අප්‍රිකාවේ සහේල් කලාපයේ වර්ධනය වන බල තරගය | සිළුමිණ

අප්‍රිකාවේ සහේල් කලාපයේ වර්ධනය වන බල තරගය

ගිනියා සිට බර්කිනා ෆාසෝ දක්වාත්, එතැන් සිට මාලි දක්වාත් පිට පිට හමුදා මැදිහත්වීම් ගණනාවක් මඟින් බටහිරට හිතවත් පාලන තන්ත්‍ර ගණනාවක් බලයෙන් පහ කෙරුණු බටහිර අප්‍රිකාවේ නැගෙනහිර අන්තයේ පිහිටි නයිජර් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයත් සමඟ සහේල් කලාපය හා බැඳුණු බටහිර භූදේශපාලනික වුවමනා එපාකම් බරපතළ තර්ජනයකට මුහුණ පා තිබේ. විශේෂයෙන්ම, වත්මන් ප්‍රවණතාව අමෙරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් බටහිර කඳවුරට මෙතෙක් පැවති කලාපීය ආධිපත්‍යය අබිබවමින් රුසියාව සහේල් කලාපයේ බලය තහවුරු කරගනිමින් සිටී. උතුරෙන් සහරා කාන්තාරයත්, දකුණෙන් නිවර්තන සවානා ශාකවලින් ගහන වූත් අත්ලාන්තික් සාගරයේ සිට රතු මුහුද දක්වා පැතිර පවතින පුළුල් බිම් තීරයක් වන සහේල් කලාපය කලක් පැරණි ප්‍රංශ යටත් විජිතයක්ව පැවති අතර මෑත අවධිය තුළ ත්‍රස්ත ක්‍රියාකාරීත්වයට තෝතැන්නක් බවට පත්විය.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ මාලි රාජ්‍යයේ මෑතක සිදු කළ චාරිකාවකින් අනතුරුව වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගිනි ප්‍රිගෝෂින් මරණයට පත්වුව ද, එම අතුරු හමුදාව කලාපය සමඟ ඇති කරගත් සම්බන්ධතාවන්ට පින් සිදුවන්නට රුසියාව අප්‍රිකාවේ බොහෝ රටවල තවදුරටත් සක්‍රියව තම බලය පතුරුවාලනු ඇතැයි වි‍ශ්ලේෂකයෝ පවසති.

රුසියාවට පක්ෂපාති නයිජර් උද්ඝෝෂකයින්ගේ විරෝධතා සහ බටහිරට පක්ෂපාතී නයිජර් ජනාධිපති මොහොමඩ් බසූම් බලයෙන් පහකිරීමත් සමඟ නව ලෝක ආර්ථිකයට අතිශයින්ම වැදගත් වන ඛනිජ සම්පතින් ආඪ්‍ය වූ බටහිර අප්‍රිකානු කලාපයට ප්‍රවේශ වීමට බටහිර බලවත් රාජ්‍යයන්ට තිබූ ඉඩප්‍රස්ථා තවදුරටත් ඇහිරී යනු ඇත. නයිජර් රාජ්‍යයේ ප්‍රංශ තානාපතිවරයාට පැය 48 ක් ඇතුළත රටින් පිටව යන ලෙසට නයිජර් රාජ්‍යයේ හමුදා පාලකයන් ඉකුත් සතියේ නියෝග කළ අතර, තානාපති කාර්යාලයේ විදුලිය සහ ජල සැපයුමද කපාහරිනු ලැබීය. නයිජර් රාජ්‍ය පුරා ප්‍රංශ විරෝධී උද්ඝෝෂණ රැල්ලක් ද පැතිර යමින් පවතී.

