වෙලේ සුදාගේ මස්සිනාත් පොලිස් දැලට | සිළුමිණ

වෙලේ සුදාගේ මස්සිනාත් පොලිස් දැලට

පොලිස් අත්අඩංගුවට පත්වූ කනත්තෙ චූටි

හා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා ගැන සඳහන් කරන විට ඔහු ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. වෙලේ සුදා මේ වන විට බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටී. කරුණු කිහිපයක් මුල්කරගෙන වෙලේ සුදා, පොඩි ලැසි, කොස්ගොඩ තාරක ඇතුළු විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 36 දෙනෙකු මේ වනවිට ආහාර වර්ජනයකද නිරතව සිටිති. විශේෂ අංශයේ රැඳවියන් 45 දෙනෙකු රඳවා සිටින අතර දැනට ආහාර ගනු ලබන්නේ විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 09 දෙනෙකු පමණි.

කොරෝනා සමයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් සඳහා සිය ඥාතින් සමග දුරකථනයෙන් කථා කිරීම සඳහා එක් රැදවියකුට විනාඩි 05ක කාලයක් ලබා දී තිබුණි. ඉරිදා සහ බදාදා දින දෙකෙන් එක් දිනයක එම අවස්ථාව රැඳවියන්ට හිමිව තිබුණි. කොරෝනා වසංගතය පහව යාමත් සමග විශේෂ අංශයේ රඳවා සිටින එකී රැඳවියන් බැලිම සදහා ඥාතින්ට අවසර ලබාදීමත් සමග දුරකථන මගින් ඥාතින් සමග කථා කිරීමේ පහසුකම් නවතා දමනු ලැබිය. එහෙත් නැවතත් ඥාතින් සමග දුරකථන ඔස්සෙ කතාබහ කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් මෙකි රැඳවියන් ආහාර නොගෙන වර්ජනයක නිරතව සිටිති.

මේ අලකලංචි අස්සේ වෙලෙ සුදාගේ මස්සිනා වන ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර හෙවත් පහළ කනත්ත චුටි ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. ඒ ඉමදුව ඇල්ලලගොඩ පහළින් කනත්ත ප්‍රදේශයේදිය. මොහු හතළිස්හත් හැවිරිදි වියේ පසුවු දෙදරු පියෙකි. ඉමදුව ඇල්ලලගොඩ පහළින් කනත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කනත්ත චුටි ත්‍රිරෝද රථ රියදුරකු ලෙස කොළඹ නගරයේ රැකියාව කළේය. දැනට බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ බිරියගේ වැඩිමහල් සහෝදරිය සමඟ මිට පෙර මොහු විවාහ වි සිටියේය.

එම විවාහයෙන්ද කනත්ත චුටිට දරුවන් සිටි අතර මත්කුඩු ජාවාරම් සම්බන්දයෙන් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත විමත් සමග චූටිගේ පළමු විවාහය දෙදරා ගොස් තිබිණි. ඒ, 2006 වසරේදි පමණය. චුටි බන්ධනාගාරගතව සිට යළි පැමිණෙන විට ඔහුගේ පළමු විවාහයේ බිරිය වෙනත් කසාදයක් කරගෙන තිබුණාය.

අනතුරුව චුටි ඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේම පදිංචි වෙනත් කාන්තාවක් හා විවාහ විය. ඇය, චුටිගේ මවගේ පාර්ශවයේ ඥාති කාන්තාවකි. දෙවැනි විවාහයෙන් අවුරුදු 05ක සහ 07 දරුවන් දෙදෙනෙකු සිටින කනත්ත චුටි කොළඹට පැමිණ ත්‍රිරෝද රැකියාවේ නිරතව ගමට ගොස් තිබුණේ සති දෙක තුනකට වරකි. ඒ අතර මොහු ඇල්ලලගොඩ ප්‍රදේශයේ නවින පන්නයේ නිවසක් ඉදිකරමින් තිබිණි. මෝටර් රථයක්, ත්‍රිරෝද රථ කිහිපයක් සහ යතුරුපැදි කිහිපයක්ද චූටිගේ නිවසේ දක්නට විය. කොළඹ නගරයේ ත්‍රිරෝද රථ රියදුරකු ලෙස රැකියාව කරන කනත්ත චුටිට මෙලෙස දේපළ වත්කම් තිබේනෙ කෙසේද යන්න පිළිබද ගම්මුන් අතරද කසුකුසුවක් වූහ. එසේම චූටි ගමට පැමිණි විට මිතුරන් සමඟ එක්වි සාද පැවැත්වු අතර ඒ සඳහා අත දිගහැර වියදම් කරනු ලැබුවේද කනත්ත චුටි විසිනි. ත්‍රිරෝද රථ රියදරකු වුවද කනත්ත චුටි අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කළේය. ඒ අතරේ චූටි වෙලේ සුදා සමඟද සමිප සම්බන්දතා පවත්වාගෙන යනු ලැබිය. එමෙන්ම මොහු තම හිතවතුන්ට ඇති කිරිම සදහා එළ ගවයින්ද මිලට ගෙන දි තිබිණි.

