මෛත්‍රී පොලොන්නරුවේ මුල් තැනට රොෂානුත් කරට කර සටනක් දෙයි | Page 2 | සිළුමිණ

මෛත්‍රී පොලොන්නරුවේ මුල් තැනට රොෂානුත් කරට කර සටනක් දෙයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද ඉතා විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ. ජන්ද බල ප්‍රදේශ තුනකින් සමන්විත පොලොන්නරුව දිස්ත්‍රික්කය සතු මන්ත්‍රී ආසන පහෙන් හතරක්ම දිනාගැනීමට මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.ප්‍රතිශතයක් ලෙස ගත් කල ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාවෙන් සියයට 73ක් හිමිකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි.ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජන්ද සංඛ්‍යාව 180,847කි. සමගි ජනබලවේගය ජන්ද 47,781ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කල සියයට 20කි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ජන්ද සංඛ්‍යවෙන් සියයට 03ක් එනම් ජන්ද 6,792ක් හිමිකර ගෙන ඇත්තේ මාලිමාව ලකුණ යටතේ මැතිවරණය තරඟ කල ජාතික ජන බලවේය විසිනි.එක්සත් ජාතික පක්‍ෂය මෙවර මැතිවරණයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිව්වන තැනට පත්ව සිටින අතර ලබාගෙන ඇති ජන්ද සංඛ්‍යාව 6,525කි.

රජරට ජන්ද රැල්ල ගොඩගැසෙනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව පසුගිය ජනාධිපතිවරණයේ ජන්ද ප්‍රතිඵල වලින්ද පෙන්නුම් කර තිබුණි. විශේෂයෙන්ම කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වන පොලොන්නරුවේ අති බහුතරයක් ගොවි ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම කෙරෙහි විශ්වාසයක් තබා තිබෙන බව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත මෙම ජන්ද ප්‍රතිඵලයෙන් සනාථ කෙරෙන බවයි බොහෝ දෙනා පවසන්නේ.විශේෂයෙන්ම ගොවි ජනතාවට රජයෙන් ලබාදී ඇති සහනයන් මෙන්ම වී කිලෝවට ඉහල සහතික මිලක් ලබා දීම ආදිය වෙනුවෙන් ඔවුහු මෙවන් යහපත් ප්‍රතිචාරයක් ලබා දෙන්නට තීන්දු කලා වියහැකි යැයිද කියති.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ පටන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කය දෙස දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමුවී තිබූ බව ප්‍රකට කාරණයෙකි.එයට හේතුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟවැදීමට තීරණයකර තිබූ නිසාවෙනි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරඟ කිරීමට නාම යෝජනා බාර දුන්නද ශ්‍රීලනිපය පොලොන්නරුවේ තරඟවැදුනේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ දේශපාලන ගමන් සගයෙකු මෙන්ම උතුරු මැද පලාතේ හිටපු මහ ඇමතිවරයෙකුද වන පේෂල ජයරත්න මහතාත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ලැයිස්තුවට ඇතුළත් විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් අපේක්‍ෂක ලැයිස්තුවේ සෙසු අපේක්‍ෂකයින් වූයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන සිරිපාල ගම්ලත්, හිටපු මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ, උතුරු මැද පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන අමරකීර්ති අතුකෝරළ, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ජගත් සමරවික්‍රම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජයසිං හ බණ්ඩා යන මහත්වරුන්ය. මෙම අපේක්‍ෂක කණ්ඩායමේ නාකත්වය හිමිවූයේද රොෂාන් රණසිංහ හිටපු මහවැලි රාජ්‍ය ඇමතිවරයාටය.

සමානුපාතික ජන්ද ක්‍රමයේ අනිවාර්ය ලක්‍ෂණයක් වන මනාප පොරය මේ මැතිවරණයේද හොඳින් කැපී පෙනුණි. පොහොට්ටුවේ පොලොන්නරුවේ ජන්ද සටනේදීද එය ඉතා හොඳින් ප්‍රදර්ශනය විය.එකිනෙකා විවේචනය කරගනිමින් තම මනාප ගොඩ වැඩිකරගන්නට සියල්ලෝම උනන්දු වූහ. මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙන මන්ත්‍රී ධූර 04 සඳහා ලබාගෙන ඇති වැඩිම මනාප අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් සහ උතුරු මැද පලාත් සභාවේ හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ යන මහත්වරුන් තේරී පත්වී සිටිති.මෙවර මැතිවරණයෙන් පොලොන්නරුවේ වැඩිම මනාප සංඛ්‍යවක් ලබාගෙන ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු ලබාගෙන ඇති මනාප ජන්ද සංඛ්‍යාව 111038කි. දෙවනුව වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන ඇති අපේක්‍ෂකයා රොෂාන් රණසිංහ මහතායි. ඔහු ලැබූ මනාප සංඛ්‍යාව 90,615කි.මනාප ලැයිස්තුවේ තුන්වන ස්ථානය සිරිපාල ගම්ලත් මහතාට හිමිව තිබෙන අතර ඔහු මනාප 67,717ක් ලබාගෙන ඇත.මනාප ජන්ද 45,939ක් ලබා ගනිමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ලැයිස්තුවේ හතරවන ස්ථානයට තේරී පත්වී සිටින්නේ අමරකීර්ති අතුකෝරළ මහතාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර තේරී පත්වූ මන්ත්‍රීවරු සිව් දෙනා අතරින් අතුකෝරළ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රථම වතාව මෙයයි.එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහාඔහු ඉදිරිපත්වූ මුල්ම වතාවද මෙය වන්නේය.

මෙවර මහ මැතිවරණයේ ජන්ද 47,781ක් ලබා ගනිමින් සමගි ජනබලවේගය දිස්ත්‍රික්කයේ දෙවන තැනට පත්වී ඇත. ඒ අනුව එක් මන්ත්‍රී ධූරයක් එම පක්‍ෂයට හිමිව තිබේ.ඒ මන්ත්‍රී ධූරයට හිමිකම් ලබන්නේ එම අපේක්‍ෂක කණ්ඩායමේ වැඩිම මනාප ලබාගෙන සිටින කින්ස් කුමාර නෙල්සන් මහතාය.ඔහු ලබාගෙන ඇති මනාප ගණන 22,392කි. සමගි ජන බලවේගයේ අපේක්‍ෂක කණ්ඩායමේ නායකත්වය උසුලනු ලැබූයේ එක්සත් ජාතික පක්‍ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතායි.ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 19,499කි. එහෙත් එම අපේක්‍ෂක කණ්ඩායමේ වැඩිම මනාප හිමිකරගන්නට හැකිවූයේ උතුරු මැද පලාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයෙකු මෙන්ම විපක්‍ෂනායක වරයෙකුද වන කින්ස් කුමාර් නෙල්සන් මහතාටය.

 

Comments