“අප්‍රිකාවේ උතුර සහ දකුණ අතර සංක්‍රාන්තික කලාපයක් ලෙස නයිජර් රාජ්‍යය පිහිටා තීබීම හේතුවෙන් නයිජර් රාජ්‍යයේ ඇතිවන අස්ථාවරත්වයක් දෙපසට පැතිර යාමට ඉඩ ඇති අතර, කලාපයේ රුසියාවට පක්ෂපාතී අප්‍රිකාවේ හමුදා පාලනතන්ත්‍ර සහ බටහිරට පක්ෂපාතී රාජ්‍යයන් අතර ආතතීන් තවදුරටත් උග්‍රවනු ඇත”, අන්කාරාහි හසී බේරාම් සරසවියේ මධ්‍යධරණී කලාපය භාර අධ්‍යක්ෂ යුනුස් ටුර්හාන් පවසයි.

බ්‍රික්ස් බහුධ්‍රැවවාදී ලෝක පර්යායක මුල් වෙඩිමුරය පත්තු කරයි

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේ පැවති 15 වන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවේ දී බ්‍රික්ස් සන්ධානයේ ප්‍රසාරණය ඉකුත් සතියේ ලොව වඩාත් කථාබහට ලක්වූ මාතෘකාව බවට පත්වුව ද, ඒ හා සමානව අවධානය දිනාගත් තවත් ප්‍රවෘත්තීන් දෙකක් කෙරෙහි ලොව පුරා අවධානය යොමු විය. එකක් නම්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අන්තර්ජාලය ඔස්සේ සමුළුව අමතමින් සිටින අතර, රුසියාවේ වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගිනි ප්‍රිගෝසින් රැගත් පෞද්ගලික ගුවන් යානයක් අනතුරුට ලක් වීමෙන් එහි ගමන් ගත් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වීමයි. අනෙක් ප්‍රවෘත්තිය නම් සමුළුව හමුවේ අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි “ඉන්දියාව දැන් සඳට ගොස් සිටී” යනුවෙන් චන්ද්‍රයාන් - 3 ඉන්දියාවේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බට ප්‍රථම අභ්‍යවකාශ යානය බවට පත්වීම ය. ඊට දින කිහිපයකට පෙර රුසියාවට අයත් ලූනා -25 යානය පාලනයෙන් ගිලිහී ගොස් සඳුගේ පෘෂ්ඨය මතට කඩා වැටිණ.

ආයෝජන බැංකුකරුවකු 2000 දශකයේ මුල භාගයේ සිදුවෙමින් පැවති ලෝක ආර්ථිකයේ පරිවර්තනය හඳුනා ගැනීමට දරන ලද උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් බිහිවූ බ්‍රික්ස් සන්ධානය මෙවර සමුළුවේ දී සාමාජිකයන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩිකර ගැනීමට එකඟ විය. ඒ අනුව රටවල් 40 ක් අතුරෙන් ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් නව සාමාජිකයන් ලෙස බඳවා ගැනීමට තීරණය කළේ ය. පවත්නා ලෝක පර්යායට පිටින් බහුපාර්ශ්වීය සහයොගිතාවක් ගොඩනඟා ගැනීමට ලොව පුරා බහුතරයක් රටවලට පවතින අභිලාෂය බ්‍රික්ස් සන්ධානය කෙරෙහි අභිනවයෙන් ගොඩනැඟී ඇති උනන්දුව මඟින් පෙන්නුම් කරයි. නිර්ඩොලර්කරණය සහ බ්‍රික්ස් නව සංවර්ධන බැංකුව යන මාතෘකා ද මෙවර සමුළුවේ දී විශේෂයෙන් කථාබහට ලක්විය.

බ්‍රිතාන්‍යය කෞතුකාගාරයෙන් තාරා දේවියගේ ප්‍රතිමාව ඉල්ලීමට කාලය එළැඹ තිබේ

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කෞතුක වස්තු රැසක් සොරා ගැනීමට අදාළ පුවත පැතිර යාමත් සමඟ යටත් විජිත අවදියේ තම රටවලින් සොයා ගන්නා ලද හෝ බලහාත්කාරයෙන් රැගෙන යන ලද පුරාවස්තු නැවත තම රටවලට භාර දෙන ලෙසට ලොව පුරා රටවල් ගණනාවක් බ්‍රිතාන්‍යය රජයට බලපෑම් කරමින් සිටී. එම රටවල් අතරට චීනය ද එක්වෙයි. චීන රජයේ පුවත්පතක් වන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත ඊට අදාළ නිල ඉල්ලීම ඉදිරිපත් කරමින් කියා සිටින්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ චීනයට අයත් මානව කෘති 23,000 ක් පමණ තැන්පත් කොට ඇති බවයි.

“බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති මිලියන අටක් පමණ වන කෞතුක වස්තු එකතුවෙන් විශාල ප්‍රමාණයක් එක්සත් රාජධානියට පිටතින් රැගෙන එන ලද ඒවා ය. මෙම කෞතුක වස්තුවලින් වැඩි ප්‍රමාණයක් අත්පත් කොට ගෙන ඇත්තේ නීති විරෝධී සහ ඇතැම් විට කිලිටි සහ පාපතර ක්‍රමවලිනි”, ‍‍ග්ලෝබල් ටයිම්ස් සංස්කාරක සටහනේ දැක්වේ.

ග්‍රීසිය, නයිජීරියාව සහ චීනය වැනි රටවල් යටත් විජිත බලවේග විසින් සොරකම් කරන ලද හෝ බලහත්කාරයෙන් රැගෙන යන ලද තම සංස්කෘතික උරුමය එහි හිමිකරුවන්ට නැවත ලබාදිය යුතු බව මෙම සිද්ධීන් වාර්තාවීමට පෙර සිටම හඬ නැඟීය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1868 වසරේ සිදු කළ හමුදා මෙහෙයුමක් මඟින් බලහත්කාරයෙන් පැහැර ගෙන යන ලද තම රටට අයත් මග්ඩලා එකතුව යනුවෙන් හඳුන්වනු ලබන අවි ආයුධ, ස්වර්ණාභරණ, සහ ආගමික මානව කෘති සමූහය නැවත ලබාදෙන ලෙසට ඉතියෝපියාව එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටී. 1879 වසරේ දී බ්‍රිතාන්‍යයන් විසින් ගලවා ඉවත් කොට තම රටට රැගෙන ගිය අමරාවතී ස්ථූපයේ බිත්ති හිස ආපසු ගෙනැවිත් දෙන ලෙස දැනුම් දී ඇත. බ්‍රිතාන්‍යය හමුදාව 1874 වසරේ දී අසාන්ටේ මාලිගයෙන් සොරකම් කරන ලද ස්වර්ණාභරණ නැවත භාර දෙන ලෙස ඝානා රජය ද බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා ඇත.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සැම විටෙකම බ්‍රිතාන්‍යය කෞතුකාගාර පනත හුවා දක්වමින් මෙවැනි ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. එම පනතට අනුව රටේ මහජන ආයතනයකට තමන් සතු කෞතුක වස්තුන් කුමන තත්වයක් යටතේ වුව ද නැවත වෙනත් පාර්ශ්වයකට පවරා දිය නොහැකිය. එම නීතිය වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි බ්‍රිතාන්‍යය අගමැති රිෂී සුනාක් ඉකුත් මාර්තු මාසයේ දී කියා සිටියේ ය.

“තමන් විසින්ම සම්මත කරගත් නීතියක් හුවා දක්වමින් අන්තර්ජාතික සදාචාරසම්පන්නභාවය සහ අන්තර්ජාතික වගකීම්වලට ගරු කිරීම ප්‍රතික්ෂේප කිරීම බෙහෙවින් කුහක මෙන්ම අවඥාසහගත ක්‍රියාවකි”, එය චීනයේ ‍ග්ලෝබල් ටයිම්ස් පුවත් පත පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය යනු බ්‍රිතාන්‍යය යටත් විජිත ප්‍රසාරණයේ ඉතිහාසයේ සංකේතයකි. එක්සත් රාජධානියට මෙම මානව කෘතිවල සොරුන්ගේ ඇඟිලි සලකුණු මකා දැමිය හැකි වුව ද, මෙම සංස්කෘතික දේපළවල සැබෑ හිමිකාරීත්වය අකාමකා දැමිය නොහැකිය”. 

