දස ලක්ෂයකගේ උරුමය සහ කරුමය | සිළුමිණ

දස ලක්ෂයකගේ උරුමය සහ කරුමය

- සංචරණ සීමා නිසා රාජකාරියට යෑමට බාධා රැසක් ඇතිවෙලා 
- ආරක්ෂක සේවයට අමතරව තවත් වැඩ ගොඩක් පවරලා; විවේකය අඩුයි

සංචරණ සීමාවන් ආරම්භ කෙරුණු මුල් කාලයේ අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කෙළේ සේවාවන් සුළු සංඛ්‍යාවක් පමණි. එහෙත් පසුව එම සේවා සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නංවන ලද නමුත් විශේෂිත සේවාවක් කෙරෙහි අවධානය යොමු නොවීය. අත්‍යවශ්‍ය සේවාවක් වුණු පෞද්ගලික ආරක්ෂක සේවාව කෙරෙහි සංචරණ සීමා පැනවීමේදී අවධානය යොමුව තිබුණේ නැත. එහෙත් මේ මස මුල් කාලයේදී එම සේවාවද අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරන ලද්දේ එහි අවශ්‍යතාවය තේරුම් ගත් නිසාය. මේ වන විට විශාල අර්බුදයකට ලක්ව ඇති බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. ඒ හරහා රටේ තවත් ආර්ථික ව්‍යුහයක කඩාවැටීමක්ද සිදුවිය හැකි බව පෙන්වා දීමට සිදු වේ.

පෞද්ගලික ආරක්ෂක සේවාව මේ වන විට මෙරට අත්‍යවශ්‍යම සේවාවක් බවට පත්ව තිබේ. කොළඹ ඇතුළු බොහෝ නාගරික ප්‍රදේශවල බහුවිධ පෞද්ගලික ස්ථානවල ආරක්ෂාව පිණිස යොදවා ඇත්තේ පෞද්ගලික ආරක්ෂක සේවා නිලධාරීන්ය. අද වන විට රාජ්‍ය බැංකු ඇතුළු සියලුම බැංකුවලටද යොදවා ඇත්තේ පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි නිලධාරීන්ය.

පෞද්ගලික ආරක්ෂක සේවාවක් ස්ථාපිත කළ හැක්කේ කාටහද?

විශ්‍රාමික යුද, නාවික හෝ ගුවන් හමුදා නිලධාරියකුට හෝ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකුට පමණි. එයද යුද හමුදාවේ නම් ලුතිනන් නිලයෙන් ඉහළ හා සෙසු හමුදාවන්ගේ ඒ හා සමාන අයකු විය යුතුය. පෞද්ගලික ආරක්ෂක සේවාවක් අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය.

මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි පෞද්ගලික ආරක්ෂක සේවා සමාගම් සංඛ්‍යාව 1,196කි. එයින් නිසි ලෙසින් ක්‍රියාත්මක වන්නේ 350ක් පමණ ප්‍රමාණයකි.

පෞද්ගලික ආරක්ෂක සේවා නිලධාරීන්ගේ සේවාව අත්‍යවශ්‍ය සේවා ගොන්නට අයත් නොවුණු නිසා සංචරණ සීමා සමයන්හිදී පොලිස් මාර්ග බාධකවලදී එම නිලධාරීන්ට ප්‍රධාන කාර්යාලවලට පැමිණීමට නොහැකිව දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු විය. මේ සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක සේවා ආයතන විසින් අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව මෙවර සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවන්හිදී පෞද්ගලික ආරක්ෂක සේවාවන් ද අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ.

අපේ රටේ විදුලි බල සේවාව, ඛනිජ තෙල් වැනි සේවාවන් අත්‍යවශ්‍යම සේවාවන් බව සැබෑය. එහෙත් අද වන විට පෙර සඳහන් කළ පරිදි රජයේ ආයතනවලට පවා පෞද්ගලික ආරක්ෂක සේවා යෙදවීමෙන් පෙනී යන්නේ එහි ඇති අත්‍යවශ්‍ය බවයි. එම නිසා මේ සේවාව කෙරෙහි අපගේ ඇස යොමුවිය යුතුමය.

