සාහිත්‍ය කලාවට මහ කන්දක් වූ සුනිල් සරත් පෙරේරා ලකුණ | සිළුමිණ

සාහිත්‍ය කලාවට මහ කන්දක් වූ සුනිල් සරත් පෙරේරා ලකුණ

හාචාර්ය කාලෝ ෆොන්සේකා වරක් කළ ප්‍රකාශයක් ගැන මගේ මතකය දිවෙයි. ඔහු එදින බොහෝ නිහතමානී ව මෙසේ කීවේය. " මගේ තියෙන සියලුම දේවල් දීලා ' පෙර දිනයක මා පෙම් කළ යුවතිය ' ගීතය ලිව්වේ මා යැයි කියා ගන්න ඇත්නම් මා එය කරනවා " එය නිර්මාණකරුවකුට ලබා ගත හැකි ඉහළ ම අබිමනක් බව ඔබ පිළිගන්නවාට සැක නැත. ගීතය කාව්‍යයේ ම එක්තරා දිගුවකි. එහෙත් කාව්‍ය අබිබවා මේ වන විට ගීතය ජනප්‍රසාදයට ලක් වී තිබේ. සුනිල් සරත් පෙරේරා සම්ප්‍රදානය ගැන විමසන විට ඔහුගේ ගීතවල ඇති විශිෂ්ටත්වයට හේතු පාදක වූ කරුණු ගැන අවධානය යොමු කළ යුතු වේ. ඒ ගීත කෙත පුරා විසිරී ඇත්තේ දාර්ශනික තලයකි. ජීවිතයේ අනිත්‍යතාව සේම සුන්දරත්වයත්, කාලයේ අනුරූප බවත් එහි මැනවින් අන්තර්ගත ය. ඔහුට මෙකී දාර්ශනික එළැඹීමට පාදක වෙන්නට ඇත්තේ බෞද්ධ දාර්ශනික ප්‍රවේශය විය යුතුය. ඔහු ම රචිත ගීත පද රචනා විමර්ශන කෘතියේ සඳහන් වෙන්නේ ඔහුට සිය ගීත රචනා සඳහා ඕමාර් ඛයියාම් වැනි කවීන්ගේ ද, ඉරාන කවීන් ගේ ද අදහස් බලපා ඇති බවකි. ඔහුගේ ගීත රචනාවල ඇති සංක්ෂිප්තතාව හා අර්ථ සංකෝචනය සේම රූපකාර්ථවත් බසත් ශ්‍රැති රම්‍යත්වයත් විසින් ඊට එක්කොට ඇති අලංකාරය වචනවලින් ඔබ්බට ගිය විග්‍රහයකට අයත් දෑ ය. 

හේ අනන්‍ය රීතියක් සහිත නිර්මාණකරුවෙකි. ස්වකීය අනන්‍යතාව මැනවින් ගොඩනඟා ගත් සුනිල් සරත් තම නිර්මාණය තබන්නේ රසික හදවතේ ප්‍රඥාව හා කලාව සංකලනය කරමිනි. ගැයූ ගී සේ ම ඔහු ලියා නොගැයූ ගී ද බොහෝ ය. විවිධත්වය ගුරු කරගත් හේ සිය අනන්‍යතාව ඒ විවිධත්වය වෙනුවෙන් උකසට තැබුවේ නැත.

දර්ශනය, ආගම, ජනවහර, පරිසර හා ළමා ගීත ඒ ගී කෙතෙහි අස්වනු ය. ඒ කවර ගණයේ ගීයක් වුව ද හේ සිය අනන්‍යතාව එහි සටහන් කරන්නේ වචනවලට උපරිම ගෞරවය දෙමිනි.

