‘සම­තැන, නිසි­තැන ගැන නොව ගැහැ­නි­යගේ චින්ත­නය ගැන කතා කළ යුතුයි’ | Page 2 | සිළුමිණ

‘සම­තැන, නිසි­තැන ගැන නොව ගැහැ­නි­යගේ චින්ත­නය ගැන කතා කළ යුතුයි’

මැක්සිම් ගෝර්කි පවසන පරිදි ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරිවලිනි. මෙලොවට බිහිවන ඕනෑම මිනිසකුට මිනිස් ජීවය දෙන්නේ මවුකිරිවලිනි. ඒ අසීමිත ශක්තිය මිනිසකුට දෙන්නේ ගැහැනියයි. තමා බිහි කළ ජීවියා ශක්ති සම්පන්න මිනිසකු බවට පත් කරන්නේ ඇයයි. එහෙයින් කාන්තාව යනු මනුෂ්‍ය සංහතියේ පැවැත්ම තීන්දු කරන්නිය වන්නේද ඊළඟ පරපුර බිහිකරන්නිය ද වන්නීය. ජීවවිද්‍යාත්මක ලෙස ගත්විට කාන්තා සහ පිරිමියා අතර විවිධාකාර වෙනස්කම් කායිකව සහ මානසිකව වෙයි. මේ වෙනස්කම් අතර පරපුර බිහිකිරීමේදී එනම් ප්‍රජනන ක්‍රියාවලියේදී කාන්තාව වැඩි බරක් දරයි. එතැන් පටන් ඇය මහ පොළොවක් සේ දරාගැනීම හුරුකරයි.

එය පිරිමියා අබිබවන මහා ශක්තියකි. දරුවකු බිහිකිරීම අතිශයින්ම දුෂ්කර ක්‍රියාවලියකි. ජීව විද්‍යාත්මකව ගත් විට විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී ඇති කාරණාවක් නම් දරුවකු බිහිකිරීම සහා ඉතා විශාල ශක්තියක් මානසිකව මෙන්ම කායික වශයෙන් ඇයට ලැබී ඇති බව හෙළිදරවු වී ඇත. මෑතකාලීන පර්යේෂණවලින් හෙළිවන කරුණක් නම් ගැහැනියකට ලැබී ඇති මේ ශක්තිය පිරිමියකුට නැති තරම්ය. ඔහු ශාරීරීකව ශක්තිමත් වුවත් ප්‍රජනන ක්‍රියාවලියේදී ඇයට වැඩි බරක් ලබා දෙන්නේ ඇයට ලැබී ඇති දරා ගැනීමේ ශක්තිමත් බව නිසාවෙනි.

ඉතිහාසයේ මුල් යුගයන්වල ගැහැනිය සියලු කාර්යයන් සඳහා පිරිමියා සහ උරෙනුර ගැටෙමින් කටයුතු කළාය. ක්‍රිපූ 2500 කාලයේදී ඉන්දු ගංගා ශිෂ්ටාචාරයේදී මාතෘමූලික සමාජ ක්‍රියාවලියක් තිබූ බව හෙළිදරවු වෙයි. මධ්‍යතන යුගය වනවිට පුරුෂෝත්තම සමාජයක් බිහිවීමත් සමඟ ඇය සමාජයේ එක්තරා සීමාවකට කොටු විය. ආගම බිහිවීමත් සමඟ කාන්තාවට අඩු පිළිගැනීමකට ලක්වුවත් බුදු දහම ප්‍රචලිත වීමත් සමඟ ඇය මවක්, දියණියක් සහෝදරයක්, නැඟණියක් ලෙස සමාජයේ නිසි තැන හිමි විය යුතු බව බුදුන් වහන්සේ දේශනා කරනු ලැබිණි.

ඇය තලා පෙළා පීඩාවට පත් කර තිබූ සමාජය බුදු දහම නිසා යම් වෙනසකට ලක්විය. එහෙත් ඇතැම් සමාජවලට අනුව සැමියා මියගිය පසු ඇයට සති පූජා කළ යුතු විය. ඇතැම් ආසියානු රටවල සැමියාට පෙර ඇය මිය යා යුතු විය. තවද ඇයට ක්‍රෑර වදහිංසා පැමිණ වීමටත් මරා දැමීමේ අයිතියත් සැමියාට තිබිණි. දහස් ගණන් කාන්තාවන් පුළුස්සා මරා දැමුණු අතර ඇයට කිසිදු මිනිස් අයිතිවාසිකමක් එවකට සමාජයේ හිමි නොවුණ බව ඉතිහාසඥයෝ පවසති. දාර්ශනිකයන් තුළ පවා ඇය පිළිබඳව ධනාත්මකභාවයක් ඇති කර නොගත් බව දක්නට ලැබිණි.

