සාහිත කෙතේ මහා අස්වැන්නක් අස්වද්දා නික්ම ගිය සුළවතා | සිළුමිණ

සාහිත කෙතේ මහා අස්වැන්නක් අස්වද්දා නික්ම ගිය සුළවතා

ජීවිතය මහා ගැඹුරු නැත. එමෙන්ම ඕනෑවට වඩා සරල ද නැත. ජීවිතය ගැන වන විවිධ අර්ථකථනවලට ඔබ්බෙන් ජීවිතය ඇති බව පමණක් දනිමි. ඒ දැනීම මහ පොළව මත පැළ කරන්නට සමත් වූ ලේඛකයන් අල්පය. කොහොමත් හොඳ දෑ අල්පය. ඒ අල්ප බව විසින් ඒ අල්ප දෑට එක්කරන ආලෝකය හා වටිනාකම අතිමහත් ය. ගිනියම්ව කඨෝර බව විසින් මුදු බව පැහැර ගත් සමයෙක මා දයාවේ මුදු පහස වින්දේ එක්තරා ලේඛකයකුගේ පොත් කියැවීමෙනි. එකිනෙකා පරයා නැඟී සිටීමේ තරගය සේ ම පුහුදුන් මිනිස් සිතේ ස්වභාව ගැන දයාබරිතව බලන්නට හිත හික්මවීමේ මූලික පාඩම උගත්තේ ඔහුගෙනි. බුදු සමයෙහි වජ්ජ සූත්‍රයේ දැක්වෙන අපරාධ සම්බන්ධ කොටස ගැන ගිහියකු වූ ඔහු ඇතැම් භික්ෂූන් වහන්සේලාටත් වඩා හොඳින් දැන සිටින්නට ඇති බව මා තේරුම් ගත්තේ ඒ කෘති කියැවීමෙනි. මේ සියල්ල ඔස්සේ ශික්ෂිත ලේඛනයක් හරහා සමාජයකට කළ හැකි බලපෑම කවරාකාර ද යන්න ගැන මා උගත්තේ ඔහුගෙනි.

ජයසේන ජයකොඩි නම් මේ ලේඛකයා කතුවර වේශයෙන් ඔබ්බට ගොස් ජීවිතය දිනූ මිනිසෙක් බව ඔබට කියන්නට මා මැළි නොවන්නේ එබැවිනි. ජිවිතය, ජීවිතය ඇතුළේ දියකර හරින්නට හැකි ලේඛකයකු වූ ඔහු සරලත්වය ඇතුළේ වන ගැඹුර ගැන අප දැනුම්වත් කළ ලේඛකයා ලෙස අබිසෙස් ලබන්නේ එලෙසිනි. නූතන සාහිත්‍ය කලාව ඇතුළත භක්ති මාර්ගය අනුදත් ලේඛකයා ලෙස ජයසේන ජයකොඩි හැඳින්වීමට අප දෙවරක් නොසිතන්නේ ද ඒ නිසාය. 70 දශකයේ නවකතාවේ වූ පැතැලි, ඒකතානමය ස්වරූපයට ළතෙත් හා අරුමැසි බවක් එක් කරන්නේ ද ජයසේන ජයකොඩි ලේඛකයා විසින් ම ය.

පිච්ච මල ලියමින් හේ පිළිපන් මාර්ගය විටෙක තිගස්සවන සුළු නිර්භීත පාරකි. රාහුල හිමියන්ගේ මුවඟට නංවන මේ වදන් ඊට මනා සේ දෙස් ය. 

"මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ ගැන සිතනවා. ඒ අනුව ක්‍රියා කරන්න උත්සහ කරනවා. අන් අය කෙසේ සිතනවාද ක්‍රියා කරනවා දැයි කියා මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකටද මහත්තයා? ඒ හැර මං පණ්ඩිතයෙක්ය, තරුණයෙක්ය, සැලකිය යුතු ධනයක ඇති පන්සලක දෙවැන්නාය, පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවාය යනුවෙන් භික්ෂුවකට අනුචිත අදහස් මම වැලඳ ගන්නේ නෑ.මට හැම මොහොතකම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයන් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප වැනි ශ්‍රාවකයන් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්ෂුවක්ද කියායි. බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශෝක්ති ආටෝප බුද්ධියෙන් හඳුනා ගෙන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ දැකගත හැකියි. ඊට පසු උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමටත් ඒ අනුව පැවතීමටත් පහසුයි."

