මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ මහ පෙරහර අවසන්ව ඇත. පසුගිය දින කීපය පුරාම පෙරහරටත් වඩා ප්රමුඛව කතා කළේ පෙරහරේ ගමන් ගත් ටිකිරි නැමැති ඇතින්න ගැනය. ඇය පිළිබඳ මෙරට පමණක් නොව, දැන් විදෙස් පරිසරවේදින්, සත්වවේදීන් ද කතා කරන්නට පටන්ගෙන ඇත.
ටිකිරි ඇතින්න පිළිබඳව මෙවර මහනුවර ඇසළ පෙරහරේ තුන්වන රන්දෝලි පෙරහර ආරම්භ වන විටත් දැන සිටියේ මෙරට ජනතාව අතරින් ඉතා සුළු පිරිසකි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වැහැරුණ ඇතින්නගේ ඡායාරූපයක් හා විසිතුරු ඇඟළුම් පොරවා ඇසළ පෙරහරේ විෂ්ණු දේවාල පෙරහරෙ ගමන් කරවන ඡායාරූපයක් පල වීමත් සමග ඒ පිළිබඳව කථිකාවක් ඇතිවිය.
දම්සිරි කරුණාරත්න |
ඒ සමගම ඊළඟ දිනයේදි ඇතින්නව පෙරහරේ යෑම නතර කරන ලදී. නමුදු දැන් බිම ඇඳ වැටෙයි යැයි බැලූ බැල්මට සිතුණු ඇතින්න කවුරුත් බලා සිටියදි පැත්ත වැටුණේය.
අපි ටිකිරි සොයා මහනුවර විෂ්ණු දේවාලයට ගියෙමු. ඒ වන විටත් විෂ්ණු දේවාලයේ ඇත් ගාලේ බැඳ සිටි ටිකිරි සිටියේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් නොවේ.
එවැනි තත්ත්වයක සිටින ටිකිරි පෙරහරට සම්බන්ධ කිරීමට හිමිකරු තීරණය කළේ ඇයි ද යන්න කාටත් ඇති වූ ප්රශ්නයකි. එල්.එල් තිලකරත්න නම් වූ ටිකිරිගේ හිමිකරුට කතා කළ අවස්ථාවේ ඔහු පැවසුවේ මෙවන් කතාවකි.
‘මම මේ ඇතින්න පෙරහරට එව්වේ සල්ලි හොයන්න නෙවෙයි. සතා දැන් මාස හයක ඉඳලා ලෙඩින් ඉන්නේ. කෑම කෑවත් ඒවා ජීර්ණය වෙන්නේ නැහැ. ඒ නිසා ඇඟ දවසින් දවස කෙට්ටු වුණා. බෙහෙත් කළත් මුල් කාලයේ ඒවා ඇඟට පත්තියම් වුණේ නැහැ. දැඩි මුණ්ඩ දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් බාරයක් වුණා ඇතා ජීවත් වුණොත් මහනුවර පෙරහරේ එක රන්දෝලි පෙරහරකට හරි සම්බන්ධ කරනවා කියලා. දෙවියන්ගේ පිහිටෙන් ඇතින්නට සුව වුණා. මම දෙවියන්ට වුණු පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඕන. ඒක සමාජ මධ්‍යය වලින් මාවත් පෙරහරත් විවේචනය කරන උදවිය දන්නේ නැහැ. මගේ අතේ සල්ලි වියදම් කරලා තමයි කෑගල්ලේ රන්දෙණියේ ඉඳලා ඇතින්න නුවර යැව්වේ. කෑම දිරවන්නේ නැති නිසා සතාව දවසකට කිලෝ මීටර දෙක තුනක් ඇවිද්දවන්න කියලා වෛද්‍යවරු කිව්වා. අපි ඒක හැමදාම කරනවා. පෙරහරේ යනකොටත් කරන්නේ සතා ඇවිදින එකනේ.
