විදුදය සම්මානලාභී කෘති ගැන සම්මානලාභියෝ මෙසේ කියති | සිළුමිණ

විදුදය සම්මානලාභී කෘති ගැන සම්මානලාභියෝ මෙසේ කියති

පොත් හැදෙන්නේ ගස්වලිනි. බිනර කියන්නේ එකි සාහිත්‍ය වෘක්ෂයේ මල් පිපෙන මාසයට ය. ඒ පිපෙන මල්වල සුවඳ, පාට, හැඩය නෙක වර්ණයන්ගෙන් පොහොසත් ය. සමනලයෙක් මල් පැණි බී පෝෂණය වන්නා සේම, සාහිත්‍ය වෘක්ෂයේ පිපෙන මල්වලින් අපේ හද මනස පෝෂණය කරයි.

එවන් ගුණ සුවඳ විහිදෙන කෘති ඇගයීමට ලක් කරමින් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාවේදී මහත් හරසරින් ඉකුත් පළමු වැනිදා සන්ධ්‍යාවේ පැවැත්විණි. මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයයි. මෙරට විශ්වවිද්‍යාලයක් මඟින් සාහිත්‍යවේදීන් අගයන එකම සාහිත්‍ය සම්මානය මෙය වන අතර මෙවර එය පැවතියේ 14 වැනි වරටය.

- විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ආරම්භ වූයේ 2000 දී
- විද්‍යෝදය සම්මාන උලෙළ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්පයක්
- නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමයි. (ලේක්හවුස්)
- ශ්‍රී ලංකාවේ සරසවියක් මඟින් පවත්වනු ලබන එකම සාහිත්‍ය සම්මාන උලෙළ මෙයයි
- විදුදය සරසවියත්, ලේක්හවුස් ආයතනයත් සාහිත්‍යෝදය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක යෙදුණු බව ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් උලෙළ අමතා කියයි

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය

‘වර්ණ : සන්නිවේදනය හා සංඥාර්ථ’ 
- ආචාර්ය ඩබ්ලිව්. රංජිත් ධර්මතිලක

ඩබ්. ධර්මදාස සහ කේ. බී. විමලාවතීට දාව රංජිත් ධර්මතිලක 1967 ජූනි 02 වැනිදා බදුල්ල, කෝට්ටගොඩ ග්‍රාමයේදී උපත ලැබීය. පස් දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා වූ රංජිත් මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ බදුල්ල කඳන සිරි සීවලි මහා විද්‍යාලයටය. අනතුරුව බදුල්ල රාහුල මහා විද්‍යාලයෙන් හා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව ලලිත කලාවේදී උපාධිය ලබා ගත් හෙතෙම කොළඹ ජේ. වෝල්ටර් තොම්සන් වෙළෙඳ ප්‍රචාරක ආයතනයේ (1996 - 2003) සේවය ක‍ළේය. අනතුරුව 2003 වසරේදී සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙත් 2006 වසරේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙත් කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. 2008 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති පශ්චාත් උපාධිය ලබාගත් හෙතෙම 2015 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ දර්ශන විශාරද පශ්චාත් උපාධිය ලබා ගත්තේය. එම ආචාර්ය උපාධිය සඳහා කළ පර්යේෂණ ග්‍රන්ථය වූයේ ‘වර්ණ : සන්නිවේදනය හා සංඥාර්ථයේ’ නම් ශාස්ත්‍රීය වියමනය. හෙතෙම විවාහ වී සිටින්නේ රසිකා ශිරන්ති වෙදගෙදර සමඟය. ඇය වෘත්තියෙන් නර්තන ගුරුවරියකි.

