අපෙන් එ‍ෙකක් නොවේද මේ මිනිසා | සිළුමිණ

අපෙන් එ‍ෙකක් නොවේද මේ මිනිසා

 දශක තුනකට ආසන්න යුද ඉතිහාසයක් තුළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරමින් මෙරටට සාමය උදාකර දීමට කැපවූවන් බොහෝමයකි. ඉන් වැඩි ගෞරවයක් හිමිවන්නේ යුද බිමේ සටන් වැදි රණවිරුවන් ය. ඒ අතරින් තම මවුබිම වෙනුවෙන් ජීවිත පූජා කළවුන් විශාල ගණනකි. අතපය ඇස් කන් නාස අහිමිවූවෝ ද ඒ අතර වෙති.‍ සතුරාට මුහුණදුන් මෙන් ම යුද්ධය මෙහෙයවූවන් ද රණවිරුවෝ ය. යුද්ධය නිම කොට සාමය උදා කරවුන් අතර යුද ජයග්‍රහණයට මුවාවී ලකුණු දා ගන්නෝ ද වෙති.

රට ජාතිය වෙනුවෙන් යුද බිමේදී දිවි පිදූවන් අතරින් මේජර් ජනරාල් ජානක පෙරේර‍ාට හිමිවන්නේ සුවිශේෂි වූ ස්ථානයකි. ඒ යුද බිමේ ඔහු නායකත්වය දුන් හැම සටනක් ම ජයග්‍රහණයකින් කෙළවරවීමයි‍. ඔහුගේ උපක්‍රමශීලී හා රණකාමීත්වය හමුවේ කොටි ත්‍රස්තවාදීන් දහස් ගණනක් මියැදුණේ වී‍රෝදාර හමුදා භටයන් ගේ ශක්තිය වඩ වඩාත් පෙන්වමිනි.

1992 වසරේදී වැලිඔය යුද හමුදා කඳවුරට ඇතුළුවී හමුදා සෙබළු ඝාතනය කිරීමේ කොටි නායකයන්ගේ සැලසුම ජෙනරාල් ජානක පෙරේරාගේ උපක්‍රමශීලී සැලසුම ඉදිරියේ ව්‍යාර්ථ වූයේ කොටින් 500 පමණ මරණයට පත් කරමිනි. එදා කොටි නායකයන් වැලිඔය අත්පත් කරගත්තේ නම් වැලිඔය සිටි හමුදාවේ එක්දහස් දෙසීයක් පමණ කොටින්ගේ බිල්ලට හසුවීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

එල්.ටී.ටී.ඊයට එරෙහි ක්‍රියාත්මක කළ ‘හයේ පහර’, ‘අකුණු පහර’, ‘රිවිරැස’, ‘මුහුදු සුළං’ ‘රෝයල් ප්ලෂ්’, ‘ත්‍රිවිධ බලය’, ‘සත්ජය’, තන්ඩර් ස්ට්‍රයික්’ ඇතුළු විශාල මෙහෙයුම් සංඛ්‍යාවකට බළ සේනා හා සේනාංක ආඥාපතිවරයෙකු ලෙස නායකත්වය දුන් ජානක පෙරේරාට යාපනය අර්ධද්වීපය තුළ ක්‍රියාත්මක කළ අකුණු සැර මෙහෙයුම මගින් ද කොටින් 300 ක් මරා එම සිරුරු ද අත්පත්කර ගැනීමට හැකිවිණි.‍

ආරෝහ පරිණාහ උත්තුංග දේහ පෞරුෂයෙන් හෙබි ඔහුගේ තේ‍ජෝ බලපරාක්‍රමය ගැන නොදන්නා රණවිරුවෙක් හෝ කිසිවෙක් ලක් පොළොවේ නැති තරම් වේ.

