කෝච්චි පෙට්ටි ලංකාවේම හදා පිටරට යන ඩොලර් කෝටි ගණන් ඉතිරි කරන දිරිය මිනිසා | සිළුමිණ

කෝච්චි පෙට්ටි ලංකාවේම හදා පිටරට යන ඩොලර් කෝටි ගණන් ඉතිරි කරන දිරිය මිනිසා

අලුත්වැඩියාවෙන් පසු නැවත ධාවනයට එක් කළ දුම්රිය මැදිරි සහ දුම්රිය මැදිරි අලුත්වැඩියා කරන අයුරු

මෙරිකානු තාක්ෂණය මූලධර්මකොට තමන් විසින් ගොඩනඟා වැඩි දියුණු කළ විශිෂ්ට සංඥා කුලුනු ඇමෙරිකානු හමුදාව වෙතම අලෙවි කර රටට ඩොලර් ගෙනා විද්වත් ව්‍යවසායකයා ඔහුය. භාණ්ඩ ප්‍රවාහන රථ සඳහා ට්‍රේලර් නිර්මාණය කර ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් සහිව ලෝකයේ රටවල් පනස් පහකට අපනයනය කළ නිහඬ අපනයනයකරුවා ඔහුය. 

යකඩවලට කෝච්චි පෙට්ටි කපා ඉන්දියාවට පරණ යකඩවලට විකුණනවා හැර වෙනත් විකල්පයක් නොදුටු රටකට යකඩවලට කපන්නට තිබූ දුම්රිය මැදිරි 265ක් අලුත්ම නිෂ්පාදනයක ගුණාත්මක බවින් යුතුව රට තුළ යළි ප්‍රතිසංස්කරණය කර සිය ව්‍යාපෘතියෙන් රටට මිලියන 46,800ක් ඉතිරි කර දුන් ගෞරවනීය මිනිසා ඔහුය. මේ වනවිට ශ්‍රී ලංකාවේ නවීන දුම්රිය මැදිරි නිෂ්පාදනය කර එම මැදිරි අපනයනය කිරීමට සුදුසු වෙළෙඳපොළක් ද සකසා ගෙන රටේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අපේක්ෂාවෙන් පසුවන ඔහු කණිෂ්ක අතුල හපුතන්ත්‍රීය.

කණිෂ්ක අතුල හපුතන්ත්‍රී මේ රටේ අප හැමෝටම දැනුණේ වඩාත් විපුල ආකර්ෂණීය ව්‍යාපෘති දෙකකිනි. එක් ව්‍යාපෘතියක් අප මුලින් කී යකඩවලට කපන්නට ගිය දුම්රිය මැදිරි සුඛෝපභෝගී නව මැදිරි සේ ප්‍රතිනිර්මාණය කිරීමෙනි. මෑතක දී ඔහුගේ ලෝක අවධානයට ලක් වූ තවත් මෙහෙයුමක් වූයේ තායිලන්ත රජය විසින් තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාගයක් වූ මුතු රාජා හෙවත් සක් සුරීන් යළි සිය රටට කැඳවා ගැනීමට ඇතා රැඳවීමට සකස් කළ විශේෂිත කුටිය නිර්මාණය කිරීමෙනි. ඇතා ගුවන්තොටුපළ වෙත ප්‍රවාහනය කර ගුවන් යානයේ කුටිය තැන්පත් කිරීම තෙක් මෙහෙයුම භාරගෙන තිබුණේ කණිෂ්ක අතුල හපුතන්ත්‍රීය.

ප්‍රධාන නාවික ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරමින් සිටිය දී සිය වෘත්තිය අත්හැර රටට පැමිණ සිය පියා විසින් ගොඩනැඟූ තාක්ෂණික ව්‍යාපෘතිය රටට විදේශ විනිමය උපයන අපනයන සම්පතක් ලෙස වැඩි දියුණු කළ මේ විද්වත් වෘත්තිකයා සිය ව්‍යාපාර අත්දැකීම අප සමඟ බෙදා ගනිමින් සිටියේය.

