‘කාබනික පොහොර පිළිබඳව සියලු දෙනා දැනුම්වත් විය යුතුයි’ | සිළුමිණ

‘කාබනික පොහොර පිළිබඳව සියලු දෙනා දැනුම්වත් විය යුතුයි’

කාබනික පොහොරවලට යොමුවීම සහ රසායනික පොහොරවලින් බැහැර වීම ඉතා වැදගත් සහ කාලෝචිත සංකල්පයකි. මෙය සාර්ථක වුවහොත් දිනකට මේ රටේ මියයන වකුගඩු රෝගීන් 14ක් සහ පිළිකා රෝගීන් 12 ක් බේරාගැනීම ඇතුළු බොහෝ විශාල ලෙස පැතිර යන බෝ නොවන රෝග රාශියකින් අහිංසක ජනතාව බේරාගැනීමට අවකාශ සැලසෙනු ඇත. මේ පිළිබඳ කථිකාවක් මෙරට තුළ ගොඩ නොනැගුණඳ මේ වන විට ලෝකයම මේ වසවිස රසායනික පොහොර භාවිතය පිළිබඳව දැනුම්වත්වී ඇත. ලෝකයේ බොහෝ රටවල් රසායනික කෘෂිකර්ම ආශ්‍රිත ආහාර නිසා මිනිසුන් විවිධ රෝගවලට ගොදුරු වී මියයන බව හඳුනාගෙන ඇත.

එම විනාශය රසායනික පොහොර මඟින් සිදුවන බව වසන් කිරීමට ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් උත්සාහ ගෙන තිබිණි. මේ වරද වෙනත් අයට බැර කිරීමේ උත්සාහයක ද ඔවුහු නිරත වෙති. ආචාර්ය, මහාචාර්යවරුන් පවා ඒ අයට නියමිතව තිබූ රාජකාරිය ඉටු කරන ලද අතර මෙහි භයානක තත්ත්වය පිළිබඳ හඬ නොනඟති. නමුත් මෙය ජනතාව මරණයට පත් කරන විශාල විනාශයක් බව ඒ රසායනික නිෂ්පාදනය කරන රටවල් අවසානයේ වටහා ගත්තේය. ඒ අනුව අදාළ රටවල්වල එම සමාගම්වලට විරුද්ධව කැරලි ඇති විය. ඇමෙරිකාවේ එවැනි සමාගම්වලට විරුද්ධව කැරලි ඇතිවීමෙන් අනතුරුව අදාළ සමාගම්වලට විශාල ලෙස වන්දි ගෙවීමට සිදුවිය. මේ තත්ත්වය උද්ගතවීමත් සමඟ රසායනික පොහොරවලින් ඒ රටවල්වලට බැහැර වීමට සිදුවන නිසාත් එකවර එය කළ නොහැකි වීම නිසාත් ඔවුන් කාබනික කෘෂිකර්මයට රටවල් හුරු කිරීමට උත්සාහ කරන ලදී. මෙය මතුපිට අරමුණ වුවද එහි යටි අරමුණ වුයේ වෙනත් වංචාවන්ය. කොම්පෝස්ට් බෙදා හැරීම වැනි කාර්යයන් ඔවුන් සිදුකළ ද එය ඉතා දුෂ්කර කාර්යයකි. ඒ වන කොම්පෝස්ට්වලින් ගෙන යා නොහැකි කෘෂිකර්මයක් ඒ වනවිට ලෝකයේ රටවල් බහුතරයක නිර්මාණය වී තිබුණි. එසේ වුයේ ගොවියන්ගේ මතකයෙන් පැරණි සම්ප්‍රදායික ගොවිතැන අමතක කර දමා තිබීමයි. පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා එවකට හුරු කර තිබුණේ එම රසායනික කෘෂිකර්මාන්තයයි.