රාහුල හිමියන්ගේ මුවට නංවන මේ වදන්හි ඇත්ත ම හා සත්‍ය ම හිමිකරුවා වන්නේ මේ ලේඛකයා ය. එනම් ජයසේන ජයකොඩිය. මේ වැනි සමාජ ස්ථරයක් ඇතුළත නවකතාවකට ඔබ්බවා හෝ මෙවැන්නක් කීමට තරම් ජයකොඩි ලේඛකයාගේ අදීනත්වය මතක් කරන්නේ ඇලෙක්සැන්දර් ඉසායේවිච් සොල්සෙනිත්සින්ගේ ප්‍රකාශයක් ය.

‘රටකට ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ඉන්නවා කියන්නේ හරියට ඒ රටේ තව ආණ්ඩුවක් තියෙනවා වගෙයි. කිසිම රාජ්‍ය පාලනයක් ශ්‍රේෂ්ඨ ලේඛකයකුට ආදරය නොකරන්නෙ ඒ නිසයි. ඔවුන් සලකන්නෙ අල්ප ලේඛකයන්ට පමණයි‘

සොල්සෙනෙත්සින් පවසන සේම ජයසේන ජයකොඩි ලේඛකයා ද ආණ්ඩුවක් වැනිය. සියල්ල අත්හැරීම සඳහා බුදුන් යොදා ගත් චීවරය නූතනයේ ඇතැම් භික්ෂූන් සියල්ල අත්කර ගැනීම සඳහා භාවිත කරන බව කියන්නට හේ මැළි වූයේ නැත. එබැවින් නූතන බුදු දහම බුදුන්ගේ දහමක් නොව දෙව්දත්ගේ දහමක් බැව් ඔහු පැවසීය. අජාසත්ත සමඟ එකතුව දෙව්දත් විසින් ගොඩනැඟූ රාජ්‍ය බුද්ධාගම මහා විහාරය විසින් මහායානය මර්දනය කිරීමෙන් පසු අද දක්වා පැවතෙන බව ද හේ කීය. සැබෑ බුදු දහම ථෙරවාදයෙහි නොව මහායානයෙහි ශේෂව පවත්නා බව හේ දැඩිව විශ්වාස කළේය.

මාර්ටින් වික්‍රමසිංහගේ බවතරණය කියවන ජයසේන ජයකොඩිට මහත් ආවේගයක් ඇති වූ බැව් ඔහු කියා තිබේ. එබැවින් සැබෑ බුදු ගුණ නිරූපණය වෙන පොතක් ලියන්නට ඔහුට අවශ්‍ය වෙන අතර, වික්‍රමසිංහ සිද්ධාර්ථ චරිතය භෞතික ව හා මාක්ස්වාදී දෘෂ්ටියකින් විග්‍රහ කිරීමෙන් ශ්‍රද්ධාවක් ගොඩනොනැඟෙන බැව් හේ ඇදහීය. ඔහු පවසන්නේ සිද්ධාර්ථ වැනි චරිතයක් ගැන එසේ ලිවීම සාහසික ක්‍රියාවක් බවකි. අමාවැස්ස කෘතියේ කොතැනකවත් එය බවතරණයට පිළිතුරක් යැයි සඳහන් නොවූවත් බොහෝ අය එය පිළිතුරක් ලෙස හඳුන්වයි. ඔහුගේ නුරා ගින්න කෘතිය බෞද්ධ සම්ප්‍රදායෙන් ඔහු ලැබූ උච්චතම අභාසය පළට කරන්නක් යැයි කිවහොත් නිවැරදිය. බෞද්ධ ජාතක කතා දොළහක් එකම තේමාවක් යටතේ විශිෂ්ට ලෙස පුරුද්දමින් නව අත්හදාබැලීමක් කරන ජයකොඩි ලේඛකයා එය නව මුද්‍රණයේදී නම් කරන්නේ ගිහි ගෙදර නමිනි. මිනිසාගේ සිතේ ඇති සදාතනික අර්බුදය ගැන එහි මැනවින් විදාරණිත ය. ස්ත්‍රිය හා ස්ත්‍රී සිරුර ගැනත්, රතිය පිළිබඳ පිරිමියාගේ සිතේ තිබෙන බිය සේම ඒ ගැන ඊට සපුරාම පටහැණි ලෙස පවතින නොතිත් ආශාවත් නිසා ඔහු මංමුළාවේ වැටෙන අයුරුත් මේ ඔස්සේ විදාරණය වෙන්නේ සිතේ ස්වභාවය පිළිබඳව වන පැහැදිලි අවබෝධයෙනි. අතීතයේ සිට වර්තමානය දක්වාත්, එතැනින් අනාගතය දක්වාත් ජාතක කතාකරුවා හෙළන බැලීම සර්වකාලීන සත්‍යයක් ලෙස එතැනින් ඔබ්බට රැගෙන යෑමට හේ එහිදී උත්සාහ කරයි.