“මගේ තාත්තා නාවික හමුදා ඉංජිනේරු නිලධාරියෙක්. ඔහු සිය අවුරුදු 22ක නාවික හමුදා වෘත්තියෙන් විශ්‍රාම ගියාට පස්සේ වර්ෂ 1976දි නැවු අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. මේ ව්‍යාපාර කටයුතු අපි පටන් අරන් කරගෙන යනවිට රටේ ඇති වී වර්ධනය වුණු යුදමය තත්ත්වය නිසා වරාය තුළ අධි ආරක්ෂිත තත්ත්වයත්, ඩොක් යාර්ඩ් එකේ සිද්ධ වුණු විදේශ ආයෝජන සමඟ එම ආයතනය ගත් පරිපාලනමය තීන්දුත් නිසා අන්තර්ජාතික සම්බන්ධතා එක්ක ගොඩනැඟුණ අපේ ව්‍යාපාරය පවත්වා ගැනීම පිළිබඳ ගැටලු ඇති වුණා.

දැන් ඩොක් යාර්ඩ් එකෙන් පිටට ඇවිත් අපි මොකක්ද කරන්නෙ කියලා හිතමින් ඉද්දි තමයි කන්ටේනර් ට්‍රේලර් නිෂ්පාදනයටඅවධානය යොමු වන්නේ. මේ ඇණවුම නිසා ට්‍රේලර්ස්වලට අපේ අවධානය නිකම්ම ගියා. ට්‍රේලර්ස් නිෂ්පාදනය, නඩත්තුව සහ කළමනාකරණයට තාත්තා ‘තන්ත්‍රී‘ ට්‍රේලර්ස් කියන ආයතන පිහිටුවා ගත්තා. 

පාසල් කාලයේ සිටම ඉංජිනේරු අංශයට දැඩිව ආකර්ෂණය වෙලා හිටපු මට එයට අවශ්‍ය ප්‍රායෝගික අවබෝධය සහ අත්දැකීම් තාත්තගේ ආයතනය ඇතුළෙ පහළ තැන ඉඳන්ම ලැබුණා. උසස්පෙළෙන් පස්සේ ලංකාවේ ඒ කාලයේ තිබුණු එකම නාවික ඉංජිනේරු පාඨමාලාව වුණු ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ නාවික ඉංජිනේරු පාඨමාලාව හදාරලා අවුරුදු හතරක පුහුණුවකින් පස්සේ නැව්වල ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කරලා එංගලන්තයේ අදාළ විභාගවලට පෙනී සිට ප්‍රධාන නාවික ඉංජිනේරුවකුගේ මට්ටමට ආවා.

මම ලංකාවට එන්නේ 1998දී. එතකොට මට අවරුදු 40යි. ඒ තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය ටිකක් පිරිහුණු නිසා ඔහුට උපකාර කරමින් ටික දවසක් ඉඳලා යන්න. ඒ නැවතුණු ගමන තවමත් මේ විදිහට එනවා.”

අන්තර්ජාතික තලයට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු නිර්මාණ රැගෙන ගිය මෙම ව්‍යවසායට පදනම දැමූ කණිෂ්ක හපුතන්ත්‍රීගේ පියා ජෝන් හපුතන්ත්‍රී තවමත් ආයතනයේ ගෞරවනීය ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේය. ඔහුගේ වකවානුව තුළ මිලියන 10 -20ට සීමා වී තිබු වාර්ෂික පිරිවැටුම ඔහුගේ පුතුණුවන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව මේ වනවිට රුපියල් බිලියන 03 ඉක්මවා ගොස් වර්ධනය වී ඇති ආකාරය දකිමින් තෘප්තිමත් කාලයක් ගතකරන්නේය.

“මම ආවේ පරිවර්තන කාලයක. මම හිතුවේ කවුද මේක කරන්නේ කියලා නෙමෙයි. අපි කොහොම ද මේක කරන්නේ කියලා. මගේ මූලිකත්වයට වඩා අපි ගත්තේ කණ්ඩායම් තීන්දු. ගොඩාක් තැන්වලදි තාත්තගෙ ව්‍යාපාරයකට පුතෙක් අලුතින් සම්බන්ධ වුණාම පරම්පරා දෙකක අදහස් ගැටීම්වලින් ව්‍යාකූල වෙනවා. මට එහෙම වුණේ නෑ.

