දිනපතා දස දහස් ගණනක් බැතිමතුන්ගෙන් වැඳුම් පිදුම් ලබන සිරි මහ බෝ සමිඳු | සිළුමිණ

දිනපතා දස දහස් ගණනක් බැතිමතුන්ගෙන් වැඳුම් පිදුම් ලබන සිරි මහ බෝ සමිඳු

බුදුරජාණන් වහන්සේගේ සැවැත්නුවර වැඩ වාසය කරද්දී උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමට ජනතාවෝ විශාල ලෙසින් පැමිණියහ. එහෙත් එසේ පැමිණෙන ඇතැම් අවස්ථාවල උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටියහ. එසේ උන්වහන්සේ වැඩ නොසිටි අවස්ථාවලදී එම බැතිමත්හු තමන් ගෙනා මල්, පහන්, සුවඳ වර්ග ආදිය බුදු හිමියන්ගේ කුටිය ඉදිරියේ දමා ගියේ මහත් දොම්නසින් යුක්තවය. එම සිදුවීම් දුටු අනේපිඬු සිටුතුමා ඒ සඳහා පිළියමක් යොදන ලෙස ඉල්ලා සිටින ලදී.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි, බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් ලබා ගත් බීජයකින් රෝපණය වූ අංකුරයක් සැවැත්නුවර ජේතවනාරාමයේ දොරටුව සමීපයෙහි රෝපණය කරවන ලදී. බුද්ධ ශාසනයේ “ආනන්ද බෝධි රෝපණය” නමින් එය ප්‍රසිද්ධ විය. ඉන් පසුව බුදු රජාණන් වහන්සේ නොමැති අවස්ථාවලදී බෞද්ධයන්ට වැඳ පුදා ගැන්මට එම බෝධිය උපකාරී විය. ඒ ඉන්දියාවේ බෝධි වන්දනාව ආරම්භ වූ අයුරුය.

ශ්‍රී ලංකාවේ බෝධි වන්දනාවට මුල් වූයේ මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම පිණිස සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණීන් මෙරටට වැඩම කිරීමේදී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් මෙරටට වැඩම කරවීමයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවන බව දැනගත් එවකට ලංකා රාජ්‍ය පාලනය කළ දේවානම් පියතිස්ස රජු දඹකොළ පටුනට ගොස් (කන්කසන්තුරේ) කරවටක් දියට බැස දූත පිරිස පැමිණි නැවට ගොස් බෝධීන් වහන්සේ පිළිගෙන එය ලංකා රාජ්‍යයෙන් පිදූ බව මෙරට ජනප්‍රවාදයේ මෙන්ම ඉතිහාස ග්‍රන්ථවල ද දක්වා ඇත.

පසුව මහත් වූ පෙරහරකින් ජය ශ්‍රී මහ බෝධිය හා පිරිස අනුරාධපුරයට වැඩම කරවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උත්සවාකාරයෙන් මහමෙවුනා උයනේ රෝපණය කරන ලදී. ජනප්‍රවාදවල සඳහන් වන්නේ දින 7ක්ම දේවානම්පියතිස්ස රජු බෝ සමිඳුන්ගේ ආරක්ෂාව පිණිස දොරටු පාලයෙක් මෙන් ශ්‍රී මහා බෝධිය ඉදිරියේ සිටි බවයි. මිනිසකු විසින් රෝපිත ලෝකයේ පැරණිම වෘක්ෂය ලෙස අනුරාධපුරයේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධිය හැඳින්විය හැකිය. මෙය බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන්, ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහා බෝධියේ දක්ෂිණ ශාඛාවකි. දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාව එසේ වැඩම කරවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකදීය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෝකයෙහි ඇති පුරාණතම ඓතිහාසික වෘක්‌ෂය ලෙස ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට්‌ න­ැමැති ඉංග්‍රීසි ලේඛකයා සිය ලංකාව (CEYLON) කෘතියේද දක්වා ඇත.

