වහල් සේවය අවසන් කරන්නට මඟ හෙළි කළ ඇමෙරිකානු නිදහස් අරගලය | සිළුමිණ

වහල් සේවය අවසන් කරන්නට මඟ හෙළි කළ ඇමෙරිකානු නිදහස් අරගලය

ලොව බොහෝ රටවල විප්ලව එම රටවල සමාජ පෙරළියක් ඇති කරන්නට සමත් වූ අතර, තවත් සමහර විප්ලව අවසන් වූයේ නිදහස් අරගල හෝ දේශපාලන සටන් ලෙසින් පමණි. 1775 අප්‍රේල් 19 සිට 1783 සැප්තැම්බර් 3 දක්වා පැවති ඇමෙරිකානු නිදහස් අරගලය ද අවසන් වූයේ. කිසිදු සමාජ පෙරළියක් ඇති නොකළ නිදහස් අරගලයක් නොහොත්, දේශපාලන සටනක් ලෙසිනි. එහෙත් එම සටන ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වහල් සේවය සදහට ම අතුගා දමන්නට මඟ හෙළිකළ බව බොහෝ දෙනා නොදනිති.

ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අතර පැවති මෙම යුද්ධයේ දී ප්‍රංශය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය ඇමෙරිකාවට සහාය දුන් අතර, එනිසා ම එම ඒකාබද්ධ හමුදාව හැඳින්වූයේ මහාද්වීපික හමුදාව ලෙස ය. තුන්වැනි ජෝර්ජ් රජ සමයේ ඇමෙරිකාවේ ප්‍රාන්ත 13ම පාලනය කරන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසිනි. එනිසා බ්‍රිතාන්‍යය ඔවුන්ට සිතැඟි පරිදි ඇමෙරිකානු ජනතාව වෙත බදු පනවන්නට පටන් ගත්තේ ය.

ඒ වකවානුව වනවිට තම ආරක්ෂාව සලසා ගැනීමට තරම්වත් යුදමය දැනුමක් ඇමෙරිකානුවන් සතු නොවී ය. බ්‍රිතාන්‍යයන් ඇමෙරිකාව පාලනය කළ ද, ඇමෙරිකානුවන්ගේ ආරක්ෂාවට මුදල් වැය කරන්නට ඔවුහු අකැමැති වූ හ. එසේ ම, ස්වදේශීය රතු ඉන්දියානුවන් වෙත බ්‍රිතාන්‍යයන්

දැක් වූ සැලකිලිවලට ද ඇමෙරිකානුවෝ එතරම් කැමැත්තක් නොදැක්වූ හ. ඇමෙරිකානුවන් අකැමැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමට බ්‍රිතාන්‍යයට හමුදා බලය හා මුදල් අවශ්‍ය වී ය. එනිසා ආරක්ෂාව සඳහා ඇමෙරිකාව මුදල් වැය කළයුතු යැයි බ්‍රිතාන්‍යය කියා සිටියේ ය. තම කැමැත්තට ඉඩ නොලැබෙන්නේ නම්, ආරක්ෂාව සලසන නාමයෙන් ගෙනෙන අනෙකුත් බදු පිළිවෙත්වලට තමන් විරුද්ධවන්නේ යැයි ඇමෙරිකානුවෝ කියා සිටිය හ.

බ්‍රිතාන්‍යයන් යනු ලාංකිකයන් වූ අපට ද අතීතයේ දී නා නා ප්‍රකාර බදු ගැසූ ජාතියකි. නිවෙස්වල සිටි සුනඛයාට පවා ඔවුන්ගේ බදුවලින් නිදහස්වන්නට ඉඩක් නොලැබිණි. එවන් ජාතියක් වූ බ්‍රිතාන්‍යයන්, ඇමෙරිකානුවන්ගේ අප්‍රසාදයට පත්වීම ආරම්භවන්නේ, 1764 දී ඔවුන් විසින් පනවන ලද මුද්දර බද්දත් සමඟ ය. එසේ ම, ඉන් අනතුරුව පැනවූ අපනයන බද්ද සහ තේ බද්ද ද ඇමෙරිකානුවන්ගේ දැඩි නොරිස්සුමට ලක්වී ය.

