සර් ජෝන්ගේ කියුම් කෙරුම් මෙන්න | සිළුමිණ

සර් ජෝන්ගේ කියුම් කෙරුම් මෙන්න

දට වසර හතළිහකට එපිට 1980 වසරේ එක් දිනකදී ‘සිළුමිණ’ පුවත්පතේ සේවය කළ මම රත්මලානෙ කඳවල වලව්වේ පදිංචිව සිටි සර් ජෝන් කොතලාවල මහතා මුණ ගැසීමට ගියෙමි. එවකට ලේක්හවුසියේ කර්තෘ මාණ්ඩලිකයන්ට ගමන් බිමන් යාමට තිබුණේ තරමක පැරණි වෑන් රථ කිහිපයකි‍. මා සමඟ ගිය රියදුරු වෑන් රථය නතර කළේ කඳවල වලව්ව ඉදිරිපිට පෝටිකෝව යට ශබ්ද නගා තිරිංග පාගමිනි.

ආලින්දයේ සනීප පුටුවක හිඳගෙන පුවත් පතක් බලමින් සිටි සර් ජෝන් තරමක තැති ගැනීමකට ලක්වන අයුරු මම දැක ගතිමි. දෑසේ උපැස් යුවළක් පැලඳ සරමකින් හා කමිසයකින් සැරසී සිටි සර් ජෝන් හමුවට ගිය මම ‘සිළුමිණ’ පුවත්පතින් පැමිණි බව ප්‍රකාශ කළෙමි. අපගේ ඒ හමුවීම පුරා මාස හත අටක් එක දිගටම සතිපතාම පැවැත්විණි.

තමාගේ ළදරු වියේ සිට ඒ වනවිට අසූතුන් වන විය දක්වා මතකය යළි යළි සිහි කරමින් ඔහු කළ කථා බහ අතිශය විචිත්‍රවත්ය. ඔහු නිවසේ ගත කළේ තනිවම වුවත් කර්තේලිස්, මර්තේලිස් යන සේවකයන් දෙදෙනාත් බණ්ඩා නමින් හැඳින්වුණ රියදුරාත් වූහ. ආහාර පාන පිළියෙල කිරීමට වලව්ව පිටිපස පදිංචි කර සිටි නිවෙස් හයක් විය. ඒ සෑම නිවසකම වැඩිපුර සිටියේ කාන්තා පක්ෂයයි.

අපගේ කථා බහ කෙළවර වනවිට සර් ‍ජෝන් මගේ හොඳම මිතුරෙක් බවට පත්වී තිබිණ. පළමු දිනම ඔහු කොතරම් හිතවත් වූවාද කිවහොත් තම සමීපයන්ට කථා කරන ‘උඹ - බාන් - බොලං’ යන වදන් වලින් මා ඇමතීය. පළමු දින කඳවල වලව්වෙන් පිටවන්ට සැරසෙත්ම ඔහු මට නියෝගයක් කළේ ය.

“අනික් දවසේ උඹ එනකොට එන්නෙ මොන වෙලාවටද කියල කලින් ටෙලිෆෝන් කරපන්. හැබැයි එකක්, අර මෙහාට ආපු අර ඩක්කුවෙන් නම් එන්න එපා. මම උඹ කියන තැනකට මගේ කාර් එක එවන්නම්.”

පළමු දිනයේ ඔහු සමඟ කළ කථා බහ පුවත්පතේ පළවූ පසු ඔහු එවකට පාවිච්චි කළ 5 ශ්‍රී 1 වාහනයෙන් කඳවල වලව්වට ගියෙමි. ඒ වනවිටත් සිය නිවසේ ආලින්දයේ මා ලියූ ලිපිය රියදුරු විසින් මහ හඬින් සර් ජෝන් සමඟ කියවන අයුරු මම දැක ගතිමි. මෙහිදී සර් ජෝන් විසින් කියන ලද කතා පුවත් මෙන් ම ඔහු පිළිබඳ මා දුටු පුවත් කිහිපයක් ද ඉදිරිපත් කරන්නේ, ජීවත්ව සිටියදී ඔහු ගැන ලියූ කරුණුවලට අමතරවය.

සර් ජෝන් කොතලාවල මහතාගේ පියා ජෝන් කොතලාවල යයි නම් දරා සිටි මෙරට පහළවූ අද්විතීය ශ්‍රේෂ්ඨ පුරුෂයාය.සර් ජෝන්ගේ පියාගේ හදිසි මරණය නිසා ජෝන් ලයනල්, ජස්ටින්, ප්‍රීඩා යන දරුවන් තිදෙනාත් ඇලිස් කොතලාවල ළමාතැනියත් ඉතාම අසරණ අඩියකට වැටුණි.