එය භාෂා නෛපුණ්‍යයේ වන හසල දැනුමකි. විවිධ ආකෘති, විරිත් හා යෙදුම් ස්වකීය නිර්මාණවලට උචිත පරිද්දෙන් යොදන හේ අත්හදාබැලීම්වලට බිය නොවන්නේ තම අත භාෂාවට වන සාධාරණය ගැන දැනුම්වත් බැවිනි. සොළොස් මතින් යුතු විරිත කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන සුනිල් සරත් පෙරේරා ‘නාග සලඹ’ ගීතයේ දී යොදා ගන්නේ තෙ මතින් තෙ මතට කැඩෙන අග දෙ මතෙකින් යුතු තෙ විසිමත් විරිතෙකි. කාවඩි නැටුමෙක තාලය එ මඟින් ඉබේ ම බිහි වේ. ‘අනෝතත්ත විල’ ගීතය ගැමි කවි ආරට නැඹුරු වූවක් බැවින් ගැමි කවියට බෙහෙවින් හුරු අටළොස් මත් විරිත යොදාගෙන ඇත.

ඔහු ගේ ගී අතර තව ද මෙ බඳු නිදසුන් බොහෝ වෙති. ඔහුගේ නිර්මාණ රස විඳන්නන් එය කරන්නේ තම තම නැණ පරිද්දෙනි. එයට අවශ්‍ය කරන වටපිටාව ඔහු විසින් සම්පාදිත ය. තමාගේ අවැසි බව හා තමාට දැනෙන පරිදි එක් එක් රසිකයාට වෙන වෙනම රස විඳිය හැකි ගී කලාවක් යන්න අරුමයකි. ඒ අරුමයේ සුරුව සැරූවෙක් ලෙස සුනිල් සරත් පෙරේරා හැඳින්වීම යුක්ති යුක්ත ය. ගීත කලාවේ භාෂාව වූ කලී මල නොතලා රොන් ගන්නා බමරකුගේ ස්වරූපයෙන් කළ යුක්තකි.

කාලය පිළිබඳ අති සංකීර්ණ මනෝ විග්‍රහයක් පිළිබඳ රම්‍ය චිත්‍රයක් සුනිල් ගී කෙතේ බොහෝ ගී හි අඩංගු ය. එය සංකීර්ණ තලයකි. ගීතය වැනි මධුර මනෝහර ප්‍රවේශයකදී වඩාත් සංකීර්ණ දෑ ස්පර්ශ කිරීම අපහසු ය. එහෙත් වශ්‍යවශෝභාවයෙන් යුතු පුද්ගලයාට එවැනි දෑ උගහට නැත.

පුළුල් වාක් කෝෂයකින් හෙබි සුනිල් සරත් පෙරේරා අත වචන සරන්නේ සුරු බවෙකිනි. ඔහු ජනප්‍රිය හා විදග්ධ සංස්කෘති එකට යා කරන්නේ ගීතයකදී එවැන්නක් කිරීම ඉතා අසීරු බැව් වන අත්දැකීමට නොබිය ව මුහුණ දෙමිනි. එරන්දතිය එනවා... වැනි ගීයක් එයට සනිදර්ශිත ය. එය ජනප්‍රිය ගීයක් වෙනවා සේ ම විදග්ධ කලාවෙහි ද සලකුණ සටහන් කෙරූවකි. විදුර ජාතකය ගැන මතකයේ ඇති ඔබට එහි වින්දන පරිසරයත්, පැරණි කාව්‍යෝක්තිවල ආභාසයත් ඉන් ප්‍රකට වෙන බැව් දැනෙනු නිසැක ය. සාහිත්යික ආභාසය අතින් ඔහුගේ ගීත කලාවට එල්ල කර ඇති ආලෝකය අතිමහත් ය.

අප පෙර කී කාලය පිළිබඳ සංකීර්ණත්වය ද මේ ගී කෙතේ අනන්‍යතාවකි. මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අතිශය ආදරයට ලක් වූ අමරදේවයන් ගායනා කරන පෙරදිනයක මා පෙම් කළ යුවතිය හා මේ මහකන්ද ගීතත් සෝමතිලක ජයමහ ගයන සිනා සිසි එයි ගීතයත් එවැනි කාල සංකීර්ණත්වය ගුරු කොට ගත් නිර්මාණ ත්‍රිත්වයකි. 