කෘෂිකර්මාන්ත රසායනික පොහොරවලින් බැහැරව කළ නොහැකි දෙයක් බව මෙරටේ ද ප්‍රචාරය කර තිබුණේ ද එම බහුජාතික සමාගම් හරහායි. කාබනික පොහොර සඳහා යොමුවන්නට උත්සාහ කරන හැම උත්සාහයක් ම අසාර්ථක වීමට බලපාන ලද ප්‍රධාන හේතුවක් ලෙස මේ ජාත්‍යන්තර සමාගම් මඟින් සිදුකරන බලපෑම බව ඉතා පැහැදිලිය. තවද ඒ සඳහා විශාල හේතු රැසක් තිබුණි. මේ බව දැන සිටි දේශපාලඥයන් සහ ඇතැම් නිලධාරින් නිහඬව සිටියේ කැමැත්තකින් නොවිය හැකිය. දේශපාලඥයන්ට වටින්නේ ඡන්දයයි. ගෝත්‍රික දේශපාලනික රාමුවක් තුළ සිටින අපේ රට වැනි රටවල තමන්ගේ දේශපාලනික පක්ෂය බලයට පත් කිරීමට සඳහා දේශපාලන ඡන්ද බල අරගලයක නිරත වෙයි. ජනප්‍රිය මැතිවරණ පොරොන්දු දෙයි. එහි ප්‍රමුඛ පෙළේ පොරොන්දු අතර නොමිලයේ පොහොර ලබා දීම ද වෙයි. එය දේශපාලනික අවශ්‍යතා අනුව සියලු පක්ෂයන් බලයට පත් වීමෙන් ගොවියාට රසායනික පොහොර නොමිලයේ ලබාදීම සිදුවිය. මේ අදාළ ආයතනවල සිටින නිලධාරින් ද විශ්ව විද්‍යාලවල උගත්තේ ද ඉගැන්වීම සිදු කළේ ද රසායනික පොහොර වගාව පිළිබඳවයි. මේ කෘෂිකර්මාන්තය ශරිරයට අහිතකර බව එය උගත් පිරිසට එම නිලධාරින්ට කීමට තරම් හැකියාවක් නැත.

දිනෙක නායකයෙක් බිහි වී තමන්ගේ ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් හෝ මෙවැනි තීන්දුවක් ගත හැකි කාල සීමාවක් එතැයි අපි විශ්වාසයකින් සිටි බව කිව යුතුය. මෙහිදී එවැනි ප්‍රයත්නයක යෙදෙන්නෙකුට ලෝකයේ අත්දැකීම්වලින් ප්‍රශ්න දෙකක් ලංකාවට ද බලපානු ලබයි. එකක් කොවිඩ් 19 හරහා ප්‍රතිශක්තිය නිර්මාණය කිරිම වස විස නැති ආහාර නිෂ්පාදනය, මෙය වටහා ගත් ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගනු ලැබිණි. විපක්ෂය ඊට ප්‍රබල විරෝධයක් දක්වයි. එමෙන්ම රසායනික පොහොර පිළිබඳව උගත් නිලධාරින්ගෙන් සහ ලෝකයටම බලපානු ලබන සමාගම්වලින් මේ විරෝධය ලංකාවටත් එනු ලබයි. මෙයට බරපතළ ලෙස පහර දෙනු ලබයි.

මේ තත්ත්වයට අපි සියල්ලෝම රටක් ලෙස වගකිව යුතුයි. එසේ වගකිව යුත්තේ ඇයි යන කාරණාව මෙහිදී මතුවෙයි. මේ තීන්දු කිනම් මොහොතක හෝ ගත යුතුව තිබුණි. කල් වැඩිද කල් මදිද අවස්ථාව සුදුසු නැතිද යන කාරණා මෙහිදී අදාළ නොවෙයි. මේ තීන්දුව වහා ක්‍රියාත්මක කළ යුතුවෙයි.

