දකුණු ආසියානු රටවල් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් දියුණු කරන්න | සිළුමිණ

දකුණු ආසියානු රටවල් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් දියුණු කරන්න

ඕස්ට්‍රේලියාවත් - එංගලන්තයත් පාකිස්ථානයට එන්න

-සංගා

දකුණු ආසියානු රටවල් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නිරන්තරයෙන් පහසුකම් සැලසීම සඳහා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව පාකිස්තානයේ සංචාරය කළ යුතුයැයි මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර සංගක්කාර පවසයි.

2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් බස් රථයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් හය දෙනෙකු ඇතුළු පාකිස්තානුවන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් අතර සංගා ද සිටියේය.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී එම්.සී.සී. කණ්ඩායමක් සමඟ සංගා පාකිස්තානයට ආපසු ගිය නමුත් ආසියාවෙන් එපිට අන්තර්ජාතික මට්ටමේ කණ්ඩායම් ආරක්ෂක තත්වය හේතුවෙන් එහි යෑමෙන් වැලකී සිටියහ.

“ආසියානු කණ්ඩායමක් නැත්නම් දෙවැනි පෙළේ සිටින කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් ඇති වැදගත්කමක් නෑ....”

“එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව විතරක් නෙමේ දකුණු අප්‍රිකාව පවා, ආරක්ෂාව සහතික කළ විට එහි සංචාරය කිරීමට මනස සකස් කර ගැනීම වැදගත් යැයි මම හිතනවා. එම්.සී.සී. චාරිකාව ඊට පුරෝගාමි එකක් වනු ඇතැයි ‘ස්කයි ස්පෝර්ස්ට්ස්’ ක්‍රිකට් නාලිකාව සමග කළ වැඩසටහනකදී සංගා පැවසීය. වසර 11 කට ඉහතදී සිදුවූ ලාහෝර් ප්‍රහාරයෙන් පසුව පසුගිය දෙසැම්බර් මාසයේදී කරච්චි නුවරදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගයක් පැවැත්විණ.

පසුව බංග්ලාදේශය ද පෙබරවාරි මාසයේ රාවල්පින්ඩි හිදී ටෙස්ට් තරගයකට සහභාගි විය. කොවිඞ්19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ පැවැත්වීමට තිබූ අවසන් අදියර අත්හිටවනු ලැබුවද බංග්ලාදේශය ඔවුන්ගේ සංචාරය කොටස් තුනකට බෙදා තිබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ විශිෂ්ට පිතිකරුවකු සහ කඩුලු රකින්නකු වු සංගා පවසන්නේ පාකිස්තානයේ දීර්ඝ සංචාරයක නිරත වීම සඳහා තවමත් කල් වැඩි බවයි. තරග පහක ටෙස්ට් තරගාවලියක් සහ එක්දින තරග 5 ක තරගමාලාවක් එක දිගට නුදුරු අනාගතයේ දී පාකිස්තානයේදී පැවැත්වෙනු ඇතැයි කියලා මම හිතන්නේ නෑ.

ඒත් මම හිතන්නේ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කර විවේකයක් ගතයුතු බවයි. ඉන් පසුව නැවත ගොස් තරග තුනක එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීම සුදුසුයි” යැයි සංගා පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ආරාධනාව අනුව, වසර 2023 සිට 2031 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් චක්‍රයේදී ගෝලීය තරගාවලියක් සංවිධානය කිරීමට අයැදුම් කිරීම සඳහා පාකිස්තානය ඉදිරිපත් වී තිබේ.

 

Comments