මහනුවර ඇසළ පෙරහරට පසුවදනක් | සිළුමිණ

මහනුවර ඇසළ පෙරහරට පසුවදනක්

කන්ද උඩරට අසිරිමත් සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැලකෙන ඇසළ පෙරහර මෙවරද මහත් උත්කර්ෂවත් ලෙසින් පැවැත්වුණි. 2019 වසරේ පාස්කු ප්‍රහාරය නිසා දළදා පෙරහර නැරැඹීමේ ජන සහභාගිත්වය යම් ආකාරයක අඩුවක් පෙන්නුම් කළ නමුත් පෙරහරේ ගාම්භීරත්වය කිසිදු ලෙසකින් අඩු මට්ටමක නොතිබුණි. එමෙන්ම 2020, 2021 හා 2022 වසරවල කොවිඩ් වසංගතය පෙරහරට කළ බලපෑම සුළුපටු නොවේ. විශේෂයෙන්ම 2020 වසරේ නාමික පෙරහරක් ලෙස දළදා පෙරහර පවත්වන්නට සිදුවූයේ පෙරහර අඛණ්ඩව පැවැත්වීමේ චාරිත්‍රය රැක ගැනීම උදෙසාය.

මෙවර දළදා පෙරහර පවත්වන්නට දින ගණනාවක්ම දිවා රැ නොබලා කටයුතු කරන ලද මහනුවර දළදා මැදුරේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු සියලු නිලධාරීන් හා අනෙක් රාජ්‍ය ආයතනවල නිලධාරීන් විසින් සිදු කළ සේවය විශේෂයෙන්ම ඇගැයීමට ලක් කළ යුතුය.

පෙරහර නරඹන්නට බොහෝ පිරිසක් පැමිණෙන්නේ පොදු ප්‍රවාහන සේවාව භාවිත කරමිනි. එයින්ද බස් රථ සේවාව විශේෂය. අප මේ සටහන ආරම්භ කරන්නේ පෙරහර නරඹන්නට වැඩි ජනතාවක් ප්‍රවාහනය කළ ශ්‍රී ලංගම සභාපතිවරයාගෙනි.

ශ්‍රී ලංගම සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් පවසන්නේ දළදා පෙරහර වෙනුවෙන් උපරිම සේවාවක් සලසන්නට මධ්‍යම ප්‍රදේශයේ සියලු ඩිපෝ උපරිමයෙන් කටයුතු කළ බවයි. විශේෂයෙන්ම රාත්‍රී පෙරහර අවසන් වීමෙන් පසුව ආපසු නිවෙස් බලා යන ජනතාවට අවශ්‍ය ගමන් පහසුව සැලසීම වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කළ බවද ඔහු පෙන්වා දෙයි. වෙනත් කාලවලට ලැබෙන ආදායම මෙන් 38%ක අතිරික්ත ආදායමක් ලැබුණු බව ඔහු පැවසුවේය. මෙහිදී දිවා කාලයේද බස් රථ සේවා පවත්වා රාත්‍රී සේවා පවත්වා ගෙන යන්නට ලංගමට සිදුව ඇති අතර සේවකයන්ට අසීරුවක් ඇති නොවන ලෙසින් ඔවුන්ටද විවේක ලබා දීමේ කාර්යය වෙනුවෙන් කටයුතු කර තිබේ. එහිදී විශේෂයෙන්ම මහනුවර නාගරික ලංගම ඩිපෝ වන මහනුවර උතුර හා මහනුවර දකුණ ඩිපෝ මෙන්ම, යටිනුවර, ගම්පොළ, තෙල්දෙණිය, මාවනැල්ල, මාතලේ, වත්තේගම ලංගම ඩිපෝ විශේෂ සේවා රැසක් පවත්වා ගෙන ගොස් ඇත.

ඊට අමතරව නාවලපිටිය, හැටන්, උඩුදුම්බර, වලපනේ ඇතුළු සෙසු ඩිපෝ මඟින්ද විශේෂ සේවා පවත්වා ගෙන ගොස් ඇත.

