රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් උපාධිධාරී 50000ක් පුහු­ණුවන හැටි | Page 2 | සිළුමිණ

රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් උපාධිධාරී 50000ක් පුහු­ණුවන හැටි

යුද හමු­දා­පති පනා­ගොඩ යුද හමුදා කඳ­වුරේ පුහු­ණු­ලා­භීන්ගේ සුව දුක් විම­ස­මින්
යුද හමු­දා­පති පනා­ගොඩ යුද හමුදා කඳ­වුරේ පුහු­ණු­ලා­භීන්ගේ සුව දුක් විම­ස­මින්

“මේ පුහු­ණුව යුද හමුදා කඳ­වු­රු­වල තිබෙන නිසා අපි හුඟක් බයෙන් ආවේ. ඒත් දැන් අපිට හිතෙන්නේ මේ පුහු­ණුව අපිට ලැබුණු ලොකු භාග්‍ය­යක් කියලා.” අපේ අම්මලා තාත්තලා පවුලේ අය මේ ගැන බයෙන් හිටියේ. දැන් අපි ඇවිල්ලා දව­සෙන් ම අපි ඒ අයගේ බිය නැති කළා. මේ මගින් අපිට දුකක් නොව සතු­ටක් කියලා අපි ඒ අයට දැන්වූවා. මේ පුහු­ණුව රටට ජන­තා­වට වාසි දායි මෙතෙක් මෙරට නොවූ විරූ නව රාජ්‍ය සේවක පර­ම්ප­රා­වක් බිහි කරන අලුත්ම විදියේ සංවි­ධා­නා­ත්මක පුහු­ණු­වක්.”

මේ බව සතු­ටින් පැව­සුවේ පනා­ගොඩ යුද හමුදා කඳ­වුරේ දී අපට හමුවූ රාජ්‍ය අංශය සඳහා තෝරා ගනු ලැබූ උපා­ධි­ධා­රීන් වෙනු­වෙන් පව­ත්වනු ලබන ‘නාය­කත්ව හා අභි­ප්‍රේ­රණ’ නාය­කත්ව පුහුණු වැඩ­මු­ළු­වට එක්වූ යුව­ති­යන් රැසකි.

ජනා­ධි­ප­ති­තු­මාගේ ‘සෞභා­ග්‍යයේ දැක්ම’ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට සම­ගා­මීව රාජ්‍ය අංශ­යට උපා­ධි­ධා­රීන් 50000 ක් බඳවා ගෙන ඇත. ඒ අය සඳහා ජනා­ධි­පති තුමන්ගේ උප­දෙස් අනුව ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී හා යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහ­තාගේ අධී­ක්ෂ­ණය ඇතිව යුද්ධ හමු­දාව විසින් පව­ත්වනු ලබන නව ‘නාය­කත්ව අභි­ප්‍රේ­රණ’ පුහුණු වැඩ­ස­ට­හන දිව­යින පුරා ආර­ක්ෂක සේනා මූල­ස්ථාන රෙජි­මේන්තු මූල­ස්ථාන හා පුහුණු පාසල් ඇතුළු ස්ථාන 51 කදී දැන් ආරම්භ වී සාර්ථ­කව පව­ත්වා­ගෙන යයි.

නාය­කත්ව පුහු­ණු­වට අදාළ ක්‍රියා­කා­ර­ක­මක යෙදෙ­මින්  
 

මෙම උපා­ධි­ධාරී සම්පූර්ණ පුහුණු වැඩ­ස­ට­හන සඳහා ජනා­ධි­පති කාර්යා­ලය, ශ්‍රී ලංකා යුද හමු­දාව, ස්වදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය, රාජ්‍ය පරි­පා­ලන හා පළාත් සභා අමා­ත්‍යාං­ශය, විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම වැනි ආය­තන ද පූර්ණ සහාය දක්වයි.

