තාත්තා ක්‍රිකටර් කෙනෙක් වුණත් අම්මා ගෙන් පන්දුවයි පිත්තයි අතට ගත් දුනිත් | සිළුමිණ

තාත්තා ක්‍රිකටර් කෙනෙක් වුණත් අම්මා ගෙන් පන්දුවයි පිත්තයි අතට ගත් දුනිත්

 

 ලංකා නවක දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී අනිවාර්යෙන්ම දැක ගත හැකි වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.සිංහ කැන්ගරු පැවති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-2 ක් ලෙස ජය ගැනීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් දසුන් මේ බව සඳහන් කළේය.‍

 

2022 වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ දුනිත් වෙල්ලාලගේ සිය මංගල ජාත්‍යන්තර තරගාවලියට ක්‍රීඩා කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වු දුනිත් වෙල්ලාලගේ,

තරග පහකදී කඩුලු 9ක් දවා ගැනීමට සමත් විය.

දුනිත් 2023 ලෝක කුසලානයට ක්‍රීඩා කරනු ඇත්දැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් දසුන් ශානක ප්‍රකාශ කළේ,

මම හිතන්නේ අනිවාර්යයෙන්ම දැක ගන්න පුළුවන් වෙයි. මොකද අපි කණ්ඩායමක් විදිහට මේ ඉන්න කණ්ඩායම තමයි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තුව වෙන්නේ.

දුනිත් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒ වගේම අනිත් ක්‍රීඩකයන් ගැනත්. මොකද ඔවුන් දක්ෂයි. ඒ කියන්නේ තම තමන්ගේ දක්ෂතා හඳුනා ගෙන ඒ තැනට ඇවිල්ලා ඉන්නේ. හැම ක්‍රීඩකයා ම තමන්ගේ රාජකාරිය ක්‍රීඩා පිටියට බැස්සම මට සියයට සියයක්ම දෙනවා, එක ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ.

පොඩි කාලයේ ඉඳලා ම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිඩා කරන්න ලොකු ආසාවක් තිබ්බා.පියවරෙන් පියවර උඩට ඇවිත් ජාතික කණ්ඩායමට එකතු වුණා.මට ක්‍රීඩා පිටියේ දී පුහුණුවීම්වලට පන්දුවක් විසි කරපු අයගේ ඉඳලා ගොඩක් අය මේ ගමන පිටි පස්සේ ඉන්නවා. යැයි ලාංකේය එක්දින ඉතිහාසයේ 204වැනියා ලෙස වරම් හිමිකර ගත් දුනිත් කියයි.

මම කිසිම තැනක දී හදිසි වුණේ නෑ.තාත්තාත් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වුණාට මට ඉස්සෙල්ලා ම බෝලෙයි බැට් එකයි අතට දුන්නේ අම්මා.එතැනින් පටන් ගත්ත ගමන තමයි මේ , තාත්තා අදටත් මගේ ළඟින් ම ඉඳලා මගේ අඩුපාඩු හොයා බලනවා.අම්මා තාත්තා එක්ක කතාබහ කරලා තමයි මම තීරණ ගන්නේ. මම මුලින් ම ගියේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට, ඊට පස්සේ තමයි සාන්ත ජෝශප් විද්‍යාලයට එන්නේ.

දුනිත් වනිදුගේ වාර්තාව බිද දමයි...

 

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකුගේ එක්දින වරම් ලැබූ පළමු තරගාවලියේදීම කඩුලු 9 ක් ලබා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත්වු අතර, ඒ අනුව වනිඳු හසරංග 2017 වසරේ සිය පළමු තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක් ලබාගෙන තිබූ වාර්තාව දුනිත් වෙල්ලාලගේ තමන් සතුකර ගැනීමට සමත් විය.අමිල අපොන්සු ඔස්ට්‍රේලියාවට එරෙහිව 2016දී කඩුලු 7ක් දවා ගෙන තිබේ.

2022 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ දුනිත් වෙල්ලාලගේ මේ වන විට සමස්ත ක්‍රිකට් ලෝකයේම කතා බහට ලක්ව ඇති තරුවක් බවට පත් වී අවසන් ය.

සිය මංගල ජාත්‍යන්තර තරගාවලියේ දී ම පළපුරුදු ක්‍රීඩකයකු ලෙස දුනිත් වෙල්ලාලගේ දැක් වූ දක්ෂතාවයන් හේතුවෙන් එකී තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග අමතක නොවන සුවිශේෂී සිහිවටනයක් දුනිත්ට පිරිනැමීමට කටයුතු කර තිබේ.එකී සිහිවටනය වූයේ දුනිත් ක්‍රීඩා කළ මංගල ජාත්‍යන්තර තරගයේ දී ඔහු යවනු ලැබූ පන්දුව වන අතර,එකී පන්දුවට සුවිශේෂී කිහිප දෙනෙකුගේ ම අත්සන් එක්කර තිබීම ද විශේෂත්වයකි. දුනිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ යොමු කළ පළමු පන්දුවට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඇරෝන් ෆින්ච්ගේ අත්සන පළමුව ඊට එක් කර තිබෙන අතර දුනිත්ගේ මංගල කඩුල්ල බවට පත් වූ සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ගේ අත්සන , පිටියේ විනිසුරුවරයෙකු වූ 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික කුමාර් ධර්මසේන සහ එම තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ රවින්ද්‍ර විමලසිරි ගේ අත්සන ද, දුනිත් වෙල්ලාලගේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනූ දිනය හා ක්‍රීඩාංගණයේ නම ද එම පන්දුවේ සටහන් කර තිබේ.

මේ අතර, සිය මංගල ජාත්‍යන්තර තරගයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් තමාට සිහිවටනයක් ලෙස කඩුල්ලක් ලබා දුන් බවත්, එය තවමත් තමා සන්තකයේ පවතින බවත් මෙහිදී ලසිත් මාලිංග සඳහන් කරයි.

 

Comments