1773 දී බොස්ටන් වරායේ දී ස්වදේශීය රතු ඉන්දියානුවන් මෙන් වෙස්වළාගෙන පැමිණි දේශප්‍රේමී ඇමෙරිකානුවන් පිරිසක් තේ සාදයක් පැවැත්වූ හ. ඔවුහු බ්‍රිතාන්‍යයට විරෝධය දැක්වීම සඳහා .නැගෙනහිර ඉන්දියානු සමාගම. විසින් අපනයනය කරන ලද තේ පෙට්ටි රැසක් නැව්වලින් ඇද මුහුදට හෙලූ හ. මෙම විරෝධතා මර්දනය කරන්නට කටයුතු කළ බ්‍රිතාන්‍ය හමුදාව 1775 අප්‍රේල් මාසය වනවිට එරට අවි ගබඩා ගැන සෙවීමටත් දේශප්‍රේමීන් අත්අඩංගුවට ගැනීමටත් පටන් ගත් හ. ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර සටන් පැතිර යන්නට පටන් ගැනිණි.

1776 ජූලි මාසයේ දී ඇමෙරිකානුවෝ බ්‍රිතාන්‍යයට එරෙහිව නිදහස් ප්‍රකාශනය ලියා සම්මත කරගත් හ. එමනිසා රටේ නිදහස මත පදනම්ව ආරම්භ වූ යුද්ධය ඇමෙරිකාවේ ප්‍රාන්ත 13ක වැසියන් අතර ජනප්‍රියත්වයට පත් වී ය. එහෙත්, නිදහස් ප්‍රකාශනයෙන් කියූ දෑ සාක්ෂාත් කරගන්නට හැකි වේ යැයි යුද්ධය ආරම්භයේ දී බොහෝදෙනෙකු තුළ විශ්වාසයක් නොවී ය. බ්‍රිතාන්‍යය හා සටන් වැදීමෙන් ලැබෙන්නේ ජයග්‍රහණයක් නොව, අපකීර්තියක් යැයි සමහරු සැක පහළ කළ හ. එහෙත් පැරිස් සාම ගිවිසුම’ අත්සන් තබන විට ඒ සියලු අවිශ්වාසයන් ගිලිහී ගොස් තිබිණි.

ඇමෙරිකන් විප්ලවීය හමුදාවේ නායකයන් සතු යුද දැනුමේ මඳකම හා නිසි හමුදා පුහුණුවක් නොමැතිවීම ඇමෙරිකානුන්ට දැඩි අඩුපාඩුවක් වී ය. එහෙත්, 1775 ජූනි මාසයේ දී පත්කරන ලද පළමු හමුදා අණදෙන නිලධාරියා වූ ජෝර්ජ් වොෂින්ටන් සහ ඉන්පසුව එම ධූරය දැරූ හොරේෂියෝ ගේට්ස්ල චාල්ස් ලීල නැතානියෙල් ග්‍රීන්ල හෙන්රි නොක්ස් මෙන් ම, පසුකලෙක බ්‍රිතාන්‍යයට පක්ෂපාතී වූ බෙනඩික්ට් ආර්නෝල්ඩ් යන හමුදාපතිවරුන් හත් අවුරුදු යුද්ධයක් දිනාගෙන මහා අධිරාජ්‍යයක් සොලවන්නට සමත් වේ යැයි කිසිවෙකු සිතුවේ නැත.

1776 දී හමුදාවට එක් වූ ස්වේච්ඡා සෙබළු වේතන නොමැතිව සටන් කරන්නට නොහැකි බව පවසා නිවෙස් බලා ගිය හ. එයින් කලබලයට පත් කොංග්‍රසය වසර තුනක් හෝ යුද්ධය අවසන් වන තෙක් පමණක් සටන් කළ යුතු බව පවසමින් වහා ම ඔවුන් යළි සේවයට කැඳවී ය. 1777 මුල් කාලය වන විට රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් පිරිමින් වුව දල බොහෝදෙනා හමුදාවට බැඳෙන්නට එතරම් කැමැත්තක් නොදැක්වූ හ. එවිට කොංග්‍රසය කළේ මාස නමයක අනිවාර්ය සේවයක් නියම කිරීම ය. එහෙත් ඊට ද ජනතාව සවන් නොදුන් හ. හමුදාවට බැඳෙන අයට මුදල් හා ඉඩම් ලබාදෙන බව අනතුරුව කොංග්‍රසය ප්‍රකාශ කළේ ය. ජනතාව ඊට රැවටුණේ නැත. මන්ද රෑ සොල්දාදුවෙකුගේ දවසේ වේතනයට වඩා තිස් ගුණයක් පමණ සිවිල් කම්කරුවෙකුට දිනක දී උපයා ගත හැකිවූ හෙයිනි. එනිසා ජෝර්ජ් වොෂින්ටන්ගේ හමුදාවේ තුනෙන් දෙකක ප්‍රමාණයක් සිටියේ සටන් වදින්නට නුසුදුසු පුද්ගලයන් ය.