මෙම කෘතිය පිළිබඳ අදහස් පළ කරමින් හෙතෙම පවසා සිටියේ “වර්ණ මිනිසුන්ගේ භෞතික අවශ්‍යතා හා ආධ්‍යාත්මික අවශ්‍යතා පූර්ණය කරන බවත්; මෙම වර්ණ පිළිබඳව නූතනයේ කථිකාවකට ලක් වන්නේ බටහිර අධ්‍යයනයන් මඟින් මිස පෙරදිග අධ්‍යයනයන් තුළින් නොවන බවයි. වර්ණ පිළිබඳ පෙරදිග භාවිතය දෘශ්‍ය මාධ්‍යයෙන් දැක ගැනීමට ඇතත් ඒ පිළිබඳ ලියවුණු ශාස්ත්‍රීය කෘති හා පර්යේෂණ දක්නට නොමැති තරම්ය. මෙවැනි විෂයක් පිළිබඳ විශේෂ පර්යේෂණයක් සිදු කිරීමට හේතු වූයේ ; වර්ණ පරාසය ගැන බටහිර මෙන්ම පෙරදිග දැනුම පිළිබඳ අවබෝධය හා උනන්දුව මිනිසුන් තුළ ඇති කිරීමටයි. ඒ තුළ විවිධ සමාජීය, සංස්කෘතික මෙන්ම විවිධ විෂය කාරණා යටතේ අනන්‍යතාවක් හා විශ්වීය බැඳීමක් ඇති බව පෙන්නුම් කිරීම සඳහාය. වර්ණ පිළිබඳ ධනාත්මක හා ඍණාත්මක සන්නිවේදනාර්ථ සහ සංඥාර්ථ හඳුනාගැනීමේ වටිනාකම කොතරම් වැදගත්ද යන්න සොයා බැලීමද මෙහිදී සලකා බැලිණි. එය භෞතික මෙන්ම අාධ්‍යාත්මික වශයෙන් අපගේ ජීවිතයට හා අවබෝධයට කොතරම් වැදගත්ද යන්න මිනිසුන් තුළ කුතුහලය දනවන්නකි. මෙම පර්යේෂණ ග්‍රන්ථය සඳහා ගත වූ කාලය වසර හයක් බව හෙතෙම අවධාරණය කරයි.

වසරේ විශිෂ්ටතම නවකතාව
- ‘ගිරිජා’ මනෝහරී ජයලත්

ප්‍රසිද්ධ නොතාරිස්වරයකු මෙන්ම උඩරට වෙස් නැට්ටුවෙකු වූ චිත්‍රසෝම ජයලත් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරියක වූ ලීලා ධර්මරත්නට දාව මනෝහරී ජයලත් සුන්දර කඳුකර නගරයක් වූ නාවලපිටිය නගරයේදී උපත ලැබුවාය. ගැහැනු ළමයි හතර දෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූ ඇය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමු වූයේ නාවලපිටිය කනිෂ්ඨ බාලිකා විද්‍යාලයටය. පහ වසර ශිෂ්‍යත්වය සමත් ව මහනුවර මහමායා බාලිකාවට ඇතුළත් වූ ඕ පාසැල් වියේදී වැඩිම දක්ෂතා දැක්වූයේ සාහිත්‍ය කටයුතු සඳහාය. 1986 දී උසස් පෙළ හොඳම ප්‍රතිඵල ලබාගන්නා ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වී ඉන් පිට වූයේ ගෞරව උපාධියක් සහිතවය. 1993 දී වෘත්තීය ජීවිතයට යොමු වන ඇය නාවලපිටිය, ගම්පොළ සහ හැටන් ප්‍රදේශවල කටයුතු කළ අතර වසර 30 ක කාලයක් ප්‍රසිද්ධ නොතාරිස්වරියක වශයෙන් කටයුතු කළාය. එසේම වැඩබලන විනිසුරුවරියක ලෙස කටයුතු කළ ඈ විවාහ වූයේ විශ්වවිද්‍යාලයේදි ඇති වූ ප්‍රේම සම්බන්ධයකිනි. ඔහු ලක්ෂමන් සෙනරත්ය. විවාහයෙන් ඇයට පුතෙකු හා දියණියක සිටිති.