ගැමි සමාජය සිය නවකතා බොහොමයක විෂයය පථය කර ගන්නා ජයකොඩි ලේඛකයා ගැමි කුහකත්වය සියුම්ව විග්‍රහ කිරීමේ ලා සිය නවකතා මාධ්‍යයක් කර ගත්තේය. ඔහුට විශාල පාඨක සමාජයක් සිටියේය. ඒ සමාජය විසින් ඔහුගේ ලේඛකත්වයේ ගැඹුර හඳුනාගෙන සිටියේය. ලෙනාඩ් වුල්ෆ්ගේ සිට මාර්ටින් වික්‍රමසිංහ හරහා කේ. ජයතිලක, සයිමන් නවගත්තේගම, ජයසේන ජයකොඩි දක්වා ලේඛකයන් නිරූපණය කළ ලාංකේය ගම පිළිබඳ සාහිත්‍යය කතිකාව විචිත්‍රය. විවිධ ස්වරූප ගත්තෙකි. ඒ ලෙසින් බලන කල සයිමන් නවගත්තේගම හෝ මාර්ටින් වික්‍රමසිංහ නිරූපණය කරන ගමට වඩා වෙනස් ගමක් ජයසේන ජයකොඩි නවකතා ඇසුරේ නිරූපිත ය.

ඔහුගේ නවකතා ධාරාව ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපගේ අවධානයට යොමු කරන්නේ නම් ඉන් එකක් වනුයේ ග්‍රාමීය ප්‍රවේශය ය. අනෙක නූතන බෞද්ධ සාහිත්‍යයක් ගොඩනැඟීමට ඔහු විසින් කරන ලද පුරෝගාමී කාර්යභාරයයි. එහිදී හේ පරාජිත නවකතා රැල්ලෙන් වෙනස් මඟක් ගත්තේ වෙයි. කේ. ජයතිලක, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ලේඛකයන් අතින් බිහි වූ නවකතාවල ප්‍රධාන චරිත බොහොමයක් ආදරයෙන් පරාජිත වූ ඒවාය. අනෙක් ලේඛක පිරිස වූයේ බොළඳ ආදර කතා ලියන පිරිසයි. ඔහුම පවසන පරිදි ඒ නවකතා කියැවූ විට ඔහුට කනගාටුවක් දැනිණි. මේ බොහෝ ලේඛකයන් සැබෑ සංස්කෘතිය පිළිබඳ අවබෝධයෙන් නිර්මාණකරණයේ නොයෙදුණු බව ඔහුගේ නිරීක්ෂණයයි. නිර්මාණකරුවන් නිර්මාණකරණයේ නිරත විය යුත්තේ සර්වව්‍යාපී බවකින් යුතුවය. එහෙත් බොහෝ නිර්මාණකරුවන් අතින් මේ සංයමය සේම ශික්ෂණය ද ගිලිහී ගොස් තිබිණි. ජයසේන ජයකොඩි නිර්මාණකරුවා මේ සංයමය හා ශික්ෂණය ලබන්නේ ජාතක පොත, සද්ධම්මාලංකාරය, උම්මග්ග ජාතකය, අමාවතුර වැනි කෘති කියැවීමෙනුත් ගැමියන් හා කරන ලද අව්‍යාජ ඇසුර හේතුවෙනුත්ය.

ජයසේන ජයකොඩි ලේඛකයා නාමශේෂභාවෝපගත වීමට ප්‍රථම අවසන් සම්මුඛ සාකච්ඡාව කළේ සිළුමිණ පුවත්පත වෙනුවෙන් මා සමඟිනි. මා එතුමා හමුවීමට ගිය විටත් සිනාමුසු වුවනින් යුතුව අප හා පැය කිහිපයක් ගත කළේ සාහිත්‍ය ගැනත් විවිධ සමාජ ස්ථර හා ගනුදෙනු කිරීමේදී ලද අත්දැකීම් පිළිබඳවත්ය. මම නිර්මාණකරුවා සහ නිර්මාණය දෙකක් ද, එකක් ද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට ජයකොඩි ලේඛකයා පැවසූ කරුණු කිහිපයක් මෙහි සටහන් කිරීමට කැමැත්තෙමි.