ඉතිහාසය පුරා නොයෙක් යුගවල සමාජ, ආර්ථික, ආගමික වශයෙන් පීඩාවට පත් කොට තැබූ සමාජ යුගයන් පසු කොට ඇය වර්තමානය දක්වා උපතින්ම උරුම වූ ඉවසා දරාගැනිම ප්‍රගුණ කරමින් පැමිණියාය. කාර්මීකරණයෙන් පසු ලෝකයේ බොහෝ දේ මෙන්ම කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද යම් වෙනසක් ඇතිවිය. 19 වැනි සියවස වනවිට කාන්තාවන් පුරුෂාධිපත්‍යයට එරෙහිව ඇතැම් කාන්තාවන් අරගල කරන්නට විය. ඇයට සියලු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ අවකාශය හෝ හිමි වුයේද 19 වැනි සියවසින් පසුවයි. අධ්‍යාපනික අයිතිවාසිකම් සමව ලැබිය යුතු බවට උද්ඝෝෂණ රැසක් ඇති වීමත් සමඟ 1837න් පසුව ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයකට ඇතුළත් වීමට කාන්තාවන්ට ඉඩ ලැබිණි. පසුව උසස් අධ්‍යාපණ ආයතනවලට ඇතුළත් වීමේ අයිතියද 1874 පමණ කාන්තාවන් සඳහා වෛද්‍ය විද්‍යාලයක්ද බිහි විය. 1872 පමණ දේශපාලනික නිදහස වෙනුවෙන් සටන් කළ කාන්තාවන්ට ඩොලර් සියයක දඩ මුදලක් පමණක් හිමි විය. ඉන් වසර 20ක් පමණ ගතවීමෙන් දේශපාලනික වශයෙන් යම් අයිතිවාසිකමක්, ඉඩකඩක් කාන්තාවට හිමි විය. අදටත් ලෝකයේ ඇතැම් රටවල ඇය වහලියක් බවට පත්වී ඇති රටවල් නොවන්නේ නොවේ.

නොයෙක් කාන්තා අරගලවල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට යම් සමාජ පිළිගැනීමක් කාන්තාවට හිමි වී ඇත. ජන්ද බලය, අධ්‍යාපනය පිළිබඳ අයිතිවාසිකම් ලැබීමත් සමඟ සමාජය තුළ යම් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා මේ වනවිට ප්‍රගතිශීලී ජනසමාජවල යම් පියවර ගෙන ඇත. ඇය ආර්ථිකයට දායක කරගත් මුල්කාලීනව ඉපයීමේ අයිතිය ඇයට ලැබුණද මුල් කාලීනව එකම සේවාවකදී ඇයට පිරිමියාට වඩා අඩු වැටුපක් හිමි විය. 1946දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර සහයෝගතාව මත කාන්තා අයිතින් පිළිබඳ කොමිසමක් පත් කිරීමත් සමඟ ඇයට සමාජයේ යම් පිළිගැනීමක් හිමිවිය. ස්ත්‍රී පුරුෂ භාවය, සම අයිතිවාසිකම් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමේ අවකාශයද ලැබිණි.

කාන්තා අයිතිවාසිකම් හිමිවීම් අතින් ලෝකයේ බොහෝ රටවල්වලට වඩා අපේ රට ඉදිරියෙන් සිටී. ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳව ගත් විට ලෝකයේ අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටින රටකි. විශේෂයෙන් නිදහස් අධ්‍යපනය, සෞඛ්‍ය දේශපාලනය, සංස්කෘතිකමය, සමාජමය හරපද්ධතින්වල හිමිකම් බොහෝමයක් කාන්තාවට ලැබී තිබීම සුවිශේෂි කාරණාවකි.

