ගස් පල්ලේ කුණු වන පෝෂණ නිධිය | Page 2 | සිළුමිණ

ගස් පල්ලේ කුණු වන පෝෂණ නිධිය

කොස් සහ කොස් ඇට මානව පරි­ණා­මයේ අනා­දි­මත් කාල­යක සිට මිනි­සුන් ආහා­ර­යට ගත් ආහා­ර­යකි. එක, ගම්වල ජන­තාව කොස් ඇට වෑංජන ලෙසත්, අතු­රු­පස ලෙසත්, ආහා­ර­යට ගැනී­මට පුරු­දුව සිටි­යහ. තම්බපු කොස් ඇට හෝ බැදපු කොස් ඇට, අප දැන් රට කජු කන ආකා­ර­යට කෑමට ගැනීම මේ මෑතක් වන තෙක්ම ගම්වල දකි­න්නට පිළි­වන් විය. කළු පොල් මාළුව අපේ පැරැ­ණියන්ගේ සුප ශාස්ත්‍රයේ අපුරු සොයා­ගැ­නී­මකි.

කොස් ඇට ආහා­රය සඳහා සකස් කර­ගැ­නී­මට වැඩි වේලා­වක් වෙහෙස විය යුතු වන නිසා දැන් බොහෝ දෙනා ඒ සඳහා රුචි නොවෙති. කෙසේ වෙතත් තව පර­ම්ප­රා­ව­කින් හෝ දෙක­කින් ලංකා­වෙන් අභා­ව­යට යෑමට නිය­මි­තව තිබෙන කොස් ඇට පිළි­බඳ යථා­වත් වන නව දැනම අප මවිත කර­වන සුලුය.

කොස් ඇට­වල සිය­යට 60ක් 70ක් විතර ඇත්තේ පිෂ්ටය යි. පිෂ්ටය තර­බා­රුව ඇති කිරී­මට හේතු වන බවත් එය සීනි­ව­ලට සමාන නිසා දිය­වැ­ඩියා රෝග­යට හේතු වන බවත් ප්‍රසිද්ධ කාර­ණා­වන්ය. නමුත් සිය­ලුම පිෂ්ටය එක හා සමාන නොවේ. කොස් ඇට­වල ඇති පිෂ්ට­යෙන් සිය­යට 30ක් පමණ සෑදී ඇත්තේ අප ලබා­ගන්නා සාමාන්‍ය කාබෝ­හ­යි­ඩ්‍රේ­ට්ව­ලට වඩා සෞඛ්‍ය සම්පන්න වන ප්‍රති­රෝධී පිෂ්ට­යෙනි. මේ ප්‍රති­රෝධි පිෂ්ටය යනු පෝෂණ විද්‍යා­වට මෑතක දී එක් වූ පෝෂ්‍ය පදාර්ථ විශේ­ෂ­යකි.

ආහා­ර­මය කෙඳි යනු මොන­වාද?

ආහා­ර­මය කෙඳි යනු අප ලබා­ගන්නා ශාක­මය ආහා­ර­වල තිබෙන තන්තු වර්ග­යන් ය. ඒවා සෑදී ඇත්තේ කාබෝ­හ­යි­ඩ්‍රේ­ට්ව­ලිනි. නූතන පෝෂ­ණ­වේදී පැහැ­දිලි කිරී­ම්ව­ලට අනුව, කෙඳි වර්ග දෙකක් තිබේ. ඒවා නම්, දිය­වෙන කෙඳි, නොඑසේ නම් ද්‍රාව්‍ය කෙඳි සහ දිය නොවන කෙඳි වශ­යෙනි. ද්‍රාව්‍ය තන්තු යනු ජලයේ දිය­වෙන තන්තුය. අප ඒවා අඩංගු ආහාර අනු­භව කරන විට, ඒවා ආහාර මාර්ග පද්ධ­තියේ දී කැඩී බිඳී යයි. එම වර්ගයේ තන්තු­ව­ලට ඔබේ රුධි­රයේ සීනි සහ කොලෙ­ස්ට­රෝල් නියා­ම­නය කළ හැකිය.