මේ වනවිට නඩුහබ ආදියට සියලුම රැස් කළ ධනය හා වතුපිටි විනාශ වී තිබුණෙන් ජීවත්වීම මහා බැරෑරුම් ප්‍රශ්නයක් විය. ඇලිස් කොතලාවල ළමාතැනියගේ සොහොයුරියක විවාහ කර ගෙන සිටි එෆ්.ආර්. සේනානායක මහතා මේ පවුලට පිහිට විය. දරුවන් තිදෙනා පාසල් යැවීමටත් පවුලේ වියදම් දැරීමටත් ඔහු ඉදිරිපත් විය. අත්තම්මාගේ ගෙදර පිහිටි ‍ හෝර්ටන් ප්‍රදේශයේ පදිංචියට ආ කොතලාවල පවුලේ සාමාජිකයෝ එහි කල්ගත කළහ.

ජෝන් ලයනල් කොතලාවල රාජකීය විදුහලට ගියේ හෝර්ටන් ප්‍රදේශයේ නිවසේ සිටය. ඒ වනවිට රාජකීය විදුහල තිබුණේ, කොළඹ අලුත්කඩේ උසාවිය පිහිටි භූමි භාගය අසලය. රාජකීය විදුහලේ විදුහල්පතිව සිටියේ කාට්ලි නමැති සුද්දෙකි‍. දිනක් වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසක් වෙත ගිය කාට්ලි ජෝන් ලයනල්ට කතා කළේය. තමා දෙන උපදෙස් සිංහලට නගා කථා කරන ලෙස නියම කළේ ය.

කාට්ලිගේ උපදෙස් අනුව අහිංසක කම්කරුවන් වැඩ කළොත් ඔවුන් පීඩාවටම පත්වෙන බව ඔහුට වැටහුණි. ටිකක් වේලා ඔහුගේ කියුම් පරිවර්තනය කළ ජෝන් ලයනල් ඔවුන්ට තව උපදෙසක් දුන්නේ ය.

“මහත්තය කියන දේවල් අහගනිල්ල. මම කියන විදියට වැඩ කරපල්ල.”

මෙය තමා කී දේට වඩා සේවකයන්ට කාරුණික වූ දෙයක් බව කාට්ලි මහතාට තේරුම් ගියේය. ඔහු සිංහලෙන් කතා කළේ ය. “උඹ හිතුවෙ මට සිංහල තේරෙන්නෙ නැහැ කියල නේද, දුවපිය පැත්තකට” විදුහල්පතිතුමා ජෝන් ලයනල් එළවා ගත්තේ ය.

රෝයල් කොලීජියට ප්‍රථම වරට බොක්සිං ක්‍රීඩාව ආයේ සර් ජෝන් කොතලාවල කුඩා ශිෂ්‍යයකුව සිටියදීය. මේ වනවිට වෙනත් කිසිදු පාසලක බොක්සිං ක්‍රීඩාව හඳුන්වා දී නැත. ඒ සඳහා එංගලන්තයේ සිට මැක් රොබින්සන් නමැති විශේෂ ගුරුවරයකු එවා තිබිණ. අනෙක් ශිෂ්‍යයන් බොක්සිං ක්‍රීඩාවට අදිමදි කරද්දී මුලින් ම ජෝන් ලයනල් ඉදිරිපත් විය. ටික කලක් බොක්සිං පන්තිය පැවැත්විණි. ජයතිලකට හා‍ කොතලාවලට ප්‍රදර්ශන බොක්සිං වටයක් පවත්වන්නැයි ගුරුවරයා නියම කළේය. ජයතිලකගේ බොක්සිං පහරක් රිදෙන්නට වැදුන නිසා ක්‍රීඩාවේ මූලධර්ම අමතක විය. බොක්සිං සෙල්ලම පසෙක තබා ජයතිලක සමඟ ගුටි ඇන ගන්නට විය. මැක් රොබින්සන් දුවගෙන ආයේ ය.

“ඔහොම නෙමෙයි බොක්සිං ගහන්නෙ මෙන්න මෙහෙමයි කියා, දෙදෙනාම බිත්තියට හේත්තු කර පහර කීපයක් ගැසීය‍. පසුව මැක්ස් රොබින්සන් දෙදෙනාටම අවවාද කළේ ය.

