කුවේර ජීවිතය අත්හළ ශ්‍රේෂ්ඨ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා | සිළුමිණ

කුවේර ජීවිතය අත්හළ ශ්‍රේෂ්ඨ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා

විසි වන සියවසේ ආරම්භය ලාංකේය සමාජයේ විපරිවර්තන රැසක් සිදු වූ වකවානුවකි. යටත්විජිතකරණය නිසා ඇතැම් සාම්ප්‍රදායික සමාජ ව්‍යූහ බිඳ වැටී නව සමාජ ව්‍යූහ ගොඩනැගෙමින් පැවතිණ. අරක්කු රේන්ද ව්‍යාපාරවලින් ලද මහත් ධනස්කන්ධය වැවිලි ආර්ථිකය සඳහා ආයෝජනය කිරීමෙන් නව ධනපති පන්තිය සමාජයේ ඉහළ ම ස්තරයට ළඟා විය. මේ ධනපති පන්තියේ වර්ධනයට සාපේක්ෂව සමාජයේ දරිද්‍රතාවද ශීඝ්‍රයෙන් වර්ධනය විය. සාගත වසංගත ආදියෙන් අනවරතයෙන් පීඩාවට පත් වූයේද දරිද්‍රතාවෙන් පීඩිත ජනයාය. මේ පීඩිත ජන කොටසට සමාජයේ ස්ථාවර ජීවන මාර්ග පාදා ගැනීමට තිබුණු එකම මාර්ගය වූයේ අධ්‍යාපනයයි. පිය උරුමයෙන් ලද මහත් ධනස්කන්ධය අධ්‍යාපනය නමැති සමාජ සුබසාධනය වෙනුවෙන් කැප කළ උතුම් මිනිස්සුද අප අතර ජීවත් වූහ.

විල්මට් ඒ. පෙරේරා යනු පිය උරුමයෙන් ලද මහත් ධනස්කන්ධය මෙරට පොදු ජනයාගේ නැණස පෑදීම වෙනුවෙන් කැප කළ සත්පුරුෂයෙකි. එපමණක් නොව පීඩිතයන්ගේ සමාජ විමුක්තිය වෙනුවෙන් මානවහිතවාදී දේශපාලනයෙහි නියැළුණු උදාර පුරුෂයෙකි. මහවඩුගේ විල්මට් ඒබ්‍රහම් පෙරේරා උපත ලද්දේ 1905 ජුනි මස 12 වන දිනයේය. ඔහුගේ පියා මහවඩුගේ ඒබ්‍රහම් පෙරේරා ධන කුවේරයෙකි. මව ජෙරමියෙස් දියෙස් මැතිනියගේ දියණියක වූ ලිලියන් ෆිලීශියා දියෙස්ය. පවුලේ එකම දරුවා වූ විල්මට් අධ්‍යාපනය ලැබුවේ පානදුර සාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ එකල කොළඹ ඇකඩමිය ලෙස හැඳින්වුණු රාජකීය විද්‍යාලයෙනි. ඉතා සාර්ථක ලෙස පාසල් අධ්‍යාපනය නිම කළ විල්මට් එංගලන්තයේ කේමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ සුදුසුකම් සපුරා නැව් නැගීමට සූදානමින් සිටි අවස්ථාවේ ඊට දින කිහිපයකට පෙර හදිසි හෘදයාබාධයකින් පියාගේ අභාවය සිදු විය. විල්මට්ගේ අධ්‍යාපන ඉලක්කය වූයේ පුරාවිද්‍යාව හැදෑරීමය. එහෙත් පියාගේ හදිසි අභාවය නිසා පවුලේ එකම දරුවා වූ විල්මට් හට කේබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීමට ලැබුණු අවස්ථාව අතහැර පියාගේ සියලු ව්‍යාපාරවල වගකීම් දැරීමට සිදුවිය. ඔහු ගැමියන්ගේ දිළිඳුකම හා බැඳුණු අලසකම, නූගත්කම, මැලේරියාව වැනි වසංගත ඇතුළු විවිධ විෂයයන් පිළිබඳ ගවේෂණාක්මක දැනුම ලිපි මාලාවක් ලෙස ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත්වල පළ කළේය. විශ්වවිද්‍යාලයකින් ලබන න්‍යායික සහ දාර්ශනික දැනුම විල්මට් තරුණයා ප්‍රායෝගික අයුරින් ග්‍රහණය කර ගත්තේ ගැමියන්ගේ දිවි පෙවෙත පිරිසිඳ දැකීමෙනි. නිරාකුල මනසකින් ගැමි දිවියේ යථාර්ථය ග්‍රහණය කොට සම්පාදිත ඒ ලිපි මාලාව 1932 වර්ෂයේ Problems of Rural Ceylon නමින් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් පුස්තිකාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ගැමි දිළිඳුකම සමග එකට පෑහී තිබුණු ප්‍රබල සාධකයක් ලෙස විල්මට් දුටුවේ නූගත්කමය. පොදු ජන යහපත උදෙසා වන විධිමත් අධ්‍යාපන සැලැස්මක් නොතිබීමත් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වරප්‍රසාදිත සමාජ තීරුවට පමණක් සීමා වී ඇති බව විල්මට් තරුණයා අවබෝධ කර ගෙන තිබුණි. දිළිඳුකම පිටු දැකීමේ හැකියාවක් නිසි අධ්‍යාපනයකට තිබෙන බව වටහා ගත් විල්මට් ඒ සඳහා උපාය මාර්ග සොයමින් සිටි අවස්ථාවේ රබින්ද්‍රනාත් තාගෝර් ශාන්ති නිකේතනය ආරම්භ කොට මිනිසුන් නව චින්තනයකට හා ජීවන මාර්ග වෙත යොමු කිරීමට ගන්නා සාර්ථක ප්‍රයත්නය ඔහුගේ මනසට කා වැදිණ. ඉන්දියාවට ගොස් රබින්ද්‍රනාත් තාගෝර් හමු වී ශාන්ති නිකේතනයේ ක්‍රියාත්මක වන අධ්‍යාපන සැලැස්ම ප්‍රායෝගිකව අවබෝධ කරගත් විල්මට් ඒ. පෙරේරා ලංකාවට පැමිණ හොරණ ශ්‍රීපාලි විද්‍යායතනය ගොඩනැංවීමට පියවර ගත්තේය. ස්වාභාවික පරිසරයට හානියක් නොවන අයුරින් විශාල භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වූ ගොඩනැගිලි ඉදිකෙරුණේ ශාන්ති නිකේතනයේ සැලැස්මට බොහෝ සෙයින් අනුරූප වන අයුරිනි. 1934 මැයි මස 20 දින රබින්ද්‍රනාත් තාගෝර් ශ්‍රීපාලියට පැමිණ රවීන්ද්‍ර ශාලාවට මුල්ගල් තැබීය. ශ්‍රීපාලියේ ඇතැම් අධ්‍යයන පාඨමාලා සකස් වූයේ ශාන්ති නිකේතනයේ මෙන් ප්‍රායෝගික ජීවන ව්‍යවහාරයට අනුබල ලැබෙන අයුරිනි. අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසිය වුව ද දෙමළ සහ සිංහල භාෂා ඉගැන්විණ. ජාතික සංස්කෘතික අනන්‍යතා සුරැකෙන ඒවාට ආදරය කරන දරු පරපුරක් සමාජයට දායාද කිරීම විල්මට් පෙරේරාගේ අභිලාෂය විය. ඇතැම් විෂයයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් ඉන්දියාවෙන් ගෙන්වා ගත් අතර මෙරට ගුරුවරුන් ඉන්දියාවට යවා පුහුණු කිරීමෙන් සිසුන්ට උසස් ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීම සහතික කෙරිණ. එවක ලංකාවේ අන් කිසිදු පාසලකින් ලැබෙන අධ්‍යාපනයට වඩා පිරිපුන් අධ්‍යාපනයක් ශ්‍රීපාලියේ සිසුන්ට ලැබිණ.