‘ යම් නිර්මාණ කාර්යයක යෙදෙන පුද්ගලයා හා බිහි වෙන නිර්මාණය දෙකක් වෙන්න බැහැනේ. ඒ දෙක වෙනස් වුණොත් අපි අතින් සාර්ථක නිර්මාණයක් බිහි වේ යැයි සිතන්නවත් පුළුවන්ද? අද බහුතරයක් ඉන්නෙ හරසුන් මිනිස්සු. ඉතාමත් සුළු පිරිසක් පමණයි ඉතා නිහඬව තමන්ගේ කාර්යය ඉටු කරමින් සමාජයට යම් මෙහෙයක් කරන්නේ. බොහෝ නිර්මාණකරුවන්ට අද පෞරුෂයක් නැහැ. මේක අදාළ වෙන්නෙ කලාකරුවන්ට විතරක් නොවෙයි. හැමෝම කුමක් නමුත් බල, ධන අරගලයකට සහයෝගය දෙනවා. මූලයක් නැති පිරිසක් බිහිවෙලා තියෙන්නෙ මේ රටේ දේශපාලනයේ වරදින්. කලාකරුවා ස්වාධීන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒත් අද ඔහු දේශපාලනඥයන්ගේ අතකොළුවක් පමණයි‘

ලේඛකයන් බහුතරයක් සොල්සෙනෙත්සින් පවසන වර්ගයේ ලේඛකයන් නොවේ. බහුතරයක් ඉන්නේ සිය වගකීම හෝ වගවීම පිළිබඳ සවිඥානිකව නොවේ. අල්පතර වූ ලේඛක පිරිසක් තමාගෙන් විය යුතු යුතුකම් සේම වගකීම් පිළිබඳව ද සමාජයට පෙරළා දිය යුතු මොනවාද යන්න ගැන ද දැනුම්වත්ය. ජයසේන ජයකොඩි ලේඛකයා වැටෙන්නේ ඒ ගණයටය. ඔහුට සමාජය ගැන අරමුණක් තිබිණි. තමන් කරන කාර්යය පිළිබඳව වගකීමක් තිබිණි. පැසුණු නුවණක් හා ඇසූ පිරූ දැනුමක් තිබිණි. ලේඛකයකුට තිබිය යුතුම සංයමය හා ශික්ෂණය තිබිණි. ඔහුගේ පෑන නිරන්තර පෙනී සිටියේ ජනතාවාදී කලාවක් වෙනුවෙනි. ජීවිතයේ අහුමුලු මෙන්ම විඳීම් විඳවීම් කැටි කළ අපූරු බස්වහරක් ඔහු සතු විණි.

ඒ භාෂාව අනවශ්‍ය ලෙස ගැඹුරු වූයේ හෝ ආලේපිත බොළඳබවකින් හෝ යුතු නොවීය. හොඳට වැසි වැටෙන පොළවක පිහිටි සරුසාර පසක පෝෂිතව වැඩෙන ලපලු මෙන් ඔහු ගොඩනඟන චරිත ඒ නිර්මාණ කෘති ජීවමාන කරන්නට සමත්ය. අපේ හදවත් අරක් ගත්, ඒ ඔස්සේ අපේ ජීවිත ද කියවා ගත් චරිත එ්වායෙහි අඩංගුය. බොල් නිසරු චරිතවල හැසිරීම්වලට සමාව දෙන්නත්, පුහුදුන් මිනිස් ගති ගැන අවබෝධයක් ගන්නත් මට හැකියාව ලැබුණේ ඒ චරිත අධ්‍යයනයෙනි. පොතකට කළ හැකි බලපෑම කවරාකාර ද ඒ බලපෑම විසින් ශික්ෂිත මනසක් උරුම කර ගැනීමේ සුපහන් බව කෙතරම් සාමකාමී ද යන්න පුදුම සහගත ය. ජීවිතය ඇත්තේ අප සිතන තැන නොව අන්තැනකය යන්න ගැන මුල්ම අවබෝධය ලැබෙන්නේ ජයසේන ජයකොඩි නිර්මාණ ඇසුරේය. අදටත් ඒ නිවීම ලබා දීම ගැන ජයකොඩි නිර්මාණකරුවා ගැන ඇත්තේ අපමණ ආදරයකි.