වත්මන් රජයේ උපා­ධි­ධා­රීන් 50000 කට රැකියා ලබා­දෙන වැඩ­පි­ළි­වෙළ මෙහෙ­ය­වන රාජ්‍ය පරි­පා­ලන හා පළාත් සභා අමා­ත්‍යාං­ශයේ ලේකම් ජේ.ජේ. රත්න­සිරි මහතා පව­සන්නේ මේ අලුත් උපා­ධි­ධාරි රැකි­යා­ලා­භීන් සඳහා මෙරට නොවූ විරූ අලුත් නේවා­සික පුහුණු වැඩ­ස­ට­හන් 5 ක් දින 105 ක් තුළ පැවැ­ත්වෙන බවයි.

“මේ හැම පුහුණු වැඩ­ස­ට­හ­න­කට දින 21 ක් පැවැ­ත්වෙ­නවා. මුල්ම පුහුණු වැඩ­ස­ට­හන දැන් ක්‍රියා­ත්ම­කයි. එය කරන්නේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ හා ත්‍රිවිධ හමු­දා­වල සහාය ඇතිව ය. ඒ අනුව තෝරා­ගත් 10000 බැගින් 50000 ට වට පහ­කදී පුහු­ණුව ලබා­දෙ­නවා. මුලින් ම නාය­ක­ත්වය පිළි­බ­ඳව සති 3 ක පුහු­ණු­වක් දෙනවා.‍

ඉදි­රි­යේදී ජනතා හිත­කාමී රාජ්‍ය සේව­ක­යෙක් බවට පත්වන මේ පිරිස තුළ නාය­ක­ත්වය හා ආකල්ප කුස­ලතා වර්ධ­නය කර­මින් සාමූ­හි­ක­වත් වග­කීම් සහ­ග­ත­වත් රාජ­කා­රිය ඉටු කරන ආකා­රය පිළි­බඳ මනා පුහු­ණු­වක් ලබා­දී­මට මෙම මුල් පුහු­ණුවේ අර­මුණ බව ද රත්න­සිරි මහතා පව­සයි.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් සිදු­ක­රන ලබන මෙම වැඩ­ස­ට­හන මගින් පුහුණු, කාර්ය­ක්ෂම ශ්‍රම බළ­කා­යක් ලෙස ජාතිය ගොඩ­නැ­ගීම සඳහා දාය­ක­ත්වය තීව්‍රර කිරීම වෙනු­වෙන් රාජ්‍ය සේව­යට බඳවා ගත් උපා­ධි­ධා­රීන්ගේ දැනුම, කුස­ලතා සහ ආකල්ප ප්‍රව­ර්ධ­නය කිරීම සිදු කරනු ලබයි. ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ අධී­ක්ෂ­ණය යටතේ සිදු කරනු ලබන මෙම වැඩ­ස­ට­හන යුද හමුදා මූල­ස්ථා­න­යෙහි සම්බ­න්ධී­ක­ර­ණය ඇතිව ක්‍රියා­ත්මක කෙරේ.

මෙම ක්‍රම­වේ­දය මගින් ‘නාය­ක­ත්වය හා සමූහ ක්‍රියා­කා­ර­කම් ප්‍රව­ර්ධ­නය කිරීම’, ‘ව්‍යාපෘති කට­යුතු සහ ක්ෂේත්‍ර අධ්‍ය­ය­නය’, ‘සහ­ජී­ව­නය සහ අව­ස්ථා­නු­කූ­ලව කට­යුතු කිරීමේ හැකි­යාව’ වැනි විෂ­ය­යන් ඔස්සේ රාජ්‍ය ඵල­දා­යි­තා­ව­යට බලපෑ හැකි දුබ­ලතා අවම කර­මින් කාර්ය­ක්ෂම රාජ්‍ය අංශයේ සේව­ක­යකු බිහි­කි­රී­මට අපේක්ෂා කෙරේ.