දිය නොවන තන්තු එසේ ආහාර මාර්ග පද්ධ­තිය තුළ දී කැඩී බිඳී ජලයේ දිය වෙන්නේ නැත. ඒවා ඔබේ ආහාර මාර්ග පද්ධ­තිය ඔස්සේ ගමන් කරයි. එම දිය නොවන තන්තු ඔබේ ආහාර මාර්ග පද්ධ­තිය ඔස්සේ ගමන් කරන විට ආහාර ජීර්ණ ක්‍රියා­ව­ලිය ප්‍රව­ර්ධ­නය කෙරෙයි. එම තන්තු වර්ග දෙකම බඩ­වැ­ල්වල මනා ක්‍රියා­කා­රි­ත්ව­යට සහ සෞඛ්‍ය සම්පන්න ජීවි­ත­ය­කට අත්‍ය­වශ්‍ය වෙයි.

ද්‍රාව්‍ය හා දිය නොවන තන්තු වැද­ගත් වුවද, ඔබේ ආහාර මාර්ග පද්ධ­තියේ නීරෝ­ගී­භා­ව­යට සහ සමස්ත ශරී­රයේ නිරෝ­ගී­භා­වය සඳහා ඉව­හ­ල්වන වෙනත් පෝෂ්‍ය පදාර්ථ ද තිබේ. ප්‍රති­රෝ­ධක පිෂ්ටය යනු, තව­මත් ලෝකයා ඒ හැටි නොදන්නා තන්තු වර්ග­යකි. විශේ­ෂ­යෙන් ඒවා අඩු දුස්‍රාවී , ඇලෙන සුලු­භා­ව­යෙන් අඩු තන්තු වර්ග­යකි. එම වර්ගයේ තන්තු කුඩා අන්ත්‍රය මඟින් ජීර්ණය කළ නොහැකි අතර, ඒවා ඔබේ ආන්ත්‍ර මාර්ගය ඔස්සේ ගමන් කරන විට සෙමින් ඒක­රාශි වෙමින් සැකසේ.

කොස් ඇට එකී ආහා­ර­මය තන්තු සහ ප්‍රති­රෝධී පිෂ්ට­යෙන් පොහො­සත් ආහා­ර­යකි.

ප්‍රති­රෝ­ධක පිෂ්ටය සහ කොස් ඇට­වල ප්‍රති­ලාභ

කොස් ඇට­වල අඩංගු ප්‍රති­රෝධී පිෂ්ටය සහිත ආහාර ඔබ පරි­භෝ­ජ­නය කරන විට, ඔබේ බඩ­වැල් තුළ වාසය කරන බැක්ටී­රියා මඟින් මහා අන්ත්‍රය තුළ දී එම පිෂ්ටය පැස­වීමේ ක්‍රියා­ව­ලි­යට ලක් කෙරෙයි. ප්‍රති­රෝධී පිෂ්ටය පැස­වන විට, ඒවා කෙටි දාම මේද අම්ල (Short-chain fatty acids) නිප­ද­වයි. එම කෙටි දාම මේද අම්ල මඟින් ඔබේ බඩ­වැලේ රුධිර ප්‍රවා­හය උත්තේ­ජ­නය කිරී­ම­ටත් මහා බඩ­වැලේ පිළිකා ඇති වීමේ අව­දා­නම අඩු කිරී­ම­ටත් ඉව­හල් වන බව සොයා­ගෙන ඇත.

ආහා­ර­මය තන්තු සහ ප්‍රති­රෝ­ධක පිෂ්ටය අපගේ මහා අන්ත්‍රය තුළ දී හිත­කර ක්ෂුද්‍ර­ජීව ක්‍රියා­කා­රි­ත්වය හේතු කොට ගෙන කෙටි දාම මේද අම්ල නිප­ද­වන බව සොයා­ගැ­නීම පෝෂණ විද්‍යාවේ නව පිටු­වකි. එම කෙටි දාම මේද අම්ල පිළි­බඳ පර්යේ­ෂණ කරන විද්‍යා­ඥ­යන් ප්‍රකාශ කරන්නේ ඒවා දිය­වැ­ඩියා රෝගය වැළැ­ක්වීම හා හෘද රෝග වැළැ­ක්වීම, තර­බා­රුව වැළැ­ක්වීම , අක්මාවේ නිසි ක්‍රියා­කා­රි­ත්ව­යට ද ඉව­හල් වන සුවි­ශේෂී පෝෂණ සංඝ­ට­කය බව ය.

