වසර 76ක අභිමානවත් ඉතිහාසයක් හිමි කළුතර දොඩන්ගොඩ ජාතික පාසල | සිළුමිණ

වසර 76ක අභිමානවත් ඉතිහාසයක් හිමි කළුතර දොඩන්ගොඩ ජාතික පාසල

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යය ලෙස වර්ෂ 1945දී ඇතිවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැඳින්විය හැකිය. එවකට රාජ්‍ය භාෂා මාධ්‍යය වූයේ ඉංග්‍රීසි භාෂාව බැවින් ස්වභාෂා පාසල්වල ඉගෙන ගත් දරුවන්ට ඉංග්‍රීසි බස ඉගෙන ගැනීමට අවස්ථාවක් නොවීය. නිදහස් අධ්‍යාපනයේ පියා වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර සූරීන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම වෙනුවෙන්ම පාසල් ක්‍රමයක් ආරම්භ කළ අතර, එකල එවැනි පාසල් හඳුන්වනු ලැබුවේ 'ඉංග්‍රීසි ජූනියර් පාසල්' යනුවෙනි. 

රාජ්‍ය භාෂාව වූ ඉංග්‍රීසි බස ඉගැන්වීමට කළුතර මතුගම නගර අතර එකදු පාසලක්වත් නොවූ අවධියකදී දොඩන්ගොඩ ග්‍රාමයේ නැඟෙනහිර කොට්ඨාසයේ එවකට විසූ ප්‍රභූන් පිරිසකගේ පුරෝගාමීත්වයෙන් 1947 සැප්තැම්බර් 27 වැනිදා එවකට අධ්‍යාපන ඇමති සී. .ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ ආශීර්වාදයෙන් ආරම්භ වූ 'රජයේ ඉංග්‍රීසි ජූනියර් පාසල' 2023 වසරේ සැප්තැම්බර් 27 වැනිදා වන විට හැත්තෑ හය වසරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියයි. වර්තමානයේදී එය හඳුන් වන්නේ බප/කළුතර/ දොඩන්ගොඩ ජාතික පාසල ලෙසිනි.

ආරම්භයේදී ඉතා සුළු සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් වූ මේ පාසලේ පළමු විදුහල්පතිවරයා කේ.සී. ද සිල්වා වූ අතර, වර්ෂ 1959 මැයි මස පළමු වැනිදා විද්‍යාලය රජයේ ඉංග්‍රීසි පාසලක් බවට පත් විය.

එතැන් සිට විද්‍යාලයේ ස්වර්ණමය සමය ආරම්භ වූ අතර, කලින් කල සිදුවූ විවිධ වෙනස්කම් ඔස්සේ පැමිණි දිගු ගමන් මඟේදී සුවිශේෂී සංධිස්ථානය සටහන් වන්නේ වසර 2021දී විද්‍යාලය ජාතික පාසලක් බවට පත්වීමෙනි.

එතෙක් ආ ගමන් මඟේදී පර්ෂද මූලස්ථ පාසලක් බවට පත්වීම, ආදර්ශ පාසලක් බවට පත්වීම, නවෝද්‍යා පාසලක් බවට පත්වීම, ද්වීතීයික පාසල් දහස අතරට එක් වීම, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට ඇතුළත් වීම ආදී කඩඉම් සුවිශේෂී වේ.

භෞතික හා ගුණාත්මක සංවර්ධනය සමඟ කොට්ඨාස, කලාප හා පළාත් මට්ටමේ ජයග්‍රහණ රාශියක් ද සමඟ මේ වන විට ප්‍රදේශයේ කීර්තිමත් නාමයක් දිනාගෙන සිටින දොඩන්ගොඩ ජාතික පාසලට වර්තමානයේ පරිපාලන නායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන විදුහල්පති බී. ආර්. චාමින්ද ය. 1996දී ගුරු වෘත්තියට පිවිසි ඔහු දස වසක් දුෂ්කර සේවයෙත් සහ කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරු උපදේශකයකු ලෙස වසර 6 ක කාලයකුත් කටයුතු කිරීමෙන් අනතුරුව 2021 වසරේදී මෙම විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත්වීම් ලැබීය.