මෙම වැඩ­ස­ට­හන සාර්ථ­කව නිම කරනු ලබන පුහුණු උපා­ධි­ධා­රි­යෙකු පුහුණු කළ­ම­නා­ක­රණ කුස­ලතා, රාජ්‍ය අංශයේ අර­මුණ පිළි­බඳ පැහැ­දිලි අව­බෝ­ධය, උන­න්දුව සහ කැප­වීම, ආත්ම විශ්වා­සය, නවෝ­ත්පා­දන බිහි­කි­රීමේ හැකි­යාව, නම්‍ය­ශී­ලී­භා­වය, මනා දැක්ම වැනි ගුණාංග ප්‍රගුණ කර සමා­ජයේ ගෞර­ව­යට හා පිළි­ගැ­නී­මට භාජන වන කාර්ය­ක්ෂම රාජ්‍ය අංශයේ නිල­ධා­රි­යෙකු වශ­යෙන් සමා­ජ­ගත වීම අපේක්ෂා කෙරේ.

මේ වැඩ­ස­ට­හන පිළි­බ­ඳව කට­යුතු සොයා බැලීම පිණිස යුද්ධ හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසු­ගි­යදා පනා­ගොඩ යුද හමුදා කඳ­වුර වෙත පැමි­ණි­යේය.

එහිදී ඔවුන් ඇමතූ හමු­දා­ප­ති­ව­රයා පැව­සුවේ මෙය කිසි­සේත්ම හමුදා පුහු­ණු­වක් නොවන බවයි. ශ්‍රී ලංකා යුද හමු­දාවේ මේ පුහු­ණුව මගින් අති­ගරු ජනා­ධි­ප­ති­තු­මාට, ගරු අග්‍රා­මාත්‍ය තුමාට අව­ශ්‍ය­තාව වෙන්නේ මේ උපා­ධි­ධාරී අය රැකි­යා­වක් කරන අයකු පම­ණක් නොවෙයි. රට­ටත් ඔබ­ටත් ජන­තා­ව­ටත් වැද­ගත් කාර්ය­ක්ෂම රාජ්‍ය සේව­ක­යකු හා පුර­වැ­සි­යකු ලෙස මේ පුහු­ණුව මගින් රටට දායාද කර­වී­මයි.”

“මෙතන කිසිම හමුදා පුහු­ණු­වක් නැහැ. නමුත් යම් ඉල­ක්ක­ය­කට යන්න යම් අර­මු­ණක් ඉෂ්ට කර­ගන්න අපි අනු­ග­ම­නය කළ­යුතු දේ පිළි­බ­ඳව අපි ප්‍රවීණ විද්ව­තුන් ලවා න්‍යායා­ත්මක හා ප්‍රායෝ­ගික පුහු­ණුව ලබා­දෙ­නවා.” ප්‍රථ­මා­ධාර, අලුත් දැනුම ලබා­දීම හා කුස­ලතා වර්ධ­නය පිළි­බඳ දෙසුම් මගින් නාය­කත්ව අභි­ප්‍රේ­රණ වැඩ­ස­ට­හ­නක් ලෙස අපි මේක පව­ත්ව­නවා.”

“ඔබේ යුතු­කම වන්නේ අපේ මේ සුවි­ශේෂී නාය­කත්ව පුහු­ණුව හොඳින් ලබා­ගෙන ඒ පුහු­ණුවේ අත්දැ­කීම් හා පන්න­රය මගින් ජන­තා­වට හා ඔබ­ටත් වැඩ­දායි කාර්ය­ක්ෂම රාජ්‍ය සේව­ක­යෙක් ලෙස රටට සේවය කිරී­මයි.

අපේ නිල­ධා­රීන් ඔබට සියලු පහ­සු­කම් දෙනවා යැයි ද හමු­දා­ප­ති­ව­රයා පැව­සීය‍.

මෙහිදී හමු­දා­ප­ති­ව­රයා මේ පුහුණු ලාභීන්ගේ ආහාර පාන හා නවා­තැන් පිළි­බ­ඳව ද පෞද්ග­ලි­කව සොයා බැලීය.

පනා­ගොඩ කඳ­වුරේ මෙම පුහුණු වැඩ­ස­ට­හන බාර ශ්‍රී ලංකා පාබල හමු­දාවේ රෙජි­මේන්තු නිල­ධා­රීන් පව­සන පරිදි මේ අය සඳහා පුහු­ණුව දින 21 කි.