ආතර් පෙරේරා හා මේටින් දිසානායක යන මවුපියන්ට දාව ඔවුන්ගේ තෙවැනි දරුවා ලෙස මෙලොව එළිය දුටු පුතුට ජනක ලෙසින් නම් තැබුව ද පසුකලෙක ඔහු ප්‍රසිද්ධියට පත්වූයේ ජානක යන නමිනි‍. පානදුර මඩකුඹුර ජන්ම භූමිය කරගත් ඔහු මුලින් ම සිප් සතර හැදෑරුවේ මඩකුඹුර සිරිල් ජෑන්ස් විදුහලෙනි. ඉහළ අධ්‍යාපනය සඳහා කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ඇතුළු වූ ඔහු රග්බි හා මලල ක්‍රීඩාවලට උපන් හපන් අයෙකි.

ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු පීඨයට තේරුණ ද සිසු අරගල හමුවේ සරසවි වසාදැමීමත් සමඟ ඔහුගේ අනාගත සිහිනය බොඳවී ගියේ ඔහු නොසිතූ පරිද්දෙනි.

යුද හමුදාවට ආධුනික කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට සිය පියාගේ විරෝධය මැද අයදුම්පතක් යොමු කළ තරුණ ජානක 1966 දෙසැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ අතර 1968 දෙසැම්බර් 19 වැනිදා එංගලන්තයේ රාජකීය සැන්ඩස් හමුදා විද්‍යා පීඨයෙන් පුහුණුව ලැබ දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරි ලැබුවේ ය.

ඉංජිනේරු දෙපාර්තමේන්තු‍ව යටතේ රාජකාරියට එක්වූ ඔහු 1971 වනවිට ලුතිනන් තනතුරට උසස් වීම් ලද අතර ඔහුගේ මුල්ම රාජකාරිය වූයේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මර්දනය කිරීම ය. ඒ අනුව ඇල්පිටිය ගිය ඔහු ප්‍රදේශයේ ජවිපෙ නායකයා අත්අඩංගුවට ගෙන කැරැල්ල මර්දනය කළේ තරුණ ජවය මොනවට පෙන්වමින් ය.

‘වැලිඔය’ ජනක පෙරේරාගේ නමත් සමඟ ඈඳුණු නමකි. වැලිඔය ගමේ ජනතාව ඔහුට දැක්වූයේ මහත් ආදරයකි. වැලිඔය හා ජානක යන නම් දෙකක් නොව ගසට පොත්තක් මෙන් අදටත් එකට බැඳී ඇත්තේ ඒ නිසා ය. වැලිඔය ප්‍රදේශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස රාජකාරි කළ අවධියේ සිට ම ඔහු වැලිඔයට කළ සේවය තවමත් වැලිඔය ජනතාවගේ සිත් සතන්වල පැල පදියම් වී තිබේ. වැව් හතක් තනමින් වැලිඔය ජනතාවගේ ගෞරවාදරයට පත්වූ හෙතෙම වැලිඔය ජනපදය ගොඩනැඟුණු අවසන් ගම වන ‘ගාමිණීපුර’ විවෘත කිරීමට පැමිණි එවකට මහවැලි ඇමැති ගාමිණී දිසානායක මහතා සමඟින් එහිදී වැලිඔය ජනතාව කරන ලද ඉල්ලීමක් මත ‘ජනකපුර’ ලෙස නම් කෙරිණි. ජනකපුර එදා පටන් අදටත් නොවෙනස්ව පවතින්නේ ජනක පෙරේරා වැලිඔයට කළ උදාර සේවය නිසා වෙනි.

වැලිඔය ජනකපුර කඳවුරු වළල්ල අදත් ස්ථාපිතව තිබෙන්නේ ජානක පෙරේරා නම්වූ රණවිරුවාගේ අප්‍රතිහත ධෛර් නිසා ය. ජනකපුර හමුදා කඳවුරු ජාලය හා අවට ගම්මාන කොටින්ට අත්පත් කරගන්නට ඔහු කිසිදා ඉඩ දුන්නේ නැත. 1995 ජූලි 29 වැනිදා වැලිඔය ජනකපුර හමුදා කඳවුර යන සේනාංක මූලස්ථානයත් අවට සිංහල ගම්මානත් අත්පත් කර ගන්නට ආ කොටි හමුදාවට නොමැකෙන පාඩමක් ඉගැන්වූයේය. එම ප්‍රහාරයෙන් කොටි ත්‍රස්තවාදීන් 500 ක් මරා දැමුණු අතර ඔහුගේ උපක්‍රමශීලී හා සංග්‍රාම ඥානය නිසා ප්‍රහාරයෙන් මිය ගියේ හමුදා සෙබළුන් දෙදෙනකු පමණි. ඊළාම් යුද්ධයේදී දිනාගත් ඉහළම ජයග්‍රහණයක් ලෙස අදටත් යුද ඉතිහාසයේ ලියැවී ඇත.