අපි මේ තත්ත්වයට ආවේ කිසිම බයක් නැතිව අවශ්‍යම නූතන තාක්ෂණය ව්‍යාපාරයට සම්බන්ධ කරගැනීමෙන්. තාක්ෂණය කියන්නෙ ඉතාම කල්පනාවෙන් සුදුසුම දේ තෝරාගෙන එහි උපරිමය කරා ගමන් කළ යුතු ප්‍රවේශයක්. අප දැක්කා තාක්ෂණික පරිවර්තන කරන්න නිසි ඇඟයීමක් නැතිව ගිය ආයතන කීපයක් එහි පිරිවැය දරා ගන්න බැරිව බිඳ වැටුණු ආකාරය.

මා කළේ අපේ ක්ෂේත්‍රයේ තාක්ෂණිකව වෙනසක් ආවම සාම්පල් මැෂින් එකක් ගෙනත් වැඩ පළට දානවා. අපේ රටේ ඉන්නේ හරිම බුද්ධිමත් තරුණ පිරිසක්. වෙන රටකදි ඒ සඳහා විශේෂ පුහුණුවක් දැනුමක් ලබාගෙන ආයාසයෙන් ලබා ගන්නා දැනුම අපේ තරුණයන් යන්ත්‍රයක් එක් වරක් හැසිරවීමෙන් පවා ලබා ගන්නවා. ඔවුන්ගේ බුද්ධිමය ඵලය තාක්ෂණිකව යමක් තේරුම් ගැනීමේ හැකියාව ඉතා ඉහළයි. නව තාක්ෂණය එක්ක ගැටෙමින් ඔවුන් විසින් කරන නිෂ්පාදන තත්ත්වය සහ ප්‍රමිතිය අන්තර්ජාතික තලයේ ප්‍රමිතියකින් යුතු බව මා තේරුම් ගත්තා.

රටක් ලෙස අවධානය යොමු කරන්න ඕන ඒ විදිහට. අපේ මිනිස්සු කම්මැළියි කිව්වට මොළය හොඳට වැඩ කරන මිනිහා ටිකක් කම්මැළියි තමයි. යමක් කරද්දී වටේ යන්නේ නැතිව මේක කරගන්න පුළුවන් ක්‍රම තියනවා යන අදහස ඔවුන්ගේ තිබෙනවා.“

කොහොමද මේ ව්‍යාපාර ජාලය ව්‍යාප්ත වෙන්නේ? මඳ විරාමයක දි ඔහුව විමසුවෙමු.

“අපි ‘තන්ත්‍රී‘ ට්‍රේලර්ස් නිෂ්පාදන විදිහට ට්‍රේලර්ස් එක්පෝර්ට් කරන්න ගත්තා. මුලින්ම යැව්වේ අප්‍රිකානු රටවලට. ඊට පස්සේ මැද පෙරදිග රටවලට. මාලදිවයින, සී ෂෙල්ස් වගේ පොඩි රටවලින් පටන් ගත්තු මේ අපනයනය දැන් අ‌ෙමරිකාවට, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 55කට කරනවා. මේ ක්ෂේත්‍රයේ තියන වෙනස එක දිගට රටක් මුල් කරන් කරන අපනයනයක් නෙවෙයි. ලෝකයේ ඒ ඒ රටවල අවශ්‍යතා අනුව ඇණවුම් ලබා ගෙන කරන නිෂ්පාදන අපනයනයක්.

අනෙක මේ නිෂ්පාදනයේ සියල්ල ලංකාවේ හදනවා නෙමෙයි. ඇක්සල් එක, බ්‍රේක් සිස්ටම් එක පිටරටින් ගන්නවා. සියල්ල ලංකාවෙ හදන අදහසට යන්න හොඳත් නෑ. අපට ඒ විදිහට කරන්නත් බෑ. අපි ට්‍රේලර්ස්වලින් නවතින්නෙ නැතිව විවිධ නිෂ්පාදන දියුණු කරමින් පිටරටවල විවිධ ව්‍යාපෘති කරන්න පටන් ගත්තා. ෂී ෂෙල්ස්වල. මාලදිවයින වගේ රටවල ව්‍යාපෘති තමයි අපි මුලින්ම ගත්තේ. ඒ කාලේ අපේ රටේ යුද්ධය දිගටම තියනවා.