පුහු­ණු­ව­න්නන් සිය­ලුම දෙනා නිය­මිත කාල සට­හ­නක අනුව සිය­ලුම කට­යුතු කළ යුතු ය. ඒ අනුව උදේ 6 ට පිබිදී උදේ 7.30 පමණ උදේ ආහා­රය ලබා­ගත යුතුය‍.

පෙර­වරු 8.30 සිට පස්වරු 4.00 දක්වා ඔවුන්ට විවිධ ක්ෂේත්‍ර දේශන පිළි­බ­ඳව විවිධ දේශන පව­ත්වනු ලැබේ. යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ උප­දෙස් අනුව මෙහිදී විශේ­ෂ­යෙන් නාය­කත්ව ප්‍රව­ර්ධ­නය කාල කළ­ම­නා­ක­ර­ණය, අභි­ප්‍රේ­ර­ණය, ගැටුම් නිරා­ක­ර­ණය, ප්‍රථ­මා­ධාර, කුස­ලතා ප්‍රව­ර්ධ­නය, සාමූ­හි­කව වැඩ කිරීම ආදිය පිළි­බ­ඳව රටේ ප්‍රවීණ විද්ව­තුන් විසින් මේ අයට දේශන පව­ත්වනු ලැබේ. එහිදී සාකච්ඡා හා ගැටලු විස­ඳීම ද සිදු‍ෙ­කරේ‍. සවස 4.30 න් පසු ශාරී­රික ක්‍රියා­කා­ර­කම් ක්‍රීඩා වැඩ­ස­ට­හන් යුද හමුදා කඳ­වුර පිළි­බ­ඳව දැනු­ම්වත් කිරීම් පව­ත්වනු ලැබේ.

පාබල හමු­දාවේ කර්නල් සුජිත් කුල­සේ­කර පව­සන පරිදි පනා­ගො­ඩදී පුහු­ණු­වන පිරිස 100 කි. රාත්‍රි 7.30 – 8.30 අතර කාල­යේදී කුස­ලතා, නාය­කත්ව හා පෞරු­ෂත්ව ප්‍රව­ර්ධන ප්‍රායෝ­ගික වැඩ­ස­ට­හ­න්ව­ලට පිරිස එක්වී සහ­භාගි වෙති. රාත්‍රි 8.30 ට රාත්‍රි ආහා­රය ලබා­ගෙන රාත්‍රි 10.00 මේ පිරිස නින්දට යාම සිදු­කළ යුතු ය. මේ සියලු කට­යුතු පනා­ගොඩ යුද හමුදා කඳ­වුරේ ශ්‍රී ලංකා පාබල හමු­දාවේ කර්න­ල්වරු හා නිල­ධා­රීහු පිරි­සක් මෙහෙ­ය­වති. මීට අම­ත­රව පාබල හමු­දාව මගින් තවත් 400 ක් සඳහා වෙනත් කඳ­වු­රු­වල මේ පුහු­ණුව ලබා­දෙයි.

මේ පිළි­බ­ඳව අපට කරුණු දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකා­ශක බ්‍රිගේ­ඩි­යර් චන්දන වික්‍ර­ම­සිංහ මහතා පැව­සුවේ මෙම පුහුණු වැඩ­ස­ට­හන සාර්ථක කර ගැනී­මට යුද හමුදා මූල­ස්ථාන පුහුණු අධ්‍යක්ෂ මණ්ඩ­ලය විවිධ ක්ෂේත්‍ර­වල ප්‍රවී­ණ­තම සම්පත් දාය­ක­යන් මෙයට නිර­න්ත­ර­යෙන් ම සම්බ­න්ධ­කර ගන්නා බවයි.