දැන් ඇතින්නට වයස 70 ක් පමණ වෙනවා. වයසත් එක්ක ලෙඩකුත් හැදුණ නිසා සතා හොඳට ම දුර්වලා වුණා. දැන් ගොඩක් හොඳයි. අපි පෙරහරට එව්වා කියලා එකපාරටම සතාව පෙරහරට දාන්න බැහැ.පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු සතාව පරීක්ෂා කරලා බලලා පෙරහරේ යවන්න කියලා නිර්දේශයක් දුන්නට පස්සේ තමයි එයාව පෙරහරට සම්බන්ධ කරන්නේ. මම මේ ඇතින්න වෙනුවෙන් මාසෙකට රුපියල් ලක්ෂ එකහමාරක් විතර වියදම් කරනවා. සතා ජීවත් කරවන්න අපි ගන්න මහන්සිය කවුරුත් දන්නේ නැහැ. මේ සත්තුන්ගේ අයිතීන් වෙනුවෙන් කෑගහන අය එක රුපියලක් සත්තු වෙනුවෙන් වැය කරනවද? අපිත් සත්තුන්ට ආදරෙයි.“
ටිකිරි හිමිකරුවන් කිහිප දෙනෙකුගේම අතින් අතට ගිය ඇතින්නියකි. ඇය මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා මාලිගාව මෙන්ම දේවාල ද නියෝජනය කරමින් වසර පනහක් පමණ පෙරහරට සම්බන්ධවූ සතෙකි. ටිකිරි ඇතින්න පෙරහරට සම්බන්ධ කර ගැනීම පිළිබඳව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න මෙසේ ප්‍රකාශ කළේය. “මේ ඇතින්න මුලින් අයිතිව තිබුණේ රත්වත්තේ පවුලටයි. පසුව පිළිමතලාව ආරියසේන මහතා ඇතින්නව මිලට ගෙන තිබෙනවා. මතුගම ජගත් විතාන මහතාටත් කොළොන්නාව සුමංගල හිමියන්ටත් ඇතින්නගේ හිමිකාරත්වය ඉන් පසුව පැවතුණා. අවසානයේ කෑගල්ල රන්දෙණියේ තිලකරත්න මහතාට උගේ අයිතිය පැවරුණා. ටිකිරි ඇතින්න අවුරුදු පහක පමණ වයසේ සිටියදී බලපත්‍ර මත කැලයෙන් අල්ලපු සතෙක් බවට අනුමාන කළ හැකියි. සත්ත්ව හිංසාව වෙනුවෙන් බොරුවට ඩොලර් වලට කෑ ගහන අයට වඩා අපි ඇත්තටම සත්තුන්ට ආදරෙයි. රෝගී අලියෙක් වෙනුවෙන් සත පහක් වියදම් නොකරන අය තමයි මේ හඬ නඟන්නේ. මේ ඇතින්න රෝගි වෙන්න කලින් පින්නවල සෆාරි වලට යොදා ගෙන තිබෙනවා. ඒ කාලෙත් සතා හරිම කෙට්ටුයි. කවුරුත් එදා මේ ඇතින්න ගැන කතා කළේ නැහැ. අලි ඇත්තුත් හරියට මිනිස්සු වගේ තමයි. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අය නැද්ද?. පොඩ්ඩක් කෑවත් ඇඟ මහත් වෙන අය ඉන්නවා නේද? . බෞද්ධ සංස්කෘතිය සමඟ මේ අලි ඇත්තු රජකාලේ ඉඳන් බද්ධ වෙලා හිටියා. ඩොලර් වලට වහ වැටුණු අපේම මිනිස්සු පෙරහරෙන් අලි ඇත්තු අයින් කරන්න සූක්ෂම වැඩ පිළිවෙළක් ගෙනියනවා. මේකත් ඒ වගේ වැඩක්. මහනුවර ඇසළ පෙරහර සමයේ තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. මේ ඇතින්න පෙරහරට ගෙනත් තියෙන්නේ තවත් ජීවත් කර ගැනීමේ අරමුණින් මිසක් මරා ගන්න නොවේ. සමාජ මාධ්‍ය වල විවේචන ඉදිරිපත් කරන්නේ හරියට සතා මරන්න පෙරහරට ගෙනාවා වගේ. ප්‍රංසයේ ගොන් පොර වල මොනතරම් සත්ත්ව හිංසාවක් වෙනවද?