පෙර දිනයක මා පෙම් කළ යුවතිය අමරදේව අමර ස්වරයෙන් අප සන්තානයෙහි සිත්තම් කළ සුනිල්, ඇය වෙතින් ‘නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන දයාව වෑහෙන’ සෙයක් දකින්නේ භව සසර අනියතතාව වෙනස් වන සුළු බව ප්‍රත්‍යක්ෂ කරලමිනි. සුනිල් අමරදේව සුසංයෝගයෙන් උපන් සුභාවිත ගීතාවලිය සහෘදයන්ගේ මනෝභාව රංජනය කළ බැව් නොරහසකි. හේ මෙරට ජන ප්‍රධානීන්ගේ සිට කම්කරුවා දක්වා අතිශය ආදරය දිනා ගත් චරිතයක් වන්නේ මෙකී ගුණාංග නිසාය. පසුගියදා සිය ජීවන ගමනේ 80 වැනි වියට පා තැබූ මෙකී අපූර්ව නිර්මාණකරුවාගේ ලිවිසැරියත්, දිවිසැරියත් අප එක්කරන්නට සිතුවේ ඒ නිසා ය. ප්‍රේමය හා විරහව පාදක කරගත් විප්‍රලම්භ ශෘංගාර රස නිෂ්පත්තිය වෑහෙන ගී කෙතේ අස්වැන්න අද අප විඳින්නේ දශක 6කට වඩා දිගු ඔහුගේ රස නුසුන් නිර්මාණ නිසා ය.

පරිසරය වෙනුවෙන් වූ ඔහුගේ දායකත්වය විහිදෙන්නේ පරිසර ගීත සාහිත්‍යයක්

සහෘදයන් වෙනුවෙන් තිළිණ කරමිනි. 1992 වසරේදී බ්‍රසීලයේ රියෝ නගරයේ පැවැති පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් සමුළුව හෙවත් මිහිතල සමුළුවට සියවසේ න්‍යාය පත්‍රය සකස් කළේ සුනිල් සරත් පෙරේරාගේ පූර්ණ සම්බන්ධීකරණය ඇතිවය. එය එහිදී ඇගයීමට ලක් විණි. පරිසර සන්නිවේදනයට අවැසි මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් සොබා සඟරාව බිහි වෙන්නේ ඉන් අනතුරුව ය. මෙරට ප්‍රථම පාරිසරික සඟරාව වෙන එහි නිර්මාණය සේම නාමකරණය ද ඔහුගේ ය. පරිසර සවිඥානිකත්වය ඇති කිරීමේ ලා එකී සඟරාව කළ මෙහෙය අප්‍රමාණ ය. පරිසර අමාත්‍යාංශය සොබා සඟරාව ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය ද්විත්වයෙන් ද පළ කළේ ය.

උඩරට මැණිකේ පරිසර වාර්තා ග්‍රන්ථය ද පාරිසරික විෂයය ක්ෂේත්‍රය පුළුල් කිරීමේ ලා මහඟු මෙහෙයක් කළ කෘතියකි. 1993 වසරේදී මහමෙවුනා උයනේ ජෛව විවිධත්වය සුරැකීමට එහි රුක් රෝපණ ව්‍යාපෘතියක් පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකයේ ද අනුග්‍රහය ඇතිව ආරම්භ කළ හේ වඳ වී යන මහමෙවුනාවේ ආවේණික ශාක රැසක් සංරක්ෂණය කිරිමට ද පියවර ගත්තේ ය. පාරම්පරික දැනුම ගැන ඔහුගේ ඇති විශ්වාසය ගැන ද සිහිපත් කළ යුතු ම ය. ආදිවාසීන් සංරක්ෂණයට පෙරමුණ ගත් ඔහු ඖෂධ පැළෑටි සංරක්ෂණය කිරීමට ද පෙරමුණ ගත්තේය.

ජාතික රූපවාහිනියට මෙරට ප්‍රථම වරට සජීවි පාරිසරික වැඩසටහන් හඳුන්වා දෙන ලද්දේ ද සුනිල් සරත් පෙරේරා සුළවතුන් විසිනි. හෝර්ටන්තැන්න, යාල, සිරිපාදය, නකල්ස් හා තවත් පාරිසරික සංවේදී කලාපවල සිට ජාතික රූපවාහිනිය මඟින් සජීවී වැඩසටහන් ඉදිරිපත් කළේ එකී පාරිසරික කලාප සංරක්ෂණයේ වටිනාකම සේම ස්වභාව සෞන්දර්යය ද ප්‍රේක්ෂකයන් වෙත ගෙන යෑමේ අරමුණිනි. ඔහුට මේ සේවා කරන්නට අවකාශ සැලසුණේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වීමෙන් අනතුරුව ය. හේ 2005 නොවැම්බර් මස 24 වැනිදා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට පත් වූ පසුව ද පරිසර සන්නිවේදනයේ ඉම පුළුල් කිරීමට මහඟු සේවාවක් ඉටු කළේ ය.

