හොඳ සිනමාවක අලුත් වැස්ස COLOMBO - කොළඹ | සිළුමිණ

හොඳ සිනමාවක අලුත් වැස්ස COLOMBO - කොළඹ

 

අසම ලියනගේ නම් විසිතුන් හැවිරිදි තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ COLOMBO හෙවත් කොළඹ නමින් තැනූ සිංහල චිත්‍රපටය, පසුගිය මාර්තු 9 වෙනි අඟහරුවාදා මාධ්‍ය නියෝජිතතයන් වෙනුවෙන් ප්‍රදර්ශනය කළේය.

 

කොරෝනා වසංගතයෙන් සිනමාහල් වෙතින් දුරස්වූ සිනමාවට ප්‍රිය ප්‍රේක්ෂකයා සිනමාහල් කරා කැඳවාගෙන එන සම්භාවනීය කුලකයේ විශිෂ්ට චිත්‍රපටයකි කොළඹ හෙවත් COLOMBO චිත්‍රපටය.

කොළඹ චිත්‍රපටයට පාදක වී ඇත්තේ කොළඹ නගරයේ ජනාකීර්ණ වතු ආශ්‍රිත තරුණ පරපුරේ කතාවකි. දකුණු ඉන්දියාවෙන් මෑත වකවානුවේ බිහිවී එකළඟ කාල පරාසවල බිහිවූ ධනුෂ් රඟපෑ ‘වාඩා චෙන්නායි’ සම පාතාල ප්‍රස්තුත රැගත් බොහෝ චිත්‍රපටවල දෙමළ ආභාසය කොළඹ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය, පැහැ අන්තරය මැවීම හා කැමරාකරණය හා සංස්කරණය තුළ දැඩිව පිළිබිඹු වෙයි.

කෙසේ නමුදු තම තිරනාටකයෙන් හා අධ්‍යක්ෂණයෙන් සිනමාහලට එන ප්‍රේක්ෂකයාට අලුත්ම රසයක් ජනිත කිරීමට අසම, සමත් වී සිටින්නේ චිත්‍රපටය තුළ නරඹන්නා රඳවා ගැනීමේ හොඳ පෙළගැස්මක් ද පවත්වා ගනිමිනි.

ලංකාවේ වතු ප්‍රජාවේ වියපත් වෙමින් සිටින යෞවනය එෆ් එම් නාළිකාවල නිවේදිකාවන් සමඟ සිහින විජිතයක අතරමංවීම නිවැරදිව විවරණයක් දැයි නොදන්නා නමුත් තමිල්නාඩු ජනසමාජයේදී එය එසේ විය හැකිය. එනමුදු චිත්‍රපටය ප්‍රජා අවශේෂ චරිත ප්‍රතිනිර්මාණය දේශීය වතු සමාජයේ සැබෑ විවරණයකි. එහි සිනමා චමත්කාරය ද අඩු නැතිව පවතී.

තමිල්නාඩුවේ හෝ අන්තර් ජාතික වාණිජ හෝ හොලිවුඩ් සිනමාවේ හෝ පවා අධ්‍යක්ෂවරයෙකුගේ පරිචය පිළිබිඹු කරනු ලබන එහි පාත්‍ර වර්ගයා කැමරා කෝන තුළ සුමට ලෙස හැසිරවීමේ හෙවත් ‘කොරියෝග්‍රාෆ්’ කිරීමේ ලලිත කලාව අධ්‍යක්ෂ අසම ලියනගේ COLOMBO තුළින් පෙන්වන්නේ සියල්ල දත්තයන් ලෙස වත්මන් දේශීය මාධ්‍ය විජිතයේ කැටයම් කපමින් සිටින ප්‍රකට ඇතැම් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශ හුදු ප්‍රලාප බවට පත්කරමිනි.

එම විශිෂ්ට සිනමා අධ්‍යක්ෂණයට එහි කැමරාකරණයෙන් දායක වූ අමිත් ක්‍රිෂාන්ත ලබා දී ඇත්තේ අද්විතීය ආධාරයකි. චිත්‍රපටය සංස්කරණය කළ තිලංක පෙරේරා ද එහි ඇගයිය යුතු කොටස්කරුවෙකි. තරංගනි සිනමාහලේ කුහක ප්‍රොජෙක්ටර් ක්‍රියාකරවන්නෙකු විසින් මෙම චිත්‍රපටය නැරඹීමට පෙර මා මනසට කවා තිබූ ‘කොළඹ’ චිත්‍රපටය පිළිබඳ විස, පැය එකහමාරකට ආසන්න ධාවන කාලයක් සහිත චිත්‍රපටය නරඹා අවසන් වෙද්දී දුර්ම්භූත වී ගියේ උණුසුම් වූ හුමාලය වැදී විනිර්මුක්ත වූ වෛරසයක් මෙනි. මෙවැනි විශිෂ්ට තරුණ එකමුතුවක අභිමානය දරා ගැනීමට නොහැකි කුහකයන්ගේ වදන් පරයා මුළු චිත්‍රපටය පුරාම විද්‍යාමාන වන්නේ අනාගත විශිෂ්ට සිනමාවක අලුත් බලාපොරොත්තුමය.