මෙම ප්‍රය­ත්නයේ කෙටි­කා­ලීන ඉල­ක්කය වන්නේ නාය­කත්ව කුස­ලතා සහ ගති ලක්ෂණ, කණ්ඩා­යම් හැඟීම මත පද­නම්ව රටේ සිය­ලුම පුර­වැ­සි­යන්ට උසස් තත්ත්වයේ රාජ්‍ය අංශයේ සේවා­වක් සැප­යිය හැකි ශක්ති­මත්, ඉල­ක්ක­ගත, වින­ය­ග­රුක හා කාර්ය­ක්ෂම සහ නිපු­න­තා­ව­ය­න්ව­ලින් පරි­පූර්ණ ශ්‍රම බළ­කා­යක් බිහි කිරී­මයි.

එසේම, වසර පහ­කට අඩු කාල­යක් තුළ සපු­රා­ගැ­නී­මට අපේ­ක්ෂිත දිගු­කා­ලීන අර­මුණු අත­රට පිළි­ගත් රාජ්‍ය අංශයේ ශ්‍රම බළ­කා­යක් ලෙස සංව­ර්ධ­නය කිරීම, කාර්ය­ක්ෂම යාන්ත්‍ර­ණය, ආකල්ප හා ප්‍රවේ­ශ­යන් පරි­ව­ර්ත­නය කිරීම, රාජ්‍ය අංශ‍ය, සමා­ජයේ ‘වැඩ කරන සංස්කෘ­ති­යක්’ ලෙස ප්‍රව­ර්ධ­නය කිරීම, පිළි­ගැ­නී­මක් සහිත රාජ්‍ය අංශයේ සේව­යක් බිහි­කි­රීම, අඛණ්ඩ සමාජ මෙහෙ­යුම් අංශ හඳුනා ගැනීම සහ ඇග­යීම ආදි වර්ධ­න­යන් අපේක්ෂා කෙරේ.

දේශන, සාකච්ඡා, එළි­ම­හන් පුහුණු ක්‍රියා­කා­ර­කම්, සමූහ ක්‍රියා­කා­ර­කම්, අධ්‍ය­යන චාරිකා, ශක්‍යතා අධ්‍ය­යන සහ ක්ෂේත්‍ර අධ්‍ය­යන මගින් සිදු­ක­රනු ලබන මෙම යුද්ධ හමුදා පුහුණු වැඩ­ස­ට­හන ස්වාධීන මෙන් ම අන්තර් සම්බ­න්ධී­ක­රණ ක්‍රමෝ­පා­යන් 05 ක් යටතේ රාජ්‍ය අංශයේ ක්‍රියා­ශීලී දාය­ක­ත්වය සහි­තව ක්‍රියා­ත්මක කරනු ලබයි.

මෙම පුහුණු වැඩ­ස­ට­හන මැන­වින් පවත්වා ගැනීම වෙනු­වෙන් උපා­ය­මා­ර්ගික මග පෙන්වීම් ලබා­ගැ­නීම සඳහා පුහුණු වැඩ­ස­ට­හන ක්‍රියා­වට නංවනු ලබන මාස 05 ක කාලය පුරා යුද්ධ හමුදා මූල­ස්ථා­නය, ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය හා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය සහ සම්බ­න්ධව කට­යුතු කරනු ලැබේ.

පනා­ගොඩ යුද හමුදා නාය­කත්ව පුහු­ණු­වට පැමිණි උපා­ධි­ධා­රි­නි­යන් කිහිප දෙනෙක් හමු­වී­මට ද අපට අව­ස්ථාව ලැබිණි.

මෙහිදී අපට මුලින් ම හමුවූ ගලේ­වෙල සිට පැමිණි හංසි නව­රත්න පැව­සුවේ මේ පුහු­ණුව ඒමට පෙර සිතු­වාට වඩා හොඳ බවයි. මේ වගේ නාය­කත්ව වැඩ­මුළු අපිට විශ්ව විද්‍යා­ල­යට යන කොටත් ලැබුණා. හැබැයි මේක නම් ඊට වඩා ඉහ­ළම මට්ටමේ නාය­කත්ව පුහුණු වැඩ­ස­ට­හ­නක් බව කිව­යු­තුයි. රාජ්‍ය සේවයේ ගුණා­ත්මක ප්‍රව­ර්ධ­නය කරන හැටි කියා දෙනවා. අපි දැන් කාල සට­හ­නක් අනුව වැඩ කර­නවා. ‍රටට වැඩ­දායි නාය­ක­යෙක් අප තුළින් බිහි කරන්න අවශ්‍ය පුහු­ණුව අපට නොඅ­ඩුව ලබා­දෙ­න්නට ඊට අදාළ සියලු දෙනාට අපි ස්තුති­වන්ත වෙනවා” යැයි හංසි නව­රත්න පැව­සීය.