ශ්‍රී මහා බෝධිය වැඩමකරවීමත් සමඟ ලාංකික ජන සමාජයේ පරිවර්තන රැසක් සිදු විය. භික්ෂුණී ශාසනය ආරම්භ වීමට අමතරව ගස් ගල් ඇදහීම් සිදු කළ ජනතාව අර්ථාන්විතව ශ්‍රී මහා බෝධිය වන්දනාවට හුරුවූහ. සංඝමිත්තා තෙරණිය සමඟ උත්තරා, හේමා, පදුමා, පසදමාලා, අග්ගිමිත්තා, මල්ලා, සුමා, මහාදේවී, ඇතුළු තෙරණින් වහන්සේලා 11 නමක් වැඩම කර කළ අතර, තවත් කුමාරවරුන් රැසක්ද ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාවට පැමිණියහ. එයත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දෙරට අතර සිදුවූ වැදගත් සිදුවීමකි.

ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමඟ සිදුවූ තවත් වැදගත් කරුණක් වූයේ කුල 18ක ජනයා මහා බෝධියත් සමඟ දඹදිව සිට පැමිණීමයි. වංශ කතාවලට අනුව ධර්මාශෝක රජු එම පිරිස එවා ඇත්තේ බෝධීන් වහන්සේගේ තේවාව සඳහාත් බෝධීන් වහන්සේ හා සම්බන්ධ ඉදිරි කටයුතු සඳහාත්ය. විශේෂයෙන්ම ඒ දක්වා වෘක්ෂ වන්දනාව සිදු කළ ජනතාව පෙර නොදුටු වෘක්ෂ වන්දනාවක් අවබෝධයක් සහිතව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමටය. එසේ පැමිණි කුල අතර ගොවිතැන, වඩු කර්මාන්තය, ලෝහ කර්මාන්තය, කුඹල් කර්මාන්තය, ආයුධ තැනීම, රෙදි විවීම, ආහාර පිසීම, රන් රිදී වැඩ ඇතුළු විවිධ වෘත්තීන් රැසක පිරිස් පැමිණ තිබේ. ඒ අනුව අවශ්‍ය ඕනෑම සමාජයකට අනුගත විය හැකි පරිදි සමාජ සංස්ථාවක් එසේ මෙරටට එවා තිබේ. ඒ හරහා මෙරට තුළ නව පිබිදීමක් මෙන්ම නව ආර්ථික රටාවක් ද ඇති විය.

ශ්‍රී මහා බෝධිය වැඩම වීම මඟින් ලක්දිව බුදුසසුන තවදුරටත් වර්ධනය විය. ධර්මාශෝක අධිරාජ්‍යයා තම මිතුරා වන දේවානම්පියතිස්ස රජුට සිය රාජ්‍යයෙන් බෝධිය පුදන ලෙස කළ ඉල්ලීමක් කර ඇත. මේ සමඟම ශ්‍රී මහා බෝධීන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වීම ද සිදු විය. අනුරාධපුර රාජධානිය නිමාවන තෙක් සියවස් ගණනාවක් ශ්‍රී මහා බෝධිය ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත් විය. දඹදිව සිට පැමිණි කුමාරවරුන්ට ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ රාජකාරි කටයුතු පවරා තිබුණි.

ඒ අනුව බෝධිගුප්ත කුමරුට ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව, සුමිත්ත කුමරුට බෝධීන් වහන්සේට පෙරහැර කරවීම, චන්ද්‍රගුප්ත කුමරුට මලය රජ තනතුර, වීරභාහු කුමරුට විල්බා දනව්වේ භාරකාරීත්වය, දේවගුප්ත කුමරුට චතුරස්සිය භුමියේ භාරකාරීත්වය, ධර්මගුප්ත කුමරුට මහා බෝ මඟුලෙහි සක් පිඹීම, ධම්මගුප්ත කුමරුට මෝරිය දනව්වේ භාරකාරීත්වය, සූරියගුප්ත කුමරුට මහා බෝ මඟුලෙහි පිරිත් පැනින් බෝධීන් වහන්සේ නෑවීම, ගෝතම කුමරුට මහ බෝධීන් වහන්සේ මුදුනෙහි ධවල ඡත්‍ර දැමීම සහ ජුතින්දර කුමරුට මහා බෝ මළුවේ ආරක්ෂාව පවරා තිබිණ.