වත්මන් යොවුන් ප්‍රේක්ෂක සමූහයේ ජනප්‍රියතම සිහින කුමරා වන හේමාල් රණසිංහ මෙහි මවන ‘ඔස්කා’ චරිතය මේ වසර අරඹයා පැවැත්වෙන සියලුම සම්මාන ප්‍රදාන උලෙළයන්හිදී විශිෂ්ටතම රංගන සම්මානයෙන් පුදනු ලැබීම නියතයක්මය. තමාගේ සිනමා රංගන පරාසය නිවැරදිව වටහා ගෙන අධිතාත්වික වාදී රංගන වේෂය සිනමා රංගනය යැයි වැරදි අරුත් ගන්වා ඇති ඇතැම් සම්මාන ජූරි සභිකයන්ට පවා සිනමා රංගනය මේ යැයි හේමාල් රණසිංහ කොළඹ (COLOMBO) චිත්‍රපටයේ ඔස්කා චරිත රංගනයෙන් ස්පුඨ කර ඇත.

බහුතරයක් ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් අලුත් නළුවන්ට රංගනයේ අවස්ථාව දෙන්නේ බොහෝවිට චිත්‍රපටය තුළ එම නළුවා මතු නොවන පරිදි ඇතැම් විට දුර දර්ශන ‍‍හෝ සමූහ දර්ශන තුළය. හැකියාවන්ගෙන් සන්නද්ධ අලුත් මුහුණු රැසක් අසම ලියනගේ තිරයට හඳුන්වා දෙන්නේ නිර්ලෝභීවය.

මෙම තරුණ අසම ලියනගේ සිනමාවට හඳුන්වාදීමේ උදාරතර අරමුණ පෙරදැරිව චිත්‍රපටයේ නිෂ්පාදනයෙන් දායක වූ අනූෂ සංජීව එදිරිමුණි අසමට පමණක් නොව හෙළ සිනමාවට ද දක්වා ඇත්තේ අපරිමිත පරිත්‍යාගයකි. ඔහුට ආධාරකයක් වූ අතුල ලියනගේ, හරීන්ද් අචලංක කුලසූරිය, ක්‍රිෂාන්ති කුලසූරිය හා නිමාලිකා පෙරේරා කණ්ඩායමේ මූල්‍ය දායකත්වයෙන් මැවූ COLOMBO චිත්‍රපටය සිනමා නිර්මාණයක් ලෙස රංගනය, කැමරාකරණය, සංස්කරණය, ශබ්ද පරිපාලනය, සංගීතය හා වර්ණ සංයෝජනය හා වෙස්ගැන්වීම යන සියලුම නිමැවුම් වලින් අග්‍ර ඵලයකට පත්වී තිබේ.

විශිෂ්ට නළුවකු වීමේ සියලු ආසාවන් හා හැකියාවන් සපුරා සිටින ජෙහාන් අප්පුහාමිගේ චරිතය තරමක් දුරට තවත් විකාශනය කළ හැකිව තිබිණැයි හැ‍ඟෙයි.

චිත්‍රපටය විශිෂ්ට වුවද මාධ්‍ය දැක්මේ සංග්‍රහ කිරීම් සුපිරි තත්ත්වයේ පැවතියද ‘ප්‍රෙස්කිට්’ එක හැදූ පුද්ගලයා නම් හිතාමතාම අලුත් පරපුරට කකුල් මාට්ටුවක් දමා ඇති බව පැහැදිලිය.

චිත්‍රපටයේ බහුතරය අලුත් ශිල්පීන්ය. අඩුම තරමේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදන කණ්ඩායම මාධ්‍යවේදීන්ට හඳුන්වා දුන්නේ නැත. චරිතයට අදාළ නළුවාගේ චරිත නාමය හෝ දුරකථන අංකය සමඟ ඔවුන්ගේ ඡායාරූප නැත. මේ අලකලංචිය නිසාම චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක යෙදුණු තිදෙනකුගේ නම් සොයා ගැනීමට මහත් වෑයමක් දැරීමට සිදුවිය. දිගු කොණ්ඩයක් වවාගත් දඩබ්බරයා හා අමුතු මුහුණක් ඇති ඔහුගේ මිතුරා ද දඩබ්බරයාගේ හිත යන මහ මඟ හමුවන යොවුන් කුමරියද මුළු චිත්‍රපටයටම අලුත් ආලෝකයක් ලබා දෙයි. ශ්‍රී ප්‍රසාද් දඩබ්බරයා ලෙස ද කුසල් විමුක්ති ඔහුගේ මිතුරා ලෙස ද දඩබ්බරයාගේ හිත ගිය යුවතිය මිහිරි මධූෂිකා ද මවන රංගනය විශිෂ්ටය. ඔබ සැමට සුභ ගමන්.

Comments