සෙල්ලම් කරන විට තරහ ගන්න හොඳ නෑ. ඒකයි මේ සෙල්ලමේ ප්‍රධාන නීතිය. කලක් ඉක්ම ගියේ ය. රාජකීය විදුහලේ සිටි දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස කොතලාවල පත්විය. බොක්සිං ක්‍රීඩාවට සම්බන්ධ වීම කොතලාවල මහතාගේ චරිතය, විශේෂ ලක්ෂණවලින් යුක්ත වීමට ප්‍රධාන හේතුවක් විය. පසුකාලීන ඉතිහාසයේ සම්බන්ධ ප්‍රකට සිද්ධි රාශියකට බොක්සිං ක්‍රීඩාව තුළින් ලත් අත්දැකීම් හේතු විය.

රාජකීය විදුහල් කැඩෙට් භට හමුදාවට බැඳී, එහි ප්‍රමුඛ නමක් ගත් කොතලාවල මහතා අසුන් පිට යාමේ දක්ෂයකු බවට රාවයක් පැතිරී ගොස් තිබිණි. ගෙදරට හොර‍ා හැම දිනකම අසුන් පිට යාම පුරුද්දක් කරගෙන තිබුණි. ඒ කාලයේ කොළඹ හතේ වයසක සල්ලිකාර මිනිසුන් එකතුව හදාගෙන තිබූ මවුන්ටඩ් සෙක්ෂන් ටවුන් ගාර්ඩ් නැමැති ඒකකයේ අසුන් පිට යාමට පුරුදු කිරීමට තෝරාගත් කොතලාවල තරුණයා ටික කලකින් ඒ අතර ජනප්‍රිය විය. අසුන් පිට යාමේ ප්‍රකට නමක් හිමිකරගෙන සිටි, ඩී.ඩී. පේද්‍රික්, ඩී‍.එස්. සේනානායක යන අයත් එකල මෙම සංගමයේ සාමාජිකයෝ වූහ.

මේ වනවිට කොතලාවල, සේනානායක, ආටිගල යන පවුල්වල හැම දෙනකුම වාගේ ජාතික සටන් ව්‍යාපාරයට පැටලීම නිසා හිරගෙදර දුක් විඳීමට නියම විය. හිරේ සිටින නෑදෑයින් ගැන ගෙදරදී කරන කථා බහට කන්දුන් කොතලාවලට ද ජාතික සටනට එකතු වීමට සිතුණි.

පාසල් සගයන් සමඟ ද තම අදහස ප්‍රකාශ කළ කොතලාවල තම හිතවත්ම මිතුරන් දෙදෙනා වූ පී.එච්.පී. ජයතිලක සහ ආර්.පී. ද සිල්වාගේ අනුමැතිය ලැබිණ. සටන් කරන්ට නම් අවි ආයුධ අවශ්‍ය බව කතිකා කරගත් මේ තිදෙනා තුවක්කු තුනක් සොරකම් කර පැමිණ විද්‍යාලය පිටුපස වළක් තුළ සැඟවීය. මුළු පාසලේම සිසුන්ගේ කතාවට මේ තුවක්කු තුනේ සිද්ධිය පැතිර යන්නට වැඩි වේලාවක් ගියේ නැත. හදිසියේ විදුහල්පතිගෙන් මේ ‍තිදෙනාට පණිවුඩයක් ලැබිණි. විදුහල්පතිගේ මුහුණ කේන්තියෙන් පිපිරෙමින් තිබිණ.

“මේක යුද්ධ නීතිය කාලෙ. උඹල තුන්දෙනා කරල තියෙන්නෙ බරපතළ වැරැද්දක්. පොලිසියට දන්වල නඩු යවන්නද? නැත්නම් උඹල තුන්දෙනා ගෙදර යනවද?” විදුහල්පතිගේ කථාව ඇසූ තිදෙනාටම කර කියාගත හැකි දෙයක් නොවූයෙන් ගෙදර යාමට තීරණ කළහ.

“මම ගෙදර ගිහින් හිරේ ඉන්න නෑයන්ට බත් ගෙනියනව” කොතලාවල කීවේය. අපි ගෙදර ගිහින් තාත්තලගෙ බිස්නස්වලට උදව් වෙනව.