අත්ත­න­ගල්ලේ සිට පැමිණි සුභාණි විජේ­සිංහ පැව­සුවේ මුලදී මේකට බියක් අක­මැ­ත්තක් තිබු­ණත් දැන් ඒ වෙනු­වට ඇත්තේ සතු­ටක් බවයි.

“යුද හමුදා කඳ­වු­රක් තුළ පුහු­ණුව තිබෙ­නවා. කීවාම පවුලේ අයත් බය­වුණා. නමුත් දැන් අපි ඒ අය­ටත් දැන්වූවා මේක හරිම සුහද හා සහෘ­ද­ශීලී නාය­කත්ව පුහු­ණු­වක් පම­ණක් බව. ඒ අනුව දැන් ගෙව­ල්වල තිබෙන බිය නැති­වෙලා. අපට පුහු­ණු­වට අම­ත­රව ඕනෑම පෞද්ග­ලික ගැට­ලු­වක් වුවත් මේ යුද හමුදා නිල­ධා­රි­නි­යන් ළඟට ගිහින් කියන්න පුළු­වන්. මේ වැඩ­ස­ට­හන අපට අපේ ජීවි­ත­යට හුඟක් ඵල­දායි. මේකට සහ­භා­ගි­වෙන්න ලැබීම භාග්‍ය­යක් කියලා මම සල­ක­නවා” සුභානි විජේ­සිංහ පව­සයි.

ඊළ­ඟට අපට හමු­වූයේ ගම්පහ සිට පැමිණි රෂ්මි වෛද්‍ය­ති­ලක පැව­සුවේ මේ නාය­කත්ව පුහු­ණු­වට එක්වුණු හැමට උප­රිම පහ­සු­කම් ලබා­දී­මට යුද හමු­දාව කට­යුතු කරන බවයි.

“සිය­යට 200 ක් අපට පහ­සු­කම් තිබෙ­නවා. අපි පළ‍මු වැනි කණ්ඩා­යම ඊළඟ කණ්ඩා‍යමේ අයට අපි කියන්නේ බයක් නැතිව මේ පුහු­ණු­වට එන්න කියලා” ඇය පැවැ­සු­වාට මේ පුහු­ණු­වට මේ රැකි­යා­වට අපිව යොමු කළ ජනා­ධි­ප­ති­තු­මා­ටත් අපි ස්තුති­වන්ත වෙනවා යැයි ද ඇය කීවාය.

මහ­නු­වර ප්‍රදේ­ශ­යෙන් ද මේ පුහු­ණු­වට උපා­ධි­ධා­රී­නියෝ පැමිණ සිටි­යහ. මහ­නු­ව­රින් පැමිණි කාන්ති රණ­සිංහ පැව­සුවේ මේ මනා පුහුණු වැඩ­ස­ට­හන මගින් කාර්ය­ක්ෂම රාජ්‍ය සේව­ක­යෙක් රටට ජන­තා­වට ලැබෙන බවයි. මුලින් නම් ටිකක් බය හිතුණා. දැන් නම් ඇත්තේ ලොකු සතු­ටක්. ඇය තව­දු­ර­ටත් කීවාය.

මෙම නාය­කත්ව පුහුණු වැඩ­ස­ට­හ­නින් පසු ඊළඟ සති තුනේදී මේ පිරි­සට විශ්ව­වි­ද්‍යා­ල­වල සහාය ඇතිව විශ්ව විද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ පූර්ණ සහාය ඇතිව තවත් සති 3 ක පුහු­ණු­වක් ලබා­දෙනු ලැබේ.

