තෙවසරකට පසු පාසල් ලීග් රග්බි වසන්තය යළිත් | සිළුමිණ

තෙවසරකට පසු පාසල් ලීග් රග්බි වසන්තය යළිත්

රග්බි ක්‍රීඩාව මෙරට පාසල් අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. ජනාධිපති කුසලාන මෙන්ම ඩයලොග් ලිග් තරගාවලියද මෙරට පාසල් ක්‍රීඩා රග්බි තරගාවලියේ පෙරමුණ ගනී. නමුත් පසුගිය කොවිඩ් වසංගතය හමුවේ පාසල් රග්බි ක්‍රීඩාවද මඳ පසුබැමකට ලක් විය. 2020 වසරේ පාසල් ලිග් රග්බි ක්‍රීඩාව කිසි ලෙසකින් පිටියට පිවිසියේ නැත. නමුත් 2021 වසරේදී පිටියට ප්‍රවිෂ්ටව ගතවුයේ දෙසතියකි. කොවිඩ් වසංගත සෞඛ්‍ය නීති රීති රේගුලාසි හමුවේ නැවතත් තරගාවලිය අතර මැද නවතා දැමිමට තරගාවලියේ සංවිධායකයන් වු පාසල් රග්බි සංගමයට සිදු විය.

පාසල් රග්බි ලීග් තරගාවලිය අවලංගු කිරීමට ප්‍රධාන ම සාධකය ලෙස පාසල් රග්බී සංගමය ගෙන හැර පෑවේ රග්බි ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් ඉතා සමිපව එකිනෙකා ගැටෙන අවදානමක් සහිත තරගයක් වීම නිසාවෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා තිබූ දැඩි සෞඛ්‍ය නීති රීති රෙගුලාසි හේතුවෙන්, 2021 වසරේ ආරම්භ වි තිබුණු පාසල් රග්බි තරගාවලිය අවලංගු කිරීමට සිදුවු බවයි. වසර දෙකක නිහඬතාවයකින් අනතුරුව ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය කාණ්ඩ තුනක් යටතේ පසුගිය 23 වැනි දා නැවත පිටියට පිවිසියේය. ඒ කාණ්ඩයේ පළමු තරගය ලෙස කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගයයෙන්ය. කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී අවසන් වු එම තරගයෙන් ලකුණු 34-03ක් ලෙස තරගය පහසුවෙන් ජය ගන්නට කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය සමත් විය.

මෙරට පළමු පෙළ පුහුණුකරුවෙකු ලෙස නමක් දිනා ඇති නිල්ෆර් ඊබ්‍රහිම් ගේ මඟ පෙන්විම යටතේ ටෙරාන් කරුණානායකගේ නායකත්වයෙන් සාන්ත ජෝශප් විද්‍යාලය පිටියට පිවිසුන අතර, ගිහාන් රණවීරගේ නායකත්වයෙන් යුත් කිංග්ස්වුඩ් විදුහල් කණ්ඩායම බුද්ධික තලගම්පොලගේ මඟ පෙන්විම මත පිටියට පිවිසියේය.

‘ඒ‘ කාණ්ඩයෙන් පිටයට පිවිසි කොළඹ රාජකීය විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, කොළඹ සාන්ත ජොශප් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කටගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය තරග බිමට පිවිස සිටියි. ‘බී‘. හා ‘සී‘ කාණ්ඩයේන් තවත් කණ්ඩායම් 24ක් පළමු කාණ්ඩයෙන් තරග බිමට පිවිස සිටී.

දෙවන හා තෙවන කාණ්ඩයෙන් කණ්ඩායම් 40ක් ඩයලොග් පාසල් රග්බි ලීගයෙන් තරග වැදීමට නියමිතය.