ඇය පවසන ආකාරයට ඇය පාසල් සමයෙන් පසු නැවත ලිවීමට පෙළඹෙන්නේ 2020 දී වෘත්තීය කටයුතුවලින් දීර්ඝ නිවාඩුවක් හිමිවීමත් සමඟය. “මුලින්ම මම ‘මැට්ටි’ ලිවුවා. ඊට 2021 වර්ෂයේ හොඳම යොවුන් කෘතිය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා. ‘මැට්ටි’ ලියන අතරතුර මම ‘සංසක්කාරී’ ලිවුවා. ඒක නවතමින් ලියන්න පුළුවන් කතාවක් නෙමෙයි. ඒ නිසා වේගයෙන් ලිවුවා. විදර්ශන ප්‍රකාශනයක් වුණු ‘සංසක්කාරී’ 2021 වර්ෂයේ ගොඩගේ සම්මාන උ‍ෙලළේදී ප්‍රශස්තම නවක දායකත්ව වෙනුවෙන් සම්මාන ලැබුවා. මේ වන විට ‘නැනී’ සහ ‘ගිරිජා’වෙනත් සම්මාන සඳහා ද නිර්දේශ ලබා තියෙනවා. ඒ වගේම මේ වසරේ විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුණු ‘කඩදොර’මගේ අලුත්ම නවකතාවයි.

ගිරිජා ලියන්න මට මුලින්ම හිතුණේ එකගෙයි කෑම කියන කුලසිරිත ගැන සමාජ විවරණයක් දෙන්න. අද සමාජය ඒ කුල සිරිත විවේචනය කරන ඝෘණාත්මක ආකල්පයට එකඟ වෙන්න බැරි තරම් ශක්තියක් ඒ බැඳීම් තුළ මම දැක්කා. උඩරට පැරැන්නන්ගෙන් ඒ අත්දැකීම් මම ලබලා තියෙන නිසා ඉතිහාසයේ කුල සිරිත් පිළිබඳ ආකල්ප අද සමාජයේ පිරිසිදු ස්ථානයක තියෙනවා දකින්න මට අවශ්‍ය වුණා. මම පොත ලියද්දි මුලින් සටහනක්, පටුනක් හෝ රාමුවක් හදාගන්නෑ. මම ආරම්භ කරනවා. සමහරවිට මම කොහෙත්ම නොසිතූ තැනකින් අවසාන වෙනවා. පොත් තුනම ලිවුවේ එහෙමයි.

වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය

‘ටොම්සන් මහත්තයා 1-2’
- බන්දුල පී. දයාරත්න

විදුහල්පතිවරයෙක් වූ කේ.ඒ.පී. දයාරත්න සහ ජී.ඒ.ආර් ප්‍රේමලතා දෙපළට දාව 1954 පෙබරවාරි මස 28 වැනිදා බන්දුල පී. දයාරත්න බිබිල රෝහලේදී මෙලොව එළිය දුටුවේය. බිබිල නාගල විද්‍යාලයෙන් මුලකුරු කියැවූ බන්දුල වයස අවුරුදු 16 යනතුරුම වාසය කළේ ඌව පළාතේය. අවසන කෑගල්ල බෝයගම මහ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට පෙනී සිටි බන්දුල අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වාණිජ විශේෂ උපාධිය සඳහා පෙනී සිටියේය. අධ්‍යාපන විෂය ධාරාව වාණිජ වුවද හෙතෙම අභ්‍යාස කළේ ලේඛන කලාවය. බන්දුල වයස අවුරුදු 19ක තරුණයෙක්ව සිටිය දී 1973 වසරේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලැබූ සමස්ත ලංකා කෙටිකතා තරගයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමත් සමඟ හේ ලේඛකයෙකු ලෙස නැඟී ආවේය. එතැන් සිට ලේඛන කලාවට යොමු වූ බන්දුල 1975දී ‘එරබදු මල්’සහ 1976 දී ‘රැයකට පෙර’නවකතාව රචනා කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටියදීය. අනතුරුව 1977දී ධර්මපාල වෙත්තසිංහ සිළුමිණ පුවත්පතේ කර්තෘත්වය දරන සමයේ ‘හිතක පුපුරු’නමින් නවකතාවක් කොටස් වශයෙන් රචනා කළේය. වාණිජ ගුරුවරයකු වශයෙන් කලක් කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවයේ නිරතව සිටි හෙතෙම ඉන් ඉවත්ව ජාතික අධ්‍යාපන ආයතනයේ සේවයට බැඳුණේය. එතැන් සිට සන්නිවේදන විෂය ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් දැක්වූ හෙතෙම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය ධාරාවට එතෙක් නොවූ ජනසන්නිවේදන විෂය හඳුන්වා දීමට පුරෝගාමී විය. අනතුරුව පූර්ණකාලීනව ලේඛන කලාවට යොමු වූ හෙතෙම මේවන විට ශාස්ත්‍රීය හා සාහිත්‍ය කෘති 30කට ආසන්න ප්‍රමාණයක් රචනා කර ඇත. ඔහු මේවනවිට රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මානය ආදී සම්මාන රැසකටද හිමිකම් කියන්නේය.

බන්දුල පී. දයාරත්නයන් විසින් රචනා කළ තීරු ලිපි සංග්‍රහය වූ‘ටොම්සන් මහත්තයා’2012 වසරේ සිට 2018 දක්වා අඛණ්ඩව වසර හයක් දිනමිණ පුවත්පතේ ‘බද්දර මල්ල’නමින් පළ වූ තීරුලිපි අතිරේකයේ පළ වූ රචනා විය. එහිදී පළ වූ මුල් තීරු ලිපි 50 බැගින් ඇතුළත් කර පළ වූ තීරු ලිපි 100 ක මුල් කෘති දෙක සඳහා මෙම සම්මානය හිමිව තිබේ. මෙම තීරු ලිපි රචනා වූ පසුබිම පිළිබඳව හෙතෙම අදහස් පළ කරමින් පවසා සිටියේ “බොහෝ තීරු ලිපි රචනා වන්නේ තත්කාලීන දේශපාලන කාරණා මුල්කරගෙනයි. එහිදී කිසියම් සිද්ධියක් මුල් කරගනිමින් ඇතැම් දේශපාලනඥයින් ගේ නම්ගම් විකෘති කර උපහාසාත්ම ලෙස ගර්හාවට ලක් කිරීමයි සිදුවන්නේ. නමුත් මට අවශ්‍ය වුණා, ඒ ආකෘතියෙන් මිදෙන්න. ඒ සඳහා සාමාන්‍ය ජන සමාජයට පොදු අවස්ථා හා සිද්ධි මූලික කර ගනිමින් ඒ පිළිබඳව සාකච්ඡා කරන වේදිකාවක් ලෙස මේ තීරු ලිපි මාලාව රචනා කළා. එහිදී ටොම්සන් මහත්තයා නමින් වෙනම චරිතයක් හඳුන්වා දෙන්න මම කටයුතු කළා.

වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය

‘අන්ධයා සහ සුරුට්ටු න්‍යාය’ 
- විරාජිනී තෙන්නකෝන්

විරාජිනී තෙන්නකෝන් වෑතර කනිෂ්ඨ විද්‍යාලයෙන් මුලකුරු කියැවූවාය. ඈ පසුව පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි කනිෂ්ඨ විද්‍යාලට ඇතුළත්ව ශිෂ්‍යත්වය සමත්වීමෙන් පසු කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වූවාය. උසස් පෙළ කලා විෂයන් හැදෑරූ ඇය කොළඹ නීතී පීඨයෙන් නීතිවේදිනියක ලෙස උපාධිය හිමි කරගත්තාය. අනතුරුව කොළඹ නීති විද්‍යාලයෙන් පිටව නීතිඥවරියක ලෙස දිවුරුම් දුන් ඇය මේ වන විට නීතිඥවරියක ලෙස කටයුතු කරන්නීය. ඇගේ පළමු සාහිත්‍ය කෘතිය වන්නේ 2016 වසරේ ලියැවුණු ‘අචිචාරු සහ තවත් කතා’ නම් කෙටි කතා පොතය. එම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසාන වටයට එය තේරී තිබුණි. පසුව 2019 වසරේ ඇය අතින් ලියැවුණු ‘මකරානන්දය’ නවකතාව 2020 වසරේ හොඳම නව කතාව ලෙස රාජ්‍ය සම්මානය සහ විද්‍යෝදය සම්මාන යන සම්මාන ද්විත්වයටම හිමිකම් කියන්නීය.

“මා නිර්මාණකරණයේ යෙදෙන්නේ තරමක් කල් අරගෙන. හෙමින් සහ කිසිදු හදිස්සියකින් තොරව. එය මම හිතන්නේ මට මගේ නිර්මාණය වෙනුවෙන් කළ හැකි හොඳම සාධාරණයය. මා තුළ යම් වස්තු බීජයක් මුල් අල්ලා ගත් විගස මා එයට නිදහසේ වැඩෙන්නට ඉඩ ලබා දෙනවා. එය වැඩෙන තුරු මම එයට කරදර කරන්නේ නෑ. එය ස්වාධීනව වැඩිය යුතුයි කියන තැන මම ඉන්නවා. ඒ අතර මම ඒ සඳහා අවශ්‍ය බාහිර සාධක සපයනවා. අතීත සිදුවීම් තොරතුරු පර්යේෂණයන්ගෙන් සොයා ගත යුතු දේ මම එයට නොපැකිළව ලබා දෙනවා. යම් අවස්ථාවක මට දැනෙනවා මම දැන් ලියන්න සූදානම් කියලා. ඔන්න එතකොට මම ලියන්න ඉඳගන්නවා. ඒ හැඟීම දැනෙන තුරු මම වචනයක් වත් ලියන්නේ නෑ. මට නිර්මාණයේ යෙදෙන්න නිශ්චිත වෙලාවක් නිශ්චිත තැනක් නෑ. ඕනෑම කලබලකාරී වටපිටාවක මට ලියන්න පුළුවන්. අවශ්‍ය වන්නේ නිර්මාණාවේශය පමණයි. මම විශාල වශයෙන් දෙස් විදෙස් නිර්මාණ කියවන්නියක්. මේ දූපතට එපිටින් ඉන්න මිනිස්සුන්ගේ උද්වේගකර හැඟීම් සහ සාරවත් ලියවිලි ඒ හරහා මම විඳිනවා. ඉතින් ඒවා මගේ නිර්මාණවලට හොඳ පෝෂණයක් සපයනවා. කියවන්නේ නැතිව ලියන්න බැහැ කියන කාරණයේ මම තදින් එල්බ සිටිනවා.