එවැනි වටපිටාවක් ගොඩනැ‍ගෙද්දී චූටි පිළිබඳව ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතා මෑතක සිට විමසිලිමත්ව සිටියේය. මොහු අසාමාන්‍ය ලෙස මුදල් වියහියදම් කරමින් මිතුරන් සමඟ එක්වි පවත්වන සාද පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයාට ද ගැටලුවක්ව තිබිණි.

මේ අතරේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා බූස්ස බන්ධනාගාරයට මාරු කෙරිණි. චූටි, වෙලේ සුදා සමඟද ගනුදෙනු කරනවාද යන්න ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා දැඩි විමසිල්ලෙන් සිටියේය. දිනක් පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණේ චූටි බුස්ස බන්ධනාගාරයේ සිටින වෙලේ සුදා බැලිම සදහා අවස්ථා කිහපයකදීම ගොස් ඇති බවයි. එපමණක් නොව චූටි, වෙලේ සුදා සහ තවත් ප්‍රබල අපරාධකාරයෙක් වන ඌරු ජූවා ඇතුළු බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන්ගේ පරිභෝජනය සඳහා අවැසි ආහාර සඳහා රුපියල් පන්දහස බැගින් ආපණ ශාලාව වෙත ගෙවා තිබු බවටද අනාවරණය විණි. එමෙන්ම බන්ධනාගාර නිලධාරියෙකුට වෙලේ සුදාගේ මෙහෙයවිමෙන් විස්කි බෝතල් ලබාදීමේ කටයුත්තක්ද චූටි විසින් මෙහෙයවා ඇති බව විමර්ශන නිලධාරින්ට සැල වී තිබේ. විමර්ශන නිලධාරින් එක්රැස් කරගත් තොරතුරු ඔස්සෙ ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතා චූටි පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරිණි.

අනතුරුව කනත්ත චුටි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සැලසුම් කළේය. චූටි කොළඹ නගරයේ සිට නිවෙසට පැමිණෙන දින වකවානු පිළිබඳව හොඳින් දැන සිටි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් පසුගියදා කනත්ත චුටිගේ නිවස වට කරනු ලැබිය. නිවෙසේ සිටි චූටි පොලිසියට කොටු විණි. ඒ, හෙරෙයින් මිලිග්‍රැම් 1300ක්ද සමඟිනි. ඒ අතර කනත්ත චුටිගේ නව නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුද ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගැනිණි. ඔවුහු කොහුවල සහ නුගේගොඩ පදිංචිකරුවන් වුහ.

තවද චුටි අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි රුපියල් 37,500ක්,ජංගම දුරකථන 04ක්, සිම් කාඩ්පත් 06ක්, බැංකු ගිණුමකට අදාළ පාස්පොතක් පොලිසිය බාරයට ගැනිණි. එමෙන්ම පොලිස් නිලධාරින් සැකකරුගේ බැංකු ගිණුම පිළිබඳවද විමර්ශන සිදු කළහ. එහිදී අනාවරණය වූයේ 2019 වර්ෂයේ සිට 2020 ජනවාරි මාසය දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ 20කට වැඩි මුදල් ප්‍රමාණයක් සංසරණය වි ඇති බවයි. ඇතැම් මාසවලදි එකී ගිණුමෙන් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් සංසරණය වී ඇති බවද අනාවරණය විණි. සැකකරු වෙලේ සුදා සමග සමිප සම්බන්දතා පවත්වා ඇති බවද විමර්ශනයේ දි අනාවරණය කරගනු ලැබිණි.

මේ අතර ඉමදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ මස්සිනා වන කනත්ත චුටි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් පොලිසියට අවසර ලබා දුන්නේය.

එමෙන්ම කනත්ත චුටිගේ බැංකු ගිණුම් පිළිබඳව හා දුරකථන සංවාද පිළිබඳ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගනු ලැබිය. කනත්ත චුටිට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්දයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වන බව හෙළි විණි. කනත්ත චුටි සමඟ නිවසේ සිටියදි අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහරිනු ලැබිය.

මේ වනවිට කනත්ත චුටි පොලිසිය මඟින් රඳවාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යන අතර ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර, උපපොලිස් පරීක්ෂ හෙරත්, සැරයන් වරුන් වන (40707) සේනානායක, (50835) නිශාන්ත, කොස්තාපල්වරුන් වන (91159) ජානක, (89466) චානක යන නිලධාරිහු සැකකරුවන් අත්අඩංගුවට එක් වූහ.

ලලිත් චාමින්ද 
ගාල්ල

Comments