අනූපහ සපුරන කිරළගහවෙල කවියා | සිළුමිණ

අනූපහ සපුරන කිරළගහවෙල කවියා

ජීවිත ගමනේ 95 වැනි වියේදීත් ඔහු කවි ලියයි. ඒ ඔහුගේ ජවයෙන් පිරි හදවතිනි. ජූලි මස දහවැනිදා අනූපස් වැනි වියට පත් වූ කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන කවියාය, ඒ පින් පිරූ රසවතාය. රස පද එක්තැන් කරන්නට හැකි වූ පමණින්ම කවියා පූර්ණත්වයට පත් නොවේ. ඔහු සැබැවින්ම පූර්ණත්වයට පත්වන්නේ තමාගේ උපන් බිම, තමාගේ ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට, කවිය උපයෝගි කර ගැනීමෙනි.

මාර්ටින් ජයවර්ධන එවැනි කවියෙකි. වසර එක් දහස් නවසිය විසි පහේ ජූලි මස දහ වැනිදා ගාල්ලේ උපන් “හිච්චි පුතා”, අද මී මුත්තනුවන් කෙනෙකි. එදා හෝඩියේ පොඩි එකා “අප මහ රජ”, පස්වැනි ජෝර්ජ් රජුගේ උපන් දිනය වෙනුවෙන් තෙල්වත්ත පාසලේ පැවැත් වූ උත්සවයේ දී, “ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා” යි වේදිකාවේ ගායනා කළ ලෙසින්ම “ඔන්න බොලේ අපි දිනුවා ඔහොයියා” කියමින් ගායනය අවසන් කළේය. ඇල්මෙන් අකුරු ඉගෙනීම ද, ඔන්න බොලේ අපි දිනුවා ඔහොයියා ද මාර්ටින් ජයවර්ධනගේ, ජීවිත ගමන නිශ්චිත දිශාවකටල නිශ්චිත තැනකට යාමට මග පෑදු, ඔහුට වරම් දුන් බලය විය.

ගෞරව සම්මාන තිස් පහක් හිමිකරගෙන සිටින කිරළගහවෙල කවියා සතුව ඇත්තේ කවිකමේ බලයයි.

උපන් රටට, ගමට, ජනකොට්ඨාශයට, දේශීය ව්‍යාපාරයන්ට, දේශයේ ස්වාධීන ආර්ථිකයක මතුවීමට, ජනයා තුළ මනුස්සකම මතුකිරීමට කිරළගහවෙල කවියාගේ සිතේ ඇති වූ බලයයි. ඒ බලය ඔහුට හිටිවන කවි කීමේ ශක්තිය ලබා දුන් සැටි මතකයට ගත යුත්තේ අපේ ගමන් මග පැහැදිලි කරගැනීම පිණිසමයි.

කවියා කලාකරුවෙකි. ඒ කලාකරුවා සතුව ඇති වගකීම දැනගත් ඒ අනුව ක්‍රියා කළ කිරළගහවෙල කවියාගේ නිර්මාණ ඇතැම් විට කඩු තුඩකි. ඇතැම් විට සිනිඳු මල් පෙත්තකි. නිදි කිරන බුද්ධිය අවදි කරවන සීනු හඬකි, මාර්ටින් ජයවර්ධනගේ කවි කම සමඟ එක් වූ දේශානුරාගය දේශයේ ජනතාව කෙරෙහි වන භක්ති ප්‍රණාමය මුසු ආදරය, ඔහුට විවිධ සමාජසේවා සංවිධාන සමඟ එක්වීමට අනුබලයක් වීය. කවිය මහා බලයක් බව සනාථකර තහවුරු කරන්නට ඔහු ගත් උත්සාහය බලවත් අවියක් ලෙස යොදා ගන්නට කාලය පැමිණ ඇත.

ළමයින් සඳහා කතා පොත් මෙන්ම, කෙටිකතා නවකතා, ගීත නාටක ද පරිවර්තන කෘතියක් ද එක්කර ඇති මාර්ටින් ජයවර්ධනගේ හිටිවන කවියට පෙම් බැන්ඳෝ බොහෝ ය. රාජ්‍ය සේවයේ දී මෙන්ම, රාජ්‍ය සේවයේ නියුතුව සිටි බිරිඳ දීයාගහ චන්ද්‍රා විදානපතිරණ කිවිඳිය පිළිබඳව ද දරුවන් සයදෙනා පිළිබඳව ද ඔහු තම වගකීම් ඉටුකළේ සෙනෙහසිනි. අනූපස් වැනි වියට පත්වීම සන්සුන්ව සෙනෙහෙවන්තව බාර ගැනීමට ඔහුට හැකිය. ඒ හැකියාව ඔහුට උරුම කළේ රාජ්‍ය සේවයේ හුන් කල, ඉටු කළ මෙහෙය මෙන්ම, තමනට උපතින් උරුම වූ කවි කමේ වාසනාව ද සිත බැතියෙන් ඉටු කළ යුතු මෙහෙයක් ලෙස ගත් නිසාවෙනි. කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන අතීතය අමතක නොකරන කළ ගුණ දන්නා උතුම් හදවතක් ඇති කවියෙකි.

’‘දහනව වැනි වියේ සිට මා කවි ලීවේ

ඒ කවි සිළුමිණෙයි වැඩිපුර පළ වූවේ

අගයමි ලේක් හවුසිය මට කළ සේවේ

‘සිළුමිණ’ තමා මෙතැනට මා ගෙන ආවේ”

මේ අසූ වැනි විය පිරෙන දා ඔහු සිළුමිණට ලියා පළ වූ කවි පන්තියක එක කවකි.

දෙදහස් විස්සේ ජූලි දහවැනිදා අනූපස් වැනි වියට එළැඹෙන කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳාට නිරෝගී සම්පත ද දිඝායු සම්පත ලැබේවා.

Comments