ඕනෑම ආයතනයකදී ගනුදෙනුකරුවකුට හෝ පාරිභෝගිකයකුට ප්‍රථමයෙන්ම හමුවන්නේ ආරක්ෂක නිලධාරියාය. ඒ නිසා ආරක්ෂක නිලධාරියා වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයෙකි. ඔහු පැමිණෙන්නාගේ උෂ්ණත්වය පරීක්ෂා කරයි, දෑත් පිරිසිදු කිරීමට ‘සැනිටයිසර්‘ සපයයි, දොරවල් විවෘත කරයි, ඇතැම් විට පාරිභෝගික තොරතුරුද සටහන් කර ගනී.

මෙවන් ඇතැම් ආයතන විසින් ලබා ගෙන ඇත්තේ එක් ආරක්ෂක නිලධාරියෙක් පමණි. එවිට එම නිලධාරියාට කෑමට වේලාවක් තබා වතුර උගුරක් පානයට වේලාවක් පවා නැති තරම්ය.

මේ වන විට පනවා ඇති සංචාරක සීමාවන් සමඟ ඔවුන් සේවයට වාර්තා කිරීම සඳහා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටී. යතුරු පැදියක් පවා නොමැති ආරක්ෂක නිලධාරීන්ට ඇතැම් විට කිලෝමීටර් ගණන් දුර ගෙවා පයින් යාමට සිදුව තිබේ. මේ බොහෝ ආරක්ෂක නිලධාරීන් විශ්‍රාම ලත් අය වන අතර ඔවුන්ට ඒ සියල්ල මැද දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ.

ආරක්ෂක සේවා සපයනු ලබන ඇතැම් ආයතනවල ආරක්ෂක නිලධාරීන් 1000ක් 1500ක් පමණ සිටින අතර එවන් මහා පරිමාණ ආයතන අධික ලාභ ලබන්නේද? ආරක්ෂක නිලධාරීන්ට සොච්චම් වැටුප් ලබමින් දුක සේ දිවි ගෙවන්නේද? මේ සම්බන්ධව සිළුමිණ විමර්ශනයක යෙදෙන ලදී.

එහිදී අපට අනාවරණය වූයේ පඩිපාලක සභාව විසින් සකසා ඇති වැටුප්තල අනුව ආරක්ෂක සේවා නිලධාරීන්ගේ සේවාවද සෙසු සේවාවන් මෙන් පැය 8ක සේවාවට අදාළව වැටුප් සකසා ඇති බවයි. එමෙන්ම පැය 8කට පසුව ඔවුන්ට අතිකාල ලෙස ගෙවීම් කළත් පැය 12ක් හෝ එක දිගට පැය 24ක් වැනි දීර්ඝ කාලයක් සිදු කරනු ලබන සේවාවන්ට අදාළව වැටුප් තල සකසා නොමැති බවයි. මේ නිසා අදාළ ආරක්ෂක සේවා සපයනු ලබන ආයතනද දැඩි අපහසුතාවට පත්ව ඇති බවක් අපට විමර්ශනය වුණි. මතුපිටින් සුරලොවක් ආරක්ෂක සේවා ආයතන හෝ ඒවායේ කළමනාකාරිත්වය සතුව ඇතැයි පෙනුණද මේ විමර්ශනයේදී අපට හෙළි වූයේ බොහෝ දෙනා සිතනා ලොවට බොහෝ වෙනස් ලෝකයක් ආරක්ෂක සේවාවන් තුළ දක්නට ඇති බවයි.

එම නිසා අපි මේ සම්බන්ධව ආරක්ෂක සේවා සපයනු ලබන ආයතන කිහිපයක කළමනාකාරීත්වය සම්බන්ධ කර ගත්තෙමු.

