යයක් ඉටුකිරීමේ දී තම බිරිඳගෙන් ලැබුණු සහයෝගය කෘතවේදීව සිහිපත් කරන ආර්.කේ.කුලතිස්ස පවසන්නේ තම සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ දූ දරුවන් පවා නිරන්තරව ම මේ කාර්යයට උපකාර කළ බවයි.

“අපිට හැමෝම උදවු කළා. මට කාලයක සිට තිබුණු බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න ලැබීම ලොකු සතුටක්. මට දැන් වෙනත් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ව්‍යාපාර කටයුතු වෙනත් අයට භාරදීලා ඒවායෙන් ඈත් වෙලා ජීවත්වන කෙටි කාලයේ දී පිනක් දහමක් කරගෙන සතුටින් ජීවත් වෙනවා.” ඔහු එසේ පවසන්නේ ජීවිතයේ සියලු අභියෝග ජයගත් සතුට නොවළහා ප්‍රකාශ කරමිනි.

ඔහුගේ බිරිඳ බන්දුවතී මෙසේ කීවාය.

“මේ වගේ කාර්යයකට දායක වෙන්න ලැබීම ඉතාමත් සතුටුයි. මහත්තයාට ලොකු ආශාවක් තිබුණා රෝහලක් හදන්න. ඉතින් ඒක ඉතාමත් හොඳ වැඩක්. මම ඒ සඳහා එයාට ගොඩක් උදවු කළා. මේක අසරණ රෝගීන් ප්‍රයෝජයට ගන්නවා දකින්නත් අපට පුළුවන් වුණා. ඒක අප ලබපු භාග්‍යයක්. පිංකම් කරගන්න අතර හැමෝටම උදවු කරමින් ධාර්මිකව ජීවත් වෙන්න හැකිවීම ඇත්තටම ලොකු සතුටක්. දැන් ඉතින් බොහොම හොඳින් යහතින් ජීවත්වුණා කියලා සතුටුවෙන්න පුළුවන්.”

තම පුද්ගලික ධනයෙන් රෝහල් ගොඩනැගිල්ලක් ඉදිකර එය රෝගීන් වෙනුවෙන් භාවිතා කරන ආකාරය දැකීම නිරාමිස සතුටක් බවද කුලතිස්ස යුවළ පවසති.

Comments