ඩොලර් ගෙනෙන අලිමානා | සිළුමිණ

ඩොලර් ගෙනෙන අලිමානා

විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ හීලෑ අශ්වයින් හා ගවයින් මිලියන ගණනක් සිටී. මේ අශ්වයින්ගේ හා ගවයින්ගේ ලෝම දිනපතා පීරා පිරිසිදු කළ යුතුය. ඒ සඳහා යොදාගන්නේ බුරුසුවකි. එම බුරුසුව සකසා යුරෝපයට අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවත් සිටියි.

වර්තමාන අප රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය ජය ගැනීමට නම් අපනයන ආර්ථිකය වඩ වඩාත් ශක්තිමත් කළ යුතු අතර නිර්මාණශීලීව මෙන්ම පර්යේෂණාත්මකව නව අපනයන ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ යුතුමය.

පසුගිය වසරේ පළවූ වර්ණ එස්පෝට් (Export) පුද්ගලික සමාගමේ (බෝපේ, පාදුක්ක පිහිටි) ආනයන ආදේශන පිළිබඳ පුවත්පත් දැන්වීමක් ඇස ගැටුණු රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) අනුරුද්ද බණ්ඩාර පසුගිය දිනෙක අපූරු සොයා ගැනීමක් සිදු කළේය. 

දැනට මෙක්සිකෝවෙන් විශාල මුදලක් වැය කරමින් ලංකාවට ආනයනය කරන rice root නම් මුල් වර්ගයට ආදේශකයක් ලෙස ලංකාවේ අලි මානා මුල සාර්ථකව යොදා ගත හැකි බව අනුරුද්ද බණ්ඩාර ප්‍රකාශ කරන අතර මෙම සොයා ගැනීමට ඔහු දැඩි පරිශ්‍රමයක් යොදා ඇත.

විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ හීලෑ අශ්වයින් හා ගවයින් මිලියන ගණනක් සිටී. මේ අශ්වයින්ගේ හා ගවයින්ගේ ලෝම දිනපතා පීරා පිරිසිදු කළ යුතුය. ඒ සඳහා යොදාගන්නේ බුරුසුවකි. එම බුරුසුව සකසා යුරෝපයට අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවත් සිටියි. පදම් කළ රබර් ලීයකට මෙක්සිකෝවෙන් ගෙන්වන Rice Root කෙඳි සවිකර මෙම නිෂ්පාදනය වසර 25කට අධික කාලයක් තිස්සේ අපනයනය කරනු ලබයි.

මානා කුලයේ සුලබව දැකිය හැකි වර්ග 04 කි. එනම් අලිමානා, මානා ( කරලක අයුරින් කහපාට මල් පිපෙන), පැඟිරි මානා, ඉලුක්. මේ අතරින් වඩාත් සුලබව දැකිය හැකි වන්නේ අලිමානාය. එය ගිනි ග්‍රාස් ලෙසද ඇතැම් ප්‍රදේශවල හඳුන්වයි.

බණ්ඩාර විසින් Rice Root කෙඳිවලට ආදේශකයක් ලෙස සොයා ගන්නා ලද නිසි පරිදි සකසන ලද, අලිමානා මුල්, වර්ණ එස්පෝට් ආයතනය විසින් ඔවුන්ගේ විදේශ හිමිකාරිත්වය සහිත සමාගම්වලට හා විදේශීය ගැනුම්කරුවන් වෙත ලබා දී ඒවායේ ගුණාත්මක බව පරීක්ෂා කර Rice Root වෙනුවට ඉතා සාර්ථක ආදේශකයක් ලෙස භාවිත කළ හැකි බව තහවුරු කරගෙන ඇත.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති වසන්ත ගුණරත්නගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, දිස්ත්‍රික් අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ඩබ්ලිව්.පී. සමන්තිලකගේ හා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් චම්පික නිරෝෂ්ගේ මෙහෙයවීම යටතේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුගදණ්ඩ හා උතුරු කරඳන යන ග්‍රාම නිලධාරී වසම්වලද, කුරුවිට ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදරගේ මෙහෙයවීමෙන් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවිපහළ ග්‍රාමනිලධාරී වසමේද අලිමානා මුල් සකසන නියමු ව්‍යාපෘති මේ වන විටත් ආරම්භ කර ඇත.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට හා මීගහකිවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද මෙම නියමු ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක වේ.

මෙම සුවිශේෂී ව්‍යායාමය සාර්ථකවීමත් සමඟ මෙරටින් විදෙස් රටවලට ඇදී ගිය විශාල මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතිරිවනවා සේම මෙම අලි මානා අපනයනය කිරීමෙන් මෙරටට විශාල ඩොලර් ප්‍රමාණයක්ද උපයාගත හැකිය.

එමෙන්ම මෙම අලිමානා කොළ සත්ව ආහාර සඳහා භාවිත කළ හැකි අතර කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහාද යොදාගත හැකිය. තවද මෙම ශාකයේ කොළ, අත් කඩදාසි නිපදවීම සඳහාද භාවිත කරනු ලබයි.

මේ සඳහා අවශ්‍ය සහාය හා මඟපෙන්වීම ලබාදුන් වර්ණ එස්පෝට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රාජිත ප්‍රනාන්දු, මෙහෙයුම් කළමනාකරු බන්දුල, හා එහි නිෂ්පාදන කළමනාකරු දුෂ්මන්ත ඇතුළු පිරිස ලබා දුන්නේ විශාල සහයකි.

තුෂාර හෙට්ටිආරච්චි, කහවත්ත

Comments