යුද්ධයක් තියෙද්දි අපේ ක්ෂේත්‍රයේ නිෂ්පාදනයක් සඳහා එකම සහ හොඳම ගැනුම්කරුවා විදිහට අපට හිටියේ යුද හමුදාව. අපි බැලුවා මොනවද කරන්න පුළුවන් කියලා. යුද හමුදාවට යුද ටැංකි රැගෙන යා හැකි ට්‍රේලර්ස් අපේ ආයතනයෙන් හදන්න අනුමැතිය ගත්තා. හමුදාව වෙනුවෙන් ට්‍රේලර්ස්වල තියාගෙන අදින තෙල් ටැංකි හැදුවා. හමුදාවේ සන්නිවේදනය කාර්ය සාර්ථක කරගන්න ජංගම සන්නිවේදන කුලුනු හැදුවා. හමුදාවට කළ මේ ජංගම සන්නිවේදන කුලුනු නිෂ්පාදනය අපව සන්නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ කළා. මේක අපේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ­්‍යයක්. මේ ජංගම සන්නිවේදන කුලුනු අපි විවිධ රටවලට අපනයනය කළා. මැදපෙරදිග ඒ ජංගම සංඥා කුලුනුවලට විශාල ඉල්ලුමක් තිබුණා.

පොළොව යට ඇති තෙල් නිධි නිසා මැදපෙරදිගදි පොළව හාරන්න ලයිසන් ගන්න සෑහෙන කාලයක් යනවා. ඒ නිසා ට්‍රේලර් එක නවත්වලා විදුලියෙන් උඩට යන ටවර් ඔවුන්ට කදිම විසඳුමක් වුණා. මෙම ජංගම සන්නිවේදන කුලුනු අප්‍රිකානු සහ පිලිපීන වැනි රටවලට අපනයනය කළා. මේ අපනයනය අදටත් සිද්ධ වෙනවා. මේ වනවිට අපි 5G කුලුණු ලංකාවේ නිෂ්පාදනය කරනවා. කොවිඩ් වකවානුවේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පහසුකම් සපයන සංඥා ආවරණ කුලුනු පද්ධතිය හැදුවේ අපි. හමුදා මූලස්ථානයේ තිබෙන දැනට ලංකාවේ ඇති ලොකුම සංඥා කුලු ණත් අපේ නිර්මාණයක්. “

මේ සංඥා කුලුන අපනයනයේ අතිශය ලගන්නා සුළු කතාවක් කණිෂ්ක හපුතන්ත්‍රී අප සමඟ කීවේය. එය අවධාරණය කළ යුතු තරම් අපූරු කතාවකි.

“ මේ සංඥා කුලුනු උපරිම තාක්ෂණය සහිතව මුළු ලෝකයට නිෂ්පාදනය කළේ අමෙරිකාව. ඒ තාක්ෂණයේ මූලධර්ම මත අපි කරපු නිෂ්පාදනය තාක්ෂණිකව අලුතෙන් එකතු වෙන හැම අංගයක්ම එක් කරලා සූක්ෂම විදිහට වැඩි දියුණු කළා. ඒ වැඩිදියුණු කිරීම බැලුවට පස්සේ ඇමෙරිකානු නිෂ්පාදනයෙ විදිහවත් නෙමෙයි මේක.