පරිසර සිරිසර හා මිහිතලය වැනි වැඩසටහන් ඊට උදාහරණ ය. කොත්මලේ ප්‍රාදේශීය සේවාවේ ද සහය ඇතිව ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා භාෂා විද්‍යාගාරයක් ඇති කිරීමට ද හේ මූලික විය. 

ලොව ප්‍රථම ළමා ගුවන් විදුලිය වන විදුල ඇරඹී ඔහු එහි තේමා ගීත හා වැඩසටහන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් වැඩි වශයෙන් වෙන් කළේ ය. පාරිිසරික සන්නිවේදනය පිළිබඳ බෙහෙවින් උනන්දු වූ හේ ඒ පිළිබඳ ග්‍රන්ථ කිහිපයක් ද රචනා කළේ ය.

පරිසරය හා සන්නිවේදනය කෘතියත් මහාචාර්ය විමල් දිසානායක හා එක්ව කළ පුද්ගලයා පරිසරය හා සන්නිවේදනය ග්‍රන්ථයත් ඒ අතරෙන් ප්‍රධානය. ගීත කලාවේදී ද සුනිල් සරත් පෙරේරා අතින් පරිසරය මඟ හැරුණේ නැත. කොස් ගීතය, මහවැලි ගීතය, ධීවර ගීතය ඕසෝන් ගීතය ඒ අතරෙන් ප්‍රධාන ය. පරිසර සන්නිවේදනය පිළිබඳ ජනාධිපති සම්මානයෙන් හා හරිත සම්මානයෙන් පිදුම් ලබා ඇති සුනිල් සරත් පෙරේරා එකී සම්මානවලින් ඔබ්බට ගිය මහඟු මෙහෙයක් පරිසරය පිළිබඳ ව ඉටු කර ඇති බව සත්‍යයකි.

සුනිල් සරත් පෙරේරා දිවිසැරියත්, ලිවිසැරියත් එකම මඟක් ගත්තෙකි. හේ සිය ජීවිතයේ කිසිවක් හඹා ගියේ නැත. ලැබුණු සියල්ල ඔහුගේ ජීවන මඟේ වූ මානව දයාර්ද්‍රවාදී ප්‍රවේශය වෙනුවෙන් ලැබුණකි. සියල්ල සම හා මෙත් සිතින් දරාගත් ඔහුට එකී පන්නරය ලැබෙන්නට බලපෑම් කළ සාධක කවරේද යන්න ගැන මා විමසන්නට හිතුවේ එබැවිනි. මේ සිය ජීවිතයේ ලැබූ සියල්ල ගැන නැවත හැරී කළ ආවර්ජනයක ගුණ සුවඳ ය.

‘මට ආපස්සට මගේ ජීවිතේ ගැන හැරිලා බලද්දි හරි සතුටක් සහ අභිමානයක් දැනෙනවා. මට කිසිම පසුතැවිල්ලක් නෑ. මම කිසියම් දර්ශනයක් හා අනන්‍යතාවක් ඇතිවයි කටයුතු කළේ. මනුෂ්‍යත්වය ගැන දයාවක් ඇතිවෙන ආකාරයටයි මගේ ජීවන දහමේ මම කටයුතු කළේ. මට ඒක ලැබුණේ ධර්මයෙන්. ඒ වගේ ම අම්මාගේ මෘදු බවත් තාත්තාගේ ඍජු බවත් මට ලැබුණා. මට බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාන මිතුරු කැලක් හිටියා.