කොස් ඇට­වල ද්‍රාව්‍ය සහ අද්‍රාව්‍ය කෙඳි යන වර්ග දෙකම යහ­මින් අඩංගු වේ. පෙර කී ප්‍රති­රෝධී පිෂ්ටය වැඩි ප්‍රමා­ණ­යක් තිබේ. ද්‍රාව්‍ය හා අද්‍රාව්‍ය තන්තු හා සස­ඳන විට ප්‍රති­රෝධී පිෂ්ටය සඳහා අඩු ප්‍රසි­ද්ධ­යක් ලැබී තිබුණ ද, එම කාබෝ­හ­යි­ඩ්‍රේට් වර්ග තුනම ප්‍රීබ­යො­ටික්ස් ලෙස ක්‍රියා කරයි. ඉන් අද­හස් කරන්නේ මෙම පෝෂ්‍ය පදාර්ථ තුනම ඔබේ බඩ­වැල් තුළ වාසය කරන හිත­කර ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම සහ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරන බවය.

ආහාර මාර්ග පද්ධ­තිය තුළ වෙසෙන හිත­කර ක්ෂුද්‍ර­ජී­වීන්, කුඩා බඩ­වැලේ සහ මහා බඩ­වැලේ හිත­කර පැවැත්ම සඳහා පම­ණක් ඉව­හල් වන්නේ නැත. ඔබේ බඩ­වැල් ඔබේ මොළ­යට කෙළින්ම සම්බන්ධ වන්නේ කශේ­රුකා ස්නායුව ඔස්සේ ය. එයින් අද­හස් වන්නේ, ආහා­ර­මය කෙඳි සහ ප්‍රති­රෝධී පිෂ්ටය බහුල සෞඛ්‍ය සම්පන්න ආහාර පරි­භෝ­ජ­නය කිරී­මෙන්, ඔබේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තියේ ක්‍රියා­කා­රි­ත්වය වැඩි දියුණු කිරී­මට මෙන්ම, ශරීර බර පාල­නය කිරී­මට, හද­වත් සහ දිය­වැ­ඩියා රෝග අව­දා­නම අඩු කිරී­මට හා අක්මාවේ විෂ හරණ ක්‍රියා­ව­ලිය දියුණු කිරී­ම­ටත්, මධ්‍යම ස්නායු පද්ධ­තියේ ක්‍රියා­කා­රි­ත්වය යහ­පත් ලෙස පවත්වා ගෙන යෑම­ටත් ඉව­හල් වන බව ය. සර­ලව කිව­හොත්, කොස් ඇට වැනි තන්තු සහ ප්‍රති­රෝධි පිෂ්ට­යෙන් පොහො­සත් ආහාර මොළයේ යහ­පත් ක්‍රියා­කා­රි­ත්වය සඳහා වෙසෙ­සින් ඉව­හල් වන බවය.

කොස් ඇට සම්බ­න්ධ­යෙ­න්වන මෙකී නව පෝෂණ විද්‍යා­ත්මක කාර­ණා­වට අම­ත­රව, මෙහි ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශි­යක් ද තිබේ.

කොස් ඇට ග්‍රෑම් සිය­යක. ප්‍රෝටීන් ග්රෑම් 7ක් පමණ ද, මැග්නී­සි­යම් අපට දව­ස­කට අවශ්‍ය වන ප්‍රමා­ණ­යෙන් සිය­යට 13ක් ද, පොස්ප­රස් සිය­යට 9ක් ද, විට­මින් බී 1 සිය­යට 18ක් ද, විට­මින් බී 6 සිය­යට 10ක් ද, යකඩ සිය­යට 9ක් ද, පොටෑ­සි­යම් සිය­යට 5 ක් ද, තඹ සිය­යට 8ක් ද අඩං­ගුය.