මිශ්‍ර පාසලක් වන මෙහි පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් සිදු කෙරේ. අ.පො.ස උසස් පෙළ වාණිඡ, කලා අංශවලින් ක්‍රියාත්මක වේ. විද්‍යාලයීය සිසු සංඛ්‍යාව1,227ක් වන අතර, ආචාර්ය මණ්ඩලය 57දෙනකුගෙන් සමන්විත වේ. සංවර්ධන නිලධාරින් තිදෙනකු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 8 දෙනකු විද්‍යාලයේ කටයුතු සඳහා සහාය වන අතර, ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන කමිටුව අවශ්‍ය අවස්ථාවලදී සහයෝගය දක්වමින් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරයි. විදුහල්පති බී.ආර්. චාමින්ද සභාපතිත්වය දරන විද්‍යාලයීය කළමනාකරණ කමිටුව නියෝජ්‍ය විදුහල්පති එස්.ටී. ජේ. රූපිකා, සහකාර විදුහල්පති සී.එස්. හුලද්දුව ආරච්චි, උසස් පෙළ අංශ ප්‍රධාන එස්. ඒ.සී ප්‍රියංගනී, 10-11 ශ්‍රේණි අංශ ප්‍රධාන වයි. ඩබ්.කේ. චම්පිකා, 8-9 ශ්‍රේණි අංශ ප්‍රධාන බී. ඒ. ජී. රංගන, 6-7 ශ්‍රේණි අංශ ප්‍රධාන ඒ. ඩී. අතුකෝරල, ප්‍රාථමික අංශ ප්‍රධාන ඩබ්.එම්. සී කුමාරිහාමි සහ අංශ ප්‍රධාන ජී. වී. ටී. අයි. විතාන යන ගුරු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ. වත්මන් විදුහල්පතිවරයාගේ පරිපාලනය යටතේ 2021 වසරේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සහතික කරන වැඩපිළිවෙළ යටතේ වෘත්තීය දැනුම ලබා දෙමින් NVQ iv මට්ටමේ නිපුණතා සංවර්ධනය තුළින් අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් වන සිසු සිසුවියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ඉතා සාර්ථක අන්දමෙන් සිදු කෙරෙන්නේ නවීන තාක්ෂණය ද උපයෝගී කර ගනිමිනි. එකී උසස් පෙළ වෘත්තීය අධ්‍යාපන ඒකකය යටතේ විෂයයන් 6ක් ක්‍රියාත්මක වේ. විදුහලේ කාන්තා ශිෂ්‍ය භට කණ්ඩායම ආරම්භ කිරීම, පරිසර භට කණ්ඩායම විධිමත් කිරීම, සෞන්දර්ය පහසුකම් වැඩි දියුණු කිරීම, සංගීත සහ නර්තන උපකරණ, කාර්යාලීය උපකරණ සමඟ භෞතික පහසුකම් වැඩි දියුණු කිරීම සහ සිසු දරුවන්ගේ නායකත්ව හා පෞරුෂය වර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ආරම්භ වූයේ වත්මන් විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙනි. විද්‍යාලයීය භෞතික සම්පත් අතර, අංග සම්පූර්ණ පරිගණක සහ තාක්ෂණ විද්‍යාගාර, නවීන ශ්‍රවණාගාරය, විධිමත් ආපණ ශාලාව, ගුරු නේවාසිකාගාරය, ගෘහ විද්‍යාගාරය, ගණිතාගාරය සහ සුහුරු පන්ති කාමර මූලික වන අතර, දොඩන්ගොඩ කොට්ඨාසයේ දන්ත ශල්‍යාගාරයක් ක්‍රියාත්මක වන එකම පාසල වන්නේ ද මෙයයි. 

ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් පාසල තුළ ක්‍රියාත්මකය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සංවර්ධන කිරීමේ වැඩසටහන් යටතේ සිසු ගුරු කැපකරු ක්‍රමය හඳුන්වා දී ඇති අතර, අඩු සාධන මට්ටමේ පසුවන දරුවන් පස් දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායම් නිර්මාණය කර වැඩි සාධන මට්ටමෙන් යුතු දක්ෂ දරුවකුගේ නායකත්වය යටතේ ගුරුවරුන්ගේ අධීක්ෂණයට යටතේ ඔවුන්ගේ සාධන මට්ටම වැඩි කර ගැනීමට කටයුතු කරයි. එමෙන්ම විශ්වවිද්‍යාල දරුවන් පාසල් දරුවන්ගේ අමතර ඉගැන්වීමේ කටයුතු සඳහා යොදා ගැනීමෙන් සිසුන් තුළ විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීම පිළිබඳ උත්ප්‍රේරණයක් ඇති කිරීමට අපේක්ෂිතය. 6 ශ්‍රේණියේ සිට එක් එක් විෂයය සඳහා ලකුණු 40ට අඩුවෙන් ලබා ගන්නා සිසුන් වෙනුවෙන් අමතර ඉගැන්වීම් කාලයක් විදුහල තුළ ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ගණිත විෂයයට අඩු සාධන මට්ටමක් සහිත දරුවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ගණිතාගාර දැනුම ලබාදීම ද විශේෂත්වයකි. ඉදිරි වසර පහ තුළ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 100ට ඉක්මවන ශිෂ්‍ය ප්‍රතිශතය 81 - 100% දක්වා ඉහළ නැංවීම, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල 66 - 85% දක්වා ඉහළ නැංවීම, උසස් පෙළ වාණිජ අංශයෙන් සමත් ප්‍රතිශතය 41 - 75% දක්වා ඉහළ නැංවීම සහ උසස් පෙළ කලා සහ වාණිජ අංශවලින් සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසු ප්‍රතිශතය 20%කින් ඉහළ නැංවීම විද්‍යාලයීය ඉදිරි අභිමතාර්ථ අතර මූලික වේ.