පෙරහර නරඹන්නට පැමිණි දුම්රිය මඟීන් වෙනුවෙන් කොළඹ සිට විශේෂ දුම්රියක් පෙරවරු 9.50 ට ධාවනය කරන්නට කටයුතු කළ බවත් පෙරහර නිමවීමෙන් පසු එය රාත්‍රී 12.00 ට යළිත් කොළඹ බලා ධාවනයට කටයුතු කළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ සිළුමිණට කීය.

මීට අතිරේකව මාතලේ හා නාවලපිටිය සිටද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කළ බවත් දෙපාර්තමේන්තුවට හැකි උපරිම අයුරින් සේවාව සැලසීම කළ බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේය. මෙවර පෙරහර දුම්රිය සේවා සම්බන්ධයෙන් සුබවාදී ජනතා ප්‍රතිචාර ලැබුණු බව පැවසූ සාමාන්‍යාධිකාරිවරයා මඟීන්ට අඩු මුදලකට පෙරහර නැරඹීමට පැමිණීමට හැකි වූ බවද පෙන්වා දුන්නේය. විශේෂ දුම්රිය සේවාවන් ප්‍රමාදයකින් තොරව ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව බලාපොරොත්තු වන ප්‍රධාන කරුණ වන්නේ ආරක්ෂාකාරීව සුවපහසුව පෙරහර නැරඹීමයි. ඒ වෙනුවෙන් ආරක්ෂාවට විශේෂ කාර්යයන් රැසක් සිදු කළ යුතුය. එහිදී ශ්‍රී ලංකා පොලිසියට පැවරී ඇති කාර්යය සුවිශේෂීය. විශේෂයෙන්ම මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන වෙත පැවරී ඇත්තේ සුළු පටු කාර්යයක් නොවේ. දෛනික සාමාන්‍ය රාජකාරි මෙන්ම රථ වාහන රාජකාරිවලට අමතරව පෙරහර රාජකාරි කටයුතු සිදු කිරීම වෙනුවෙන් වෙනත් ප්‍රදේශවලින්ද පොලිස් නිලධාරීන් ඒ වෙනුවෙන් අනුයුක්ත කළ යුතුය. මධ්‍යම පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සිළුමිණට පැවසුවේ මහනුවර ඇසළ පෙරහර නරඹන්නට පැමිණෙන ජනතාවගේ පළමු අපේක්ෂාව වන්නේ පෙරහර කරදරයකින් බාධාවකින් තොරව නැරඹීම බවත් ඒ වෙනුවෙන් උපරිම දායකත්වයක් පොලිසිය ලබා දුන් බවයි.

විශේෂයෙන්ම මෙවර පෙරහර නැරඹීමට අතිවිශාල ජනතාවක් පැමිණෙන බවට ඒත්තු ගැන්වී තිබුණු හෙයින් පෙරහර කටයුතු ආරම්භ කිරීමට පෙර සිටම එහි ආරක්ෂක කටයුතු සංවිධානය කළ බව ‍ඔහු පෙන්වා දුන්නේය.

අවසන් දිනයේ පමණක් පෙරහර නැරඹීමට ලක්ෂ 5 ½ක පමණ අතිවිශාල ජනතාවක් මහනුවරට පැමිණි බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ දේශීය ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන් වෙනුවෙන්ද ආරක්ෂාව උපරිමයෙන් යොදන්නට කටයුතු කළ බවයි. සංචාරකයන් වෙනුවෙන් විදේශ භාෂා කතා කළ හැකි නිලධාරීන්ද මේ වෙනුවෙන් යොදා ගත් බවත් ආරක්ෂාව 100%ක්ම තහවුරු වන ලෙස සැලසූ බව ඔහු පෙන්වා දුන්නේය. වෙනත් අවස්ථාවල ගැට කැපීම් ඇතුළු විවිධ සොරකම් වාර්තා වුවත් මෙවර වාර්තා වූයේ එක් සිද්ධියක් පමණක් බවත් එම පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව ඔහු පෙන්වා දුන්නේය.

එසේම රථ වාහනද තදබදයකින් තොරව ධාවනය කරන්නට අවශ්‍ය පසුබිම සකස් කළ බවත් මහනුවරට පැමිණි ජනතාව මේ පිළිබඳව පැසසුම් එක් කළ බවද ඔහු පෙන්වා දුන්නේය.