ඊට අම­ත­රව, කොස් ඇට ෆෝලික් අම්ලය, නියැ­සින්, රයි­බො­ෆ්ලෙ­මින් ඇතුළු බී කාණ්ඩයේ සිය­ලුම විට­මින් වර්ග­ව­ලින් පොහො­සත් ආහා­ර­යක් වන අතර, රතු රුධි­රාණු නිෂ්පා­ද­න­යට, මොළයේ යහ­පත් ක්‍රියා­කා­රි­ත්ව­යට, හෘද රෝග වැළැ­ක්වී­මට, පිළිකා වැළැ­ක්වී­මට මෙන්ම ගර්භණී සම­යෙදී ඉතාම වැද­ගත් විට­මි­න­යක් වන විට­මින් බී 6 (පිර­ඩො­ක්සින්) යහ­මින් කොස් ඇට­වල අඩං­ගුය. මෙහි පෝෂණ පැටි­කි­රිය පිළි­බඳ කර ඇති අධ්‍ය­ය­න­ය­න්ව­ලට අනුව, කොස් මදු­ළු­වල තිබෙ­න­වාට වඩා ප්‍රෝටීන, කැල්සි­යම්, මැග්නී­සි­යම්, පොස්ප­රස් වැනි ඛණිජ ලව­ණත්, තය­මින් සහ රිබො­ප්ලෙ­වින් යන බී විට­මින් වර්ගත් කොස් ඇට­වල අඩංගු වේ. මීට අම­ත­රව පිළිකා සහ බෝ නොවන රෝග වළ­ක්වන ප්‍රති­ඔ­ක්ෂ­කා­රක පොලි­ෆී­නෝ­ලික සංඝ­ට­කද යහ­මින් තිබෙන ආහා­ර­යක් බව අව­ධා­ර­ණය කළ යුතු­වය. https://www.livestrong.com/article/546837-nutrition-in-boiled-jackfruit-...

කොස් ඇට­වල පෙර කී ප්‍රති­රෝධි පිෂ්ටය සහ තන්තු, ආහාර මාර්ග පද්ධ­තියේ අපර කොටස තුළ දී ක්ෂ්‍රද්‍ර­ජී­වී­මය පැස­වීමේ ක්‍රියා­ව­ලි­යට ලක් වන නිසා සාමාන්‍ය ප්‍රමා­ණ­යට වඩා වාතය නිප­ද­වෙයි. “කොස් ඇට වැඩි­පුර කෑ විට බඩේ හුළං හැදෙ­නවා” යැයි පෙර සිටි උද­විය කීවේ ඒ නිසාය. එම කාර­ණාව හැර කොස් ඇට ආහා­ර­යට ගැනීමේ වෙනත් අතුරු ආබාධ පිළි­බඳ වාර්තා වී නැත.

කොස් ඇට­වල තතු විත්ති එසේ වුවද, අද කාලේ බොහෝ දෙනෙ­කුට කොස්ඇට සෝයා මීට් තරම් පොෂ් නැත. මස් බෝල තර­න්නම් කොහෙ­ම­ටත් ස්මාර්ට් නැත. කිරි පිටි තරම් ගුණ­යක් ද නැත. ඒ දැන් කාලේ ඇත්තන්ට කොස් ඇට දැනෙන විදි­හය. නග­ර­වල ඇත්තන් කොස් ඇට නොකෑ­වට ගම්වල ඇත්තන් තාමත් කොස්, වැළ වරකා, කොස් ඇට යහ­මින් අනු­භව කර­නවා යැයි ඔබ සිතනු ඇත. එහෙත් අවා­ස­නාව එසේ සිදු නොවී­මය. රට පුරා කොස් ගස් පල්ලේ කොස් ඇට පැළ වෙද්දී, අපේ රටේ ගමේ, ගොඩේ, සිදා­දියේ ඇත්තෝ ජම්බෝ රට කජු, ආමන්ඩ් ඇට පිට රට­ව­ලින් ගෙනැ­විත් කති.

Comments