එහෙත් මෙම මහාද්වීප හමුදාවට 1777 අගෝස්තුවේ දී ප්‍රංශයෙන් පැමිණි මාර්කි ඩී ලාෆායෙට් සහ 1778 පෙබරවාරියේ දී ජර්මනියෙන් පැමිණි ෆෙඩ්රික් වොන් ස්ටූබන් එක් වූවේ ය. ඒ අනුව එරට සිටි ගොවීන් සහ රන් රදී වැඩකරුවන් සාමාන්‍ය පුහුණු සොල්දාදුවන්ගේ තත්ත්වයකට ගෙන එන්නට ඔවුන් දෙදෙනා සමත් වූ හ. ස්වදේශීය රතු ඉන්දියානුවන් සහ කළු ඇමෙරිකානුවන් විශාල සංඛ්‍යාවක් ද යුද්ධයට එකතු වූ හ. දකුණු ප්‍රාන්තවල වහල් සේවයේ යෙදුණු කළු ජාතිකයන්ට මහාද්වීප හමුදාවට එකතු වීම තහනම් කර තිබූ හෙයින් ඔවුන්ගෙන් සමහරු බ්‍රිතාන්‍යයට පක්ෂව සටන් කළ හ. එහෙත් උතුරේ කළු ඇමෙරිකානුවන්ගෙන් වැඩි පිරිසක් මහාද්වීප හමුදාවට එකතු වී සටන් වැදුණේ, වහල් සේවය අහෝසි කරගන්නට මෙම යුද ජයග්‍රහණය හේතු වේ යැයි යන යටි බලාපොරොත්තුව ඇතිව ය.

නොයෙක් දක්ෂතාවලින් යුත් අය හමුදාවේ සිටිය ද, උසස්වීම් සඳහා නියමිත ක්‍රමවේදයක්නොවී ය. සියලු ජනරාල්වරු පත්වුණේ කොංග්‍රසයේ අනුමැතියෙනි. ප්‍රාන්ත ආණ්ඩුවලින් අනෙකුත් යුද නිලධාරීන් පත් කෙරිණි. එහෙත් වැඩියෙන් ම සිටියේ. පක්ෂපාතීත්වය හා ඥාති සංග්‍රහය නිසා තනතුරු හා උසස්වීම් ලද පිරිස් ය. හමුදා නිලධාරීහු ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලෙස වේතනයෙන් බාගයක් ජීවිතය තිබෙන තුරු ලබාදෙන මෙන් ඉල්ලා සිටිය හ. හමුදාපති වශයෙන් වේතනයක් නොලබා ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳී සිටි ජෝර්ජ් වොෂිංටන් තම නිලධාරීන්ගේ එම ඉල්ලීමට සහයෝගය දැක්වී ය. 1780 වන විට හමුදාවෙන් ඉල්ලා අස් වී යන සංඛ්‍යාව වැඩිවන්නට පටන් ගත් හෙයින් එම ඉල්ලීම අනුමත වී ය.

එහෙත් නායකත්වය පුහුණුව හා වේතන පමණක් නොව බොහෝ අඩුපාඩු ඔවුනට තිබිණි. ඒ කෘෂිකාර්මික රටාවක් පැවති සමාජයකින් අවි ආයුධල යුද උපකරණ හා ආහාර පාන යනාදිය පහසුවෙන් ලබාගත නොහැකි වීම ය. කාර්මික නිෂ්පාදන බොහොමයක් ආවේ යුරෝපයෙනි. අවි ආයුධ හා වෙඩි බෙහෙත් ඇමෙරිකාවට ගෙන්වා ගැනීම තරමක් හෝ පහසු වන්නේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් තනාපතිවරයෙකු ලෙස ප්‍රංශයට ගිය පසුව ය. ප්‍රංශල ඕලන්ද අවි ආයුධ හා වෙඩි බෙහෙත් පුද්ගලික සමාගම් හරහා නැව් මගින් ගෙන්වා ගන්නට ඒ නිසා මඟ පෑදිණි.