ඒ පිළි­බ­ඳව අපට අද­හස් දැක්වූ රාජ්‍ය පරි­පා­ලන හා පළාත් සභා අමා­ත්‍යාං­ශයේ ලේකම් ජේ.ජේ. රත්න­සිරි මහතා පව­සන පරිදි එහිදී කළ­ම­නා­ක­රණ ප‍ීඨ­වල ආචා­ර්ය­ව­රුන් විසින් මේ පිරි­සට කළ­ම­නා­ක­ර­ණය සහ කළ­ම­නා­ක­රු­ව­කුගේ ගුණාංග පිළි­බ­ඳව මනා අව­බෝ­ධ­යක් ලබා­දී­මට අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙහිදී කාර්යාල පරි­පා­ල­නය, පිරිස් පාල­නය, සාමාන්‍ය කළ­ම­නා­ක­ර­ණය පිළි­බ­ඳව සති 3 ක පුහු­ණු­වක් ලබා­දෙයි.

මේ පුහුණු වාර දෙක සාර්ථ­කව අව­සන් වීමෙන් පසු ඊළ­ඟට මේ පුහු­ණු­ලා­භීන් රජයේ කාර්යා­ල­වල පුහු­ණු­වට අනු­යුක්ත කරනු ලැබේ. විශේ­ෂ­යෙන් මෙහිදී ඔවුන් යොමු කරනු ලබන්නේ ප්‍රාදේ­ශීය මට්ටමේ රාජ්‍ය ආය­ත­න­ව­ල­ටයි.” මෙහිදී විශේ­ෂ­යෙන් අපේ උප­දෙස් ඇතිව ලිපි­ගොනු පව­ත්වා­ගෙන යාම, සාමාන්‍ය කාර්යාල කට­යුතු, මුදල් රෙගු­ලාසි විනය පව­ත්වා­ගෙන යාම වැනි කාරණා පිළි­බ­ඳව අව­බෝ­ධ­යක් ලබා­දෙ­නවා. ඊට පසු මේ අයට හැකි අයු­රින් පෞද්ග­ලික අංශයේ පුහු­ණු­වක් ද ලබා­දී­මට ද අපි අපේක්ෂා කර­නවා” යැයි ද ජේ.ජේ. රත්න­සිරි මහතා පව­සයි.

ඊළ­ඟට මේ උපා­ධි­ධා­රීහු කළ යුත්තේ ඒ රට සංව­ර්ධ­නය කරන ව්‍යාපෘ­තිව­ලින් එකක් තෝරා­ගෙන ඒ ගැන පුළුල් අධ්‍ය­ය­න­යක් සිදු­කර එහි ඇති ගැටලු ද ඊට සුදුසු විස­ඳුම් දෙන ආකා­රය පිළි­බ­ඳව පුළුල් ව්‍යාපෘති වාර්තා­වක් සකස් කිරී­මයි.

මෙම පුහු­ණුව අව­සා­න­යේදී සාර්ථක ලෙස පුහු­ණුව අව­සන් කරන උපා­ධි­ධා­රීන් රාජ්‍ය ආය­ත­න­ව­ලට අනු­යුක්ත කෙරේ. ඊට පසු සුදුසු උපා­ධි­ධා­රීන් ස්ථිර රාජ්‍ය සේව­යට අනු­යුක්ත කර­ගැ­නී­මට නිය­මිත බවත් ඒ අයට රාජ්‍ය සේවයේ විශ්‍රා­මික වැටුප ආදී සියලු වර­ප්‍ර­සාද ලැබෙන බවත් ලේකම් ජේ.ජේ. රත්න­සිරි මහතා පව­සයි.

ඒ අනුව මේ නාය­කත්ව පුහු­ණුව වනාහි වෙන­දාට වඩා රටට ජන­තා­වට හිත­වත් රාජ්‍ය සේව­ක­යෙක් බිහි කරන කාලීන වැඩ­පි­ළි­වෙ­ළක් බව කිව­යු­තුය.

සේයාරූ - සමන්ත වීර­සිරි   

Comments