“පී.එච්.පී. සහ ආර්.පී. කීහ. තුන්දෙනාගේම පාසල් ගමන් මෙලෙස කෙළවර විය. රාජකීය විද්‍යාල ගමන නතර වූ පසු ගෙදර දොරේ සුළු වැඩවලට සහාය වූ කොතලාවල තරුණයා කුමක් හෝ වැදගත් මෙහෙයකට යොමු කළ යුතු යැයි, එ‍‍ෆ්.ආර්. සේනානායක මහතාට සිතුණි‍. දිනක් ඔහු කොතලාවල තරුණයා තමා වෙතට කැඳවූයේ ය.

“උඹ කැමැති ද පිට රටකට ගිහින් ඉගෙන ගන්න” එෆ්.ආර්., කොතලාවලගෙන් ඇසීය.

“කැමැතියි, කැමැතියි”

“මේ යුද්ධ කාලෙ නිසා උඹට බයක් නැද්ද?”

“යුද්ධ කාලෙ නිසා තමයි මම කැමැති” ‍එතකොට නියම විධියට යුද්ධය බලාගන්න පුළුවන්.”

ලෝක යුද්ධය ඇවිළෙතැයි බියෙන් මුළු රටම තැතිගෙන සිටියදී යුද්ධ කරන රටකට යන්නට කොතලාවලගේ සිත ගියේය. පිටරට යනව නම්, “ඕස්ට්‍රේලියාවට යා යුතු” යයි නෑදෑයෝ කීහ. යුරෝපයේ යුද සටන් ඇවිළෙද්දී ඕස්ට්‍රේලියාවට යාම මහා බියගුලු වැඩක් යයි කොතාවලට සිතුණි.

මම යනව නම් යන්නෙ යුරෝපෙට. ඕස්ට්‍රේලියාවට මාව යවන්න එපා. කොතලාවලගේ තීරණය අවසාන තීරණයකි. කිසිවෙකුට මෙයට විරුද්ධ විය හැකි නොවීය. අන්තිමේදී යුරෝපයට යන්නට අවසර ලැබුණි. තනි නොතනියට නෑදෑයෙක් ද ලැබිණි. දෙදෙනා නැව් නැග්ගහ. ප්‍රංශය ඇතුළු ‍රටවල් රැසක ගමන් ගත් සර් ජෝන් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළු විය.

දැනට බම්බලපිටිය කොතලාවල පටුමගෙහි පිහිටා තිබූ මහ ගෙදරින් පසුව හෝර්ටන් පෙදෙසේ සිය ඥාති එෆ්.ආර්. සේනානායක ගේ නිවසට වී මෙතෙක් කල්ගත කළත් තමාටම උරුම කිව හැකි ගේ දොරක අවශ්‍යතාව තේරුම් ගත් කොතලාවල මහතා රත්මලානේ කඳවල ප්‍රදේශ‍ෙය් විශාල භූමි භාගයක් වෙන්දේසියේ විකුණන බවට පුවත්පතක පළවූ දැන්වීමක් අනුව තමා සතු මුළු ධනය වූ රුපියල් නම දහසක් සහිත චෙක් පොතක් අතැතිව වෙන්දේසි පොළට ගිය ඔහු හා තරග කිරීමට සිටියේ මහ ධනවත්තු පිරිසකි. අක්කර අසූ පහක ඉඩම සඳහා වැඩිම ලන්සුව තැබූ‍ෙය් අබ්දුල් කපූර් නමැති ධනවත් ව්‍යාපාරිකයෙකි. රුපියල් හතළිස් දහසින් ඇරඹුණු වෙන්දේසිය ක්‍රමයෙන් ඉහළ ගොස් අවසන් වරට රුපියල් හැට නම දහසකට ඉල්ලූ කොතලාවලට ඉඩම අයිති විය. වෙන්දේසියේදී සිදුවූ ඒකාධිකාරයට විරුද්ධව ඉදිරිපත් වුවත් වෙන්දේසි කරුවන් ඉදිරියේ අසරණයකු වී ලජ්ජාවට පත්වන්නට වූ හෙයින් ඔහු වටපිට බලා එතනින් පැන යාමට තැත් කළේ ය.

“ඒයි කොහේද පැනල යන්නෙ. එනව මෙහාට” එක්වරම මුරකරු ඔහුගේ දෑත තරයේ අල්ලාගෙන වෙන්දේසිකරු වෙත රැගෙන ගියේය.

“ඔය ළමය නේද වෙන්දේසියෙන් ඉඩම ගත්තෙ.”