යුද හමුදාවටද සුවිශේෂී ආරක්ෂක කාර්ය භාරයක් පෙරහර වෙනුවෙන් කළ යුතු විය. ඒ වෙනුවෙන් ඍජුවම බල ඇණි දෙකක් යොමු කරන්නට කටයුතු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් අපට පැවසුවේය. එසේ බල ඇණි දෙකක් ඍජුවම රාජකාරි කටයුතු වෙනුවෙන් යොමු කිරීමට අමතරව තවත් බල ඇණියක් මාලිගාව ආසන්නයේ විශේෂිත අවශ්‍යතා වෙනුවෙන් ස්ථාපිත කර තිබූ බවද බ්‍රිගේඩියර් රවි හේරත් කීවේය.

යුද හමුදාවේ ප්‍රධාන කාර්යයක් වූයේ පොලිසියට සිවිල් කටයුතු සඳහා ඒකාබද්ධව සහාය ලබාදීම බව යැයිද බ්‍රිගේඩියර්වරයා කීවේය. එසේ යුද හමුදාව පොලිසියට සහාය ලබා දීමට කටයුතු කළ බවත් ඊට අමතරව යුද හමුදා පොලිසියද රාජකාරි කටයුතු සඳහා යොමු කිරීමට ස්ථාන ගත කළ බවද ඔහු පෙන්වා දුන්නේය.

ඊට අමතරව බුද්ධි අංශ රාජකාරි කටයුතු වෙනුවෙන්ද යුද හමුදාව වෙනමම ස්ථාන ගත කළ බවත් පෙරහර ආරම්භ කිරීමට පෙර සිටම යුද හමුදාව මේ කාර්යයන් වෙනුවෙන් ඇප කැපවී කටයුතු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මහජන ආරක්ෂක කටයුතු එසේ සිදු කෙරෙද්දී පෙරහර නරඹන්නට පැමිණෙන ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් විශේෂයෙන්ම පානීය ජල අවශ්‍යතා මෙන්ම සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් මෙන්ම පෙරහර මාර්ගය සකස් කිරීම ඇතුළු කටයුතු සියල්ල පැවරී ඇත්තේ මහනුවර මහ නගර සභාවටය. මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පැවසුවේ ඔවුන්ද පෙරහර ආරම්භයට මසකට දෙකකට පමණ කලින් පෙරහර වෙනුවෙන් විශේෂ සූදානමක් වන බවයි.

විශේෂයෙන්ම පෙරහර සමයේදී ජල අවශ්‍යතා සපුරාලීමේ වෙනුවෙන් විශාල කාර්යයක් සිදු කරන බවත් පෙන්වා දුන් නාගරික කොමසාරිස්වරයා පැවසුවේ සාමාන්‍යයෙන් දිනකට මහ නගර සභාවෙන් ජලය ඝන මීටර් 52,000ක් නිකුත් කරනු ලබන බවයි. එහෙත් පෙරහර සමයේදී දෛනික ඉල්ලුම 20%කින් පමණ වැඩිවන බවත් පසුගිය නියං කාලයේදී එම සැපයුම අභියෝගයක් වුවත් එය ජය ගත් බවද ඔහු පෙන්වා දුන්නේය. එසේම පෙරහර මාර්ගවල ජනයාට පානීය ජල කරාම 200ක් තාවකාලිකව ස්ථාපිත කළ බව පෙන්වා දුන් ඔහු පැවසුවේ ගිනි නිවන සේවා ස්ථාන 3ක ස්ථාපිත කළ බවයි. එසේම සෞඛ්‍ය අංශ සීරුවෙන් තබා තිබූ බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට කටයුතු සැලසූ බවයි. රාත්‍රී 11.30න් පසුව පෙරහර ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට කටයුතු කරන බවත් පැය 2ක් 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම එම කටයුතු නිමකළ බවද ඔහු පෙන්වා දුන්නේය.

පෙරහර වෙනුවෙන් ලක්ෂ 200ක් පමණ වැය වන බවත් පෙන්වා දුන් ඔහු පැවසුවේ පෙරහර වෙනුවෙන් 600ක පමණ පිරිසක් වෙහෙසී කටයුතු කරනු ලබන බවයි.