මේ කුමාරවරුන් ඇතුළු තවත් පිරිසක් ද එක් කර ශ්‍රී මහා බෝධියේ වතාවත් වෙනුවෙන් පිරිස් වෙන් කර ඇති අයුරු තවත් අයුරකින් ද දැක්වෙන අතර, එහිදී කඩුපසඟනා නම් තනතුර දරන්නා රාත්‍රියෙහි කඩුපතක් අතින් ගෙන මහා බෝධින් වහන්සේ රැකීමේ තනතුරට පත් කර ඇති අතර, බමුණු නා තනතුර හිමි අය විසින් බෝධීන් වහන්සේට ශාන්ති කිරීමේ කටයුතුතු සිදු කිරීමට පවරා තිබේ. එමෙන්ම උතුරු පස්නා තනතුර දරන්නා විසින් රන් ධජ, රදී ධජ ආදි ධජ එසවීමේ තනතුරට පත් කර ඇති අතර මහ වෙළෙඳ නා තනතුර දරන්නා විසින් අබ මලා හා සුවඳ දුම්මලා සැපයීමේ කටයුතු කළ යුතු බවත් කලිඟුනා තනතුර දරන්නා ශ්‍රී මහා බෝධියට අලුත් මල් සැපයීම කළ යුතු බවත් දක්වා තිබේ. මේ ලෙසින් 23 දෙනකු එසේ කටයුතු පිණිස පත් කළ බවත් සඳහන්ය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ බොහෝ විස්තර මහා වංශය, දීපවංශය වැනි වංශ කතාවලත්, බෝධිවංශය වැනි සුවිශේෂ වංශකතාවලත් සඳහන් වී තිබේ.

දේවානම්පියතිස්‌ස රාජ යුගයේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන ලද පුද පූජෝපහාර මෙන්ම ඒ සඳහා ඉදිකරන ලද ගොඩනැඟිලි, තොරණ පෙති පිළිම පිළිබඳවද, මහා වංශය, බෝධිවංශය ඇතුළු ග්‍රන්ථවල සඳහන් වේ. රජවරුන් හා අනෙකුත් ප්‍රභූන් විසින් කළ බෝධි පූජා පිළිවෙත් පිළිබඳ ද එහි සඳහන්ය. ජනතාව බෝධි පූජා කෙරෙහි විශේෂ රුචිකත්වයක් දක්වන ලද්දේ එයින් පසුවය. එමෙන්ම ශ්‍රී මහා බෝධිය සහ රජ පදවිය අතර සෘජු සබඳතාවක්‌ පවතින බවට විශ්වාසයක්‌ පැවැති හෙයින් ජය ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීමෙන් පසුව එයට ජීවමාන බුදුරජාණන් වහන්සේට සමානව තම අසීමිත භක්‌තියෙන් ගරු බුහුමන් දක්‌වන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ඒ අවට පරිශ්‍රය ආරක්‌ෂා කිරීමට බොහෝ රජවරුන් විවිධ ක්‍රියාමාර්ග ගත් බව පුරාණ වංශකතාවල සඳහන් වී ඇත. අවශ්‍ය විට හා අවශ්‍ය පරිදි මහා බෝ සමිඳුන්ගේ වැඩිදියුණු කිරීම් හා අනෙකුත් වගකීම් ඉටුකිරීම තම වගකීම බව ද රජවරු සැලකූහ. 

රජවරුන් විසින් ශ්‍රී මහා බෝධියට කරනු ලබන උපහාරයක් ලෙස තම නම් හෝ ඊට සම්බන්ධ ලෙස නම් යොදාගෙන ඇති අතර, බෝධිසේන, බෝධිගුප්ත, සංඝබෝධි රජවරුන් යොදා ගත් එවැනි නම් කිහිපයකි.