ඊගල්වොච් පෞද්ගලික ආරක්ෂක ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගවේෂ් ගිනිගේ සම්බන්ධ කර ගන්නා ලදී. ඔහු පැවසුවේ පවත්නා තත්ත්වය යටතේ ආරක්ෂක සේවා පවත්වා ගෙන යාම දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බවයි

‘‘ ආරක්ෂක නිලධාරීන්ටත් සෙසු අයට වගේම අනිවාර්යෙන්ම අර්ථසාධක හා සේවක භාරකාර අරමුදලේ දායකත්වය ගෙවන්නට අපට සිදු වෙනවා. ඒ වගේම ඒ සේවකයන් වෙනුවෙන් ආරක්ෂක නිල ඇඳුම් සපයා දිය යුතු වෙනවා. ඔවුන් වෙනුවෙන් රක්ෂණ, රෝහල් සුබසාධන සියලු කටයුතු අප සිදු කළ යුතුයි. එමෙන්ම ආයතනයක් ලෙසින් ආදායම් බදු ඇතුළු අනෙකුත් බදු ගෙවීමටත් සිදු වෙනවා. ඇතැම් විට සේවකයන් පැමිණ දින තුන හතරෙන් ඉවත්ව යනවා. ඒ වැටුප් හා සේවා කාර්යයන්හි රැකියා තෘප්තියක් නොමැතිවීම නිසා. එවිට ඔහු වෙනුවෙන් වැය කළ නිල ඇඳුම් ඇතුළු ආයිත්තම් සඳහා වැය කළ මුදල අපතේ යනවා. එය ආයතනයට බරක් පමණයි. ආරක්ෂක සේවාව ලබා ගන්නා සේවාදායකයා විසින් ගෙවනු ලබන මුදලින් 75%ක් 80%ක් පමණ වැය වන්නේ ආරක්ෂක නිලධාරියාගේ වැටුප් හා දීමනා වෙනුවෙන්. ඉතිරි මුදලෙන් ආයතන පවත්වා ගෙන යාම, එහි පරිපාලන කටයුතු මෙන්ම බදු ගෙවීම් ඇතුළු සියල්ල සිදු කළ යුතු වෙනවා. එපමණක් නොවෙයි ඇතැම් විට අක්කර 5ක 6ක තිබෙන අතිවිශාල කර්මාන්ත ශාලා වෙනුවෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ආරක්ෂක නිලධාරීන් 5ක් 6 පමණ සංඛ්‍යාවක්. රාත්‍රී කාලයේ ඔවුන් අදාළ ආයතනවල ආරක්ෂාවේ සේවයේ යෙදී සිටින්නේ රුපියල් මිලියන ගණනක සම්පත් සුරකිමින්. යම් හෝ හානියක් සිදුව ඇත්නම් ආරක්ෂක නිලධාරියාගේ දෝෂයක් ලෙස පෙන්වා එය ආරක්ෂක සමාගමෙන් ඉල්ලා සිටින අවස්ථාද නැතුවාම නොවේ. එවැනි මුදලක් ආරක්ෂක නිලධාරියාගෙන් අය කර ගැනීමට අපට හැකියාවක් නැහැ. නමුත් එම මුදල අප ආයතනයන් හටද දැරීමටද සිදුවන අවස්ථා තිබෙනවා. එවැනි අසීමිත වගකීම් සහිත මහා භාරදුර කාර්යයක් කරන්නට සිදුව ඇති අපට ඒ වගකීම ගැන කරනු ලබන තක්සේරුව ඉතාම අඩුයි. මම ඉල්ලා සිටිනේ මේ සේවාවේ ගැඹුරටම සොයා බලා සුදුසු ලෙසින් ක්‍රියාමාර්ග සකස් කරන්න කියලයි. ‘‘

රාජගිරියේ පෞද්ගලික ආරක්ෂක ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු පැවසුවේ යම් සේවා දායක ආයතනයකට ආරක්ෂක නිලධාරියා නිසා සැපයෙන සේවාව ගැන එම ආයතන වඩාත් නම්‍යශීලීව මෙන්ම ආරක්ෂක නිලධාරියාගේ සේවාවේ වැදගත්කම ගැන වඩාත් අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවයි.

‘‘ඇත්තටම පෞද්ගලික ආයතනවලින් ආරක්ෂක සේවා නිලධාරින් වෙනුවෙන් සිදුවන්නා වූ සාධාරණ ක්‍රමවේදයක් ඇතත් රාජ්‍ය අංශයේ ඒ ක්‍රමවේදය නිසි ලෙසින් සිදුවන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා ඔවුන්ට සරිලන වේතනයක් ලබා දීම මෙන්ම අනෙකුත් කටයුතු සිදු කිරීමේදී ඔවුන්ගේ රාජකාරියට සරිලන සේවාවක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ.