අශ්ව රේස් වලදී සිදුවන හිංසා ගැන කවුද කතා කරන්නේ. මේවා මුළුමනින්ම අපේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න සිදුකරන කුමන්ත්‍රණ විදිහට මම දකින්නේ‘.
ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වත්දී තුන්වන රන්දෝලි පෙරහරට පසුදින ඇය විෂ්ණු දේවාළ භූමියේ වැටී සිටින බවට තොරතුරක් පැතිර ගියේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රතිකාර ලබාදී ඇතින්න නැගිට්ටුවා තිබිණි. “මේ ඇතින්න දැන් හරිම වයසයි. කැලේ හිටියා නම් මෙළහකටත් මැරිලා. ගෙදරක ඉන්න නිසා තමයි මේ විදිහට හරි ජීවත් වෙලා ඉන්නේ. කැලේ ඉන්න අලින්ට ජීවත් වීමට අරගල කරන්න ඕන. කෑම කවුරුත් ගෙනත් දෙන්නේ නැහැ. මොන අමාරු තිබුණත් ඇවිදලා හොයා ගන්න ඕන. සාමාන්‍යයෙන් අලියකුට ජීවිත කාලය තුළ දත් කුට්ටම් පහක් එනවා. එකක් වැටිලා ටික කාලයක් ගියාම අලුතින් දත් එනවා. මේ දත් නැති කාලේදී කෑම කන්න තියෙන හැකියාව අඩුයි. ඒ නිසා සතා කෙට්ටු වෙනවා. අන්තිම දත් කුට්ටම අවුරුදු හැටේදී විතර ඇවිත් වැටිලා ගියාම සතා දුර්වලා වෙලා මැරිලා යනවා. ඒත් හීලෑ අලි ඇත්තු අවුරුදු 80 කට එහා ජීවත් වෙනවා. මොකද කන්න බැරි වුණොත් කවනවා; ලෙඩ වුණොත් බෙහෙත් කරනවා. මේ ටිකිරි ඇතින්න වයසයි. වයසක මිනිස්සු වාඩි වුණාම නැගිටින්නේ හරිම අමාරුවෙන්. ඒ වගේ තමයි අලි ඇතුනුත්. මෙයාට නිදි කරලා ප්‍රතිකාර ලබා දීමෙන් පස්සේ නැගිටගන්න අමාරුයි. පොඩි වාරුවක් දීලා නැගිට්ට ගත්තම සතා කෙලින් ඉන්නවා. සත්ත්ව සුබ සාධනය අත්‍යවශ්‍යය කාරණයක්. වෙන කිසිම සතෙක් ගැන කතා නොකර අලි ඇත්තු ගැන විතරක් කතා කරන එක ඇතුළේ අපේ සංස්කෘතියට ගහනවාද කියන සැකය ඇති වෙනවා. සතුන්ට හිංසාවක් වෙනවා නම් ඒක කොයි සතාටත් එකයි. රජ කාලේ ඉඳලා මේ පෙරහර සංස්කෘතිය අපේ ජාතියට උරුමව පවතින දෙයක්. ඒකේ අලි ඇතුන් ගමන් කළේ අද ඊයේ නොවෙයි. මේ සතා සුව වෙන්න කියලා වුණු බාරයක් ඔප්පු කරන්න කියලා තමයි ගෙනාවේ. අපි පරීක්ෂා කරලා පෙරහරේ යවන්න අවසරය දුන්නා. මිනිස්සු හෝ සතා අවදානමකට ලක් කරලා පෙරහරේ යවන්න අපි කොහොමටවත් සූදානම් නැහැ‘.
ඡායාරූප-රුවන් මීගම්මන