විෂයය දැනුමෙන් මෙන්ම ක්‍රීඩා, සෞන්දර්ය කුසලතාවලින් පොහොසත් සිසු පරපුරක් තැනීම වෙනුවෙන් විද්‍යාලය තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ. පෙරදිග සහ බටහිර තූර්යවාදක කණ්ඩායම්, කාන්තා සහ පිරිමි ශිෂ්‍යභට කණ්ඩායම්, මාධ්‍ය ඒකකය, බෞද්ධ සංගමය, සාහිත්‍ය සංගමය, පරිසර භට කණ්ඩායම සහ වාණිජ සංගමය විද්‍යාලය තුළ ඉතා සක්‍රිය අන්දමින් ක්‍රියාත්මක වේ.

සිසුන්ගේ නායකත්වය සහ පෞරුෂය වැඩිදියුණු කිරීම සඳහා ඒ පිළිබඳ ප්‍රවීණයන්ගේ මූලිකත්වයෙන් විශේෂ වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වරින් වර විදුහල තුළ පැවැත්වෙන අතර, අඛණ්ඩව පැවැත්වෙන මාසික පෙර පෝදා වැඩසටහන දරුවන් දහමෙන් පෝෂණය කිරීමට මහඟු අත්වැලකි.

සමස්ත ලංකා නර්තන තරගාවලිය 2023 කලාප තරගවලින් පිරිමි - සමූහ පතුරු නැටුම ප්‍රථම ස්ථානය(6-9 ශ්‍රේණි), මිශ්‍ර සමූහ උඩරට අසදුස වන්නම දෙවැනි ස්ථානය (10-13 ශ්‍රේණි) සහ කාන්තා ඒකල උඩරට අස්නෙ නැටුම දෙවැනි ස්ථානය (10-13 ශ්‍රේණි) ජයග්‍රහණ දොඩන්ගොඩ ජාතික පාසලේ දරු දැරියෝ දිනාගත්හ. විද්‍යාලයීය දරුවන් මෑත කාලයේ දිනාගත් සාහිත්‍ය තරග ජයග්‍රහණ අතර, 2023 කලාප සාහිත්‍ය තරග ප්‍රශස්ති පිරිමි සමූහ (ජ්‍යෙෂ්ඨ) දෙවැනි ස්ථානය වේ.

ගණිත දැනුම මිනුම 2023 කලාප තරගයේ ප්‍රථම ස්ථානය 6 ශ්‍රේණියේ කේ. ඒ. ඩී. හිමායා රන්දිනි සහ 7 ශ්‍රේණියේ විසාරා විදුමිණි විසින් දිනාගනු ලැබිණ. ක්‍රීඩා ජයග්‍රහණ අතර, 16න් පහළ බාලිකා නෙට්බෝල් අනුශූරතාව සහ 16න් පහළ බාලක වොලිබෝල් අනු ශූරතාව ද දොඩන්ගොඩ විද්‍යාලය සතුය. වයස අවුරුදු 12න් පහළ දුර පැනීම පරිසාධන මට්ටම ඉක්මවමින් පළාත් තරග සඳහා තේරී පත්වීමට ඉකුත් දා ඩබ්ලිව්. ආකාශ් දෙනුවන් සිසුවා සමත් වූ අතර, විදුහල්පතිවරයාගේ පූර්ණ සහයෝගය මත ක්‍රීඩා ආචාරිනී ආර්. එස්. හිරුණිකා රාජපක්ෂ සහ ක්‍රීඩා පුහුණුකරු කසුන් විජේරත්න සිසුන් ජයග්‍රහණ කරා මෙහෙය වීමට දැඩි කැපවීමෙන් කටයුතු කරයි.

"නොනැවතී ඉදිරියට යමු" යන ආදර්ශ පාඨය අනුව කටයුතු කරන දොඩන්ගොඩ ජාතික පාසල, ඉදිරි වසර පහ තුළ දිවයිනේ හොඳම හරිත පාසල බවට පත් කිරීම, දොඩන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ හොඳම ක්‍රීඩා පාසල බවට පත්කිරීම, නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරන හොඳම පාසල බවට පත්කිරීම, හොඳම ශිෂ්‍ය භට කණ්ඩායම සහිත පාසල බවට පත්කිරීම, හොඳම ආගමික පරිසරය සහිත පාසල බවට පත්කිරීම සහ අ.පො.ස උසස් පෙළ ගණිත සහ විද්‍යා විෂයයන් ඉගැන්වීම ආරම්භ කිරීමට ද අපේක්ෂිතය.

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

Comments