රාජ්‍ය ආයතනවලට ආරක්ෂක නිලධාරීන් සැපයීමේදී ඔවුන්ගේ අවම ටෙන්ඩර් මිල ඉතා අඩු නිසා ආරක්ෂක නිලධාරීන් සඳහා ගෙවීමට හැකියාව ඇත්තේද පඩි පාලක සභාව විසින් අනුමත වැටුප් තලයට යම් හෝ වැඩි වැටුපක් පමණයි. නිලධාරියා සතුටු විය හැකි ආකාරයේ ඉහළ වැටුපක් ලබාදීමට හැකියාවක් නැහැ. එමනිසා රාජ්‍ය ආයතනවලට සේවා සැපයීම ඉතා අසිරු වී තියෙනවා. නමුත් ආරක්ෂක නිලධාරියාට අදාළ සියලු ගෙවීම් කිරීමට ආරක්ෂක සේවා ආයතන බැඳී සිටිනවා.

මේ ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු අවශ්‍ය තරම් තියෙනවා. නමුත් සේවකයන් සොයා ගැනීම පවා අසීරු වනවා. එයට හේතුව රැකියා තෘප්තිමත් බව අඩුවීමයි. මේ තත්ත්වය වළක්වාලීමට අදාළ අංශ පියවර ගත යුතුමයි. එසේ නොවුණහොත්, ඉදිරියේදී මේ සේවාව කඩා වැටුණහොත් පෞද්ගලික ආරක්ෂක සේවාවේ නියැළී සිටින ලක්ෂ ගණනක සේවකයන් රැසක් දැඩි දුෂ්කරතාවකට මුහුණ පාන්නට ඉඩ තියෙනවා. එමෙන්ම ආරක්ෂක සේවා ලබා ගන්නා සේවාදායකයන්ද දැඩි අපහසුතාවකට පත් වනවා.

ඒ වගේම අපි පෙන්වා දිය යුතුයි ආරක්ෂක නිලධාරියා සැම විටම පාරිභෝගිකයා සමඟ ඍජුවම සම්බන්ධ වන්නෙක් නිසා ඔහුත් ඉදිරිපෙළ ක්‍රියාකරුවෙක් ලෙස සලකා කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවට. අද වන තුරු එවැනි කිසිදු ආකාරයක සැලකිල්ලක් නැහැ. අපි ආණ්ඩුවෙන් ඒ ඉල්ලීමක් කරනවා‘‘

වොච්සිටි පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජී.ඩී.ඩී.ටී. ප්‍රියංකර පැවසුවේ ඇතැම් සුපිරි පැළැන්තියේ අය මුදල් ඉපැයීමේ අරමුණින් පෞද්ගලික ආරක්ෂක සේවා ආයතන ආරම්භ කර ඇති බවත් ඒ වෙනුවෙන් හමුදාවේ හෝ පොලිසියේ අය පමණක් යොදා ගැනීම නීතියෙන් අනිවාර්ය කළ යුතුම බවයි. ‘‘ නීතියෙ තිබ්බට ඒ නීතිය අවභාවිතා කරන පිරිස් ඉන්නවා. විශ්‍රාමික හමුදා නිලධාරීන් නමින් බලපත්‍ර ලබාගෙන පෞද්ගලිකව වෙනමම මේ කාර්යය කරන්න ඇතැම් අය පෙලඹිලා ඉන්නවා. එම නිසා අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ හමුදා නිලධාරියා අනිවාර්ය කිරීමේ නීතියක් තිබිය යුතුමයි. විශ්‍රාමික හමුදා නිලධාරියකුට කළ හැකි එකම සේවාව මෙයයි.