පෙරහර සම්බන්ධයෙන් කතා කරද්දී විශේෂිතම අංශය වන්නේ අලි ඇතුන්ය. විශේෂයෙන්ම විදේශිකයන් වැඩි සංඛ්‍යාවක් පෙරහර නරඹන්නේ අලි ඇතුන් දැක බලා ගැනීමටය. ඒ වෙනුවෙන් විශේෂිතව පශු වෛද්‍ය කටයුතු සිදු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු සායනික අංශයේ මහාචාර්ය අශෝක දංගොල්ලයි. ඔහු පැවසුවේ පෙරහර කටයුතු වෙනුවෙන් අලි ඇතුන් 70කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සොයා බැලූ බවයි. අලි ඇතුන් කිහිප දෙනකුට රක්තහීනතාවය වැලඳී තිබුණු බවත් ඇතැම් අයට බරවා රෝග ලක්ෂණ තිබුණු බවයි. කෙසේ වෙතත් එම රෝගය නිශ්චිතව වැලඳී ඇත්දැයි රුධිර පරීක්ෂා ප්‍රතිඵලවලින් පසුව දැනුම් දීමට සිදුවනු ඇති බවද ඔහු කීවේය.

පෙරහර පැවැත්වීමේදී වයසින් අඩු අලි පෙරහරේ ගමන් කිරීම ගැටලුවක් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. ඔහු පවසන්නේ තරුණ අලි දැඟලීමක් කළහොත් වයෝවෘද්ධ අලි සිතන්නේ එම තරුණ අලින් තමන්ට යම් අරියාදුවක් කළ බවත් එම නිසා එම අලින් යම් කිසි ආකාරයක කලබලයක් කිරීමට ඉඩ ඇති බවයි. වයසින් අඩු අලි අනිවාර්යයෙන්ම ගම්මානවල පෙරහරට සහභාගි කරවා පුරුදු වීමෙන් පසුව ඇසළ පෙරහර වැනි මහ පෙරහරට යොමු කළ යුතු බවද ඔහු පවසයි.

අලි ඇතුන් පෙරහරේ යාමේදී අනිවාර්යයෙන්ම මහජනතාවගේ විශාල වගකීමක් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ලේසර් එළි අලින් දෙසට යොමු නොකරන ලෙස දැනුම් දුන් විට ලේසර් එළි යොමු නොකර අලින් අකමැති හෝ අලින් යම් ආකාරයක නොසන්සුන්තාවයන්ට පත්විය හැකි සෙසු කටයුතු සිදු කරන බවත් මහජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

පෙරහර සජීවී ලෙසින් නැරැඹිය හැක්කේ සීමිත පිරිසකටය. එහෙත් ජාතික රූපවාහිනියට හා ස්වාධීන රූපවාහිනියට පින් සිදුවන්නට සමස්ත රටේම ජනතාවට එය රූපවාහිනියෙන් නැරැඹිය හැකිවිය. එම ජාතික මෙහෙවරට දායක වූ ස්වාධීන රූපවාහිනියේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධනගෙන් අපි කරුණු විමසුවෙමු.