නැගෙනහිර ජයග්‍රහණ කිහිපයකින් පසු ඔහු යාපනය අර්ධද්වීපයේ මුදාගැනීමේ සටනට නිරත විය. එක් අවස්ථාවකදී අච්චුවේලියේදී කොටි සමඟ ජානක පෙරේරාගේ හමුදා අනුඛණ්ඩයක් අතර දරුණු ගැටුමක් ඇති විය. ඉහළ පෙළේ කොටි නායකයන් ඇතුළු 311 ක් කොටි එම සටනේදී මියගියහ. යුද හමුදාවේ මිය ගියේ 19 ක් පමණි. මෙය ජානක පෙරේරාගේ සංග්‍රාමවල සැලසුම් නිසා මෙම ක්‍රියාන්විතය එසේ නිමා කිරීමට හැකි විය. රිවිරැස මෙහෙයුමට නායකත්වය දෙමින් 1995 දෙසැම්බර් 02 වැනිදා යාපනය නගරය අල්ලා ගත්තේ ද ඔහු අණදුන් 53 වන සේනාංකය විසිනි.

කෙසේ වෙතත් වසරකට අධික කාලයක් තිස්සේ ඔහුගේ සේවය ලබාගෙන කිසිදු මෙහෙයුමකට සම්බන්ධ කර නොගෙන නොසලකා හැර තිබීම නිසා වන්නි ප්‍රදේශයේ හමුදා කඳවුරු බොහොමයකට කොටින්ගේ දරුණු ප්‍රහාර එල්ල වන්නට විය. ඒ වනවිට ජානක පෙරේරා හිටියේ යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස ය. ජානක පෙරේරාගේ අගය වටහාගත් එවකට හමුදාපතිවරයා ‍වහා ඔහු සිය කාර්යාලයට ගෙන්වා ගත්තේ ය. දෙදෙනා අතර ඇතිවූ කෙටි සාකච්ඡාවකින් පසු වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ජානක පෙරේරා පිටත්ව ගියේ වන්නි ප්‍රදේශයේ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන කොටි ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කිරීමේ අදහසින් ය.

ඒ වනවිට වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරාල් නීල් ඩයස් හිටිය ද වන්නි ප්‍රදේශයේ ඉදිරි මෙහෙයුම් සැලසුම් කිරීම මේජර් ජෙනරාල් ජානක පෙරේරා යටතේ සිදු කෙරිණි.

මේජර් ජෙනරාල් ජානක පෙරේරාගේ දැවැන්තම යුද ජයග්‍රහණය වූයේ අතිශය දුෂ්කර අවස්ථාවකදී යාපනය අර්ධද්වීපයට කොටුවී සතුරු ප්‍රහාරයකට ලක්ව හෝ නිරාහාරව මිය යාමට සිටි හමුදා සෙබළුන් 37000 ක් මුදවා ගැනීමට කළ ප්‍රබල මෙහෙයුමයි.

නොනවතින රැල්ල ලෙසින් ප්‍රහාර එල්ල කරමින් අලිමංකඩ හමුදා කඳවුර සහමුලින් ම විනාශ කිරීමෙන් අනතුරුව කොටින්ගේ ඊළඟ අභිප්‍රාය ව‍ූයේ යාපනය අර්ධද්වීපයේ ස්ථානගත සිටි මෙම සෙබළුන් විනාශ කිරීමයි. ඔවුනට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ගොඩබිම් මාර්ග ද ඒ වනවිට හමුදාවට අහිමි වී තිබිණි. මුහුදු මාර්ග ඔස්සේ ද අර්ධද්වීපයට පිවිසීම අවදානම් වූ නිසා යාපනය අර්ධද්වීපය ද නිසැකවම කොටින් අතට පත්වනු ඇතැයි ද එහි සිටින සොල්දාදුවන් මරා දමනු ඇතැයි ද කවුරුත් සිතූහ.