ඒ වගේම ආරක්ෂක නිලධාරීන් හා පෞද්ගලික ආරක්ෂක සමාගම් සූරාකෑමට ලක්කරන ආයතන හා ධනපති හා ප්‍රභූ පුද්ගලයන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන්ච යම් නිර්ණායකයක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් ලෙස කියනවානම් බොරැල්ලේ එක් ධනපතියකුගේ නිවසට සපයා ඇති ආරක්ෂක නිලධාරියා රාත්‍රී කාලයේ විනාඩි 30කට වරක් ඔහුගේ කාඩ්පත එහි අනිවාර්යෙන්ම ‘පන්ච්‘ කළ යුතුයි. යම් හෙයකින් විනාඩි 30 අවස්ථා 3කදී පසුවුවහොත් අදාළ නිලධාරියාට දිනයේදී ගෙවනු ලබන සියලු වැටුප කපා හරිනවා. මෙයින් එම ආරක්ෂන නිලධාරීන් පත්වන පීඩාකාරී තත්ත්වය ගැන මැනවින් සිතා ගන්න පුළුවන්.‘‘

පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි බලධරයන් ඔවුන්ගේ හඬ එසේ අවදි කළ අතර අප කළ විමර්ශනයේදී අපට දැන ගන්නට ලැබුණේ මේ සේවාවේ අඩපණ වීමට පඩිපාලක සභාවේ කාර්යයන්ද බලපා ඇති බවයි. පඩි පාලක සභාව විසින් ලබා දෙන අවම වැටුප් තල ඔවුන් ගණනය කරන්නේ පැය 8ක සේවා මුරයක් සඳහාය. එය බීඩි ඔතන්නාටද, වේවැල් කර්මාන්තකරුවාටද, ආරක්ෂක නිලධාරියාටද පැය 8 සේවා මුරය යටතේ හඳුන්වා දී ඇත. එමෙන්ම ලබා දිය යුතු අවම මාසික වැටුපක් නිර්දේශ කර තිබේ.

එසේම ඇතැම් රාජ්‍ය ආයතනවලට පෞද්ගලික ආරක්ෂක සේවා ලබා ගැනීම ආරම්භයේ සිටම දූෂණය සිදු වන බවක්ද අපට දැකගත හැකි විය. එක් ප්‍රසිද්ධ රජයේ රෝහලකට ආරක්ෂක නිලධාරීන් 40 කගේ සේවාව ඉල්ලා ටෙන්ඩර් ලබා දී ඇතත් අපට පෙනි ගියේ රෝහලේ සිටින්නේ ආරක්ෂක නිලධාරීන් 31ක් පමණක් බවයි. අදාළ රෝහලේ ආරක්ෂක නිලධාරීන් 40 දෙනාම සේවය කරනවාද යන්න ගැන සොයා බැලීමක් නැත. වැඩිදුරටත් මේ සම්බන්ධව අප විසින් සිදු කළ විමර්ශනයකදී පැහැදිලි වූයේ බොහෝ ආයතනවල ආරක්ෂක නිලධාරීන් ආරක්ෂක කටයුතුවලට පමණක් නොව ඔවුන්ගේ සෙසු පරිපාලන කටයුතු සඳහාද යොදවා ගෙන ඇති බවයි. භාණ්ඩ ගෙනයාමේදී ඒවා පරීක්ෂා කිරීම, ඒ වෙනුවෙන් අදාළ පොත්වල ගෙන යන ගෙන එන භාණ්ඩ සටහන් කිරීම, බිල්පත් පරීක්ෂා කිරීම, හා ඇතැම් විට පිළිගැනීමේ නිලධාරියාගේ කටයුතු පවා ඔහුට සිදු කරන්නට ඇති බව අපට පෙනී ගිය කරුණකි. ඒ යම් හෝ දෝෂයක් වූයේනම් එහි වරද ආරක්ෂක නිලධාරියාගේය. පාඩුවක් වන්නේ නම් එහි වරදද පැටවෙන්නේ ආරක්ෂක නිලධාරියාටය. ඇතැම් විට දෙතුන් සීයක් රාජකාරි කටයුතු කරනු ලබන ස්ථානවල සිටින්නේ ආරක්ෂක නිලධාරීන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පමණකි.

මේ තත්ත්වය මත ආරක්ෂක සේවාවන් හුදෙක් ඇති හැකි අයගේ බළල් අත් බවට පත්ව ඇති බවක් අපට නිරීක්ෂණය වුණි. මේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් හරහා අවම වශයෙන් පුද්ගලයන් ලක්ෂ 10කට අධික සංඛ්‍යාවක් හෝ ජීවත් වෙති. එය අතිවිශාල යැපෙන්නන් සංඛ්‍යාවකි.

එහෙයින් මේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ නොපෙනෙන දුක කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

Comments