ආහාර බෙහෙවින් තිබුණු කෘෂිකාර්මික සමාජයක් වුව ද මාර්ග හා ප්‍රවාහන පහසුකම් හරියාකාරව නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ය. මේ නිසා කලට වේලාවට ආහාරද්‍රව්‍ය නොලැබීමෙන් සොල්දාදුවන්ට හාමතේ සිටින්නට ද සිදුවීය. 1776 දී ප්‍රංශ භාණ්ඩාගාරයෙන් මිලියන ගණනක ණය ලබාගෙන තිබුණු ඇමෙරිකාව ප්‍රංශයෙන් තවත් ණය ඉල්ලා ගත්තේ ය. ලෝක ඉතිහාසයේ පළමුවරට ජාතික උත්සාහයකින් ගොඩනැගුණ ද මහාද්වීපික හමුදාව කිසිසේත් ම සූක්ෂම වූයේ නැත. දක්ෂ වූයේ ද නැත. එහෙත් කෙසේ හෝ යුද්ධය දිනූ ඔවුහු බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ඇමෙරිකා එක්සත් ජනපදය පිහිටුවා ගන්නට ද සමත් වූ හ.

ලෝක ඉතිහාසයේ වැදගත් ම ලේඛනයක් ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස පිළිබඳ ප්‍රකාශනය’ ඇමරිකානු කොන්‍ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද්දේ ඇමෙරිකානු නිදහස් සටනෙහි ආරම්භක සමයේ එනම් 1776 ජූලි 4 වන දා ය. 1783 දී ඇමරිකා එක්සත් ජනපදය ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගැනුණේ නිදහස් සටන අවසානයේ අත්සන් කෙරුණ පැරිස් ගිවිසුමෙනි. එහෙත් එරට නිදහස් දිනය ලෙස සැලකෙන්නේ නිදහස් ප්‍රකාශනය සම්මත කරගත් ජූලි 4 වන දින ය.

යුද්ධය ජයගැනීමේ දී ඇමරිකානුවන්ට බලපෑ වාසි මෙන් ම අවාසි ද රාශියක් තිබිණි. ඔවුන්ගේ ම භූමියක සටන් කිරීමට ඔවුන්ට හැකිවීමත් ප්‍රංශ සහ ඉන්දියානු යුද්ධවල අත්දැකීම් ඔවුන් සතුව පැවතීමත් ඔවුනට විශාල වාසියක් වී ය. එසේ ම මහාද්වීපික හමුදාවට නිසි පුහුණුවක් හා විනයක් නොමැති වීමත් වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීමට ඔවුන්ට ප්‍රබල නාවික හමුදාවක් නොමැති වීමත් අවාසියක් වී ය.

හොඳින් පුහුණුව ලත් සහ හොඳින් සන්නද්ධ වූ හමුදාවක් බ්‍රිතාන්‍යයට සිටීමත්,

හොඳ ම නාවික හමුදාවක් ඔවුන් සතුව තිබීමත් සටනේ දී පක්ෂපාතී ඇමෙරිකානුවන්ගේ සහ ඉන්දියානුවන්ගේ සහයෝගය ලැබීමත්, විදේශීය හමුදා බඳවා ගැනීමට ජර්මනියෙන් මුදල් ලැබීමත් බ්‍රිතාන්‍යයට වාසිදායක වී ය.

තම රටින් බොහෝ දුරකට පැමිණ සටන් කරන්නට සිදුවීමත් එසේ නොකඩවා සටන් කරන්නට සිදුවීමෙන් අධික ලෙස වෙහෙසට පත්වන්නට සිදුවීමත් බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ඵලදායීතාව අඩු වීමට හේතු වී ය. එනිසා ම, ඔවුහු ඔවුන්ගේ නියම සටන් විලාසයට අනුවර්තනය නොවූ හ. තමන්ට පක්ෂව සිටි ඇමෙරිකානුවන් ඵලදායී ලෙස භාවිත කරන්නට බ්‍රිතාන්‍යය කටයුතු නොකළේ ය. කිසිදු ගැටලුවක් නොමැතිව තමන්ට ඇමෙරිකානුවන් පරාජය කළ හැකි බව ඔවුහු තරයේ විශ්වාස කළහ. මෙම අධිතක්සේරු කිරීම් බ්‍රිතාන්‍යයේ අවාසියට හේතු වී ය.