දිගින් දිගටම වෙන්දේසිකරු ප්‍රශ්න කරද්දී, කොතලාවලගෙන් කියවුණේ තමාගේ නම ජෝන් ලයනල් කොතලාවල බවත් තාත්තා ජෝන් කොතලාවල බවත් ය. මෙතෙක් වේලා නොදැක්වූ ගරු සරු බවක් ඇතිව වෙන්දේසිකරු, තමා ඉඳගෙන සිටි අසුන අසල වූ පුටුවක වාඩිකර සුහදව කරුණාවෙන් කථා කළේය.

“ජෝන් කොතලාවල මහත්තය මගේ හොඳ යාළුවෙක්. උන්නාන්සෙ මට ගොඩක් උපකාර කරල තියනව. සුළු ඇඩ්වාන්ස් එකක් දීල මේ ඉඩම ගන්න. මේක රත්තරන් වගේ වටිනව. මම තවත් ටිකක් අඩුකරල දෙන්නම්.”

තමා සන්තකයේ තිබුණු රුපියල් නමදහස අත්තිකාරම් ලෙස ගෙවා ඉතිරි මුදල සොයාගන්නට ‍ඔහු කෙළින් ම ගියේ ඩී.එස්. සේනානායක මුණ ගැසීමට ය. තමාට සිදුවූ සියල්ල ඩී.එස්. සමඟ කථා කිරීමෙන් අනතුරුව ඔහු සමඟ සර් ජෝන් කඳවල වත්ත බැලීමට ගියේ ය. ඔවුන් ආපසු පැමිණියේ ඉමහත් සතුටකිනි.

“ඇලිස් අක්කෙ, ලයනල් හොඳ ඉඩමක් අරගෙන නේ. මමත් ගියා ඉඩම බලන්න.” ඩී‍.ඇස්., ඇලිස් කොතලාවල ළමාතැනීට සියලු තොරතුරු කීවේය. ඉතුරු මුදල් රුපියල් හැට දහස, එ‍ෆ්.ආර්. සේනානායක ඇපවී හෙට්ටියකුගෙන් ලබාගති. අද ගාලු පාරේ සිට ගුවන් තොට භූමියත් සමඟ ඇති ඉඩම් යාය සර් ජෝන් සතු වූයේ එපරිද්දෙනි.

සර් ජෝන් සිටි භූමි භාගයේ, ගාලු පාර අසල කොටස, බාටා සමාගමට බද්දට ලබාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් බාටා සමාගමින් නිපදවන අලුත් මෝස්තරයේ පාවහන් කට්ටල සර් ජෝන්ට පරිත්‍යාග කරන සිරිතක් විය. මෙතෙක් කලක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳි සර් ජෝන් අලුත් මෝස්තරයේ පාවහන් පැලඳ උජාරුවෙන් ගමන් ගත්තත් ටික කලකින් තම දෙකකුලේ මහපට ඇඟිලි දෙකම කැපිය යුතු යයි වෛද්‍යවරු නිර්දේශ කළේ එවකට මෙරට තිබූ එකම ගෙවන වාට්ටුව වූ කොළඹ මහ රෝහලේ මර්චන්ට්ස් වාට්ටුවට ඇතුළු කිරීමෙනි. ඔහුගේ ජීවන තොරතුරු ගැන කථා බස් කිරීමට මෙතෙක් කල් කඳවලට ගිය මට කොළඹ මහ රෝහලේ මර්චන්ට්ස් වාට්ටුවට යාමට සිදුවිය.

නිතරම ඔහු හමුවීමට දන්නා අඳුනන විශේෂ පුද්ගලයෝ පැමිණියහ. ඔවුන් හා පැරණි හපන්කම් කියමින් විනෝදවීම සර් ‍‍ජෝන් පුරුදු කරගන තිබුණි. එක් දිනක් සර් ‍ජෝන් බලන්නට පැමිණ සිටියේ මැදිවිය ඉක්මවූ කාන්තාවකි. ඇය කවුරුන් දැයි සර් ජෝන්ගේ ආරක්ෂකයාගෙන් ඇසූ විට දැනගන්නට ලැබුණේ ඇය සර් ජෝන්ගේ එකම දියණිය බවයි. එවිට සර් ජෝන්ගේ බිරිය කවුදැයි මම ඔහුගෙන් ඇසීමි. බිරිය තරුණ කාලයේදීම සර් ජෝන් හැර දමා ගිය බව ඔහු පැවසීය.