මම ජිවිතේ සමහර වෙලාවලදි වැටුණා. හැබැයි ඒ හැම වෙලාවක ම මට නැගිටින්න ශක්තිය ලැබුණා. මගේ බිරිය මට විශාල ශක්තියක් දුන් කෙනෙක්. මම කවදාවත් කාටවත් වෛර කරලා නෑ. ඒ ශක්තියත් මට ලැබුණා. මට රැකියා අහිමි වුණු අවස්ථාවල පවා තිබුණට වඩා ඉහළ රැකියාවක් මට ආයෙත් ලැබුණෙ ඒ මගේ ගතිගුණ නිසා. මා ප්‍රගුණ කළ දහම මා රැක ගත්තා.

මට අපේ තාත්තා දුන් ආදර්ශයක් තමයි ඇසුරු කරනවා නම් අපට වඩා ඉහළ මනසක් තියෙන කෙනෙක් ඇසුරු කරන්න කියලා. මම හැමතිස්සෙම ඒක හිතුවා. වජිරාරාමයෙන් මට ලැබුණු උදව් හා පන්නරයත් ජීවිතේට ගොඩක් ලොකු පිටුබලයක් ලබා දුන්නා. 

මට මහගමසේකර කියපු දෙයක් තමයි ප්‍රසිද්ධිය නොවෙයි කීර්තිය ලබා ගන්න උත්සාහ කරන්න කියලා. මොකද හොඳ හෝ නරකින් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නමුත් කීර්තිය ලබන එක අමාරුයි. මට සියල්ලන් අබිබවා යන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ. මම කරන දේ හරියට කරන්නයි මට ඕන වුණේ. ජීවිතයේ රළු බව වගේම මුදු බවත් මම වින්දා. දුක සැප දෙකම මට සමබර විදියට විඳ ගන්න ලැබුණා.

මේ ගඟ ගලනු ඇත දුක සැප දෙකම හුරු ලෙස.... මම පියසිරි විජේරත්නට ලියූ ගීතය වගේ තමයි ජීවිතයත්.

මට කොච්චර වෛර කළ මිනිහට වුණත් මම වෛර කරන්නෙ නෑ. මානවවාදී දර්ශනයක් සහ අරමුණක් මට තිබුණෙ. මම ඉතිරි කරගත් දේ මිනිසුන් පමණයි. මේ 20 වැනිදා පස්වරු 4.30ට ගුවන්විදුලි සංස්ථාවේ උපහාරයක් මා වෙනුවෙන් පැවැත්වෙනවා. ඒ හරසර උලෙළේදී මගේ පොතකුත් නිකුත් වෙනවා ‘මතක නිම්නය‘ නමින්.

කවිය, ජන මාධ්‍ය, පාරිසරික සාහිත්‍යය, ළමා සාහිත්‍යය, ආයතන පරිපාලනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔහුගේ බුද්ධි නෛපුණ්‍ය‍යෙන් ද අද්විතීය කාර්ය සාධන ශක්‍යතා‍වෙන් ප්‍රභාවත් විණි. සුනිල් සරත් ලකුණක අගය අප මේ කතා කරන්නේ ද ඒ නිසා ය. රූපකය පෙරදිග කවියන් විසින් බොහෝ සේ යොදන ලද අලංකාරයක් වුවත් එය සිංහල ගීත ක්ෂේත්‍රයෙහි ලා බෙහෙවින් යෙදුවේ ඔහු විසින් යැයි විචාරකයන් එක හෙළා දක්වන කරුණ සත්‍ය සේ පෙනෙන්නේ පෙර කී සුභාවිත නිමග්න වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ගීතය අර්ථ ශබ්ද දෙකෙහි මනා සංකලනයක් බැව් ඔබ දනී.

ඒ අරුතෙන් ගත් කල ගීතය අර්ථ රස උත්පාදනය ද තනුව හා සංගීතය රස උත්පාදනය ද කරනු ලබයි. එනයින් බලන කල ගීත රචනය කවියක් වන්නා සේ ම ගීත රචකයා කවියකුත් වෙයි. මේ සියලු පැතිවලින් බලන කල අපට ඇත්තේ විශිෂ්ට ගීත රචකයෝ අල්පයක් වෙති. අධ්‍යතනයෙහි සිටින එවන් ප්‍රාමාණික ගීත රචකයන් අතර සුනිල් සරත් ලකුණ වැදගත් වෙන්නේ ඒ නිසා ය.

Comments