දවසක් මට කෝල් එකක් ආවා. කෝල් කළේ යූ. එස් ජෙනරල් කෙනෙක්. ඔහු ඇහුවා කමියුනිකේෂන් ටවර්ස් හදලා තියනවාද කියලා. මම ඔව් කිව්වා. මට තේරුණා ඔහු සියල්ලම දැනගෙනයි මේ ගැන අහන්නේ කියලා. ඊට පස්සේ ආවොත් බලන්න පුළුවන් ද ඇහුවාම මම “පුළුවන් කවද්ද එන්නේ ඇහුවා. ඔහු කිව්වා හෙට එන්න පුළුවන් කියලා. අනිත් දවසේම ඔහු ඇතුළු කණ්ඩායම ප්‍රයිවට් ජෙට් එකක කුවේට්වලට ඇවිත් කුවේට්වලින් ලංකාවට ආවා. ළඟම ටවර් එක තිබුණෙ හම්බන්තොට. මිටර් 60ක් උස ටවර් එකක්. මම කිව්වා එතෙන්ට යන්න අවශ්‍යයයි කියලා. මේ හමුදා ජ්‍යෙෂ්ඨයා කිව්වා ඔව් අපි ඒක දන්නවා කියලා. ඔවුන් ලෝකය ගැන මොනතරම් නිරීක්ෂණයකින් ද ඉන්නේ යන වග මට තේරුණා. ඔහු ටවර් එකට ගිහින් ඒක උඩට නැග්ගා. එය නිරික්ෂණය කරලා ඒ ආකාරයේ සන්නිවේදන කුලුනු හයක් ඇණවුම් කළා. ඊජිප්තුවයි ඊශ්‍ර­ායලය අතර සනායි අර්ධද්වීපය කියන බෝඩර් එකට අපේ සන්නිවේදන කුලුනු එක්ස්පෝට් කළා. අන්තිමට අපි යූ.එස් ආමි එකටත් ටවර් විකිණුවා. ඒක එක්සිමෝලට අයිස් විකුණනවා වගේ වැඩක්.” කණිෂ්ක සිනාසුණේය. 

රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගොඩ දැමූ දුම්රිය පෙට්ටි නිෂ්පාදන ව්‍යාපෘතිය බිහිවන්නේත් තමන් ඉදිරියේ ඇති ව්‍යාපාර බාධක අබිබවා ගොස් නව ප්‍රවේශයක් සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසය. කණිෂ්ක හපුතන්ත්‍රී ඒ අතීතය කීවේය.

“ඒකත් යුද්ධ කාලේ වුණු වැඩක්. වර්ෂ 2002දි. ඒ වෙනකොට සෙන්ට්‍රල් බෑන්ක් එකටත් බෝම්බ ගහලා. මොනව හරි වැඩක් හොයනවා අපි කරන්න. මේ අතරේ කෝච්ච් පෙට්ටි කපලා පරණ යකඩවලට ඉන්දියාවට යවන කොන්ත්‍රාත්කරුවෙක් අපට කිව්වා කෝච්චි පෙට්ටි කපලා දෙන්න පුළුවන් ගාණක් දෙන්න කියලා. ඒකත් වෙලාවෙ හැටියට කමක් නෑනෙ. මම ගිහින් බැලුවම දුකේ බෑ. පරණ යකඩවලට කපන්න නෙමෙයි. මේ කෝච්චි පෙට්ටි ගොඩදාගන්න පුළුවන්.

පෙට්ටි පරණ යකඩවලට කපන්න ගිය මම දුම්රිය දෙපාර්තමේන්තුවට ගිහින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හම්බ වෙලා මගේ යෝජනාව කිව්වා. ඒ කාලේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රියාල් සිල්වා. මම කියපු මේ කතාව ඇහුවම ඔහුට හිතෙන්න ඇති මේ මනුස්සයට පිස්සු කියලා. ඒක සාධාරණයි. ඔහු මගේ කතාව සිරීයස් ගත්තේ නැතත් ප්‍රධාන දුම්රිය ඉංජිනේරුවරයා ළඟට මා යොමු කළා. ඔහු විජේසේකර කියලා මහත්මයෙක්.