ඒ වනවිට ජානක පෙරේරා හිටියේ හමුදා මූලස්ථානයේ ය.‍ වහා ක්‍රියාත්මක වන පරිදි ඒකාබද්ධ මෙහෙයුම් නිලධාරියා ලෙස පත් කැරුණු ජානක පෙරේරා යාපනය ආඥාපතිවරයා ලෙස ගිය මේජර් ජෙනරාල් සරත් ‍ෙෆාන්සේකා සමඟ එක්ව දියත් කළ මෙහෙයුමේදී කොටි ත්‍රස්තවාදීන් මුහමලේට පළවා හැරියේ සෙබළු 37,000 දෙනාගේ ජීවිත ද බේරා ගනිමිනි.

මෙවන් වීරෝධාර මෙහෙයුම් රැසක් දියත් කළ අභීත රණවිරුවා පසු කලෙක හමුදාවේ මාණ්ඩලික නිලධාරියා ලෙස පත් කළ ද හමුදාපති ධූරය පෙනි පෙනී ඔහුට විශ්‍රාම යාමට සිදුවිණි. ඒ 2001 වසරේදීය.

හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ඔහු ඕස්ට්‍රේලියාව මහ කොමසාරිස් ලෙස පත් කෙරිණි. ඉන් අනතුරුව ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙස ද කටයුතු කළ හෙතෙම 2007 දී විදේශ තානාපති සේවයෙන් සමු ගත්තේ ය. එවකට රටේ තිබුණේ මැතිවරණ කාලයදී ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා පක්ෂ කිහිපයකින් ඔහුට ආරාධනා ලැබුණ ද ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට තමා ආදරය කළ උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස තරග වැදුණේ කිසිවකු නොසිතූ විලසිනි.

විනාශ මුඛයට පත්ව තිබ‍ූ උතුරු මැද පළාත පෙර රජ දවස මෙන් සෞභාග්‍යමත් කිරීම අරමුණ කරගත් ඔහු හෘද සාක්ෂියට අනුව ඍජු ගුණය හා අව්‍යාජ ගතිපැවතුම් සහිතව එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු අතර වාර්තාගත මනාප සංඛ්‍යාවක් ගත්ත ද පක්ෂය පරාජය වීම නිසා ඔහුගේ අරමුණ ඉදිරියට ගෙන යාමට නොහැකි විණ. ඒත් ඔහුට උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර ලැබිණ.

අනුරාධපුර නගරයේ පැරණි බස්නැවතුම්පොළට නුදුරු ධර්මපාල මාවතේ පළමු පටුමගේ නිවෙසක උතුරුමැද පළාත් සභාවේ විපක්ෂනායක කාර්යාලය විවෘත කිරීම සිදුවූයේ ඔහුගේ මූලිකත්වයෙනි. ඒ 2008 ඔක්තෝබර් 6 වැනිදා උදෑසනය.

එදින උදේ 6.42 ට යෙදුණු නැකතට කාර්යාලයට ගොඩවැදුණු ඔහු 6.52 ට කිරි ඉතිරීමට එක්විය. මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද සිය රාජකාරි ආරම්භ කොට මහා සංඝරත්නයට හීල් දානය ද පිරිනැමුණේ ජානක පෙරේරා මහතාගේ සුරතිනි.‍ ඒ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

උත්සව සභාවේ කටයුතු ද ආරම්භ කිරීමෙන් පසු කතාවක් ද පැවැත්වූ හෙතෙම ඉන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයට ද එක්වීමට සෙසු අයට ද ආරාධනා කිරීමත් සමඟ පුපුරා ගිය මරාගෙන මැරෙන කොටි බෝම්බයෙන් සිය ජීවිතය අහිමිකර ගත්තේ තවත් 23 දෙනෙකු ද සමඟිනි. ඒ අතර ජානක පෙරේරා මහතාගේ බිරිය ද සිටියාය.

කීර්ති මෙන්ඩිස් 

Comments