සැත්කමකට ගොදුරු වී සිටිය ද සර් ජෝන්ට එක තැනක විවේකීව සිටීම අපහසු කරුණක් වී තිබුණි. රෝද පුටුවෙන් තම මෝටර් රථය වෙත ගොස් එතනින් ගාලු මුවදොර පිට්ටනියට වී අවට බැලීම ඔහුගේ දෛනික පුරුද්දක් විය. ඒ යන අතරමඟ එවකට යුනියන් පෙදෙසෙහි පිහිටා තිබූ එලිෆන්ට් හවුස් වෙත ගොස් අයිස් ක්‍රීම් කෑම නොකඩවාම සිදුවූ සිද්ධියකි.

එක් දිනක් සර් ජෝන් මාලේවන හාමුදුරුවන් වැඩ වසන තිඹිරිගස්යායේ බෙහෙත් ශාලාව වෙත ගමන් ගත්තේ ය. හාමුදුරුවෝ ඉක්මන් ගමනින් ඇවිත් සර් ජෝන්ගේ මෝටර් රථයට ළඟා විය.

“හාමුදුරුවනේ මට උදව්වක් කරන්න ඕන. මේ මාත් එක්ක ඇවිත් ඉන්නෙ ‘සිළුමිණ’ ට මගේ කථාව ලියන මිනිහ තමයි. මේ කොල්ල එක්ක මම කරපු කියපු දේවල් ඔක්කොම කියන්න බැහැනේ. හෙට අනිද්ද මෙයා ඇවිත් විස්තර අහවි. අර නොම්මර හතරෙ අරිෂ්ටෙ ගැන කියන්න ඕ‍න.

මම පසුදිනක මාලේවන හිමිගෙන් දැනගත්තේ නොම්මර හතරෙ අරිෂ්ටය උන් වහන්සේ සර් ජෝන්ට විශේෂයෙන් සැදුවේ තරුණ කාලේ පුරුෂ ශක්තිය වැඩිවන සුවිශේෂ අරිෂ්ටයක් ලෙසය.

එක් දිනක් සර් ජෝන් මර්චන්ට්ස් වාට්ටුවේ ප්‍රතිකාර ලබද්දී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආරක්ෂක ලේකම්වරයා වූ කර්නල් සී.ඒ. ධර්මපාල සර් ‍ජෝන් බලන්නට පැමිණියේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහ හෙදියන් රැසක් ද සමඟ ය. ඒ අප දෙදෙනා කථා බහක යෙදෙන අතරතුරය. කර්නල් ධර්මපාල මඳ වේලාවක් සර් ජෝන් දෙස බලා සිට “අපොයි වෙච්ච දෙයක්, මේ සිංහයෙක් වගේ හිටිය මනුස්සයෙක් නෙ. අද ඇඳටම වැටිල කර කියාගන්න දෙයක් නැතිව” යයි කියත්ම මෙතෙක් වේලා හාන්සිව සිටි සර් ජෝන් ඇඳ මත වාඩි විය.

රෝහලට සර් ජෝන් එනවිට නිවසින් රැගෙන විත් තිබුණේ රුපියල් පහළොස් දහසකි. ඒවා සියල්ල තමා බලන්නට පැමිණි මිතුරියන් වෙත ලබාදීමෙන් පසු ඔහුට තවත් මුදල් අවශ්‍යව තිබිණ. දිනක් ඔහු බලන්නට පැමිණි තම ඥාති පුත්‍ර ලලිත් කොතලාවලට මෙසේ කීය.

“කඳවල මගේ ගෙදර යකඩ සේප්පුවේ තියෙන සල්ලිවලින් රුපියල් විසිපන් දාහක් අරගෙන වරෙන්. ඒක අරින හැටි මම මෙයාට කියල තියෙනව. හැබැයි උඩ තට්ටුවේ ඇති අර පොතට අත තියන්න එපා.” මම ලලිත් කොතලාවල සමඟ කඳවල වලව්වට ගියෙමි. සර් ජෝන් කියා දී ඇති අංක අනුව සේප්පුව ඇර, ලලිත් සමඟ මුදල් ගෙන විත් සර් ජෝන්ට භාර දුනිමි. අත තියන්න එපා කියූ පොත කුමක්දැයි මම හෙමිහිට බලා ගතිමි. එය ඩඩ්ලි අගමැති කිරීමට විරුද්ධව සර් ජෝන් ලියූ ‘අගමැති පොරය’ යයි සඳහන්ව තිබිණ.

 

Comments