අලුතේන් දුම්රිය මැදිරියක් ගේන්න මිලියන 150ක් යනවා ඒ කාලේ. දැන්නම් ඒ ගණන මිලියන 200කට වැඩියි. මේ මැදිරියක් මිලියන 50කින් අලුත්වැඩියා කරලා අවුරුදු 10ක් කිසිම ප්‍රශ්නයක් නැතිව දුවන්න පුළුවන් වග මම දුම්රිය දෙපාර්තමේන්තුවට පැහැදිලි කළා. මම කිව්වා, ඔබතුමාට මේ වැඩේ කරන විදිහ මම කියන්නම්. මේකේ ප්‍රතිඵලයක් තියනව ද නැද්ද කියලා ඔබ තීරණය කරන්න කියලා. ඉතාම හොඳින් මට ඇහුම්කන් දුන් ප්‍රධාන ඉංජිනේරුවරයා මේ ව්‍යාපෘතිය ලිඛිතව ඉදිරිපත් කරන්න මට යෝජනා කළා.

ඒ වකවානුවේ රටේ ජනාධිපතිවරිය චන්ද්‍රිකා මැතිනිය. එතුමිය ළඟටත් ව්‍යාපෘතිය ගියා. නමුත් එය ප්‍රවාහන අමාත්‍යාංශය පැත්තෙන් අනුමත කරලා දෙන්න ඉල්ලපු නීති විරෝධී මුදල්, වැය කරන්න සූදානම් නොවුණු නිසා ව්‍යාපෘතිය මඟහැරුණා. විවිධ සිදුවීම් පෙළ ගැහුණේ වැඩේ නොකෙරෙන විදිහට නිසා මම එ් සඳහා උනන්දු වීම නැවැත්තුවා. නමුත් මම ඉදිරිපත් කළ ලේඛන දුම්රිය දෙපාර්තමේන්තුව තුළ තිබුණා.

ඊට පස්සේ 2015 ටෙන්ඩර් එකක් පත්තරේ වැටුණා. ටෙන්ඩර් ඩොකියුමන්ට් එකේ තිබුණේ මම ඉදිරිපත් කළ තාක්ෂණික ක්‍රමවේදයම නිසා මට ඉතාම පහසු වුණා ඒකට ඉදිරිපත් වෙන්න. ලියකියැවිලි ඉදිරිපත් කළ පසු ඒ ටෙන්ඩර් එක අපට ලැබුණා. ව්‍යාපෘතියට මම ගත්තේ ට්‍රේනින් කොලේජ්වල මාස තුන හතර කෝස් කරලා එළියට ආව තරුණ තරුණියො. ගෑනු ළමයි ගත්තා ඩිසයිනින්වලට. මාස දෙකක් තුනක් යනකම් මම ඒ අය එක්ක ඉඳන් වැඩ කරන විදිහ කියා දිදී වැඩ ගත්තා.

මට ගොඩක් අය කිව්වත් රේල්වේ එක්ක වැඩ කිරීම බංකොලොත් වෙන වැඩක් කියලා. ඒත් මගේ ක්‍රමය වෙනස්. මම හැම දෙයක්ම ඩිසයින් කළා. ඒ ඩිසයින් එකට දුම්රිය ඉංජිනේරුවන්ගේ අනුමැතිය ලැබුණට පස්සේ කොටස් සාම්පල නිෂ්පාදනය කළා. ඒවා පෙන්නලා අවශ්‍ය අඩුපාඩු හදලා අවසන් සාම්පලයට අනුමැතිය ගත්තා. ඊට පස්සේ තමයි දුම්රිය පෙට්ටියට අත තිබ්බේ. ඒ එක්කම යුනියන් ස්ට්‍රයික් ආවා. මාධ්‍ය දිගින් දිගටම ගහන්න ගත්තා. අපි කවුරු එක්කවත් ගැටෙන්න ගියේ නෑ. අපේ පාඩුවේ වැඩේ කළා.