මෙය ඝර්ම කලාපීය රටකි. ඝර්ම කලාපිය රටක ද කාබනික පොහොරවල ඇති නයිට්‍රජන් වියෝජනය විමේ ප්‍රතිශතය සියයට 40කි. අපේ මේ දූපතේ කොම්පොස්ට්වලින් මේ වගාව අසීරුය. ඒ සඳහා බලපා ඇති හේතු රැසකි. කාබනික පොහොරවලට මේ වන විට ගොවීන්ගේ ඇති අකමැත්තට කාබනික පොහොර නිෂ්පාදනවල අස්වැන්න අඩු වීම, දැනට ඇති බීජ රසායනික පොහොරවලට හුරුවී තිබීම, ඒ බිජ කොම්පොස්ට්වලින් තෘප්තිමත් කළ නොහැකි සේම එම දැනුම මේ වන විට ගොවීන් තුළින් ගිලිහීම ආදී කරුණු බලපානු ලබයි. එයට ඇති එකම විසඳුම අප මේ රටේ අතීතයට යෑමයි.

අතීතයේ පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිට ඩඩ්ලි සේනානායක යුගයේ සිට ඩී. එස් සේනානායක මහතාගේ යුගයේදීත් කොම්පොස්ට් පොහොර භාවිතය අඩුය. 1939 සිට රට පොහොර හඳුන්වා දීම කරන ලදී. ඒ උත්සාහය ඉතා සූක්ෂම ලෙස කරනු ලැබිණි. අක්කරයකට යුරියා හොණ්ඩර 28ක් ලෙස ඒ අයගේ නිර්දේශයයි. ඒ අය උත්සාහ ගනු ලබන්නේ එම වසරේ සිට වුවත් 1948 වැනි කාලය දක්වා ඒ අයට එය සාර්ථකව සිදු කිරීමට නොහැකි විය. 1955 වන විට පාසල් දරුවන් පවා රසායනික පොහොර සඳහා හුරු කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටි බව පෙනේ. ඊට කලින් සංකල්පය වූයේ අහරින් රට ස්වයං පෝෂණය කර ගැනීමයි. අවසානයේ විශ්වවිද්‍යාල මහචාර්යවරයා දක්වා එම හුරු කිරීම සූක්ෂමව සිදු විය. මේ සඳහා ජනතාව තුළ ප්‍රචාරය කරනු ලැබුවේ ආහාර හිඟයක් ඇතිවිය හැකියි බවයි. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගනිමු යනුවෙන් එවකට රජය සංකල්පයක් ඉන් පසුව ඇති කරනු ලැබිණි. කොස්, දෙල් වෙනුවෙන් අවසානයේ කුඹුරේ අස්වැන්න වැඩි කරගැනීමට උත්සාහ කරන ලදී. විසි හතර දහසක් කුඹුරට වැය කිරීමට ඔවුන් සැලසුම් කරනු ලැබිණි. කුඹුරු අක්කර විසි හතර දාහසකට ඇති අපේ ලංකාවේ එය විසි හතර දහසින් වැඩි කළහොත් මේ රටේ කොතරම් පොහොර සඳහා මුදලක් වැයවන්නේ ද යන ගැටලුව මතුවෙයි. මේ රසායයනික පොහොරවලින් අක්කරයකට බුසල් විස්සක් වැඩිවී ඇත. මෙය ගොවියාට තේරුම් ගැනීමට නොහැකිවී ඇත්තේ පොහොර ටික රජය නොමිලේ ලබාදෙන නිසයි. අද විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් පවා වෙනත් ගොවිතැනක් ගැන නොදන්නා මට්ටමට හුරු වී ඇත.