අවසන් වරට 2019 තරග වාරයේදී අනුශූරයන් ලෙස කිරුළු පැලඳියේ කොළඹ රාජකීය විද්‍යාලයයි. ඔවුන් එම තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ අඛණ්ඩව තෙවැනි වරට වීම විශේෂත්වයකි. පසුගිය වසර 12 අතීතය තුළදී පැවැත්වු තරගාවලි 10 න් ( 2010 - 2019) සිව්වරකදී (2015 /17/18/19)රාජකීය විද්‍යාලය ජයගෙන ඇති අතර තෙවතාවක් (2012/14/ 16) කොළඹ ඉසිපතන විද්‍යාලය කිරුළු දරා ඇත. මහනුවර ධර්මරාජ විද්‍යාලය එක්වරක් ( 2013) කිරුළු දරා ඇත. අවසන් වු තරග අතර කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩා සංකීර්ණයේ අවසන් වු රාජකීය විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයෙන් ලකුණු 22 – 12 ක් ලෙස රාජකීය කණ්ඩායම ජයගත්තේය. දුෂාන්ත් ලෙව්කේගේ මඟ පෙන්විම මත හර්ෂික් පීරිස්ගේ නායකත්වයෙන් රාජකීය විද්‍යාලය පිටියට පිවිසි අතර සුමේධ මාලවනගේ මඟ පෙන්විමට යටතේ ජෙයාන් අමරසිංහගේ නායකත්වයෙන් සාන්ත අන්තෝනි කණ්ඩායම පිටියට පිවිසියේය. ඉසිපතන විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාල අතර අවසන් වු තරගයෙන් ඉසිපතන විද්‍යාලය ලකුණු 19 – 8ක් ලෙස ජය වාර්තා කිරිමට සමත් විය. කොළඹ හැව්ලොක් පිටියේ පැවති මෙම තරගයට සාලිය කුමාරගේ මඟ පෙන්විම යටතේ පළපුරුදු දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩක නිතින වික්‍රමාරච්චිගේ නායකත්වයෙන් ඉසිපතන කණ්ඩායම පිටියට පිවිසි අතර මහනුවර කණ්ඩායම නියෝජනය කරන අමිල චතුරංගගේ මඟ පෙන්විම යටතේ හංසක ලක්ෂාන්ගේ නායකත්වයෙන් විද්‍යා විද්‍යාල රග්බී කණ්ඩායම පිටියට පිවිසියේය.

රග්බි ලීග් තරග මාලාවේ විශිෂ්ට තරගයක් වූ 2015 වසරේ අවසන් වු අවසන් තරගය විද්‍යා විද්‍යාලයේ හොඳම තරග වාරය ලෙස සටහන් තැබීමට සමත් විය. එහි දී අවසන් මහා තරගයේ දී ඉසිපතන විදුහල පරදවා ජනාධිපති කුසලානය දිනා ගැනීමට විද්‍යා විද්‍යාලය සමත් වුහ.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර අවසන් වු තරගයෙන් ලකුණු 27 – 12ක් ලෙස ධර්මරාජ විද්‍යාල පරදා සාන්ත පීතර විද්‍යාලය ජය වාර්තා කිරීමට සමත් වුහ. සනත් මාටිස්ගේ ගුරුහරුකම් සමඟින් හා සුදේශ් ජයවික්‍රමගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන සාන්ත පීතර විද්‍යාලය පළපුරුද ක්‍රීඩකයන් බහුල කණ්ඩායමකී. 2019 වසරේ දී ඩයලොග් ලීග් තරගාවලියෙන් සාන්ත පීතර කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වූ අතර පසුව ජනාධිපති කුසලානය දිනා ගැනීමට ද සමත් විය.

ධර්මරාජ කණ්ඩායම ලසිත ද කොස්තාගේ මඟ පෙන්විම මත සෞම්‍ය විජේසිරි සහ තේනුක වික්‍රමසිංහගේ සම නායකත්ව සංයෝජනයේ පිටියට පිවිස සිටියි. වෙස්ලි විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර සී.ආර්. සහ එෆ්.සී. ක්‍රීඩාංගණයේදී අවසන් වු තරගයෙන් ලකුණු 38-07ක් ලෙස ජයග්‍රහණය කිරීමට වෙස්ලි විද්‍යාල ක්‍රීඩකයින්ට හැකි විය. ශෙහාන් ඩයස්ගේ මඟ පෙන්විම යටතේ තරුෂ ජයවීරගේ නායකත්වයෙන් වෙස්ලි විද්‍යාලය පිටියට පිවිස සිටින අතර නලින් විජේසිංහගේ ගුරුහරුකම් මත, අරෝෂ් රත්නායකගේ නායකත්වයෙන් විද්‍යාර්ථ විද්‍යාල කණ්ඩායම පිටියට පිවිස සිටීයි.

පසුගිය 25 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අවසන් වු ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගයෙන් ගල්කිස්ස සාන්ත තොමස් විද්‍යාලය පරාජය කර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 20 - 13ක් ලෙස ජය ගැනීමට සමත් විය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අවසන් වු ‘බී‘ කොටසේ තරගයක් වන මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය හා මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර තරගයෙන් ලකුණු 47 – 14 ක පහසු ජයක් වාර්තා කිරිමට මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාල සමත් විය.

‘බී‘ කොටසේ අවසන් වු අනෙකුත් තරගයන්ගෙන් කොළඹ ඩී එස්. සේනානයක විද්‍යාලය ලකුණු 50 – 00 ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය පරාජය කිරිමට සමත් වු අතර කුරුණෑගල මලියදේව විද්‍යාලය ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාල පරදා ලකුණු 14 – 10 ජයක් වාර්තා කිරිමට සමත් වුහ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය කොළඹ ආනන්ද විද්‍යාලය පරදා ලකුණු 29 – 10ක ජයක් වාර්තා කළ අතර මොරටුව වේස්ලි කුමාර විද්‍යාලය කොළඹ ලුම්බිණී විද්‍යාලය ලකුණු 7 – 5 කින් පරාජය කිරීමට සමත් විය.

Comments