තර්කයට එහා ඇති ජීවිතයත්, තව කෙනකු මත වෛරය පටවන්නට තරම් ජීවිතය දිගු නැති බවත් අප උගත්තේ ඒ නිර්මාණ ඇසුරේය. පාඨක සිත එතරම් දයාවක් රෝපණය කරන්නට තරම් ජයකොඩි ලේඛකයා සතු අප්‍රමාණ හැකියාව ඔහු දයාලූ සිතම බැව් ඔහු හමු වූ ඇසිල්ලේ මට පසක් විය. තම ජීවිතය ඇතුළේ දිනීම සාක්ෂාත් කර ගත් මිනිසකුට මිස අන් යමකුට ඒ දයාව වපුරන්නට නොහැකි බැව් ඒ ඇසුරේදී මම උගත්තෙමි. ජීවිතය පිළිබඳ ගැඹුර, පද අතර ව්‍යංගයෙහි සැඟ වූ ජයකොඩි ලේඛකයා අතිශය ගැඹුරු දෑ කියන්නට භාවිත බස රසාලිප්තය. පිච්චමල, අරලියමල් ආරාමය, මහමෙර, උපේකා, පින්කෙත, සිල් සුවඳ, සුදු නෙලුම හා තෙර තරණය කියවන්නේ නම් ඔබට ජීවිතයේ අකම්පිත ලෝකෝත්තර ගුණය ගැන වැටහෙනු ඇත. සිය කිසිදු නිර්මාණයකින් බුදු දහමට අබැටක හෝ හානියක් නොකරන්නට හේ වග බලා ගත්තේ ය. අප පෙර කී පරිදි අමාවැස්ස ලියන්නේ ම ඒ නිසාය.

පුහුදුන් සමාජයේ විවිධ පැතිකඩ ගැන අවබෝධයෙන් ලියන ලද මනුස්සාත්ම, අඹුදරුවෝ, රෝස ක‍ටු යනාදී කෘති ද අසීමිත පාඨක ආකර්ෂණයක් දිනා ගැනීමේලා සමත් විණි. ගෝතම ගීතය, අනඳ හිමි, මහ මිහිඳු හිමි, යසෝදාව, සත් සයුර, ගිහි ගෙදර ඈ මේ සියලු පොත් ලේඛක අස්වැන්නේ මතක හිටින සැමරුම් ය. බුදු සමය ඇසුරු කර ගනිමින් චරිත කතා ප්‍රතිනිර්මාණය කිරීමේලා ජයකොඩි ලේඛකයා දැරූ ප්‍රතිභාව විටෙක මවිත වෙන සුළුය. ඒවා නවකතා බවට පත් කරමින් ඔහු ලද අසීමිත පාඨක ආකර්ෂණය මේ වැනි විෂයානුබද්ධ නවකතා ලියා වෙන යම් ලේඛකයකු ලැබුවේ ද යන්න ද ගැටලුවකි. ජීවිතයේ තමා පසක් කළ දෑ තවත් බොහෝ පාඨකයන් වෙත තිළිණ කළ හේ මිය ගිය ද නොමියෙන මිනිසුන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. තමන්ගේ සාහිත්‍ය මූලධර්මවාදයට පාවඩයක් බවට පත් වූයේ නමුදු ඔහු ඒ සියල්ල අත්හලේ කිසිදු පීඩාවකට තවත් ඉඩ නොතබමිනි.

දැවෙන දවන සමාජයක් නිවන නිවාලන සමාජයක් බවට පත් කළ ජයසේන ජයකොඩි ලේඛකයා ජීවත් වෙන්නේ පාඨක හදවතේය. ලේඛකයකුට පාඨක හදවතේ ලැගුම් ගැනීමට හැකි වීම තරම් අන් යමක් වටින්නේ නැත. එපමණක් නොවේ, දැවෙන සිතක් නිවන්නට හැකි ලේඛකයන් සිටී නම් ඒ ද අතළොස්සකි. ඒ වැනි විරල ගණයේ ලේඛකත්වයක් සතු ජයසේන ජයකොඩි ලේඛකයා සදාකාලික සහෘදයකු සේ අප හද අමතන්නේ ඒ නිසා ය. බොල් වී උඩ බලද්දී කිරි වැදුණු වී බිමට පහත් වෙන්නා සේ හේ අදටත් සිය අව්‍යාජත්වය, නිහතමානීත්වය හා පැසුණු බවෙන් පාඨක ලොව සිය කෘති ඔස්සේ ආමන්ත්‍රණය කරන්නේ ඒ නිසා ය.

Comments