මේ රටේ දේශීය ඥානය වහාම ඉදිරියට ගෙන ආ යුතුය. පැරුන්නන් කොම්පෝස්ට් පාවිච්චි කළේ ඉතාමත් අඩුවෙනි. ගොයම් ගසක් වර්ධනයට අවශ්‍ය වන්නේ නයිට්‍රජන් ය. එසේ නම් නයිට්‍රජන් කොම්පොස්ට්වලින් ගත නොහැක්කේ එය ක්ෂය වන නිසාවෙනි. එසේ නම් නයිට්‍රජන් අතීතයේ ලබා ගත්තේ කෙසේද යන්න ගැන අප සිතිය යුතුයි. වායුගෝලයේ 78%ක් පවතින්නේ ද නයිට්‍රජන් වායුවයි. ඒ 78% ක ඉතා කුඩා ප්‍රතිශතයක් කාබනික පොහොරවලින් නිෂ්පාදනය කරගැනීමට හැකි වෙයි. ශාකපත්‍රවලට ග්‍රහණය කරගත හැක්කේ ස්වල්පයකි. ඉතිරිය මහපොළොවට ලැබීමට නම් ලොකු ඛණ්ඩනයක් අවශ්‍යයි, ඒ ඛණ්ඩනය කැඩීමට වසරකට දෙවරක් ලංකාවට අකුණු ලැබෙයි. ඒ ඛණ්ඩනය කැඩී ඍජුවම නයිට්‍රේට් බවට පත්වෙයි. ඒ නයිට්‍රෙට් යනු ශාකයකට ඍජුවම උරාගනු ලබන නයිට්‍රජන් වායුවයි. ඒ නිසා අකුණු ගසන කලට සියලුම ශාක වර්ධනය වීම ආරම්භ වෙයි. මෙයයි ස්වභාව ධර්මය. ඒ අනුව ලංකාවේ කාබනික වගාවට යෑමට පෙර කාලසටහන වෙනස් කළ යුතුයි. මාර්තු, අප්‍රේල්, අගෝස්තු, සැප්තැම්බර් ලංකාවේ අක් වැස්ස වසිනු ලබයි. මේ ඉඩෝරයේදි සියලු ශාක පත්‍ර මියයයි. අවුවැසි සමයේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ සියලු ක්‍රියාකාරකම් සිදුවෙයි. අක්වැසි සමයේදී ක්ෂුද්‍ර ජීවීන්ට එය භාර දිය යුතුයි. ඉන්පසුව වී හානු ලබයි. නියර බැඳ පොහොර යොදනු ලබයි. අපට අවැසි කොම්පොස්ට් කුඩා ප්‍රමාණයකි. ඉන්පසුව පෝරු ගා මාසයකදී වැපිරිය යුතුය. ක්ෂුද්‍ර ජීවි ක්‍රියාවලියට මසක් ගතවෙයි. ගොයම් ගහට සුදුසු පරිසරය ඒ මාසය තුළ සෑදෙයි. මාසයක් වනවිට ගොයම් ගස හැදෙන වයසට පැමිණ ඇති අතර අකුණු කාලයේදී මේ ශාකයේ ඉතිරි ටික සම්පූර්ණ කර ගනු ලබයි. මේ පිළිබඳ දැනුම්වත්ව කටයුතු කරන ගොවීහු මේ සත්‍ය පිළිගනු ලබන ගොවීහු වෙති.

තවද සූර්යායාගේ දෘෂ්‍යවර්ණාවලිය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ දෘෂ්‍ය වර්ණාවලියට අනුව අප අපේ කාලසටහන සකසා ගත යුතුයි. එහි වර්ණ සයක් වෙයි. මුලින් ඇති දම්පාට පොළොවට වැටෙන්නේ මාර්තු, අප්‍රේල්, අගෝස්තු, සැප්තැම්බර් මාසයේදීය. වායුගෝලයේ ජලවාෂ්ප කර්කටය සහ මකරය යාකර සමකය හරහා ඉරක් ඇන්දේ නම් සමකයේ ප්‍රිස්ම දෙකක් හැදෙයි. ඒ ප්‍රිස්මයේ උඩ කෙළවරේ සමකය උඩවෙයි . ඒ නිසා සමකය ආසන්නයෙන් ඉර පිහිටීමේදී මෙරටට වැටෙන්නේ දම්පාටයි. දම්පාට කෘෂීකර්ම විද්‍යාවේ මූලධර්මයන්ට අනුව මුල් ඇඳීම සිදුවෙයි. මුල් ඇදීමෙන් පසුව නිල් පාට මුල් වර්ධනය වීමත් කොළපාට කොළ හැදිමත්, කහ පාට කාලයේ පුරුක්, තැඹිලි පාට අතු බෙදීමත් සිදුවේ. රතු පාට මල් පිපෙන කාලයයි. පිටරටින් පොහොර ආනයනය අවශ්‍ය නැත.