අනුරාධපුරයෙන් රාජධානි මාරු වීමත් සමඟ ශ්‍රී මහා බෝධියට ලැබුණු රාජ්‍ය සැලකිල්ල මඳක් අඩු වුවත් ජනතාව තම සැලකිල්ල වැඩි කළ බව සඳහන්ය. එම නිසා රාත්‍රී කාලයේ අලි ඇතුන්ගෙන් ශ්‍රී මහා බෝධිය රැක ගැනීම පිණිස දර යොදා ගිනි මැල දැල්වීමට නුවර කලාවියේ ජනතාව පුරුදු විය. එහෙත් ඇතැම් කාලවල එසේ දර සපයා ගැනීම දුෂ්කර වූ අවස්ථාවල දී “දරමිටි පෙරහැර” නමින් හැඳින්වෙන විශේෂ චාරිත්‍රයක් අනුගමනය කර තිබේ. ඒ අනුව වන්දනාවේ පැමිණෙන පිරිස් ද දරමිටිය බැගින් ගෙන ඒමට කටයුතු කළහ. පසුව බෝසමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණීමේදී දරමිටියද පූජා භාණ්ඩයක් බවට පත් විය. බෝධි ආරක්‍ෂක ක්‍රමයක් වශයෙන් පැවැති මෙය පසුව දරමිටි පෝය නමින් එක් දිනක් තුළ වැඩිම දර මිටි ගණනක් එකතු කරගෙන වසර පුරාම රාත්‍රී කාලයේ වන සතුන්ගෙන් බෝධීන් වහන්සේ රැක ගැන්මට මේ පිරිස් කටයුතු කළහ.

මෙසේ දැඩි වෙහෙස මහන්සියෙන් රැක ගන්නා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස කළු බණ්ඩාර දෙවියන් සිටිනා බව බෞද්ධයන්ගේ පිළිගැනීමකි. එම දෙවියන් සැදැහැවතුන්ගේ ආරක්ෂාව ද සලසන බවට ජනතාව තුළ මතයක් පවතී. කළු බණ්ඩාර දෙවියන් යනු දඹදිව සිට බෝධීන් වහන්සේ වැඩම කරනා විට එහි ආරක්ෂකයා ලෙස කටයුතු කළ කුමරා බවට ද ජනතාව අතර මතයක් පවතී.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධිත අදටත් ජනතාව අතර පවත්නා ප්‍රධාන චාරිත්‍ර 4ක් දක්නට ලැබේ. එයින් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන්නේ අලුත් සහල් මංගල්‍යයි. සිය පළමු වී අස්වැන්න ශ්‍රී මහා බෝධි වෘක්ෂයට පූජා කිරීම අනුරාධපුර ගොවීන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායකි. එම උත්සවය "අලුත් සහල් මංගලය" ලෙසින් හැඳින්වේ. තම වගාවන්ට වන සතුන්ගෙන් මෙන්ම නියඟය, ගංවතුර වැනි උවදුර නිසා වන හානි නොමැතිව ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට හා ආරක්ෂාව ලැබුණු හා ඉදිරියේදී ලැබෙනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන් මේ මංගල්‍යය සිදු කෙරේ.

අලුත් සහල් මංගල්‍යයට අමතරව පරණ අවුරුදු නානුමුර මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය වැනි මංගල්‍ය 4ක් ද සිදු කෙරේ. මීට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ධජ පූජාවක් ද වාර්ෂිකව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා සිදු කෙරෙන අතර, එහිදී යුද හමුදාපතිවරයා පැමිණ සියලු රෙජිමේන්තු ධජ රටේ ආරක්ෂාව වෙනුවෙන් පුද කිරීම සිදු කෙරේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් ජනතාව සිදු කරන පූජා අතර සාමාන්‍ය පූජාවන්ට අමතරව පොල් පැළ පූජාවන් ද අටපිරිකර පූජා කිරීම ද සිදු කෙරේ. මීට අමතරව නිවාසයන් සිට සිදු කරනු ලබන බාරහාර නිදහස් කිරීම ද සිදු කෙරේ. එමෙන්ම ආලෝක පූජාව වෙනුවෙන් බොහෝදෙනා තම දායකත්වය සපයති. ඒ සියල්ලටම වඩා බොහෝදෙනාගේ උත්සාහය වන්නේ කෙසේ හෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පොහෝ දින වන්දනා කර ගැනීමටය. එහෙත් එම දිනවල අධික වන්දනාකරුවන් පිරිසක් සිටින බැවින් වයොවෘද්ධ හා කුඩා දරුවන් පොහෝ දිනවල වන්දනා පිණිස සහභාගි කරවන්නේ නම් උදෑසන 6.00 වන විට වන්දනාව පිණිස සහභාගි කරවීම යෝග්‍ය වේ.


ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමේ ලොකු වගකීමක් තියෙනවා
- නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි

‘බෞද්ධ ජනතාවගේ මතය වන්නේ බුදුරජාණන් වහන්සේ දැකීම හා සමානත්වයක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැකීමෙන්, වන්දනාවෙන් සිදු කෙරෙන බවයි. බුදු රජාණන් වහන්සේ සම්බන්ධව අද ලෝකයේම ජනතාවට දැකගත හැකි එකම ජීවී වස්තුව ලෙස ජය ශ්‍රී මහා බෝධිය හඳුන්වා දෙන්න පුළුවන්.

බෝධීන් වහන්සේ කියන්නේ ජීවී වස්තුවක් නිසා එම පූජනීය වස්තුව අප ආරක්ෂා කළ යුතු බව විශේෂයෙන්ම කිව යුතුයි. එම නිසා යම් යම් සීමාවන් පනවන්න සිදු වීමට පුළුවන්. විශේෂයෙන්ම ස්වභාවික උවදුරුවලින් වන හානිවලින් අප එය වළක්වා ගත යුතුයි. එමෙන්ම කෘමී උවදුරු වැනි දේවලින් අප එය ආරක්ෂා කළ යුතුයි.

බෝධීන් වහන්සේ හා සම්බන්ධ කටයුතු අප සිදු කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උද්භිද විශේෂඥයන්ගේ උපදෙස් අනුවයි. ඒ අනුව තමයි අප එයට පොහොර යෙදීම් අවශ්‍ය නම් ජලය යෙදීම හෝ කෘමි උවදුරු වලින් වළක්වා ගැනීම පිණිස අවශ්‍ය කටයුතු සිදු කරන්නේ.

අතීතයේ සිට රාජ මහා මාත්‍යාදීන් විසින් කරපු පූජාවන් ආදි සියල්ල අපත් ඒ ලෙසින්ම සිදු කරනවා. අතීතයේ පාලි බෝධි වංශය පොත සම්පාදනය කරලා තියෙන්නේ බෝධීන් වහන්සේ සම්බන්ධ විස්තර දැනුවත් කිරීමටයි. එහි සිංහල කෘතියකුත් තිබුණු බව දැක්වෙනවා.

රජතුමකු රාජ්‍යත්වයෙන් පුදපු එකම වෘක්ෂය ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. නුවර කලාවියේ ජනතාව මේ වෙනුවෙන් විශාල කැපවීමක් දක්වනවා. තමන්ගේ දුක් දොම්නස් වගේම සතුටු වන අවස්ථාවන්හිදීත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාවට ජනතාව පුරුදු වී සිටිනවා.

වන්දනාකරුවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි දුම්රිය ස්ථානයේ සිට බස් රථ සේවාවක් නැතිවීම. පසුගියදා ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ආපු වෙලාවෙ මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. ඊළඟ පොහෝ දින නිසා එම බස් රථය යොදවන බව ඇමැතිතුමා පොරොන්දු වුණා.

උදෑසන 5.00ට ජය ශ්‍රී මහා බෝධියට මාර්ගය විවෘත කෙරෙනවා. පෙරවරු 5.30ට පහළ මළුව විවෘත කරනවා. උදේ 6.00න් පසුව උඩමළුව විවෘත කෙරෙන අතර, රාත්‍රී 9.00 -10.00 වන තුරු එය විවෘතව තැබෙනවා. අධික වන්දනාකරුවන් සිටිනවා නම් රාත්‍රී 12.00 පමණ වනතුරු උඩමළුව විවෘත කෙරෙනවා. දහවල් 12.00ත් 2.00ත් අතර උඩමළුවේ පිරිසිදු කිරීම් වෙනුවෙන් වසා තබනවා. වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට නියමිත ස්ථානවල පමණක් අදාළ පූජා ද්‍රව්‍යයන් පූජා කරන ලෙසයි.

Comments