නමුත් ආකෘතික වශයෙන් සමාජගත සාම්ප්‍රදායික මතවාද, ස්ත්‍රී ඒකාකෘති තුළ තවමත් එල්ලී සිටින ගෝත්‍රවාදී වැඩවසම් මතවාදයන්වල එල්බගෙන සිටින පිරිස්ද අද සමාජයේ වෙති. කාන්තාව ආර්ථිකමය, දේශපාලනික සමාජීය විෂයය පථ තුළ නියෝජන වන්නේ ඉතාමත් අඩුවෙනි. ලංකාවේ ශ්‍රම බළකායේ සියයට 32.05ක් කාන්තාවන්ය. 2016 පෙර රජය පාර්ශ්වයේ කාන්තා නියෝජනය සියයට 2කි. එය සියයට 25 දක්වා වැඩි කිරීමට තීරණය වුව ද කාන්තා නියෝජනය සැලකිය යුතු වෙනසක් අදත් දේශපාලනය තුළ දක්නට නැත. වර්තමානයේ 225 මන්ත්‍රීවරුන් අතුරින් කාන්තාව නියෝජනය කරන්නේ 12 දෙනකු පමණි. 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය වීමෙන් පසු විධායක ජනාධිපතිනිය වන්නේ ඇගේම දියණියයි.

මෙයට හේතුව යම් සමාජ ස්ථරයන්වලට පමණක් දේශපාලනයට ප්‍රවිෂ්ට වීමේ හැකියාවයි. එදා පැවැති එම තත්ත්වය යම් තරමක් දුරට මේ වනවිට වෙනස් වී ඇතත් සමාජ පන්තිය කාන්තා දේශපාලනයට සුවිශේෂි කාරණාවකි.

කාන්තාව සමාජය විසින් සකසා දුන් ආකෘතියක සිරවී සිටින නිසා පිරිමින් අබිබවා යෑමට එතරම් උත්සහා නොකරන අතරම; යම් සීමාවන්ට යටත් වීමක් තවමත් සිදු වේ. සීමා අබිබවා ගියහොත් ඇය විවේචනයට ලක්වන බව බොහෝ කාන්තාවන්ගේ ආකල්පයයි. පුරුෂෝත්තම සමාජයක සිටින කාන්තාව මෙන්ම තවමත් ඇය ප්‍රතික්ෂේප කරයි යන බිය ඇය තුළ වෙයි. ඒ තුළ දේශපාලනය වැනි සංකීර්ණ කාරණාවලට යම් පසුබිමක් නොමැතිව පය තැබීමට ඇය තුළ යම් බියක් පවති. සාම්ප්‍රදායික ආකෘතිය තුළ සිරවී කුඩා ඉනිවැටක් වැනි බාධක; ඇය විසින්ම විදුලි වැටක් බවට පත් කරගෙන ඇත. මෙය සමාජ, දේශපාලනික, ආර්ථික හා ආගමික සංස්කෘතික යන සියලු කාරණා තුළදී ඇයගේ පොදු හැසිරීම වෙයි.

දකුණු ආසියාවේ අනෙක් රටවල්වලට සාපේක්ෂව කාන්තාවන්ගේ අධ්‍යාපනය උසස් මට්ටමක වෙයි. එහෙත් සේවා නියුක්තියේදී කාන්තාවන්ට ඇතිවන විවිධ ගැටලු ශ්‍රම බළකායට එතරම් දායකත්වයක් නොදැක්වීමට හේතුවේ. වේතන අසමානතා පවා තවමත් පවතින අතර අධ්‍යාපනයෙන් ඉහළට ගියද ආර්ථිකයට අඩු දායකත්වයක් ලබාදීම පිළිබඳ කාරණාවේදී එයට හේතුවන සමාජ කාරණාව වන්නේද ඇය බොහෝ විට විවාහයෙන් අනතුරුව කුටුම්ඹගත වීමයි. පවුලක් තුළ පුරුෂ පාර්ශ්වයන් වඩා රුචිකත්වය දක්වන්නේ නිවෙසේ සිටින කාන්තාවන්ටය. රැකියාවක නියුතු කාන්තාවද නිවෙසේ සියලු කටයුතු, සැමියාගේ සහ දරුවන්ගේ කටයුතු ඉටු කළ යුතුයි යන අදහසක් තවමත් ඇතැම් පුරුෂෝත්තමවාදි සමාජයේ පවතී. සාමුහිකව කටයුතු කිරීමක් නොව ඇය වහල් භාවයේ යොදවන්නන් වත්මන් සමාජයේද වෙයි.