ජුනි 21වැනිදාට දෙසැම්බර් 21වැනිදා වන විට මේ ආකාරයට ගසේ වර්ධනය සිදු කළහොත් අස්වැන්න සියයට දාසයක් වැඩිවේ. මේ ස්වභාවධර්මයේ අපූර්ව සිදුවීම් මේ රටේ ජනතාවට කියාදුන්නේ නම් දේශීය කෘෂිකර්මාන්තය යළි නගා සිටුවීමට හැකිවෙයි. පොහොර සහ කෘමිනාශක වෙනුවෙන් පිටරටට ඇදී යන මුදල විශාලය. රෝගවලින් මිදී සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ දැනට වැය වන මුදල් ඉතා විශාල ප්‍රමාණයක් අඩුවෙනු ඇත. අපිට බියක් නොමැතිව මේ පොළොවේ ජලය පාලනය කළ හැකිවනු ඇත. ඕනෑම වසංගතයකට මුහුණ දිය හැකි ප්‍රතිශක්තිකරණයක් අපේ ජනතාවට ඇතිවෙයි. ඒ නිසා අප කළ යුත්තේ මේ දේශීය රටාවට හුරුවීමයි.

විශ්වවිද්‍යාලවලින් කෘෂිකර්මය උගත ගත නොහැකිය.. පක්ෂ දේශපාලඥයන්ගෙන් ද මේ දේ බලාපොරොත්තු විය නොහැකිය. මේ රසායනික පොහොරවලට හුරු ගොවින් කාබනික පොහොරවලට කම්මැලි වී ඇත. මේ දේ කළ හැකි වන්නේ කාටද? එසේනම් දැනුම්වත් විය යුතු වන්නේ මේ රටේ වස විස කන අහිංසක දරුදැරියන්ගේ මවුපියන්ය. රටේ ඇති වස සහල් කෑම නතර කරන ක්‍රමවේදයක් සකස් කර ගත යුතුය.

අපි ආරම්භ කළ යුතු වන්නේ දේශීය චින්තනය පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා ගමන් කරවීමෙනි. විශ්වවිද්‍යාලවල ආචාර්ය හා මහාචාර්යවරුන්ට නොව, මේ රටේ දේශීය ගොවියාට, ජනතාවට දේශීය ගොවිතැන කියාදීමත් විශ්වවිද්‍යාලය තුළ පාසල තුළ ඉගැන්වීමටත් ඉඩ සැලසිය යුතුය. ඒ සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයක් පාසලේ විශ්වවිද්‍යාලයේ සැකසිය යුතුය. විෂයීය කරුණු දන්නා පුද්ගලයන්ට පිළිගැනීමක් ඇති කර දැනුම බෙදා දීම සිදු කළ යුතුයි. ස්වයංපෝෂිත ආහාර රටාවක් දේශීයව ගොඩනැඟීමේදී අපේ සංකල්පය විය යුත්තේ සහලෙන් නොව අහරෙන් ස්වයංපෝෂිත ආහාර රටාවකට හුරුවෙමු යන්නයි. මේ තීන්දුව ඉතා සාර්ථක තීන්දුවකි. මේ ක්‍රියාදාමය රටේ ක්‍රියාත්මක කළහොත් අනාගතයේ අපේ දරුවෝ බේරාගැනීමට හැකිවනු ඇත.

Comments