ශ්‍රීපාලියෙන් සංගීතය හදාළ ඇතැම් සිසුන් වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ශාන්ති නිකේතනයට ගොස් විෂය ප්‍රාමාණිකත්වය ලැබ පෙරළා ලංකාවට පැමිණ ශ්‍රීපාලියෙහිම සිසුන්ට සංගීතය ඉගැන්වීමෙහි නිරත වීම විශේෂත්වයකි. නර්තනය හදාළ අතැම් සිසුන් ශ්‍රීපාලි ආකෘතියෙන් යුත් ශාස්ත්‍රායතන ඇරඹීමට පුරෝගාමී වී තිබේ. ඩබ්ලිව්. බී. මකුලොලුව දේශීය සංගීතය පිළිබඳ ගවේෂණ අරඹන්නේත් ප්‍රේමකුමාර එපිටවෙල තම්බපණ්ණි ආයතනය අරඹන්නේත් ශ්‍රීපාලියෙන් ලද ආවේශයෙන් උත්තේජිතවය.

ඵීල්මට් ඒ. පෙරෙරා මෙරට දිළිඳු පීඩිත ජනයාගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා ඔවුන්ගේ නැණැස පෑදීමේ ප්‍රයත්නයෙන් පමණක් තෘප්ත නොවී ඒ සඳහා වූ දේශපාලන ක්‍රියා මාර්ග වෙත ද අවතීර්ණ වූයේය. ඒ වන විට ලංකාවේ ව්‍යාප්ත වෙමින් පැවති ප්‍රබල වාමාංශික දේශපාලන ප්‍රවාහය වූ ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස 1947 මහ මැතිවරණයේදී මතුගම ආසනයට තරඟ කළ විල්මට් ඒ. පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය. නැවතත් 1952 පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ද මතුගම ආසනය ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය.

ගැමි ජනතාවගේ දිළිඳුකම පිළිබඳ ඔහු සතුව පැවති ප්‍රායෝගික අවබෝධය දේශපාලන ක්ෂේත්‍රයේදී ඔහුට බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

විල්මට් ඒ. පෙරේරා දේශපාලනයට පිවිසුනේ පිය උරුමයෙන් ලද කෝටි ප්‍රකෝටි ධනයක් මහජන සුබ සෙත සඳහා කැප කරමිනි. සියලු පරමාදර්ශ උඩු යටිකුරු වූ වර්තමානයේ අපට වැඩි වශයෙන් දැක ගත හැකි වන්නේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මහජන මුදල් තම පැවැත්ම වෙනුවෙන් අනිසි ලෙස යොදා ගෙන ගෙන ධන කුවේරයන් බවට පත් වූ දේශපාලන චරිතය- එබඳු පරිහාණියක් නොදැක විල්මට් ඒ. පෙරේරා 1973 සැප්තැම්බර් 22 දින ජීවිතයෙන් සමු ගත්තේය.

Comments