අතීතයේ සිට රාජ්‍යත්වයේ සංකේතය ලෙස දළදා වහන්සේ සැලකූ බවත් නිදහස් දින උලෙළ හැරුණු විට සමස්ත රටේම ජනතාව බලා සිටින උත්සවය වන්නේ දළදා පෙරහර බවත් ඔහු පෙන්වා දුන්නේය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී පවා දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය ලෙස පිළිගත් අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුදු දහමට ලබා දී ඇති ස්ථානය පැහැදිලි බවත් එම වගකීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනය කටයුතු කළ බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයත් පසුව ශ්‍රී ලංකාවට බල පෑ ආර්ථික හා දේශපාලන අර්බුදයත් නිසා විශාල ගැටලු ඇති වුවත් ඒ අභියෝගද ජය ගනිමින් පවත්වන ලද මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් ලබා දිය හැකි ප්‍රචාරය හා විකාශන කටයුතු උපරිමයෙන් සිදු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවර පෙරහර නැරැඹීමට ජනාධිපතිවරයා සමඟ අ‍ෙමරිකානු සෙනෙට් සභා සාමාජිකයකු හා ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් පැමිණීමෙන් තහවුරු වන්නේ ඔවුන් අපේ රටේ සංස්කෘතික උරුමයන් හා අපේ රටේ උරුමය පිළිබඳව විශේෂයෙන් පිළිගැනීමක් සිදු කරන බව යැයිද සමස්ත ජාතික වගකීමක් ලෙසින් මේ කාර්යයට උරදුන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම කාලාන්තරයක් ඇසළ පෙරහර විකාශන කටයුතු සිදු කරන ජාතික රූපවාහිනිය වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) සුමේධ අතුලසිරි අපට අදහස් දක්වමින් පැවසුවේ කාලාන්තරයක් තිස්සේ මහනුවර ඇසළ පෙරහර නිෂ්පාදනය කරමින් විකාශන කටයුතු කළ බවයි. දළදා මාලිගයේ මාධ්‍ය ඒකකයෙන් එහි නිෂ්පාදන කටයුතු සිදු කරන නිසා පහසුවක් ඇතිව තිබෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ඇසළ පෙරහරට සෙසු වැඩසටහන්වලට සාපේක්ෂව විශේෂ ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි. පෙරහර වෙනුවෙන් ජනප්‍රිය ගායක ගායිකාවන් 10 දෙනකු විසින් ගායනා කරන විශේෂ ගීතයක් සම්පාදනය කළ බවත් පෙරහරට පූර්වයෙන් ප්‍රචාරක කටයුතු සිදු කළ බවද ඔහු පෙන්වා දුන්නේය.

පෙරහර සම්බන්ධ විශේෂ වැඩසටහන් අතර අලි ඇතුන් සම්බන්ධයෙන් මෙන්ම පෙරහර චාරිත්‍ර ආදිය සම්බන්ධයෙන්ද ප්‍රචාරය කළ බව ඔහු පෙන්වා දුන්නේය. කුඹල් පෙරහරේ සිට සියලු විකාශන කටයුතු කළ බවත් ඇසළ පෙරහර වෙනුවෙන් ගුවන් කාලය වැය කරන්නේ කිසිදු ආදායම් අපේක්ෂාවකින් තොරව ජාතික මෙහෙවරක් ලෙසින් බවද ඔහු පැවසුවේය.

පෙරහර සියලු සංවිධාන කටයුතු සිදු කරන්නේ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ උපදෙස් පරිදිය. දියවඩන නිලමේවරයා පවසන්නේ වසර කිහිපයකින් පැවැත්වූ උත්කර්ෂවත් පෙරහර 2023 පෙරහර බවයි. පෙරහර අවසන් වූ විගසම වර්ෂාව පතිත වීමෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වූ වැස්ස ලැබීමේ ආශීර්වාදය ලැබුණු බවද නිලමේවරයා කීවේය. අතිවිශාල නරඹන්නන් පිරිසක් මෙවර පෙරහර නැරඹීමට පැමිණීමත් ඔවුන්ට පහසුකම් සලසන්නට දළදා මාලිගාවත් රාජ්‍ය ආයතන ඇතුළු ආයතන සහ පුද්ගලයන් විසින් ලබා දුන් දායකත්වය නිලමේවරයා අගය කළේය.

එමෙන්ම නැටුම් ශිල්පීන් හා සෙසු කලා ශිල්පීන්ගේ සහභාගිත්වයද අගය කළ නිලමේවරයා පෙරහර සම්බන්ධ ආරක්ෂක කටයුතු මෙන්ම මහජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කළ සියලු ආයතන වෙත කෘතවේදීත්වයද පුද කළේය. දළදා ඇසළ පෙරහර යනු දේශීය අනන්‍යතාවයයි. අතීතයේ සිට වර්ෂාව පතා දළදා පෙරහර පැවැත්වීම පාරම්පරික සිරිතක්වද පැවතුණි. අධික නියං සමයන්හි පවා විශේෂ දළදා පූජාවන් පවත්වන්නේද ඒ නිසාය. මෙවර පෙරහර වෙනත් කාලයන්හි පෙරහරට වඩා වැදගත් වන්නේ අභියෝග රැසක් මැද එය පවත්වන්නට සිදුවීම නිසාය.

Comments