‘අන්ධයා සහ සුරුට්ටු න්‍යාය’ එළි දැක්වෙන්නේ 2022 වසරේදී. මගේ පළමු කෙටිකතා පොතෙන් පසු වසර හයක කාලයක් මම කල් මරණවා, දෙවන කෙටි කතා පොතට. ඒ මගේ ලිවීමේ රටාව. කෙටි කතා ලිවීම පහසු නෑ. ඒ වගේම කෙටි කතා ලිවීම මට දැනෙන්නේ ශූර දාන් අදින්නෙකු හෝ ශූර චෙස් ක්‍රීඩකයෙකු සමඟ කරන තරගයකදී මනස වෙහෙසවා ජය ගතයුතු ක්‍රියාවක් ලෙසයි. කෙටි කතා රචනය එතරම්ම ගැඹුරු මෙන් ම එතරම්ම සියුම් නිර්මාණ ශානරයක්. එය කුඩා එහෙත් ගැඹුරු නළ ළිඳක් වගේ. එහි පතුලෙහි ඇති සිසිලස පාඨකයාට ලබා දීමට ලේඛකයා වෙහෙසක් දැරිය යුතුයි. මගේ අලුත් ම නවකතාව ‘කැමෙලියා’ මේ සාහිත්‍ය මාසයේදී මගේ පාඨකයන් වෙත ගෙන එනවා” යැයි ඇය පවසන්නීය.

වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය

‘හැඟුම් ගඟෙහි හැංගිලා’ 
- ලක්ශාන්ත අතුකෝරල

ලක්ශාන්ත අතුකෝරල ලංකා ගමනාගමන මණ්ඩලයේ ෆෝමන්වරයෙකු ලෙස සේවය කළ ඩග්ලස් අතුකෝරල හා සුමනලතා ගම්ලත්ට දාව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අයත් වෙදගමදී මෙලොව එළිය දුටුවේය. පවුලේ වැඩිමහල් දරුවා වූ ඔහුට එක් සොහොයුරෙකු සහ සොහොයුරියක සිටිති. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මුල සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරීමට යොමු විය. අනතුරුව නීති උපාධිය හිමිකරගත් ලක්ශාන්ත 2004 වසරේ දී නීතිඥවරයෙකු ලෙස දිව්රුම් දුන්නේ ය. නීතිය පිළිබඳ විශේෂ උපාධිය සහ පශ්චාත් උපාධියත් හිම­ිකරගෙන ඇති හෙතෙම මේවනවිට ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටියි. නිරන්තරයෙන් සාහිත්‍යයට ඇලුම් කළ ලක්ශාන්ත විසින් රචනා කළ ‘අමාවකේ සඳක් සිඹිමි’, ‘යටි වියන’ සහ ‘සමහර කමටහන්’ කාව්‍ය කෘතීන් සඳහා ගොඩගේ සම්මාන සහ රාජ්‍ය සම්මාන හිමි විය. ඉන්දීය ලේඛිකා කමලා දාස් (1934 - 2009) විසින් ඉංග්‍රීසි බසින් රචිත කවි හතළිහක් ‘සිපුම් සීරුම් කෙනිත්තුම්’ නමින් සිංහලයට නැඟි කාව්‍ය කෘතිය සඳහා 2020 වසරේ ගොඩගේ සම්මාන, රාජ්‍ය සම්මාන සහ රජත පුස්තක සම්මාන ආදියෙන් පිදුම් ලැබීය. මේ වන විට කාව්‍ය කෘති හා පරිවර්තන කෘති කිහිපයක් පළ කර ඇති ලක්ෂාන්ත ‘හැඟුම් ග‍ෙඟහි හැංගිලා ' කාව්‍ය කෘතිය පිළිබඳ සිළුමිණට මෙලෙස අදහස් පළ කළේය. “මිනිස් හැඟීම්වල ගුප්ත සහ අපැහැදිලි ස්වභාව විමසමින් ඇතැම් විට අප සිත්වල හට ගන්නා පැහැදිලි කරගත නොහැකි හැඟීම් තේමා කර ගනිමින් විවිධ හැඟුම් ස්වභාව කාව්‍යමය අයුරකින් ඉදිරිපත් කිරීමට මම කළ උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ‘හැඟුම් ග‍ෙඟහි හැංගිලා ' කාව්‍ය කෘතිය මා අතින් රචනා වුණේ. මේ කාව්‍ය එකී අනුභූතියට අනුව විටින් විට රචනා වූ ඒවා බව” හෙතෙම පැහැදිලි කළේය.

Comments