19 වන සියවස මුල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව ඈඳා ගැනීමෙන් පසු උඩරට රජුගෙන් සොරකම් කරන ලද ක්‍රි.ව. 7-8 සියවස්වලට අයත් තාරා දේවියගේ ප්‍රතිමාව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති කෞතුක වස්තුන් අතර ඉහළ ස්ථානයක් හොබවයි. ශ්‍රී ලාංකේය ප්‍රතිමාකරණයේ අතිවිශිෂ්ට නිර්මාණයක් ලෙසින් සැලකෙන මෙම ප්‍රතිමාව ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට අපට ද දැන් කාලය පැමිණ තිබේ.

ගෝතමාලා මැතිවරණයෙන් දූෂණ විරෝධී අපේක්ෂකයාට ජය

ගෝතමාලා මැතිවරණයෙන් දූෂණ විරෝධී නායක බර්නාඩෝ අරෙවාලෝ ජයග්‍රහණය කිරීම බොහෝ දෙනාගේ විමතියට හේතු වුව ද, ඔහුට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු එරට දේශපාලනයට ආගන්තුක නොවූවකි. සිවිල් යුද ගැටුම් සහ ප්‍රචණ්ඩකාරී ආඥාදායකත්වයන් ගෝතමාලාවේ ආයතන ව්‍යුහය දුර්වල කොට, අපරාධකාරී සංවිධාන පැන නැඟීමට සහ දූෂණය ඉහවහා යාමට ආධාර අනුබල ලබා දුන්නේ ය. රටේ අපරාධ රැල්ල මැඬපවත්වන බවටත්, දූෂණය පිටුදකින බවටත් මැතිවරණ ව්‍යාපාරය තුළ අරෙවාලෝ ලබා දුන් ප්‍රතිඥාවලට ජනතාව කන්දුන් බවක් මැතිවරණ ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරයි. එහෙත්, සියලු දෙනා එයින් සතුටට පත්ව ඇති බවක් නොපෙනේ. මතභේදාත්මක මැතිවරණ සමයකින් පසුව අරෙවාලෝගේ ප්‍රතිවාදියා පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. අරෙවාලෝ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව පෙන්වා දෙන අමෙරිකානු රාජ්‍යයන්ගේ සංවිධානය ඔහුට ආරක්ෂාව සලසන ලෙස ඉකුත් අගෝස්තු මස 24 වන දින ගෝතමාලාවෙන් ඉල්ලා සිටියේ ය.

ලතින් අමෙරිකාවේ ආදායම් විෂමතාව අතින් ඉහළින්ම සිටින රටක් වන ගෝතමාලාවේ මිලියන 18 ක ජනගහණයෙන් අඩක් පමණ දිළිඳුකමේ රේඛාවට පහළින් සිටිති. මිලියන 3.5 ක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට පත්ව සිටිති.

ග්‍රීසියේ සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට එල්ල වන ප්‍රහාරවල වැඩිවීමක්

ළමයින් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 18 දෙනකුගේ දැවී ගිය මළ සිරුරු ඊශාන දිග ග්‍රීසියේ තුර්කි දේශසීමාව ආසන්නයෙන් සොයා ගැනීම යුරෝපයේ සංක්‍රමණික ප්‍රතිපත්තිවල අමානුෂිකත්වය යළිත් වරක් ලොවට හඬගා කියයි. මෙම සංක්‍රමණිකයෝ පිරිස ළැව් ගින්නට හසුවීමෙන් මරණයට පත්වූහ. අන්තර්ජාතික ක්ෂමා ආයතනය කියා සිටින්නේ ග්‍රීසියේ සහ යුරෝපා සංගමයේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති මෙම මරණවලට වගකිව යුතු බවයි. ර‍ට තුළ සංක්‍රමණිකයන් සහ සරණාගතයන් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරෙන ජනවාර්ගික ප්‍රහාර පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ග්‍රීක ශ්‍රේෂ්ඨාධිකරණය එරට බලධාරීන්ට නියෝග කොට තිබේ.

Comments