අවුරුදු 8 යි. මාස 4 යි, දින 15ක් පැවති ඇමෙරිකානු නිදහස් අරගලයේ දී ඇමරිකානුවන් 6, 800 ක් ඝාතනයට ලක්වී ඇති අතරල 6,100 ක් තුවාල ලබා තිබේ. 20,000 කට වැඩි පිරිසක් සිරකරුවන් බවට පත්වූ හ. මෙහි දී යුද සිරකරුවන් අතර සිටිය දී මියගිය 8, 000–12, 000 ක ප්‍රමාණය ද ඇතුළුව තවත් මරණ 17, 000 ක් පමණ සිදුවන්නට ඇති බව ඉතිහාසඥයෝ විශ්වාස කරති.

එහෙත් ඊට වඩා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වන්නේ 1861 සිට 1865 දක්වා පැවති සිවිල් යුද්ධයේ දී ය. ලොව පළමු වහල් කැරැල්ල ලෙස පිළිගැනෙන මෙම යුද්ධය ආරම්භ වන්නේ කළු ජාතිකයන් වහල්භාවයට පත්කිරීම පිළිබඳව දිගු කලක් පැවති මතභේදවල ප්‍රතිඵලය ලෙස ය. 1860 දී පළමු රිපබ්ලිකන් ජනාධිපතිවරයා ලෙස ඒබ්‍රහම් ලින්කන් මැතිවරණය ජයග්‍රහණය කරන්නේ යළි කිසි දිනක අමෙරිකානු භූමියේ වහල් සේවය ක්‍රියාත්මක නොකරන බවට වූ ප්‍රතිඥාවත් සමඟිනි. එහෙත් ඔහු බලයට පත් වී මාසයකට පමණ පසු ආරම්භ වූ මෙම සිවිල් යුද්ධයෙන් එක්සත් ජනපද හමුදාවේ 365,000 ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, 828ල000ක් පමණ තුවාල ලැබූ හ. ජෙෆර්සන් ඩේවිස්ගේ නායකත්වයෙන් යුත් සතුරු හමුදාවේ 290, 000 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 864,000ක් පමණ තුවාල ලබා තිබේ.

මේ අතර අධිරාජ්‍යවාදී යුගය දක්වා දිවෙන ඇමෙරිකාවේ කළු-සුදු භේදය අර්බුද රැසක් නිර්මාණය කර ඇත්තේ දැවැන්ත සමාජ ගැටලුවත් බවට ද පත් වෙමිනි. අප්‍රිකානු-ඇමෙරිකානු ඇමැතිවරයකු හා ක්‍රියාකාරිකයෙකු වූ මාටින් ලූතර් කිං ඇතුළු සිවිල් ක්‍රියාකාරින් කළු ජාතිකයින්ට අමෙරිකාව තුළ පුරවැසියන්ට හිමි විය යුතු මූලික අයිතිවාසිකම් සහ අවස්ථාවන් හිමිවිය යුතු බව පවසමින් සිය හඬ අවදි කරන්නේ මෙවැනි පසුබිමක දී ය. 1955 සිට 1968 දී ඔහු ඝාතනයට ලක්වන තෙක් ම සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ වඩාත් ම ද්‍රෘෂ්‍යමාන ප්‍රකාශකයා සහ නායකයා බවට පත්වන්නේ මාටින් ලූතර් කිං ය.

ඉන් වසර ගණනාවකට පසු 2009 දී බැරක් ඔබාමා එක්සත් ජනපදයේ පළමු අප්‍රිකානු-අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වුව ද, සමහර සුදු ජාතිකයන් තුළ තවමත් වර්ණ භේදවාදයේ ගිනිපුපුරු නොනිමී පවතින බව එක්සත් ජනපද පොලිස් නිලධාරියෙකු විසින් පසුගිය දා ඝාතනය කරන ලද කළු ජාතික ජෝර්ඩ් ෆ්ලොයිඩේග් මරණයෙන් සනාත වේග එසේ ම, එය ලෝකයට ම මානව හිමිකම් ගැන කියාදෙමින් ඒ මුවාවෙන් ලෝකයේ අනෙක් රටවල් සූරාකමින් සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ නිරුවත ප්‍රසිද්ධියේ හෙළිදරව් වීමක් ද වේ.

 

Comments