මුල්ම කෝච්චි පෙට්ටිය එළියට එන්නේ 2017දි. හරිම සතුටුයි අවස්ථාවක් ඒක. එකම ප්‍රශ්නය ආවේ රේල්වේ නිලධාරීන්ගේ නිර්දේශ මත දාපු පරණ ජනෙල් ලොක් එකක. ඒකට දිගට හරහට ෆේස්බුක්වලින් ගැහුවා. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න දරුවො දෙන්නෙක්ව යෙදෙව්වා. අන්තිමට සමාජය අපේ නිෂ්පාදනය ගෞරවනීය විදිහට පිළිගත්තා. මේ වනවිට කෝචිචි පෙට්ටි 265ක් අලුත්වැඩියා කරලා තියනවා. අලුත්වැඩියාවට වඩා හරිම ලේසියි අලුතින් හදන එක. සමහර දිරාපත් කෝච්චි පෙට්ටිවල චැසියෙ ඉඳන් අලුතින් හැදුවා. පරණ එකේ චැසි නම්බර් විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේ ව්‍යාපෘතිය තමයි රටට වැඩිම ලාබයක් ගෙනාපු ලාංකික ව්‍යපෘතිය. මේ කෝච්චි පෙට්ටි ව්‍යාපෘතියෙන් විතරක් රටට රුපියල් මිලියන 46800ක් ඒ කියන්නේ බිලියන 46.8ක් ලාබයි. අනික මේ ව්‍යාපෘතියෙන් මම ලබපු සතුට වචනවලින් කියන්න අමාරුයි. මේ කෝච්චි පෙට්ටිවල නැඟලා මිනිස්සු යන හැටි මං සමහර අවස්ථාවල ඈත ඉඳන් බලන් හිටියා. ඒ වගේම බය හිතුණු අවස්ථා තිබුණා. දුම්රිය මැදිරියක උපරිම ධාරිතාව වගේ දෙගුණයක් විතර දොරවල්වල එල්ලිලා වහල උඩ යනකොට ඇඟ හිරි වැටුණා මොනවා හරි ගැටලුවක් වේවි ද කියලා. ඒත් මේ අලුත් වැඩියාව කරපු විදිහ අපි දන්න නිසා දැඩි විශ්වාසයක් තියනවා. ලාභය මුල් කරන් වැඩ බාල විදිහට කරලා මුදලක් ඉතිරි කරගෙන අපරාධකාරයෙක් විදිහට මේ කෙටි ජීවිත කාලය ගෙවලා මැරිලා යන්න මට අවශ්‍ය නෑ කවදාවත්. මේ ව්‍යාපෘතිය නිසා නව කර්මාන්ත හැදුණා. කාර් හදන්නෙ නැති රටේ කෝච්චි පෙට්ටිවලට සප්ලයි චේන් එක හැදුණා. මේක නවත්වන්න එපා කියලයි මම යෝජනා කරන්නේ. මා නැති වුණත් කවුරුහරි මේ ව්‍යාපාරය කළොත් රටට ගොඩාක් දේ ඉතිරි වෙයි. දැන් මගේ උත්සාහය අලුතින්ම කෝච්චි පෙට්ටි හදලා එක්ස්පෝට් කරන්න. පවතින විශාල බාධක එක්ක මේ අවස්ථාව ලැබුණොත් රටට විශාල අවකාශ විවර වේවි. වැඩි කාලයක් පාවිච්චි කළ හැකි ඉතාම ඉහළ තත්ත්වයෙන් යුතු නවීන දුම්රිය මැදිරියක් නිපදවා, නඩත්තු කටයුතු රට තුළම කරගෙන විශාල විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකි වේවි. නව දුම්රිය මැදිරි නිෂ්පාදනය කර අපනයනය හරහා විශාල විදේශ විනිමයක් ලැබේවි. “

මේ සුබවාදී මනුෂ්‍යයා අපට බොහෝ දේ කියා දෙමින් සිටියි. මේ දුගී රට හිතන තරම් දුගී නැති බවත් අප දුගීන් වන්නේ අපේ සමාජ චින්තනය සහ මේ ආර්ථික ව්‍යසනය තුළ නිෂ්පාදන සහ ව්‍යවසායකත්වයේ අවකාශ විවර වී ඇති අයුරුත් කණිෂ්ක හපුතන්ත්‍රී වැනි ව්‍යවසායකයන් පෙන්වා දෙමින් සිටී. අතට ලැබෙන කොමිස් කුට්ටියට ජාතියක් පාවා නොදී අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු ලබා ගත හැකිනම් මේ රටේ නිර්මාණශීලී මිනිස්සු අපව ලෝකයේ ඉහළම තැනකට ඔසවා තබනු ඇති බව විශ්වාස කරමි.

ඡායාරූප - තිලක් පෙරේරා

Comments