ඉපයීම් ඇයට රුචි පරිදි කිරීමට අවකාශ ඇහිරී ඇත්තේ මෙවැනි කරුණු මතයි. කාන්තාවට වන හිංසන දිනෙන් දින ඉහළ යන බව අපිට දක්නට ලැබේ. කාන්තාව කුස්සිය මුල්ලෙන් කාර්යාලයටත්, කාර්යාලයෙන් කුස්සිය මුල්ලටත් විසිවන තත්ත්වයක් අද සමාජයේ දක්නට ලැබෙයි. නිර්මාණශීලි දක්ෂතා ඇති කාන්තාවන්ට නිවසේ සිරවී සිටීම නිසා ඇගේ දැනුම උකහා ගැනීමට සමාජයට ඇති අවකාශ ඇහිරී යයි. අධ්‍යාපනික අංශයෙන් ඇය කොතරම් ඉදිරියට පැමිණ තිබුණත් එහි නිසි ප්‍රයෝජන ගැනීමේ අවකාශයද ඇයට නොලැබේ. ඉංජිනේරු, තාක්ෂණික, ගණිතය වැනි විෂයයන් අතර කාන්තාවන් ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයකි. ලංකාවට පමණක් නොව ලෝකයටම මෙය පොදු කාරණාවකි. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතිකාවන් සමාජය තුළ යළිත් ගොඩනැඟිය යුතු සේම ඒ පිළිබඳව නැවත කියවීමක් ප්‍රගතිශීලී අදහස් ගරුකරන ජනතාව විසින් කළ යුතුය. සියවස් කිහිපයක් මුළුල්ලේ සියල්ල විඳදරා ගනිමින් ඇය නිහඬව කරන ලද අරගලය පිළිබඳව නැවත කියවීමක් කළ යුතුය.

කාන්තාව මෙතැනින් ඉදිරියට යෑම එදා වැඩවසම් යුගයේ තරම් අපහසු නැත. ඒ සඳහා අවැසි ගාමක බලය ඇයට ඇත. කාන්තාවන් වෙනුවෙන් අරගල කරන විවිධ මට්ටමේ සංවිධාන අද ලෝකය පුරා පවතී. දියුණු ප්‍රගතිශීලී සමාජයේ දැනටමත් ඇය පිළිබඳ කතිකාවන් ගොඩ නැඟී ඇත. ඒ නිසා පසුකරමින් පැමිණි යුගවලට වඩා අද කාන්තාවට ඉදිරියට යා හැකිය. දැනුම ලබාගැනීමට, කුසලතා සංවර්ධනය කිරීමට ඇයට අවකාශ ඇත.

එසේ නම් කාන්තාවන් ඇතැම් සමාජ කාරණා තුළ හිරකර ඇත්තේ අපේ ආකල්ප සහ සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණවලිනි. ව්‍යවස්ථාව මඟින් සියලු පුරවැසියන්ට සම අයිතිවාසිකම් ලැබී ඇත. කාන්තාවන්ට වන හිංසනවලට එරෙහි දැඩිනීති රීති පනවා ඇත. මේ පිළිබඳ දැන උගත් කාන්තාවන් වුවත් කාන්තාවගේ නිදහස ගැන සංවාද ගොඩනැඟීමට එතරම් රුචිකත්වයක් නොදක්වයි.

ඉහත සඳහන් කරන ලද වැඩවසම් සංස්කෘතික ලක්ෂණ තුළ සිරවී සිටින කාන්තාවන් තවමත් සිටියි. දේශපාලනික, සමාජ කරුණුවලදී සහ නිලතලවලින් ඉදිරියට යෑමේදී කාන්තාවට සමාජයෙන් එල්ලවන අභූත චෝදනා හමුවේ ඇය බොහෝ විට නිහඬ ව සිටීමට උත්සාහ දරයි. සියලු කාන්තාවගේ ගැටලු ඉදිරියට ගෙනයමින් ඇයට ඇහිරුණු තැන් විවෘත කරගැනීමට හැකියාව තිබියදිත් ඇය ඒ වෙනුවෙන් මන්දගාමි බවක් පෙන්වයි. මේ සඳහා අවශ්‍ය වන පසුබිම් සාධක සමාජයේ වෙයි. වැටකඩොලු බිඳ ගෙන යෑමට වඩා ඇය උත්සාහ කරන්නේ ඒ තුළ සීමා පනවා ගෙන කටයුතු කිරීමටයි.

ලෝකයේ කොතැනකදීවත් කුමන පර්යේෂණයකදීවත් කාන්තාවන්ගේ බුද්ධිය පිරිමියාට සාපේක්ෂව අඩු බවක් හෝ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී නොසුදුසු යැයි තහවුරු වී නැත. දැනුම උකහා ගැනීම, කුසලතා සංවර්ධනය, සිතීමේ ක්‍රියාවලිය යන කාරණාවලදී කාන්තාව අසමර්ථ බව කිසිදු තැනක සනාථ වී නැත‍. වත්මන් සමාජය ගත් විට මිලියන දෙසිය පනහක් කාන්තා ව්‍යවසායකයන් සිටී. ඊට වඩා විශාල ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛනවලින් පරිබාහිරව වේ. තාක්ෂණික පාර්ශ්වයෙන් මාර්ගගත ක්‍රමවේද මඟින් සහ අන්තර්ජාතික මට්ටමින් ඉපයීමේ ක්‍රියාවලියට ඇය දායක වී ඇත. අනාගතයේදී ඉපයීමේ දක්ෂතාව මත ඇයට ඉපයීමේ ඉඩකඩ සැලසෙන ඉදිරියක් පැමිණිමට නියමිතය. ලෝකයේ දියුණු රටවලට දැනටමත් ඒ ක්‍රමවේද ක්‍රියාත්මක වෙයි. ඉදිරියේ ඇති ලෝකය හමුවේ වැදගත් වෙන්නේ දැනුම කුසලතා දක්ෂතා යන දේ පමණකි. එහිදි පිරිමියාද ගැහැනියද යන ලිංගික කාරණාව අදාළ නොවේ. පැරණි ඒකාකෘතින් බිඳ වැටෙන යුගයක් ඉදිරියේදී ඇතිවෙයි.

ඒ යුගයේ ඉදිරියේ අපි ඉන්නේ පෙරනිමිති සමඟය. විශ්ව ගම්මානයක් තුළ සියලු සමාජ සම්බන්ධතාවලට නිදහස් අවකාශක් අප තුළ ඇත. ඉදිරියේ ඇති යුගයට අවැසි චින්තනමය විප්ලවයක් ඇති කරගත යුතුය. ඒ යුගයට අවශ්‍ය දැනුම කුසලතා වර්ධනය කරගත යුතුය. ඒ සඳහා අවශ්‍ය වේගවත් උසස් ගමන් මාර්ගයක් සඳහා තමන්ගේ පෞරුෂමය ලක්ෂණ ගොඩනඟා ගත යුතුය. එමෙන්ම තම ප්‍රතිනිර්මාණයන් ගොඩනඟා ගැනීමක් කළ යුතුය. සම්ප්‍රදායික ගැහැනිය බැහැර කර නූතනයට ඔබින ගැහැනියයක් ප්‍රතිනිර්මාණය කරගත යුතුය.

කුසලතා සංවර්ධනය මෙන්ම පෞරුෂත්වය ගොඩනඟා ගත යුතුය. කාන්තාවට ඉක්මනින් ආකල්පමය වශයෙන් ගොඩනැඟීමට හැකියාව ඇත. අද ලෝකය සමඟ යෑමට තමන් වෙනුවෙන් තමන් ගොඩනඟා ගත යුතුයි. තමන්ගේ සමාජ වපසරිය තුළ ඇති සමාජ සම්බන්ධතා පුළුල් කරගනිමින් අලුත් ලෝකයට ඔබින ලෙස දැනුම රැස් කර ගත යුතුය. ඒ අනුව තමන්ටම අනන්‍ය වූ සමාජ වපසරියක් ගොඩනඟා ගැනීමේ අවකාශ හිමිවෙයි.

ගැහැනියට නැඟී සිටීමට ශක්තිමත් හා විශාල වපසරියක් තුළ සම තැනද නිසි තැනද යන්න තර්කයක් නොවේ. තමා ගොඩනංවා ගැනීමට ඇයටම හැකියාව ඇත. එතැනින් එහාට වෙනස් කළ යුත්තේ සමාජ චින්තනයන්ය. ඒ නිසා යම් යම් සීමාවන් ඇති තැන්වලදී ඇයට සහාය ලබාදිය යුතුය. කාන්තාවට පමණක් මේ සමාජය සුන්දර තැනක් කළ නොහැකිය. ඒ සඳහා පිරිමින්ගේ දායකත්වය සහ ආකල්පත් ගැහැනු, පිරිමි යන දෙපාර්ශ්වයේම උත්සාහයත් තිබිය යුතුය.

Comments